Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන් යොදාගත් ක්‍රම ශිල්ප

යම් ගැටලුවක් පැන නැගුන විට, ඒ සඳහා ඇති විසඳුම් ප්‍රස්තුත පුද්ගලයාගේ මානසික තත්ත්වය අනුව සුදුසුම අයුරින් ඉදිරිපත් කිරීමට  පියවර ගැනීම අපෝහන  ක්‍රමය ලෙස හැඳින්වේ. සිය මියගිය පුත්‍රයාගේ සිරුරද රැගෙන ඉමහත් චිත්ත පීඩාවකින් පැමිණි කිසාගෝතමියට සියලු සත්ත්වයන් මරණයට පත්වන බව අපෝහනය කරවීමට යොදාගත්තේ උද්ගාමී තර්කය අනුව යන අත්දැකීම් සම්භාරයෙන් උකහා ගත් විධික්‍රමයයි. මෙය අපෝහනයක් හෙවත් ඔප්පු කිරීමක් සේ හඳින්විය හැකිය.

සාර්ථක හා ශ්‍රේෂ්ඨ ගුරුවරයකු ලෙස බුදුරජාණන් වහන්සේ, සිය ශ්‍රාවකයන්ට ධර්මය අවබෝධ කර දීමට විශේෂ ක්‍රම ශිල්ප රාශියක් භාවිත කළහ. මේ ඉගැන්වීමේ ක්‍රමවේද දෙස බලන විට ඇතැම් ශිල්පීය ක්‍රම සරලය. තවත් එකක් සංකීර්ණය. මේ සරල හා සංකීර්ණ ක්‍රම ශිල්ප කිහිපයක් එකට සංකලනය කර ගනිමින්, උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ගේ බුද්ධි මට්ටමට අනුව මැනවින් ධර්මය දේශනා කොට අවබෝධ කරවීමට දැක්වූයේ අතිමහත් දක්ෂතාවයකි.

දිට්ඨිමත්ත, සුතමත්ත, මුතමත්ත ලෙසින් පුද්ගලයා ප්‍රපංචයන් පිළිබඳ විවිධ සංකල්ප නිර්මාණය කර ගන්නා බව පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ එය තම ඉගැන්වීම් ක්‍රමවලදී නිබඳවම භාවිතයට ගත්හ. සුනාථ, ධාරේථ, චරාථ යනුවෙන් මනාසේ ශ්‍රවණය කිරීමෙන් ධාරණය හෙවත් අවබෝධයත් ක්‍රියාවට නැංවීමේදී භාවිතයත් දහම් අවබෝධයේදී වැදගත් වන බැව් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. තවත් අවස්ථාවකදී ඉහත කරුණු වැඩිමනත් විස්තීරණව දක්වමින්, ශ්‍රැත හෙවත් ශ්‍රවණස්ත ධතා හෙවත් ධාරණය, වවසා හෙවත් වචනවලට නැංවීමේ භාවිතය මනසානුපෙච්චියා හෙවත් ප්‍රත්‍යවෙක්ෂණයෙන් චින්තනයට මග පාදා දීම සහ දිට්ඨියා සුප්පටිවිද්ධා හෙවත් මනා අවබෝධය ලෙසින් ඉගෙනුම් අවස්ථා දක්වා තිබේ. දැනුම ලබා ගන්නා උපදෙස් ලබා ගන්නා ක්‍රම ලෙසින් සුත්ත, සුත්තානුලෝම, ආචාරියවාද, හා අත්තනෝමති ආදී ක්‍රමවේදයන් සිව්වැදැරූම් වේයැයි විනය අටුවාවේ සඳහන් වේ. මජ්ඣිමා නිකායේ අනුමාන සූත්‍රයේ අධ්‍යයන ක්‍රමවේද වශයෙන් භාවිත කෙරෙන නිගාමී සහ උද්ගාමී යන තර්ක විධික්‍රම දෙකම දක්නට ලැබේ. ගැටලු බහුල ශ්‍රාවකයන් අරබයා බුදුන් වහන්සේ චිකිත්සක යථානුභූති වාදය යොදාගත් බව පෙනේ. මෙහිදී සත්‍ය සොයා යන මූලධර්මය ඉදිරිපත් නොකොට ප්‍රශ්න පිළිබඳ තොරතුරු විමසා සිටී. කෙසේ දන්නේ ද, කෙසේ සිතන්නේද, ආදී වශයෙන් අසනු ලබන්නා වූ පැන වලට අනුභූතියෙන් පිළිතුරු සකස් කර ඉදිරිපත් කරන ලබයි. එසේ නිදර්ශන සම්පාදනයේ අපොහොසත් අවස්ථා ‘අප්පටීශීරකතාවට’ පත් වෙතැයි පෙළ පොත්හි සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ක්‍රම, නූතන අධ්‍යාපන ෂද්‍යාවේ ක්‍රම සමග සංසන්දනයේ කර බලන විට ඒවා පහත සඳහන් අන්දමට වර්ග කළ හැකිය.

1. දේශන ක්‍රමය
2. ප්‍රශ්නෝත්තර ක්‍රමය
3. සාකච්ඡා ක්‍රමය
4. සංවාද ක්‍රමය
5. පියවර ක්‍රමය
6. විශ්ලේෂණ ක්‍රමය
7. අපෝහන ක්‍රමය
8. ප්‍රහේලිකා ක්‍රම
9. සමෝධානික ක්‍රම ආදී වශයෙනි.

මේ කවර ක්‍රමයක් වුවද බුදුරජාණන් වහන්සේ නිසි තැන නිසි කලට නිවැරැදි අයුරින් භාවිත කිරීමට සමත් වී ඇත.

1. දේශන ක්‍රමය- යම් ප්‍රස්තුතයක් පිළිබඳව ශ්‍රාවකයන් අමතා කරුණු විවරණය කරමින් කරන ඉගැන්වීමේ ක්‍රමවේදය. වර්තමානයේදී පෞද්ගලික උපකාරක පංතිවල බහුලවම යොදාගනු ලබන්නේ මෙකී ක්‍රමවේදයයි. දස ධම්ම හා සබ්බ සූත්‍ර මෙලෙස සෘජු දේශන ක්‍රමයෙන් උගන්වන ලද ධර්ම කරුණු අන්තර්ගත සූත්‍රයන්ය.

2. ප්‍රශ්නෝත්තර ක්‍රමය - කිසියම් ශ්‍රාවකයකු මතු කරන ලද්දා වූ ප්‍රශ්නයකට පිළිතුරක් සම්පාදනය කරමින් සපුරාලන මේ ක්‍රමය පරජ්ඣාසීය නමින් හැඳින් වේ. මෙහිදී මතු කළ පැනයට සෘජුව පිළිතුරු සැපයීම ඒකංසවෙය්‍යාකරණ යනුවෙන් හඳුන්වා ඇත. මංගල සූත්‍රය එබඳු පරජ්ඣාසීය ඒකංස වෙය්‍යාකරණ අධ්‍යයන ක්‍රමයට නිදසුනකි.

3. සාකච්ඡා ක්‍රමය - ශ්‍රාවකයන් මතු කරන ප්‍රශ්න වලට පිළිතුර සැපයීමේදී ශ්‍රාවකයන් යළි යළිත් ප්‍රශ්න මතුකරත් නම් එම ප්‍රශ්නවලට යළි විසඳුම් ලබාදේ. මෙය පුච්ඡාවසික ක්‍රමය ලෙස හඳුන්වා ඇත. පරාභව සූත්‍රය එබඳු පුච්ඡාවසික ඉගැන්නුම් අවස්ථාවක් නිරූපණය කරයි. එලෙසම ප්‍රතිප්‍රශ්න නැඟීම හරවත් සාකච්ඡාවක් දක්වා ව්‍යාප්ත කර එතුළින් කරුණු ගවේෂණය කිරීම මතකය ප්‍රබෝධමත් කරවන සුලු ඉගැන්වීමේ ක්‍රමවේදයකි. පටිපුච්ඡා වෙය්‍යාකරණ යනුවෙන් ද මේ ක්‍රමය ඇතැම් තැනක හඳුන්වා ඇත. උපක නම් ආජීවකායත්, බුදුරජාණන් වහන්සේත් අතර ඇති වූ ‘අනන්තජින’ පිළිබඳ සංවාදය එබඳු අවස්ථාවකි.

4. සංවාද ක්‍රමය- තාර්කිකත්වයට බරවූ පුද්ගලයන් හට කරුණු පැහැදිලි කරදීමට මෙම ක්‍රමය භාවිත කර ඇත. සච්චක වැනි උග්‍ර ශාස්වත වාදී තාර්කිකයන් හා ඔවුන්ගේ දැක්ම නිවැරැදි කිරීම සඳහා තාර්කික මට්ටමෙන් පැවැත්වූ සංවාද මේ සඳහා උදාහරණ වේ. ‘නඛෝතේ සංචිය ති පඨමෙනවා පච්චිමං - පච්චමෙන වා පඨමං’ යනුවෙන් නවීන තර්ක ශාස්ත්‍රයෙහි එන විසංවාදී නියමයද එදා බුදුරජාණන් වහන්සේ උපයෝගී කරගත් බැව් පෙනේ.

5. පියවර ක්‍රමය - සරල සිද්ධියකින් සුළු ආරම්භයක් ලබාදී සංකීර්ණත්වයටද දන්නා දෙයින් නොදන්නා කරුණු වෙතට පියනැගීමටද යන අධ්‍යයන ක්‍රමයක් භාවිත කරමින් ස්වයං අධ්‍යයනයට මඟ පෙන්වූ බුදුරජාණන් වහන්සේ ඒ ඒ පුද්ගලයාගේ පුද්ගල හැකියාවන් ඉලක්ක කර ගනිමින් ඉගැන්නුම් ක්‍රම නිර්දේශ කිරීමට සමත් වී ඇත. සාමාන්‍ය බුද්ධි මට්ටමකින් හෙබි ගිහි ශ්‍රාවකයින්ට දාන කථා, ශීල කථා, සග්ගකථා වලින් පටන් ගෙන සිව්සස් වැනි ගැඹුරු දහම් ක්‍රමික පියවර මගින් හදාරන්නට ඉඩකඩ මේ මගින් සලසා දෙන ලදී. එමෙන්ම භික්ෂූන්ට ඉමස්මීං ධම්ම විනයෙ අනුපූබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා ලෙස අනුපූර්ව ශික්ෂාවන් පනවා ඇත්තේ ද පියවර ක්‍රමයක් මතය.

6. විශ්ලේෂණ ක්‍රමය - යම් පැනයක් මතු වූ විට එය විශ්ලේෂණය කරමින් අවබෝධ කර ගැනීමට ඉඩ සැලැස්වීම මේ ක්‍රමයයි. වාසෙට්ඨ බමුණාගේ වාර්ගික කුල ගෝත්‍රවාදී අදහස් නිශේධ කරමින් බුදුරජාණන් වහන්සේ කරුණු විවරණය කළ වාසෙට්ඨ සූත්‍රයත්, සමාජ ආර්ථික සංවිධානයේ විෂමතා විශ්ලේෂණයට බඳුන් කරන කූ®ටදත්ත, චක්කවත්තිසීහනාද වැනි සුත්‍රද මේ අධ්‍යයන ක්‍රමවේදයට අයත්වන බව තහවුරු වේ.

7. අපෝහන ක්‍රමය - යම් ගැටලුවක් පැන නැගුන විට, ඒ සඳහා ඇති විසඳුම් ප්‍රස්තුත පුද්ගලයාගේ මානසික තත්ත්වය අනුව සුදුසුම අයුරින් ඉදිරිපත් කිරීමට පියවර ගැනීම අපෝහන ක්‍රමය ලෙස හැඳින්වේ. සිය මියගිය පුත්‍රයාගේ සිරුරද රැගෙන ඉමහත් චිත්ත පීඩාවකින් පැමිණි කිසාගෝතමියට සියලු සත්ත්වයන් මරණයට පත්වන බව අපෝහනය කරවීමට යොදාගත්තේ උද්ගාමී තර්කය අනුව යන අත්දැකීම් සම්භාරයෙන් උකහා ගත් විධික්‍රමයයි. මෙය අපෝහනයක් හෙවත් ඔප්පු කිරීමක් සේ හැඳින්විය හැකිය.

8. ප්‍රහේලිකා ක්‍රමය - මාලුංක්‍ය පුත්‍රයාගේ උපයෝගීතාවයක් නොමැති ප්‍රශ්නවල ස්වභාවය හෙළි පෙහෙළි කිරීමට බුදුරජාණන් වහන්සේ ඊතල පහරකට ගොදුරු වූ අයකු පිළිබඳව ප්‍රහේලිකාවක් බඳු සිදුවීමක් ගෙනහැර පෑහ. ආවිසිසෝපම සුත්‍රයද එබඳුම ප්‍රහේලිකාවක් සපයයි.

9. සමෝධානික ක්‍රමය- ජාතක කථා දහම් දෙසුම අවසනදී බුදුරජාණන් වහන්සේ එහි වර්තමාන භාවිතය පැහැදිලි කරනු වස් කථා, ප්‍රවෘත්තියේ පෙරපර සන්ධි ගලපා සමෝධානයකොට ඉදිරිපත් කිරීමේ ක්‍රමයද බුදුන් වහන්සේ බහුලව යොදාගත් ඉගැන්වීමේ අපූරු ක්‍රම වේදයකි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.