Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධකර නොගන්නා මිනිසාගේ සිත ලස්සන ගසක එතුනු වැලක් බඳුය. ඒ වැල අතු පතර ගොස් මුලු ගසම වසාගෙන ගස විනාශ කරයි. තණ්හාවට වහල්වූ මිනිසාට ජීවිතයේ අස්ථිර බව නොවැටහේ. තෘෂ්ණාව නොහොත් ආශාව ජීවිතය නමැති මල් උයනේ සැගවී සිටින සර්පයකු බදුය.

නමෝතස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සබ්බේසංඛාරා අනිච්චානි
යදාපඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා

පින්වත්නි,

සියලු සංස්කාරයෝ අනිත්‍යයි. එය ප්‍රඥාවෙන් අවබෝධකරගත් සත්වයාට එම දුකින් මිදී උතුම්වූ නිවන් මගට පැමිණිය හැකි බව සම්බුදු දහමේ පෙන්වා දෙනු ලැබේ. පණ ඇති සත්ත්වයා මෙන්ම අප්‍රාණික වෘක්‍ෂලතා , බඩුබාහිරාදිය, යානවාහන, නිවාස මේ සියල්ලම ඇතිවී, පැවතී නැතිවී යන අනිත්‍ය දෙය ලෙස අවබෝධ වනු ඇත. සංඛාර යනු ලිහිල්ව පැවසුවොත් පින් පව් දෙකය. සත්ත්වයාගේ සිත,කය, වචනයෙන් ඇතිවන සිතුම්, කෙරුම්, කියුම්, සංඛාරය. එය චිත්ත සංඛාර, කාය සංඛාර, වචී සංඛාර යනුවෙන් හැදින්වේ. මෙය පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර ,අනෙඤ්ඤාභි සංඛාර යනුවෙන් තෙවැදෑරුම්ය. දාන, සීල, භාවනාදිය පුඤ්ඤාභි සංඛාරය කාමාවචර අකුසල චේතනා අපුඤ්ඤාභි සංඛාරය අරූපාවචර කුසලචේතනා අනෙඤ්ඤාභි සංඛාරය.

ජීවිතයේ කෙරෙන වැරැදි ක්‍රියා හේතුවෙන් මිනිසකු අපාගතවෙනවා. යමරජු ඔහුගෙන් මෙසේ විමසනව. “ඔබ මනුලොව සිටියදී දෙව්ලොවින් පැමිණි පණිවුඩකරුවන් තිදෙනකු කිසිදිනක මුණ ගැසී තිබෙනවද?” “ නැත ස්වාමීනි, එවැනි අයෙක් කිසිදිනක මුණගැසී නැහැ ” මිනිසා උත්තර දෙනව.

“ එසේ නම් එකවර දිනකදී හෝ සිරුර කුදු වී සැරයටියක ආධාරයෙන් ඇවිදින මිනිසකු දැක තිබෙනවාද?” යම රජු ප්‍රශ්න කරනව.

“ එසේය ස්වාමීනි, එවැනි පුද්ගලයින් මට නිතර නිතර හමු වී තිබෙනව “ මිනිසා උත්තර දෙනව. “ඔබ මේ අපායේ දඩුවම් විඳින්නේ ඒ හේතුව නිසයි. ඒ මහලු මිනිසා දෙව්ලොවින් එවූ පණිවුඩකරුව. එම පණිවුඩකරු පැමිණියේ ඔබත් එම තත්වයට පැමිණෙන බව කියා දීමටයි. ඔබත් එම තත්ත්වයට පැමිණීමට පෙර කුසල් දහම්හි නියුතුව ජීවන රටාව වෙනස් කර ගැනීමට අවබෝධකර දීමටයි. එය ඔබ අවබෝධ කර නොගත් නිසා අද මේ දඬුවම් විඳීමට හේතු වී තිබෙනවා “ යම රජු ප්‍රකාශ කරනවා.

සබ්බේ සංඛාරා දුක්ඛාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා

සියලු සංස්කාරයෝ දුකය, එය ප්‍රඥාවෙන් අවබෝධ කරගත් සත්වයාට එම දුකින් මිදී උතුම්වූ නිවන් මඟට පැමිණිය හැකිය.

යම රජු එම මිනිසාගෙන් නැවත මෙසේ ප්‍රශ්න කරනව. “ඔබ යම් දිනක දුප්පත් ඒ වගේම ව්‍යාධියෙන් පෙළෙන කාත් කවුරුවත් නැති අහිංසක පුද්ගලයකු දැක තිබෙනවද?” “එසේය ස්වාමීනි, එවැනි පුද්ගලයින් අනන්තවත් දැක තිබෙනව.” මිනිසා පිළිතුරු දෙනව.

“ඔබ අද අපායට පැමිණ සිටින්නේ ඒ හේතුව නිසයි. ඒ මන්දයත් ඒ ව්‍යාධියෙන් පෙළෙන රෝගියා දෙව්ලොවින් එවූ පණිවුඩකරුව. ඔබත් කිසියම් දිනක රෝගී තත්වයට පත්වන බවට ඔහු අනතුරු හැඟවුවත් එය ඔබ අවබෝධ කර නොගත් නිසා ඔබට මෙම අපායට පැමිණ දඩුවම් විදීමට සිදුවී තිබෙනවා. යම රජු ප්‍රකාශ කරනව.

සබ්බෙ ධම්මා අනන්තාති
යදාපඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා

සියලු ධර්මයන් අනාත්මයි. එය ප්‍රඥාවෙන් අවබෝධ කරගත් සත්වයාට එම දුකින්මිදී උතුම්වූ නිවන්මඟට පැමිණිය හැක.

නැවත යමරජු මිනිසාගෙන් ප්‍රශ්න කරනව “ඔබ යම් දිනක මළ සිරුරක් දැක තිබෙනවද?” එසේය ස්වාමීනි, අනන්ත අප්‍රමාණ මළසිරුරු දැක තිබෙනව” මිනිසා පිළිතුරු දෙනව.

යම රජු මිනිසාට මෙසේ ප්‍රකාශ කරනව. “ ඒ මළ සිරුර දෙව්ලොවින් එවු පණිවුඩකරුවා. ඔබත් මැරෙන බව අවබෝධ කරදීමටයි. ඔහු පැමිණියේ ඔබත් එලෙස මැරෙන බව කිසිවිටකත් නොසිතා පාපයට යොමුවුනා.අද ඔබට අපායට එන්න සිදුවුනේ ඒනිසයි. දිව්‍ය ලෝකයෙන් එවු පණිවුඩකරුවන් ඔබට කළ අනතුරු හැගවීම ඔබ පිළිගන්නේ නැහැ. මිනිසුන් මහලුවෙනව. ලෙඩවෙනව, ජරාවට පත්වෙනව, මරණයට පත්වෙනව. එම පණිවුඩය ලබාදීමට දෙව්ලොවින් එවූ එම පණිවුඩකරු කළ අනතුරු හැගවීම ඔබ පිළිගත්තානම් ඔබ ඔබගේ ජීවන රටාව වෙනස්කර ජීවිතය ගැන යථාර්ථය අවබෝධකර කුසල්දහම්හි නියුතුව සුගතිගාමි වෙනව. එය අවබෝධකර නොගැනීම නිසා අද අපාගතවී දුක් විඳිනව.

ඉහත දක්වා ඇති එම උපමා කථාවෙන් පැහැදිළි වන්නේ ජීවිතයේ ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවයයි. ජීවිතයේ අනිත්‍ය භාවය සනිටුහන් කරන්නේ මහල්ලාය. රෝගියා ජීවිතයේ දුක්ඛ ස්වභාවයද මරණය ජීවිතයේ අනාත්ම ස්වභාවයද පිළිබිඹු කරයි.

සතර පෙරනිමිති දුටු සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ මහල්ලාගෙන් ජීවිතයේ අනිත්‍ය ස්වභාවයද රෝගියාගෙන් ජීවිතයේ දුක්ඛ ස්වභාවයද, මළසිරුරින් ජීවිතයේ අනාත්ම ස්වභාවයද අවබෝධ කර ගත්හ.

ජීවිතය අනිත්‍ය දෙයක් නම්,ජීවිතය දුක්ඛ දෙයක් නම් ජීවිතය අනාත්ම මමය මාගේය කියා කිසිවක අයිතියක් නැතිව සියල්ල අතහැරයාමට සිදුවන දෙයක් නම් එයින් අත්මිදීමේ මඟ ශ්‍රමණයන් වහන්සේගේ රූපයෙන් අවබෝධ කර ගත්හ. ශ්‍රමණ රූපය වනාහි මාර්ගඤාණය අවබෝධ කර ගැනීමට යායුතු මඟ සනිටුහන් කිරීමකි. මෙම ත්‍රිලක්‍ෂණය අවබෝධකරගත් ගෞතම සිද්ධාර්ථ මහබෝසතාණන්වහන්සේ රජමැදුරේ කාමසුකල්ලිකානුයෝගිව සිටිමින් මෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ ජීවිතයෙන් අත්මිදීමට නොහැකි බව තේරුම්ගෙන හුදකලාව එම සත්‍ය සොයා ගැනීම සදහා මහභබිනික්මන් කළ සේක.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධකර නොගන්නා මිනිසාගේ සිත ලස්සන ගසක එතුනු වැලක් බඳුය. ඒ වැල අතු පතර ගොස් මුලු ගසම වසාගන ගස විනාශ කරයි. තණ්හාවට වහල්වූ මිනිසාට ජීවිතයේ අස්ථිර බව නොවැටහේ. තෘෂ්ණාව නොහොත් ආශාව ජීවිතය නමැති මල් උයනේ සැගවී සිටින සර්පයකු බදුය. මෙම සර්පයාගෙන් කුමන අවස්ථාවක විනාශය සිදුවේදැයි සිතිය නොහැක.

අචිරං වත යං කායෝ
පඨවිං අධිසෙස්සති
ඡුද්ධෝ අපේත විඤ්ඤාණෝ
නිරන්ථංව කලිංගරං

ඉවතට දැමූ වැඩකට නැති දර කැබැල්ලක් මෙන් පොළවට පස්වන මේ කය පිළිබඳ තිලකුණු මෙනෙහි කර සසර දුකින් අත්මිදීමට උත්සාහ කරමු.

ඔබ සැමට තෙරුවන් සරණයි

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.