Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහින්දාගමනය ආගමික දායාදයක් පමණක් ද?

දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ පුත්‍ර, මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය මිහිඳු මහ රහතන් වහන්සේ මෙවන් පොසොන් පුර පසළොස්වක් දිනෙක ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කොට, මෙරට දේවානම්පියතිස්ස රජතුමා බෞද්ධයකු බවට පත්කොට, කළ සේවාව අමරණීය බව බෞද්ධ ලෝකයා ම දනිති. නිසි ආගමක් නො තිබුණ එවක විවිධ විශ්වාසයන්ගෙන් යුතුව ක්‍රියා කළ බව පැහැදිලි වන්නේ ය.

ඒ සියල්ල එක ම ධජයක් යටතට ගැනීමට මිහිඳු මාහිමිපාණෝ දේවානම්පියතිස්ස මහාරාජයාත් සමග අතිශය බුද්ධිමත් ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කළ බව අපේ සාම්ප්‍රදායික වෘත්තාන්තයන්ගෙන් ද දේශීය විදේශීය ඉතිහාසඥයන්ගේ ප්‍රකාශනවලින් සහ ශිලා ලේඛන, පුස්කොළ ආදි පැරැණි ලිපි ලේඛනවලින්ද පැහැදිලි වන්නේය.

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවන වකවානුව වන විට මෙරට ගෝත්‍රික ජන කොටස් තුනක් විසූ බව ඓතිහාසීය වාර්තාවලින් පැහැදිලි වේ. අනාදිමත් කාලයක පටන් මෙරට ජන්මභූමිය කොටගෙන මහියංගණ ප්‍රදේශයෙහි “ සිරීසවස්තුපුර” ප්‍රධාන අගනුවර කරගත් යක්ෂ ගෝත්‍රික ජනතාව ඉන් එක් කොටසකි. මහරඹෑවැව ප්‍රදේශයෙහි පිහිටි ලංකාපුර රාජධානිය ද යක්ෂ ගෝත්‍රිකයන්ගේ තවත් ප්‍රධාන නගරයක් විය. ඔවුන්ගේ ගමනාගමනය සිදුවූයේ බටහිර වෙරළේ තම්මැන්නා නුවර සහ නැගෙනහිර වෙරළේ තිරිකුණාමල වරාය දක්වා වූ මාර්ගයකිනි. ලංකාවේ බටහිර වෙරළේ සිට දකුණ දක්වා දීර්ඝතම මුහුදු වෙරළ ආශි‍්‍රතව කැලණිය අගනුවර කොට ගෙන නාග ගෝත්‍රික අපේ මුතුන් මිත්තෝ විසූහ. නාගදිවයින ද ඔවුන්ගේ තවත් රාජධානියකි.

දේව ගෝත්‍රික මිනිසුන් වාසය කළෝ කඳුකරයෙහි ය. ඔවුන්ගේ ප්‍රධාන නගරය වූයේ සබරගමුවයි. මේ අතර බුදුපියාණන් වහන්සේගේ සුළුපියාණන් වූ අමිතෝදන රාජයාගේ පුත්‍ර පණ්ඩු ශාක්‍ය රජුගේ දියණිය වූ භද්දකච්චානා කුමාරිකාව තවත් ශාක්‍යවංශික දෙතිසක් කුමරියන් පැවිදි වෙස් ගන්වා එරට මංගල ප්‍රශ්නයක් මත පැනනැගුණු අර්බුදයකට විසඳුම් වශයෙන් ගංගානම් ගඟ මුහුදට වැටෙන ආසන්නයේ දී රුවල් නැවක පාකර හරින ලදහ. එකී රුවල් නැව ශාක්‍ය කුමරිය සමග පාවී ආවේ අපේ රටේ නැගෙනහර වෙරළෙහි තිරියාය ප්‍රදේශයෙහි ගෝණගම්තොට වෙරළට ය.

මේ සිද්ධියට මාස තුන හතරකට කලින්, විජය කුමරුගේ මලනුවන් වු දඹදිව සිංහ පුර සුමිත්‍ර රජුගේ පණ්ඩුවාසදේව (පඬුවස්දෙව්) කුමරා ලංකාවට පැමිණියේ විජය රජුගේ අභාවයෙන් පසු සිංහ වංශිකයන්ගේ රාජ්‍යය ස්ථාවර කරනු පිණිසය.

එවකට මෙහි පැමිණි පඬුවස්දෙව් කුමරු අවිවාහකව සිටි කෙනෙකුන් වූ බැවින්, ඒ දිනවල පෙර කී භද්දකච්චානා කුමරිය පඬුවස් නුවරට කැඳවා අගමෙහෙසිය බවට පත්කොට රාජ්‍යාභිෂේක කරන ලද්දෝය. විජය කුමරු සමග ආ හත්සීයක් පිරිසෙහි ඥාති මිත්‍රාදීන් දහස් ගණනින් විටින් විට පැමිණ මෙම සෞභාග්‍ය සම්පන්න දේශයෙහි පදිංචි වූහ. විජය රජු උපායශීලිව යක්ෂ ගෝත්‍රික රජවරුන්ගේ ලංකාපුර පැවති රාජකීය මංගල උත්සවයක දී කුවේණිය සහාය කොටගෙන යක්ෂ ගෝත්‍රික ප්‍රධානින් මරා මෙරට රජකම සිංහ ගෝත්‍රික වංශයට අත්කර ගත්හ. භද්දකච්චානා පඬුවස්දෙව් දෙපළගේ සම්බන්ධය නිසා භද්දකච්චානාව ගේ දෙවන සහෝදරයා වූ රාමගෝණ ශාක්‍ය කුමරු ශාක්‍ය වංශික මහ පිරිසක් සමග නැගණිය බැලීමට ලංකාවට පැමිණි පසු ඒ සියලු දෙනාට ලංකාවේ තිරිකුණාමලය ප්‍රදේශය භාරදුන්හ. පසු කලෙක එම ප්‍රදේශය රාමගෝණ නමින් ම ප්‍රසිද්ධ විය. කන්තලේ සේරුවිල තිරිකුණාමල ප්‍රදේශය එයයි .

ඉන් පසු මේ සෞභාග්‍ය සම්පන්න දේශය ගැන අසා භද්දකච්චානා ශාක්‍ය දේවියගේ උරුවේල නමැති තුන් වැනි සහෝදරයා ද සහපිරිවරින් මෙහි පැමිණි විට ඔහුටද කල්පිටිය මන්නාරාම දිසාව ඇතුළු යාපනය ප්‍රදේශය භාරදුන්හ. උරුවේල නමින් ප්‍රකට වූයේ ඒ පළාතයි. තුන්වෙනුව පැමිණියේ ඒ පවුලේ ම සතර වන සහෝදරයා වූ අනුරාධ කුමරාය. එතුමා ඇතුළු පිරිසට පඬුවස්දෙව් රජ පවරන ලද්දේ අනුරාධපුර ප්‍රදේශය යි. දඹුල්ල , ගලේවෙල, කුරුණෑගල දක්වා ප්‍රදේශය පවරන ලද්දේ පසුව පැමිණි විජිත ශාක්‍ය කුමරුට ය. පස් වැනි වරට පැමිණියේ දීඝායු කුමරා ඇතුළු ශාක්‍ය පිරිසයි. ඔහුට භාර කළේ අම්පාර මොනරාගල ප්‍රදේශයයි. අදත් එය දිගාමඩුල්ල නමින් හඳුන්වනු ලැබේ. අවසාන වරට පැමිණියේ රෝහණ කුමරා ය. ඒ බුදුරජාණන් වහන්සේගේ පෙර කී පරිදි බාප්පාගේ පුත්‍රයා වූ පණ්ඩුශාක්‍ය රජුගේ බාල ම පුතණුවෝය.

රෝහණ කුමරාටත් ඔහුගේ පිරිසත් සමග නේවාසිකව රට දියුණු කරන ලෙස පවරා දකුණු ලක භාර කළේ ය. ඒ අදත් රෝහණ දේශයයි. දැනුදු මේ පළාතේ පවතින්නේ ඒ ශාක්‍ය කුමාරවරුන්ගේ නාමයන්ගෙන් ම ය.

මේ අතර ධර්මාශෝක මහාරාජ සමයෙහි මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව වැඩම කොට මෙවන් පොහෝ දිනෙක මෙරට බුදුදහම ස්ථාපිත කිරීමට කටයුතු කළ සේක. දේවානම්පියතිස්ස මහාරාජයා ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. එයින් හය මාසයකට පසු එම වර්ෂයේ ම උඳුවප් පුර පොහෝ දින (දෙසැම්බර්) සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධියත් භික්ෂුණීන් පිරිසකුත් සමග ලංකාවට සැපත්වන විට ධර්මාශෝක මහාරාජයා විවිධ කර්මාන්තයන්හි සමත් කණ්ඩායම් දහඅටකට අයත් දෙතුන් දහසක පිරිසක් ද ලංකාවට එවන ලද්දේ ය. ඔවුහු ද මෙරට ම පදිංචි වූහ. මේ අනුව මෙරට විසූ ඉපැරණි පරම්පරාගත,

1. යක්ෂ ග්‍රෝතික මිනිස්සු
2. මුහුදුකරයේ විසු නාග ගෝත්‍රික මිනිස්සු
3. කඳුකරයේ විසූ දේව ගෝත්‍රික මිනිස්සු
4.රටේ බලය ඇල්ලූ විජයගේ සිංහ ගෝත්‍රික මිනිස්සු
5. භද්දකච්චානා ශාක්‍ය කුමරිය සමග පැමිණි ශාක්‍ය වංශික පිරිස
6. ජය ශ්‍රී මහා බෝධිය සමග පැමිණි පෙර කී දහ අට කුලයන්ට අයත් මහ පිරිස

මෙයාකාරයෙන් විවිධ කොටස්වලට අයත් ජනතාව එකම සිංහ කොඩිය යටතට ගත්තේ, මිහිඳු මහරහතන් වහන්සේ සහ දේවානම්පියතිස්ස මහරජතුමා ය.

මේ සියල්ලන්ට ම සමගියෙන් එකමුතු වීමට යෙදූ උපාය නම් කිසිදු වාද භේදයකින් තොරව ඉදිරිපත් වන සෑම කෙනෙක් ම පැවිදි කිරීමයි. අනුලා දේවිය ඇතුළු කාන්තාවන් ද පැවිදි වීම නිසා ගෝත්‍ර ප්‍රශ්නයකින් තොරව කාන්තාවෝද පොදුවේ ම පැවිදිවන්නට පටන් ගත්හ. ඉසුරුමුනි විහාරයට ඒ නම වැටුණේ ඉසුරුමත් පවුල්වල කුමරුවන් දහසක් එකවර පැවිදිවීම නිසා ය. ඔවුන් අතර යක්ෂ නාග දේව , සිංහ, ශාක්‍ය සහ බෝධිය රැගෙන ආ පිරිසට අයත් වූවෝ ද ඇතුළත් වූහ. මෙසේ ස්ත්‍රි පුරුෂ දෙපක්ෂය ම සාමූහික ව පැවිද්දට පත්ව එක ම ශාස්තෘන් වහන්සේගේ ධර්මය අනුගමනය කරමින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන උදාර ගුණ අනුව එකට ජීවත්වීම සඳහා හුරු පුරුදු කරන ලද හෙයින් පරම්පරා තුන හතරක් ගතවෙත් ම ලංකාවේ ගෝත්‍රික ප්‍රශ්නය අභාවයට ගොස් එක ම සිංහ ධජයක් යටතේ වෙසෙන සිංහල බෞද්ධ ජනතාවක් බවට පරිවර්තනය විය.

භද්දකච්චානා කුමරියගේ දියණිය උම්මාද චිත්‍රාවෝය. ඇය සරණපාවා ගත්තේ දිගාමඩුළු ප්‍රදේශයෙහි ආදිපාදවරයා වූ භද්දකච්චානා කුමරියගේ ම අයියණ්ඩි කෙනෙක් වන දීඝායු ශාක්‍ය කුමරුගේ පුත්‍ර දීඝගාමිණී කුමරා ය. ඔහුගේ මව් බවට පත්වූවා, මෙරට රාවණ පෙළපතට අයත් යක්ෂ ගෝත්‍රික සිථිලා කුමාරිකාව යි. දීඝායු සිථිලා, දෙපළගේ පුත්‍රයා ඉහත කී දීඝගාමිණී කුමරු ය.

දීඝායු සිථිලා දෙපළගේ පුත්‍ර දීඝගාමිණී කුමරු එක්ටැම් ගෙයක රැකවරණ ලා සිටි උම්මාදචිත්‍රාව කෙසේ හෝ සරණපාවා ගත්තේ ය. අනුරාධපුරය ප්‍රථම වරට අගනුවර කරගත් පණ්ඩුකාභය කුමරා ඒ දෙපළගේ එක ම පුතණුවෝ ය. පණ්ඩුකාභය රජුගේ හැත්තෑ වසරක රාජ්‍ය සමයෙන් පසු රජ බවට පත් මුටසීව රජ මේ පණ්ඩුකාභය රජුගේ පුත්‍රයාය. ඔහුගේ රාජ්‍ය කාලය සැට වසරකි.

මුටසීව රජුගේ දෙ වැනි පුත්‍රයා දේවානම්පියතිස්ස රජ්ජුරුවෝය. ඒ මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ සමය යි. මේ අනුව යක්ෂ ගෝත්‍රික, නාග ගෝත්‍රික, දේව ගෝත්‍රික , සිංහවංශික, ශාක්‍ය වංශීක, බෝධිය රැගෙන ආ දහ අට කුලයක පිරිසත් ක්‍රමයෙන් මිශ්‍ර බවට පත්ව සිංහ නාමයෙන් ම එකම ජනතාවක් බවට පත්විය. මේ සිංහල වර්ගයාගේ ඉතිහාසයයි.

මෙයින් පැහැදිලි වන්නේ අනුබුදු මිහිඳු මාහිමියෝ රටක් එකම ජාතියක් ආගමක් සහ විවිධ කලාශිල්පයන්ගෙනුත් පිරිපුන් ශ්‍රී ලංකාද්වීපයෙහි ප්‍රෞඪ ජනතාවක් බිහිකිරීමට යෙදු උපායශීලි ආකාරයයි. මේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ දේවානම්පියතිස්ස මහාරාජයාත්, එවකට සිටිය වගකිවයුතු ප්‍රභූවරුනුත් සහාය කොට ගෙන මේ ඇතිකළ මහඟු සේවාව නිසා ලංකාවේ ගෝත්‍රවාදය නැත්තට ම නැතිවී ගියේය.

එසේ නො වුණි නම්, ගෝත්‍රික යුද්ධ අදටත් මෙහි පවතිනු ඇත. මේ ගෝත්‍රික වාදය දැනුදු විවිධ රටවල ඔවුනොවුන් ඇන කොටා ගන්නා ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. පොසොන් පොහොයෙන් ඇතිවූ අපේ දියුණුව ගැන තව තවත් සලකා බැලීමට උත්සාහ දරත්වා!


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.