Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ත්‍රිලක්‍ෂණය කුමක් ද?

ලෝක ස්වභාවය පිළිබඳ වැදගත් ලක්‍ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ අවධාරණය කළහ. ඒ අනිත්‍ය, දුක්ඛ හා අනාත්මයි. මේ ලක්‍ෂණත්‍රය ලෝකයාට හඳුන්වා දුන්නේ එදා සමාජයේ මුල් බැසගෙන තිබූ බරපතළ මිථ්‍යා දෘෂ්ටි හැට දෙකක් බැහැර කිරීමටයි. ඒවා ශාස්වත හා උචේඡ්ද දෘෂ්ටි වලට අයත් ය.

සියලු දේ ඇත යනුවෙන් (නාම – රූප ධර්මතාවන් කෙරෙහි) නො වෙනස් වන සදාකාලික ස්ථිර ස්වභාවයක් පිළිබඳව තිබූ විශ්වාසය ආත්ම වාදය යි. මේ ධර්මයන්හි කිසිදු ස්වභාවයක් නොමැති බවද මරණයෙන් පසු මේ ධර්ම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වේ යැයි යන විශ්වාසය උචේඡ්ද වාදය යි.

බුදුරජාණන් වහන්සේගේ මූලික ධර්මය වූ ප්‍රතීත්‍යසමුත්පාදය ලොවට හඳුන්වා දුන්නේ මේ මිථ්‍යා දෘෂ්ටි හැට දෙක බැහැර කිරීම පිණිසයි. මේ අන්ත දෙකටම අයත් දෘෂ්ටි බැහැර කළ බුදුන් වහන්සේ ධර්මයන් (නාම – රූප) තුළ කිසිදු ශාස්වත ගුණයක් නොමැති බවත්, එම ධර්ම විවිධ ප්‍රත්‍යයන්ගේ සාමගි‍්‍රය අනුව උපදින නැසෙන බවත්, ප්‍රතීත්‍යසමුත්පාදයෙන් අනාවරණය කොට සියලු ධර්මයෝ හේතු ප්‍රභව කොට ඇති බව වදාළහ.

ආත්මය පිළිබඳව බුදුන් වහන්සේ ප්‍රතික්‍ෂේප කළ වැදගත්ම ලක්‍ෂණය නම්, ආත්මය තුළ පවත්නා යැයි කියන නිත්‍යතාවයයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්ඛන්ධ පංචකය ගෙන එයින් කවරෙක් නිත්‍ය වන්නේ දැයි බුදුන් වහන්සේ බොහෝ විට ප්‍රශ්න කළහ. මෙම ප්‍රශ්නයේ දී ඊට මුහුණ දුන් සියලු දෙනාටම සිදුවූයේ නිහඬවීමට ය.

බුදුන්වහන්සේගේ විවරණය අනුව, නිත්‍ය ආත්මය පිළිබඳ විශ්වාසය මිනිසා තුළ පවතින ජීවත් වීමට ඇති ආශාව නිසා, මරණය වැළැක්වීමට ඇති කැමැත්ත, සැප විඳීමට (සුවය) ඇති ආශාව හා දුක පිළිකුල් කිරීම යන ආධ්‍යාශයන් හේතු කොට ගෙන පවතී. බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව තමන්ගේ ආධ්‍යාශයන් සන්තර්පනය කිරීම (දිට්ඨනිඣානක්ඛන්ති) හෝ යමක් මෙසේ සිදුවිය යුතුය. (භබ්බරූපතා) අනුව යමින් මිනිසා හෝ ලෝකය පිළිබඳ යථාර්ථ (යථාභූත) ඥානයක් ලබා ගත නොහැකි බව යි.

සතර මහා භූතයන්ගෙන් සෑදුන මේ ශරීරය වසර සියයකට ආසන්න කාලයක් වැඩිම වශයෙන් පවතිනු ඇත. මේ කාල පරාසය තුළ දී භෞතික ශරීරයේ මෙන්ම සිතෙහි ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා සිදුවන විපරිණාමය හා පරිහානිය කිසිවකුටත් නොවැටහෙන්නේ මේවා නිත්‍ය හා සුඛ වශයෙන් දරා සිටින හෙයිනි. අනිත්‍යතාව දුකට හේතු වන්නේ නිත්‍යතාව පිළිබඳ මිනිසා තුළ වූ විශ්වාසය නිසයි.

මේ අනිත්‍යතාවය පිළිබඳව ගංගාවේ ස්වභාවය ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද පෙණ පිණ්ඩුපම සූත්‍රයෙහි අනිත්‍යතාව ගැන මෙසේ දේශනා කර තිබේ.

රූපය පෙණ පිඩක් වැන්න, වේදනා දිය බුබුලක් වැන්න, සඤ්ඤාව මිරිඟුවක් වැන්න, සංස්කාර කෙසෙල් කඳක අරටුව සෙවීමක් වැන්න, විඤ්ඤාණය මායාවක් වැන්න, මේ ස්කන්ධයන්ගේ ස්වභාවය මෙසේ වූවත්, මේවා අවිද්‍යාව නිසා නිත්‍ය කොටගෙන සිටිති. සියලු සංස්කාරයෝ ඒකාන්ත වශයෙන් අනිත්‍යය. ඉපදීම, වැයවීම, (දිරීම) නැතිවීම ස්වභාව කොට පවතී. උපදින සියල්ල නැසීමට පත්වන්නේ ය. මේවා උපසමනය කිරීම සැපය වේ යන මේ ධර්මතාව අනිත්‍ය බව වටහා දීමට ඉගැන්වූ සුප්‍රකට දේශානවකි. (අනිච්චාවත සංඛාරා අප්පමාදෙන සම්පාදෙන) සියලු සංස්කාරයෝ ඒකාන්ත වශයෙන් අනිත්‍යය. ප්‍රමාද නොවී විමුක්තිය ලබා ගන්න යනු බුදුන් වහන්සේගේ අවසාන අනුශාසනාව යි.

බුදුන් වහන්සේ අවධාරණය කළ දුක පිළිබඳ සංකල්පය අශුභවාදී චින්තනයක් බව බටහිර ඇතැම් චින්තකයින්ගේ අදහස වී තිබේ. නමුත් මුල් බුදු සමය, කිසි විටෙක ලබා ගත හැකි ආශ්වාදයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප නොකළේ ය. එම ආශ්වාදයන් පිළිගන්නා අතරම ඒවායේ ආදිනවයන් හා අනිෂ්ට විපාකයන්ද ඉස්මතු කළේ ය. එම ආදිනවයන් ඇතිවීමට හේතුව මිනිසා ආශ්වාදයන් භුක්ති විඳින අතරම ඒවා නිත්‍ය හා ශාස්වත ඒවා යැයි විශ්වාස කිරීමයි. අනිත්‍ය හෝ තාවකාලික දෙයින් ලබන්නා වූ ආශ්වාදය නිත්‍ය හෝ ශාස්වත එකක් විය නොහැකිය. මෙයින් අදහස් කරනු ලබන්නේ අප ආශ්වාදයක් ලබන දෙයට ඇලී ගැලී සිටීම දුකට හේතුවක් බවයි.

බුදුරජාණන් වහන්සේ දුක වශයෙන් සලකන ලද්දේ විශ්ව ව්‍යාප්ත සමස්ත සත්ව සන්තතියේ පොදු වූ මූලික ලක්‍ෂණයයි. දිනක් බමුණෙකු ලෝකය කොහි පිහිටියේ දැයි බුදුන් වහන්සේගෙන් ඇසීය. එවිට බුදුන් වහන්සේ වදාළේ ලෝකය දුක මත පිහිටියේය කියායි.

මේ ගැඹුරුතම අර්ථය පිළිබඳ විස්තර බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම ධර්ම දේශනාව වූ “ධම්ම චක්කප්පවත්වන සූත්‍රයෙ” හි දුක පිළිබඳ ව සම්පිණ්ඩනය කර වදාළේ පඤ්ච උපාදනස්කන්ධයම දුකක් වශයෙනි.

පඤ්ච උපාදානස්ඛන්ධය යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤා යන ස්කන්ධ පසෙහි එකතුවය. මේ පසෙහි එකිනෙකක් පිළිබඳව රූපය මමය මාගේ යැයි දැඩිව ගෙන නිත්‍ය වශයෙන්, ආත්ම වශයෙන් සැලකීමට පටන් ගනියි. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන අනෙක් ස්කන්ධ හතර සම්බන්ධයෙන් ද, මම ය, මාගේ ය, යන හැඟීමෙන් දැඩිව ග්‍රහණය කොට මේ සියල්ල මමය මාගේ යැයි සිතා ඒ කෙරෙහි අභිනන්දනය කරයි. එය වෙනස් වූ විට නැසුණු (බිඳුණු) විට දුක හට ගනී. දුකත් පඤ්ච උපාදානස්කන්ධයත් දෙකක් නොවන බවත්, පඤ්ච උපාදානස්කන්ධයම දුකක් බවත් මෙයින් තේරුම් ගැනීමට පුළුවන. “මම” නමැති මේ සිතිවිල්ල මවාපාන පඤ්ච උපාදානස්කන්ධය කුමක් දැයි අවබෝධ වූ කළ මේ කාරණය මැනවින් වටහා ගැනීමට පුළුවන.

සත්වයා, පුද්ගලයා මම යන වචන වලින් කියවෙන්නේ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස්වන සුලු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණි. මෙම සිද්ධාන්තය අනුව දුකෙහි උපත පඤ්ච උපාදානස්කන්ධයේ උපතයි. ජාති, ජරා, මරණ වලින් ගම්‍ය වන දේ දුක යැයි බුදුන් වහන්සේ දේශනා කොට තිබේ. මව්කුසින් බිහිවීම (ජාතිපි දුක්ඛා) දුකක් වශයෙන් හැඳින්වීම විපරීතයකි. බෞද්ධ දර්ශනයට අනුව දුකෙහි උපත මමත්වයේ උපතයි. ජරා යන්නෙන් බුදුන් වහන්සේ වදාළේ කායික වශයෙන් මහළු බවට පත් වීම නොව, මමත්වය නිසා මනසෙහි හටගන්නා විපරීතයකටය. මරණය දුකක් වන්නේ කායික වශයෙන් පණ යෑමට නොව, පඤ්ච උපාදානස්කන්ධයෙන් මමය මගේ යැයි අල්ලා ගෙන සිටින ලෝකය පණයන මොහොතේ දී අත හැරීමට තිබෙන අකමැත්ත නිසා මරණය දුකක් වේ. බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ කායික වශයෙන් නොව මනෝ විද්‍යාත්මක වශයෙනි. නාම – රූප ධර්මතාවන්ගේ නිරන්තර වෙනස්වීම බුදුරදුන්ට නතර කළ නොහැකි ය. බුදුවරුන් පහළ වූවත් නොවූවත් නාම රූප ධර්ම විෂයෙහි ක්‍රියාත්මක වන ඇති වෙමින්, නැතිවෙමින් පැවතීම ස්වභාවික ලෝකයේ ලක්‍ෂණයකි.

බුදුන් වහන්සේ මේ දුක් බැහැර කළේ බුදු වූ අවස්ථාවේ දී ය. පන්සාලිස් වසක් මමත්වයෙන් තොරව (නිෂ්පුද්ගල) ජීවත් වූ බුදුන් වහන්සේට ස්වීය සන්තානයෙහි විපරිණාමයක් හෝ පරිහානියක් නොවී ය. ජාති, ජරා මරණ නමැති දුක්, උපාදානය බැහැර කළ ආර්ය උත්තමයින්ට නැත. ආර්ය උත්තමයින් මරණයට පත්වන්නේ ද නැත. අවසානයේ දී සිදුවන්නේ කය අත හැරීමය. මරණයට පත්වන්නේ පුහුදුන් අයයි. නුවණින් අවබෝධයෙන් සොයා දැනගෙන ස්වකීය ජීවිතය ඇප කැප කිරීමෙන් මමත්වය බැහැර කර අජරාමර තත්ත්වයට පත්වීමට අපකාටත් පුළුවන.

අනාත්ම (අනත්ථ) නිත්‍යත්ව සංඛ්‍යාත ආත්මය ස්කන්ධ පඤ්චකය තුළ හෝ ආයතන දොළොස තුළ හෝ ධාතු අටලොස තුළ හෝ නොමැති බැවින්, ආත්ම දෘෂ්ටිය ආධ්‍යාත්මික සංවර්ධනයට අහිතකර වූ විපරීතයකි. ආත්ම දෘෂ්ටියෙන් ශ්‍රාවකයා මුදා ගැනීම පිණිස ආත්ම කොටගත් නිත්‍ය වූ පදාර්ථයක් නොමැති බව මතු කොට දැක්වීම පිණිස අනාත්ම වශයෙන් ප්‍රකට වූ ධර්මය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මේ අනුව අනාත්මය යනු සක්කාය දිට්ඨිය බැහැර කොට ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටියට ගැනීමට ඇති ප්‍රායෝගික දේශනාවකි.

සත්‍ය මෙසේ වූවත්, බෞද්ධ ජනසමාජයේ බොහෝ දෙනා කටයුතු කරන්නේ ආත්මවාදී සිතුම් පැතුම් අනුවය. ඒ ගැන පැහැදිලි වන්නේ ආත්මයෙන් ආත්මයට සසරෙහි යෑමට තිබෙන ආශාව නිසා නොයෙක් ප්‍රාර්ථනා ඇතුව කරනු ලබන පින්කම් වලිනි. මෙයින් සනාථ වන්නේ පුනරුප්පත්ති සංකල්පය අනුව, මිය යන පුද්ගලයාගේ ආත්මය මේ ආත්මයෙන් ඊළඟ ආත්මයට යන බව බොහෝ බෞද්ධයන්ගේ පිළිගැනීම වී ඇති බවයි.

මළවුන්ට පින් අනුමෝදනා කිරීමේ දී ද සම්පූර්ණ විශ්වාසය තබා කටයුතු කරන්නේ, මිය ගිය පුද්ගලයාගේ ආත්මයම නැවත කොහේ හෝ උප්පත්තියක් ලබා ඇති හෙයින්. මේ අනුමෝදනා කරන පින ඔහුට ලබා ගත හැකි බවට ය. බුදුසමය තුළට ඉතා සියුම් ලෙස ආත්මවාදය පෑල දොරින් ඇතුල් කිරීමට කෙසේ හෝ තිරෝකුඩ්ඩ සූත්‍රය ද පෙළ පොතට ඇතුළත් කර තිබේ. අනාත්මය හා තම තමුන් කරන කුසල අකුසල කර්ම විපාක තම තමුන් විසින්ම විඳිය යුතු ය. තමාට පිහිට තමාය යන බුද්ධ වචනයත් සමග තිරෝකුඩ්ඩ සූත්‍රය පිළිගත හැකි දැයි විමසා බැලීම මැනවි. අනුව මෙලොවදීත් “මම” යනුවෙන් සත්වයෙක් පුද්ගලයෙක් නැත්නම්, ආත්මයක් නැත්නම්, පුනරුප්පත්තියක් නොමැතිනම් මැරුණු පුද්ගලයාම නැවත උපදින්නේ කෙසේද? බුදුන් වහන්සේ අනාත්ම ධර්මය දේශනා කළේ කුමන හේතුවක් නිසා ද? මේ ගැන සිතා බැලීමට බෞද්ධයා උනන්දුවිය යුතු ය.

ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය බුදුන් වහන්සේ අනාත්ම ධර්මයෙන් ලොවට අනාවරණය කළේ කරන්නෙක් කරවන්නෙක් නොමැතිව හේතු ප්‍රත්‍ය අනුව කෙරෙන සිදුවීමක් (වීමක්) ගැන ය. අනාත්ම ධර්මයේ මූලික අරමුණ ආත්ම දෘෂ්ටියෙන් ශ්‍රාවකයා මුදාගැනීමයි. බෞද්ධයකු තුළ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන මේ ලක්‍ෂණය ගැන හොඳ අවබෝධයක් නිතැනින්ම තිබිය යුතු ය. බුද්ධිය වැඩි දියුණු කිරීම පිණිස ප්‍රගුණ කටයුතු මාර්ගය ආර්ය මාර්ගයයි. ආර්ය මාර්ගය වැඩීම පිණිස ත්‍රිලක්‍ෂණය උපකාර වේ. වෙසක් සමයේ මෙය කාගේත් අවධානයට ලක් වේවා!

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.