Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධාගම රජයේ ආගම වීම

අශෝක අධිරාජයා සම්බුද්ධ පරිනිර්වාණයෙන් ශතවර්ෂ දෙකකට පමණ පසු හා හපුරා කියා බුද්ධ ධර්මය ඉන්දියාවේ රාජ්‍ය ආගම බවට පත් කළ රජු ය. එහෙත් ලංකාවෙහි එම ධර්මය රජයේ ආගම වූයේ බුද්ධාගම මෙරටට පමිණි දා පටන් ම ය.

තමන්ට බුද්ධාඥාවට අනුකූ®ලව වෙසෙන්ට හැකි වනු පිණිස නගරය ද ඇතුළත් කොට සීමාබන්ධනය කරන ලෙස දේවානම්පියතිස්ස රජු මිහිඳු මාහිමියන්ට කළ ආයාචනයෙහි වැදගත් අදහසක් ගැබ් වී ඇත. ක්‍රි.පූ. 3 වන ශතවර්ෂයේ එදින පටන් ක්‍රි.ව. 19 වන ශතවර්ෂයේ දී සිංහල රාජ්‍යය අභාවයට ගිය දින තෙක්, ලංකා රාජ්‍යයට හිමිකම කීමට නීතියෙන් බලය ලැබුණේ බෞද්ධයකුට පමණි. ක්‍රි.ව 10 වන ශතවර්ෂය පමණ වන විට මේ විශ්වාසය කොතරම් දැඩි සේ තහවුරු වී පැවැතියේ ද යත්, ලංකාවෙහි රජු බෞද්ධයකු පමණක් නොව බෝධිසත්වයෙකු වීම ද අවශ්‍ය ම විය. “බෝධිසත්වයන් හැර අන් කිසිවෙක් ශ්‍රී ලංකාවෙහි රජ නොවන්නේ” යයි ද ඔවුන්ට “ මේ වියරණය (ව්‍යාකරණය) ලැබුණේ සර්වඥ බුදුන් වහන්සේ ගෙන් ම” යයි ද 4 වන මිහිඳු රජුගේ (ක්‍රි.ව. 956-972) සෙල්පුවරු ලිපියෙහි පළ වේ.

ලංකාව බුද්ධ ධර්මය සතු බවත් එබැවින් චෝළ , කේරළ ආදි අබෞද්ධයන්ට ලංකා රාජ්‍යයට හිමිකමක් නැති බවත් (ක්‍රි.ව. 1187-1196) කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජ තම සෙල්ලිපි වල පළ කොට ඇත.

13 වන ශතවර්ෂයට අයත් සිංහල ගද්‍ය කෘතියක් වූ පූජාවලියෙහි මේ අදහස වඩාත් ව්‍යක්ත ලෙස මෙසේ දැක්වේ. “ එසේ හෙයින් මේ ලක්දිව බුදුන්ගේම තුනුවරුන් භාණ්ඩාගාරයක් වැන්න. එසේ හෙයින් මේ ලක්දිව මිථ්‍යාදෘෂ්ටි ගතුවන්ගේ වාසය නම් පෙර යක්ෂයනගේ වාසය ස්ථිර නුවූවා සේ ම ස්ථීර නො වේ මය. මිථ්‍යාදෘෂ්ටි රජෙක් ලක්දිව බලහත්කාරයෙන් කිසි කලෙක රාජ්‍යය කළේ වී නමුත් ඔවුන්ගේ වංශප්‍රතිෂ්ඨා නොවනු බුදුන්ගේ ආනුභාව විශේෂයක් ම ය. එසේ හෙයින් මේ ලක්දිව සම්‍යක් දෘෂ්ටි ගත් රජුන්ටම සීහෙන හෙයින් උන්ගේ කුල ප්‍රවේණිය පවත්නේද ඒකාන්ත ම ය .”

සිංහල නීති සංග්‍රහයේ ප්‍රථම ව්‍යවස්ථාව ලංකාවේ රජු බුද්ධාගම හැරදමා වෙනත් ආගමක් වැළඳ නොගත යුතු බව යයි මහනුවර මල්වතු ෂහාරයේ සංඝ සභාව විසින් එවකට මුහුදුබඩ පළාත් පාලනය කල කොළඹ ලන්දේසි ආණ්ඩුකාර තැන්පත් ෆල්ක් මහතා (ක්‍රි.ව. 1765 – 1785 ) වෙත සිංහල නීතිය පිළිබඳව ලියා යවන ලද ඓතිහාසික ලිපියක සඳහන් වේ.

19 වන ශතවර්ෂය තරම් මෑත කාලයක් දක්වා මේ විශ්වාසය පැවැති බව ලංකාවේ ආණ්ඩුකාර තැන්පත් බ්‍රවුන්රිග් මහතා විසින් 1816 ජුනි මස 13 වන දා එංගලන්තයේ විලියම් විල්බපෝස් මහතා වෙත යවන ලද ලිපියකින් පෙනේ. එම ලිපියෙහි සඳහන් වන හැටියට, “ උඩරට රාජ්‍යයෙහි ස්වාධීනතාව හා බුද්ධාගම අතර කිට්ටු සම්බන්ධයක් ඇතැයි යනු පිළිගත් විශ්වාසයකි. පර සතුරු බලපෑම් හා බලවේගයන් සියල්ලකින්ම බුදුන් ඔවුන්ගේ රාජ්‍යය ආරක්ෂා කරන බව විශ්වාස කරනු ලැබේ.”

විටින් විට මෙරට පාලනය කළ ද්‍රවිඩයන් පවා, තමන් යටි සිතින් කැමති වුණත් නැතත්, යටත් පිරිසෙන් රාජ පදවිය තකා වත් බුද්ධාගම වැළඳ ගත යුතු විය. මීට නිදසුනක් කියතොත්, ක්‍රි.පූ. 2 වන ශතවර්ෂයේ දී අනුරාධපුරයෙහි රාජ්‍යානුශාසනා කළ එළාර නම් සොලී කුමාරයා සංඝයා බැහ දැක දනට ආරාධනා කරනු පිණිස සෑගිරියට (මිහින්තලේට) ගිය බව සඳහන් වේ. “ඔහු රත්නත්‍රයෙහි උතුම් බව හා අගය නොදැන සිටියේවී නමුත් සෑගිරියට ගොස්, පෙර සිරිත පරිදි (වාරිත්තමනුපාලයං) සංඝයාට දනට ආරාධනා කෙළේ”යයි මහාවංසය කියයි. එළාර රජු බුද්ධාගම කෙරහි අවංක උද්‍යෝගයත් නොදැක්වූ නමුදු, ඔහුට රටේ සම්මත සිරිත පිළිපදින්නට සිදු වී යයි මහාවංස කර්තෘ සැලකු බව පෙනේ.

මේ සිරිත (වාරිත්තං) කුමක් ද? පුරාණ කාලයේදී පරම්පරාවෙන් පරම්පරාවට ආ සාධූජන සම්මත චාරිත්‍රය (සදාචාරය) රටෙහි සම්මත නීතියෙහි අංගයක් විය. එම සිරිත ආගමික ශික්ෂාපද හා නීති ප්‍රඥප්ති ගණයෙහි ලා ගැනුණේය.

ලංකාවෙහි ද රාජ්‍ය නීතිය වූයේ අන් කිසිවක් නොව රටෙහි බැහර සිරිතයි. එබැවින් යහපත් පාලනය සදහා එළාර රජු විසින්ද මේ සිරිත පිළිපැදිය යුතු විය. මේ කාරණය පැහැදිලි කෙරෙන වෙනත් නිදර්ශන කීපයක්ද මහාවංසයෙහි දැක්වේ.

(ක්‍රි.ව. 38 –66 ) භාතිය රජු පැරණි රජවරුන් ආගමික පිළිවෙත් ගැන පනවා තිබුණු ආඥා පිළිපැද්ද බව කියා තිබේ. (ක්‍රි.ව. 67 –79) මහා දාඨික මහානාග රජතුමා පෙර රජ දරුවන් හා සිය සොහොයුරා පනවා තිබුණු ආගමික පිළිවෙත් සියල්ලක්ම පිළිපැද්දේය. මිහිඳු උළෙල ඇරඹූ (ක්‍රි.ව. 362 පමණ) කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ උලෙළ අවුරුද්දක් පාසා පැවැත්විය යුතු ම යයි ආඥා කළේය. “ එවක් පටන් මේ කාලය තෙක් රජ පැමිණී සියලු ම රජවරු මේ රාජඥාව නිරන්තරයෙන් පිළිපැද්දහු යයි “ 13 වන ශතවර්ෂයේ විසූ, මහාවංස දෙවෙනි කොටයසේ කර්තෘ කියයි. හෝපිටිගම නම් ගමක පාලනය පිළිබඳ නීති රීති වගයක් සඳහන් වන 10 වන ශතවර්ෂයේ සෙල් ලිපියක පෙර පැවැති නීතිවලට ‘පෙර සිරිත්’ යන්න ව්‍යවහාර වේ. 12 වන ශතවර්ෂයේ සිරිත් ලේනා නීති ලේකම් හෙවත් අධිකරණ අමාත්‍යයාය. නීතිය යන වර්තමාන අදහස ප්‍රකාශ කිරීමට සිංහලයෙන් ‘සිරිත්’ යන්න ද පාලියෙන් ‘චාරිත්ත’ යන්න ද ව්‍යවහාර වූයේය. සම්ප්‍රදාය ද නීතියෙහිම ලා ගැනුණේය. රජවරුන් විසින් පනවන ලදුව රටේ සම්මත නීතිය හැටියට ගැනුණු ආගමික සිරිත් හා පිළිවෙත් පැවති බව මේ නිදසුන් වලින් පැහැදිලි ලෙස පෙනේ. සිංහල හෝ වේවා ද්‍රවිඩ හෝ වේවා, ලංකාවේ රජවරුන් විසින් මේ සිරිත් පිළිපැදිය යුතු විය.

එළාර අජුට අවුරුදු 30 කට පෙර රජ කළ සේන හා ගුත්තික නැමැති දෙමළ රජවරුන් දෙදෙනා පවා බෞද්ධයන් වූ බව පෙනේ. ඔවුන්ගේ රාජ්‍යානුශාසනය පිළිබඳ ව මහාවංසයෙහි ධම්මේන (දැහැමින්) යන පදයෙන් ඇඟෙන්නේ ඔවුන් බෞද්ධයන් හැටියට නැත්නම් යටත් පිරිසෙයින් බෞද්ධ සිරිත් අනුව රට පාලනය කළ බවයි.කෙනකු දැහැමින් රජ කරන්නේ මෙසේ විනා අන් කිනම් විදියකට ද? පශූ ගණයෙහි ලා ගැනුණු (පසු - සමා) මිසදිටුවෙකුට ‘දැහැමින්’ රජ කරන්ට පුළුවන්ද?

(ක්‍රි.ව. 5 වන ශතවර්ෂයේ) ඛුද්ද පාරින්ද රජුගේ මෙහෙසිය විසින් විහාරයකට පිරිනම ලද දානවස්තු සඳහන් සෙල් ලිපියක දෙමළයෙකු වූ ඇගේ ස්වාමියා සඳහන් වන්නේ ‘බුද්ධදාස ඛුද්ද පාරින්ද’ යන තේරුම ඇති “ඛුදදස ළ පරිදේව” යන නමිනි. ඛුද්දදාස යන මේ උප පදය ව්‍යවහාර කිරීමෙන් පැහැදිලිවම පෙනෙන්නේ ඛුද්දපාරින්ද බෞද්ධයෙකු වූ බවයි. නැත්නම් බෞද්ධයකු නොවූවත් බෞද්ධයෙකු බව අඟවන්ට උත්සාහ කළ බවයි. ඔහුට කලින් රජ කළ පාරින්ද රජ ද තමා විසින් බෞද්ධාරාමයකට පූජා කරන ලද දානවස්තුන් ගැන අරගම තම සෙල්ලිපියෙහි සඳහන් කරයි. තිරිතර රජුගේ පුත් දාඨිය රජු විසින් කතරගම මංගල මහා චේතියට (වර්තමාන කිරිවෙහෙරට) පූජා කරන ලද ත්‍යාගයක් ගැන කතරගම වෙනත් සෙල් ලිපියක සඳහන් වේ. දාඨිය රජ පාරින්ද හා ඛුද්ද පාරින්ද අයත් දෙමළ රාජවංශයේ කෙනෙකි. 5 වන ශතවර්ෂයේ අග හරියේ දී 27 වසක් පුරා අනුරාධපුරයෙහි රජ කළ මේ දෙමළ රජදරුවන් ආගමින් බෞද්ධයන් බවයි පරණවිතාන ශූරින්ගේ මතය. (ක්‍රි.ව. 658-674) 4 වන අග්ගබෝධි රජුට සේවා කළ පොත්ථකුත්ථ හා මහාකන්ද ආදි දෙමළ රාජපුරුෂයන් කීප දෙනකු ම විහාර කර වූ බවත් ආරාම වලට ගම්වර පිදූ බවත් කියා ඇත. මහනුවර කාලයේ ද්‍රවිඩ රජවරුන් පෙර කල සිංහල රජදරුවන් අනුගමනය කරමින් බෞද්ධාගම ඇදහූ බවත් බෞද්ධ සිරිත් පිළිපැද්ද බවත් බෞද්ධාගමට සං‍්‍රහ කළ බවත් කවුරුත් දනිති.

රජතුමා ද ගිහි සංඛ්‍යාවෙහි ලා ගැනුණු ,නමුත් , ඔහුට හිමි වූ තැන සෙසු ගිහියන්ගේ තැනට වඩා බෙහෙවින් ම වෙනස් වූවකි. බුදුවරුද චක්‍රවර්ති රජවරුද සූත්‍රයන්හි එකසමාන හැටියටම වගේ ගණන් ගැනෙති. බුදුන් ද සක්විතිරජ ද දෙනෙ ම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් උපලක්ෂිත බව දීඝනිකායේ ලක්ඛණ සූත්‍රය කියයි. දෙසිත් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් උපලක්ෂිත පුරුෂයෙක් ගිහි ගෙයි විසුවොත් සක්විති රජ වන්නේය. ගිහි ගෙය හැර ගියොත් බුදුවන්නේය. මේ දෙදෙනාම ලෝකාර්ථය සඳහා පහළ වූ ආශ්චර්ය මනුෂ්‍යයන් (අච්ඡරියමනුස්සා ) බවත් ඒ දෙදෙන ම ස්තුපයන්ගෙන් පිදිය යුත්තන් (ථූපාරහ) බවත් අංගුත්තර නිකාය කියයි. බුදුහු සකල ලෝකෝත්තර රාජ්‍යයට අග රජය, සක්විති රජ ලෞකික රාජ්‍යයෙහි සමන්තභද්‍ර පරමාධිපතියාය.මේ මතය පරිදි, සාමාන්‍ය රජෙක් පවා අනිකුත් ගිහියන්ට වඩා බෙහෙවින් උසස් තැනක ලා සලකනු ලැබේ. භික්ෂූන් රාජාඥාවට අවනත විය යුතු බව බුදුන් වදාරා ඇත්තේ මෙබැවිනි.

එබැවින් ලංකාවේ රජු ශාසනයේ ආරක්ෂකයා හැටියටද, බුද්ධ ශාසනයෙහි ලෞකික නායකයා හැටියට ද ගැනුණු බව පුදුමයක් නො වේ. ක්ෂත්‍රියයකු රජෙකු වන්නේ බුදුන්වහන්සේගේ පාත්‍රය හා සිවුර රකින්ට බව 10 වන ශතවර්ෂයේ දී 4 වන මිහිඳු රජ පවසයි. බුද්ධ ශාසනයේ ආරක්ෂකයා හැටියට රජතුමා කොතරම් මහත් ගෞරවයට පාත්‍ර වී ද යත්, කලින් බුදුන් හා රහතුන් ගැන කීමේ දී පමණක් ව්‍යවහාර වුණු වචන පවා මෙකල ලංකාවේ රජුන් ගැන සදහන් කිරීමේහි දී ව්‍යවහාරයට පැමිණියේය. බුදුකෙනකුගේ නැතහොත් රහතන් කෙනකුගේ අභාවය සම්බන්ධයෙන් පමණක් ව්‍යවහාර වුණු පිරිනිවී (පරිනිබුත ) යන මේ වචනය 10 වන ශතවර්ෂයේ දී රජකුගේ අභාවප්‍රාප්තිය සම්බන්ධයෙන් ව්‍යවහාර කරන ලද්දේය. මෙසේ හරි හැටියට නම්, බෞද්ධ භික්ෂුවක් ගැන සදහන් වන තැනේදී පමණක් ව්‍යවහාර කළයුතු වත් හිමි (උපජ්ඣායසාමී) යන මේ පදය අධික ගෞරවයක් හැටියට 18 වන ශතවර්ෂය පමණ කාලයේ පටන් රජවරුන් උදෙසා ද යෙදුණේය.

බුද්ධශාසනයෙහි ආරක්ෂකයා හා එහි ලෞකික නායකයා වශයෙන් රජුගේ මුලික යුතුකම් වලින් එකක් වූයේ ශාසනාභිවෘද්ධීය සැලසීමයි. බුද්ධ ශාසනය භේදභින්න වී නැතහොත් දූෂිත වී පවත්නා බව පෙනී ගිය බොහෝ විට රජවරුන් “ශාසන ශෝධන” කරවූයේ එබැවිනි. සසුන කෙලෙසූ, සසුනෙහි රැඳි සිටීමට නුසුදුසු වූ, මිථ්‍යාදෘෂ්ටික මතධාරීන් නිතිය මඟින් හෝ සිවුරු හරවා නෙරපීමෙන් හෝ මැඩ පැවැත්වීම රජයේ යුතුකමක් විය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.