පුරිසදම්ම සාරථී
නම් වන සේක
එස්.ඩී. රසිකා පි‍්‍රයදර්ශනී
බුදුරදුන් ඒ ඒ පුද්ගලයන් දමනය කිරීම විෂයෙහි එකම ක්‍රියාකලාපය අනුගමනය
නොකොට ඒ ඒ අවස්ථාවට ගැළපෙන ක්‍රියාකලාප අනුගමනය කළ බව පෙනේ. මානයෙන්
මුසපත්ව සිටි උරුවෙල් කාශ්‍යපයන්ගේ මානය දුරුකර
හැරීමට බුදුරදුන් ප්‍රාතිහාර්ය දැක්වූ බව
බෞද්ධ සාහිත්‍ය තුළ සඳහන්ය.
“ ඉතිපිසෝ භගවා ,අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ,
ලෝකවිදූ අනුත්තරෝ, පුරිසදම්මසාරථී සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාතී “
සකල ලෝකයක් සනසාලූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ නවඅරහාදී බුදුගුණයන්
වන්දනාවට ලක් කරන්නේ ඉහත පාඨයෙනි. ඒ තුළ ඇති උත්තරීතර ගුණයක් වන
පුරිසදම්මසාරථී ගුණය පන්සාලිස් වසරක් පුරාවට ලෝසතුනට යහමඟ පෙන්වීමට
බුදුපියාණන් වහන්සේට උපකාර වූහ. “කේසී සූත්‍රය “ තුළ පැහැදිලි කැරෙන්නේ
බුදුරදුන්ගේ පුරිසදම්මසාරථී ගුණයයි.කේසි නම් පුද්ගලයා අශ්වයන් දමනය
කරලීමට අතිදක්‍ෂයෙකු වූ බැවින් අස්වදම්ම සාරථී ලෙස ප්‍රකට විය.
බුදුරදුන් අශ්වයන් දමනය කරන ආකාරය ඔහුගෙන් අසා සිටින කළ ඔහු පවසන්නේ
අශ්වයන් අල්ලා දමනය කරන බවත් එසේ කළ නොහැකි අයට දඬුවම් ලබාදී දමනය කරන
බවත් එසේත් දමනය කළ නොහැකි අය මරාදමන බවත්ය. අස්වදම්මසාරථී
බුදුරදුන්ගෙන් නුඹ වහන්සේ පුරුෂයන් දමනය කරන්නේ කෙසේදැයි විමසු කල්හි
බුදුරදුන් පිළිතුරු දේශනා කරන්නේ ඔබ අනුගමනය කරන පිළිවෙළම තමන්වහන්සේද
ක්‍රියාවට නඟන බවයි. කේසි නම් පුද්ගලයා විමතියට පත්ව තථාගතයන් වහන්සේ
මිනිසුන් මරන බවක් තමා කිසිදිනෙක අසා නැති බව පවසා සිටිවිට බුදුරදුන්
මරණය යනු බ්‍රහ්මදණ්ඩනය පැනවීම බව ප්‍රකාශ කර සිටී. බුදුරදුන්
පුද්ගලයින් දමනය කරලීමට විවිධ ක්‍රම ශිල්ප භාවිතා කළහ. බුදුරජාණන්
වහන්සේගේ පුරිසදම්මසාරථී ගුණය ප්‍රකටවීමට බලපෑ ප්‍රධාන කරුණු දෙකක්
වෙයි . එනම්,
බුදුරදුන්ගේ රූපකාය හා මහා පෞර්ෂ්‍යය,
බුදුරදුන් තුළ පැවැති අධ්‍යාත්මික ගුණකදම්බයයි.
කවර තරාතිරමක කෙනෙක් වුවද දමනය කිරීමට සමත් දෙතිස් මහා පුරුෂ
ලක්‍ෂණයන්ද අසුවක් අනූ ලක්ෂණයන්ගෙන්ද බුදුරදුන් සමන්විත වීම.
පුරිසදම්මසාරථී ගුණයෙහි සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැන්මට හේතු වූ බව
නොඅනුමානය. එපමණක් නොව මහා කරුණාව මහා ප්‍රඥාව අටලෝදහමින් කම්පා නොවීම,
ෂඩ් ආසාධාරණ ඥාන, දසබල ඥාන, චතුර් වෛශාරද්්‍ය ඥාන ආදි සුවිශේෂී
අධ්‍යාත්මික ගුණාංගයන්ද පුරුෂයන් දමනය කරලීමට බෙහෙවින් උපකාර වන්නට ඇත.
බුදුරදුන් තුළ පැවැති පුරිසදම්මසාරථී ගුණයට මිනිසුන් පමණක් නොව ආලවක,
සුචිරෝම කරරෝම යනාදී යක්ෂයින්ද, නාලාගිරි වැනි හස්තීන්ද ඇතුළත්ය.
“ සත්ථා දේව මනුස්සානං” සියලු දෙව් මිනිසුන්ට ශාස්තෘ වූ බුදුරදුන් ඒ ඒ
පුද්ගලයින් දමනය කිරීම විෂයෙහි එකම ක්‍රියාකලාපය අනුගමනය නොකොට ඒ ඒ
අවස්ථාවට ගැළපෙන ක්‍රියාකලාප අනුගමනය කළ බව පෙනේ. මානයෙන් මුසපත්ව සිටි
උරුවෙල් කාශ්‍යපයන්ගේ මානය දුරුකර හැරීමට බුදුරදුන් ප්‍රාතිහාර්ය
දැක්වූ බව බෞද්ධ සාහිත්‍ය තුළ සඳහන්ය. බුද්ධ කාලයේ වාද විවාද කිරීමට
ඉතා දක්ෂයෙකු ලෙසින් ප්‍රකටව සිටි සච්චකයන්ගේ නම ඇසූ පමණින් බොහෝ අය
බිය විය. ආත්මවාදයක් පිළිබඳව කරුණු දැක්වූ සච්චක බුදුරදුන් අනාත්මයක්
පිළිබඳව දේශනා කරන හෙයින් එහි හිස් බව බුදුරදුන් සමඟ වාදකොට සනාථ
කිරීමට මල, රාජ්‍යයෙහි පන්සියයක් පිරිස සමඟින් බුදුරදුන් මුණගැසීමට
පැමිණියේ ඔවුන්ගේ ඉදිරියේදීම එය සිදුකිරීමේ අරමුණිනි. එහෙත් සච්චක නම්
වාදශීලි පුද්ගලයා දමනය කිරීමට බුදුරදුන්ට එතරම් වේලාවක් ගත නොවිණි.
ආලවක නම් යක්ෂයා දමනය කිරීම විෂයෙහි බුදුරදුන් අනුගමනය කළේ
අනුරෝධතාවයයි.ආලවක නොමැති අවස්ථාවේ යක්ස විමානයට වැඩම කළ බුදුරදුන්ට
ආලවක පැමිණ ප්‍රකාශ කර සිටියේ වහාම තම විමානයෙන් පිටවෙන ලෙසයි. පළමුව
එයට අවනත වෙමින් ආලවකගේ චිත්ත ස්වභාවය වෙනස්කොට අනතුරුව ඔහු දමනය කොට
ශාන්ත කෙනෙකු බවට පත් කළහ. අංගුලිමාල වැනි ආයුධ ඇතැතිව ගම්දනව් බිය
ගන්වමින් ක්‍රියාකළ දරුණු පුද්ගලයෙකු දමනය කිරීමට එම පාලු පෙදෙසට
බුදුරදුන් වැඩම කළේ ආයුධයක් අතැතිව නොවේ. රා කළ දාසයක් පෙවීමෙන් මත්
වූ නාලාගිරි හස්ති රාජයා බුදුරදුන් ඉදිරියට විත් දෙදණ නමා වැඳ වැටුණේ
සම්බුදුරදුන්ගේ මෛත්‍රියේ අනුපම බලමහිමය නිසාය. ඡන්න හිමියන් මානයෙන්
සිටි බැවින් උන්වහන්සේට ධර්මකරුණු වටහාදීමට අපහසු වූ නිසා බුදුරදුන්
එහිමියනට බ්‍රහ්මදණ්ඩනය පැනවීය.
එනම් කවර හෝ භික්‍ෂුවක් ඡන්න හිමියන් සමඟ කථා නොකර සිටීමයි. ඒ නිසා
කරුණු වටහා ගත් ඡන්න හිමියන්. මානය බිඳ දමමින් බුදුරදුන් ඉදිරියේ දමනය
වූ බව සඳහන්ය. කොසඹෑනුවර ඝෝෂිතාරාමයේ ඇති වූ ධර්මධර විනයධර භික්‍ෂූන්ගේ
ගැටුම සමථයකට පත් කැරලීමට නොහැකි බුදුරදුන් පාරිල්‍යෙය වනයට වැඩියහ.
ධර්මධර විනයධර භික්‍ෂුනට පසුව කරුණු කාරණා වැටහිණි. ඔවුන් සමගි වී
බුදුරදුන් නැවත වැඩමවා ගැනීමට ක්‍රියාකළ බවක් බෞද්ධ පෙළපොත්හි සඳහන්ය.
ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ පුරිසදම්මසාරථි ගුණය තුළින් අපමණ දනන්
සුවපත් කළ බව පෙනේ.
|