මා බුදුදහම උගත් හැටි
ඩැනී ෆිෂර්
පරිවර්තනය -
නාරාවිල පැට්රික්
මෙහි පළ වන්නේ 2011 ඉන්ක්වයරිං මයින්ඩ් සඟරාවේ පළ වූ
Growing in to Practice ලිපියේ පරිවර්තනයයි. එහි ලේඛකයා ඩැනී ෆිෂර් ය. ඔහු
University of West ආයතනයේ පත් කරනු ලැබූ, ගිහි බෞද්ධ ඇමැතිවරයා ද,
මාහාචාර්ය වරයෙක් ද, එහි බෞද්ධ නියෝජිත වැඩසටහනේ සම්බන්ධිකාරකයා ද
වෙයි.
මගේ වයස අවුරුදු දහ අටක්ව තිබියදී බුදුදහම සමඟ මගේ පළමුවන අත්දැකීම
දැඩි ලෙස මා සසල කළේ ය. මම මිතුරන් සමඟ මාර්ටින් ස්කෝසස්ගේ ගෞරවණීය
දාහතර වැනි දලයි ලාමා තුමාගේ චරිතාපදානය පිළිබඳ “කුන්දුන්” චිත්‍රපටය
බලන්නට ගොස් සිටියෙමි. ඒ වන විට විශ්ව විද්‍යාලයේ දී චිත්‍රපට ලෝලියකුව
සිටි මම නියත ලෙසින් ම ස්කෝසස් යනු කවරෙක් දැයි දැන සිටියෙමි. එහෙත්
බුදුන් වහන්සේත්, දලයි ලාමාත් ගැන දැනුමක් මට තිබුණේ නැත. කෙසේ වෙතත්
සිනමාපටය නිර්මාණාත්මකව බෙහෙවින් වැදගත් වනු ඇතැයි මට සිතිණ. එය වැදගත්
තොරතුරු සම්භාරයක් සහ කනගාටුදායක ඉතිහාසයක් ද ඉදිරිපත් කර තිබුණු අතර
විශේෂයෙන් ම බෞද්ධ ජීවිතය පිළිබඳ මවිතකර හැඳින්වීමක් විය. ඒ සිනමාපටය
අවසානයේ දැක්වෙන පහත සඳහන් උපුටනයෙන් මගේ සිතිවිලි අන්ද මන්ද කරන බවක්
මට දැනිණි. එකී උපුටා ගැනීම ශාන්තිදේවගේ බෝධිචර්යාවතාරයෙනි. එහි මෙසේ
සඳහන් වෙයි.
මගේ සතුරෝ ශූන්‍යත්වයට යෙති
මගේ මිතුරෝ ද ශූන්‍යත්වයට යෙති
මම ද ශූන්‍යත්වයට යමි
එපරිදි සියල්ලෝ ශූන්‍යත්වයට යෙති
හුදු සිහිනයක අත්දැකීමක් මෙන්
මා සතුටක් ලබන කුමක් වූවත්
හුදු මතකයක් පමණක් වන විට
ගිය දේ ගියා ම ය
යළි එලෙසින් දකිනු නොහැකි ය
එදා පමාවී රාත්‍රි ආහාරය ගන්නා විට මගේ මිතුරෝ චිත්‍රපටයේ නිර්මාණාත්මක
රචනය සහ ආකර්ෂණීය නිෂ්පාදන සැලැස්ම ගැන අතිශයෝක්තියෙන් වර්ණනා කරන්නට
පටන් ගත්හ. මා තුළ කෑමෙහි රුචියක් නොවී ය. මම වාඩිවී සලාදය කූරුගාමින්
සිටියෙමි. ඉහත සඳහන් උපුටා ගැනීම මගේ බඩගින්න පලවා හැර තිබිණ.
නින්දට යන කල්හි ඒ ගීපද නිරායාසයෙන් මගේ හිස්ගෙඩිය තුළ රැව් දෙන්නට
වූයේ මරණය වෙත මෙහෙයවන්නාක් මෙනි. එසේ වූයේ බිය වැඩි වෙමින් බලවත් වන
කල්හි ය. “ඔන්න ආයෙත් ඒ වගේමයි, “ මම එසේ සිතමි. “කමක් නෑ, ඒක හරි
භයානකයි. ඒත් මට දරා ගන්න පුළුවනි. ඒ වුණත් මම හරියට මහ රෑ අමුතු
ගෝරනාඩු වලින් තැති ගත්තු ළමයෙක් වගෙයි.” එහෙත් ඒ කිසිවකින් මිදෙන්නට
සහාය වන්නට ඉල්ලා සිටීමට කෙනෙක් නොවූහ. මා සිටියේ මා අවදි කරවන බියකරු
සිහිනයක් මැද ය. එය ඇත්ත බවට සියලු ලකුණු එහි අත්දකින්නට තිබිණ. එනම්
වේගයෙන් සලිත වන මනස, පීඩාවට පත්ව ගැහෙන හදවත සහ හාමතින් පෙළෙන උදරයත්
ය. “කරුණා කරල ආයෙත් නම් එපා,” යන හඬකි. සත්තකින්ම ඒ රාත්‍රිය තවත්
එවන් නින්දත් නැති රාත්‍රීන් වැලකට මුල පිරීමක් වැනි ය.
එකී අප්‍රමාණ අසහනය එක ම හැටියෙන් දිගින් දිගට ම ඇරඹිණ. ඒත් නිකම්ම ම
නොව මරණය පිළිබඳ සිතිවිල්ලත් සමඟ ය. එවිට මා තුළ තැති ගැන්මක් ඇති වන
බව දැනිණ. එයට හේතුව මරණය පිළිබඳ නොවැළැක්විය හැකි, ගුප්ත සහ නිමාවක්
සමඟ කවර ආකාරයක හෝ සාමකාමිත්වයකින් තොරව වැඩිහිටියකු බවට පත්ව සිටීම
යි. පළමුවෙන් මගේ සිත නොඉවසිල්ලෙන් කිසියම් කාරියකට යොමු වෙයි. එනම්,
“මම මැරෙන්නෙ කවද ද? ඒ කොහොම ද? ඊට පස්සේ මොක ද වෙන්නෙ ? එතකොට විඥානය
පිළිබඳ මොන විධියක හරි පැවැතීමක් තියනවද? අන්තිමට කොයි හැටියෙන් හරි
ප්‍රත්‍යක්‍ෂ පුද්ගල විඥානයක් පමණක්වත් තියේවිද? ඒ කියන්නෙ ආත්මයක්?”
මෙසේ එක පිට එක සහ අප්‍රමාණව ගොඩ ගැසෙන පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න
වලට මුහුණ දීමත් සමඟ මගේ හදගැස්ම ඉහළ නඟින්නට තරම් බියක් ඇති වෙයි.
එවන් අදහස් නිරාකරණය පිණිස සැලැස්මක් නොමැති වීමත් සමඟ සිදුවන්නේ මගේ
බිය වැඩිවීම පමණි. එයින් ලද හැකි අත්දැකීම නම්, අභ්‍යන්තර ඉන්ද්‍රියයන්
ගැන සිතතොත්, විශේෂයෙන් බඩ පෙරළීම සහ බඩවැල්වල පිහිටීම වෙනස්වීමයි. එය
නැවත නැවත ද සිදු වෙයි. ඉතා නොමේරූ වයසේ සිට ම කිසිවකු, කොහෙත් ම
සදාකල් ජීවත් නොවන බව මම දැන සිටියෙමි. සදාකාලිකත්වය පිළිබඳ පොරොන්දුව
හෝ අමරණීයත්වය බලාපොරොත්තු සහගත සිතිවිල්ලක් පමණි. එහෙත් මම දැන්
සියල්ල ඉවසා දරා සිටිමි. සත්තකින් ම සහ බරපතළ ලෙස ඉවසා දරා සිටිමි.
බුදුදහමේ පිහිට සොයන්නට යොමු වන්නට කලින් එය මට අවබෝධ වන්නට තවත් මාස
දෙකක් පමණ ගත වන්නට ඇත. (ඉනුත් වැඩිමනත් රාත්‍රීන් නින්දෙන් තොර ඒවා ය)
ඒකාන්තයෙන් එය සිදුවූයෙත් අහම්බෙනි. එනම්, දිනක් පොත් සාප්පුවකදී
The World of Tibetan Buddihism කෘතියේ පිටපතක් මගේ ඇස ගැටිණ. ඒ එක්ක ම
කලකිරීම පිළිබඳ සංවේදි හැඟීමක් මා තුළ ජනිත විය. පිටකවරයේ කතුවරයාගේ නම
ලෙස සඳහන් වූයේ අති උත්තම දලයි ළාමා ය. එතුමාගේ මුහුණ දීප්තිමත්
සිනාවකින් බැබළිණ. පුද්ගලයා කෙතරම් අව්‍යාජව සතුටින් සිටින බව
නිරූපිතදැයි කියතොත් අනෙක් බොහෝ දෙනාගේ මෙන් මගේ සිත ද පැහැර ගත්තේ ය.
කෙසේ වෙතත් මම මවිතයට පත්විමී.මට ප්‍රශ්නයකි. එනම් හුදෙක් එතුමා එතරම්
සතුටින් සිටියදී, සියලු දේ සහ සියල්ලන් ද විනාශයට හෙවත් මරණයට පත්
වෙතියි නොවැළැක්විය හැකි බව එතරම් ගැඹුරින් තේරුම් ගන්නේ කෙසේද? යනුයි.
හණික පොත මිලදී ගත් මම, දලයි ලාමාත්, අනෙක් සියලු ම බෞද්ධයනුත් සාමය
කෙරෙහි අන්‍යෝන්‍ය ලෙස උපක්‍රම යොදමින් සිටින්නේ කෙසේ දැයි විමසා
බලන්නට අදිටන් කර ගතිමි.
උපක්‍රම වෙනුවට මා තේරුම් ගත්තේ පුහුණුව හෙවත් පිළිවෙත් මඟයි. ධර්මය
අධ්‍යයනය යන්නෙන් අදහස් කැරෙන්නේ පුහුණුව හෙවත් අභ්‍යාසයයි. ඒ එක්ක ම
අපට කියා සිටින්නේ අධ්‍යයනය හෙවත් ඉගෙනීම ගැන සිතීම පමණක් නොවේ, ධර්මය
හැදෑරීම හෙවත් ධාරණයයි. මගේ පුහුණුවේ වඩාත්ම හරවත් අංශය ලෙස හණික
එළිදරවු වූයේ දුකින් මිදෙන්නට අත්දැකීම් ලබනු පිණිස දලයි ලාමාතුමා
එතරම් සිත්ගන්නා ලෙස ඉගැන්වීම සහ ජීවත්වීමේ ගුණාත්මක බව සහ අනෙක් අය
සඳහා වූ ප්‍රාර්ථනාවයි. මගේ ජීවිතයේ දී කරුණා ජීවය පිරීමට දියවර ඉසින
විට පැහැදිලි ලෙස ම මගේ සිතෙහි පැවති කනස්සල්ල සහ සිත් තැවුල් සමනය
වන්නට පටන් ගත්තේ ය. නිසැකයෙන් ම බෞද්ධ දර්ශනය මගේ බුද්ධියට ආමන්ත්‍රණය
කළ අතර, අසාමාන්‍ය අවබෝධය පුළුල් කිරීමට බෙහෙවින් උපකාරක විය. මම මේ
මොහොතේ දී සිනමා පටයෙන් ග්‍රහණය කළ වැදගත් කරුණු ආගමික අධ්‍යයනයට මාරු
කර ගතිමි. එහෙත් කරුණාව මාගේ මනසින් ඉවත් කර හදවතට අවබෝධ කර දෙන්නට
පටන් ගත්තෙමි.
අනතුරුව නත් හන්, ඒ.ටී. ආරියරත්න, සුලක් සිවරාක්‍ෂ, මහා ඝෝෂානන්ද සහ
අවුං සාං සූකි වැනි වෙනත් කාර්ය සාධක බෞද්ධයන් විසින් දිරි ගන්වනු ලැබූ
මම මගේ ජීවිතයේ පළමු වරට සමාජ සේවාව සඳහා කැප වන්නට පටන් ගතිමි. ඒ අනුව
සාත්තු නිවාස බලන්නට යෑමේ සිට පාරිසරික කටයුතු තෙක් හැම දෙයක් ම සොයා
බැලිමි. නිසංසලේ පණ අදිමින් සිටි කාන්තාවක සමඟ ඉඳගෙන සිටියෙමි. ගඟකින්
කුණුකසළ ඉවත් කෙළෙමි, මිතුරන් සහ දන්නා හඳුනන අයට අල්ලාප සල්ලාපයෙහි
යෙදෙන්නට වුවමනාවූ විට පහසුකම් සැලසීමි.
මම නිදි නොලත් රාත්‍රීන්හි විකාරයක් මෙන් තරයේ හුදකලා බවක් මට දැනී
තිබිණ. එවන් කල්හි මට දැනුණේ ලොව සිටින වඩාත් දුකින් පීඩාවට පත්
තැනැත්තා මා පමණක් ම වෙති යි යන හැඟීමයි. එවිට මම කෙතරම් දුරට අනෙක් අය
සමඟ බැඳී සිටිම් දැයි කරුණාව විසින් මට අවබෝධ කර දෙන්නට පටන් ගැනිණ.
සිය දරුවාගේ දුක්ඛදායක මරණය අත්දුටු, පුරාතන ඉන්දියාවේ මවක වූ කිසා
ගෝතමී පිළිබඳ බෞද්ධ කතාපුවත මා තුළ දෝංකාර දෙන්නට පටන් ගැනිණ. ඕ තොමෝ
සිය පුතුට නැවත පණ දෙන ලෙස බුදුන් වහන්සේට අයැද සිටියා ය. උන්වහන්සේ
ඇගේ ඉල්ලීමට එකඟවූ සේක්, කවර දාකවත් මරණයක් අත්නුදුටු නිවසකින් අබ
මිටක් පමණක් තමන් වහන්සේ වෙත ගෙනෙන ලෙස කියමිනි. එපරිදි කිසා ගෝතමී අබ
සොයන විට අනිත්‍යතාව සහ දුකෙහි පොදුබව ඇයට කෙමෙන් අවබෝධ වන්නට පටන්
ගැනිණ. ගිය ගිය තැන හැම නිවසකම පවුලේ කවුරුන් හෝ මරණයට පත්ව ඇති බව ඇයට
අවබෝධ විය. එනම්, මවක හෝ පියකු, මිත්තණියක හෝ මුත්තණුවකු, දැරියක හෝ
දරුවකු, ළදැරියක හෝ ළදරුවකු ආදී ලෙසිනි. එසේ නිවසක් පාසා ගිය කිසා
ගෝතමී අවබෝධය ලද්දි සත්‍යය අත්දුටුවා ය. සිය පුතුගේ මරණය නිසා මවකට
දායාද කරන ලද්දේ ඇය අත්දැක තිබුණු ලෝකය කෙතරම් කුඩා ද යන්න පමණක් නොව,
සැබෑ වූ ලෝක කෙතරම් විශාල ද යනු යි.
කිසාගෝතමී සේ ම, තමන් විසින් ම නියම මාර්ගය අවබෝධ කර ගත් උත්තම
ගුරුවරුන්ගෙන් ලත් ආශිර්වාදයට ඔවුනට ස්තූති කරන්නට මට ද හැකිව තිබේ.
එක්තරා සායනයක ප්‍රධාන අධීක්‍ෂක වරයෙකු මාගේ ස්නායුක පැවැත්ම ස්ථාවරව
තබා ගන්නට උපදෙස් දෙමින් කිවේ ඒවා නිතර ම පරීක්‍ෂාවට යොමු කරන ලෙසයි.
තව දුරටත් ඔහු මෙසේ ද කීය.
“මතක තබා ගන්න, හුදෙක් ආරක්‍ෂාව පිරිනැමීම ම ආරක්‍ෂාවයි.” මගේ තවත්
තිබ්බතීය බෞද්ධ ගුරුවරයකුගේ උපදේශය මෙසේ ය. “නියම කරුණාව වනාහි තමන්ගේ
දරුවා දියෙහි ගිලෙනු දැක දැක ඔහු බේරා ගන්නට අත් නැති මවක ගේ ළයෙහි
ජනිත අනුවේදනීය හැඟීමයි.” මෙවන් ආරක්‍ෂක උපදේශකයන්ගෙන් ලත් ප්‍රතිලාභ
නිසා මම මගේ කරුණාව ප්‍රගුණ කර ගෙන සිටිමි. එයින් මම මගේ ආධ්‍යාත්මික
ශක්තිය වර්ධනය කර ගෙන සිටිමි. එමඟින් මම මගේ සිත තුළ ජනිත බිය සපුරා
ක්‍රියා විරහිත බවට පත් කරමින් නිදහස්ව සිටිමි.
මා ඉගෙන ගෙන ඇත්තේ මගේ ප්‍රායෝගික පුහුණුව සහ මගේ ගුරුවරුන්ගෙන් පමණක්
නොවේ. එසේ ම මම මා සේවාව කළ තැන් වලින් ද බොහෝ දේ ඉගෙන ගතිමි. එක්තරා
රාත්‍රියක පණ අදිමින් සිටි කාන්තාවක අසල සිටියදී, ඇගේ දුකින් පිරී ගිය
ජීවන පුවත විස්තර කරමින් සිට අතරමඟ නතර කර, ඉදිරියට නැමී මෙසේ කියන්නට
පටන් ගත්තාය. “ඔහෙ දන්නවද, මිනිස්සු ඔහෙට මේ වගේ දේවල් කියද්දි ඔහෙ ඒ
තරම් දුකින් බලා ගෙන ඉන්න ඕනෑ කමක් නෑ.” එසේ කීමෙන් එක සමාන ලෙස
ප්‍රාණවත් සහ ප්‍රයෝජනවත් වූ ද, ස්ථාරව සේ ම ප්‍රබලවූ ද ඉදිරිපත් කිරීම
යන දෙකෙහි ම වැදගත්කම සොයා ගන්නට ඕ මට උදවු කළා ය.
“තුන්දුන්” චිත්‍රපටය තිරගත වීමෙන් වසර දෙකකට පසු, නව සහස්‍රකය පටන්
ගන්නට ආසන්නයේ, “ඇන්ටියෝක් එඩියුකේෂන් එබ්බ්‍රෝඩ්හි” ඉන්දියානු බෞද්ධ
අධ්‍යයන වැඩමුළුවක ශිෂ්‍යයකු ලෙස ඉගෙන ගන්නට මට අවස්ථාව ලැබිණ.
නින්දෙන් තොර රාත්‍රිකාල අවසන් විය. මම තවදුරටත් නන්නාඳුනන අයගෙන්
හුදකලා කරනු නොලැබීමි. මට කෙළින්ම සැක බියෙන් තොරව මුහුණ දෙන්නට හැකි
විය. එහිලා මට බුදුදහමට ස්තූති කරන්නට හැකිව තිබිණ. |