ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝ නායක,
ජිනීවා බෞද්ධ විහාරාධිපති ආචාර්ය
තවලම ධම්මික නා හිමි
මේ සම්බුද්ධත්ව
ජයන්තිය සමරණ වෙසක් සමයයි. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව
වසර 2600 ක් අදට සම්පූර්ණ වෙයි. මේ ඓතිහාසික සිදුවීම සිහිපත් කරන්නන්ට
මුළු බොදු ලොවම එක් වූ මෙවන් මොහොතක අපේ බෞද්ධ කම ගැන නැවත සිතා බලන්නට
බුදුසරණ කියවන ඔබ පොළඹවාලීම මේ ලිපියේ අරමුණයි.
බුදුරජාණන් වහන්සේගේ දහමෙහි මූලික හරයන්ට අනුව බෞද්ධවීමක් ගැන
පැහැදිලිව කතා කළ නො හැක්කේ එය ආගමක් නොවන බැවිනි. එය ජීවිතය හා
ස්වභාවය පිළිබඳ පුළුල් වූ දර්ශනයක් ලෙස බුද්ධිමත් ලෝකය බෙහෙවින් ම අගය
කරණු ලබයි. එයටත් වඩා ගැඹුරින් මේ දර්ශනය වැළඳ ගන්නා අය බුදු සමය
දකින්නේ මිනිස් සිත තුළ සාමය හා සැනසිල්ල උදාකර දෙන විද්‍යාවක් ලෙසය.
නැතහොත් මානව සිත් වලට සතුට ළඟා කර දෙනු ලබන විද්‍යාත්මක මඟ පෙන්වීමක්
ලෙසටය. මේ විග්‍රහයන්ට අනුව බෞද්ධවීම යනු අතිශය පෞද්ගලික සංසිද්ධියකි.
‘පච්චත්තං වේදිතබ්බො’ යනුවෙන් අප උගත් දේශනා පාඨය මේ බව මනාව පසක් කර
දෙයි.මේ අනුව බෞද්ධවීමක් ගැන ව්‍යවහාරයේ පැවතුන ද සිදුව ඇත්තේ
බුදුරජාණන් වහන්සේ සිය ගුරුවරයාණන් ලෙසත් එම ධර්මය සිය ජීවන ප්‍රතිපදාව
ලෙසත් අවබෝධයෙන් යුතුව ම පිළිගෙන උන්වහන්සේ ගේ දහම් මඟ අනුගමනය කරන
කෙනකු බවට පත්වීමයි. එය කිසිසේත් ම හරවා ගැනීමක් නොවේ. අවබෝධයෙන් හා
සිය කැමත්ත විසින් ම මෙහෙයවනු ලබන ක්‍රියාදාමයක් පමණි. එහි වගකීම ද
ක්‍රියාකාරීත්වය ද ලබන ප්‍රතිඵල භුක්ති විඳීම ද තම තමන් විසින් දැන ගත
යුත්තකි.
මේ අනුව බෞද්ධවීමක් ඉතිහාසයේ කවර කලකවත් සිදුවී ඇති බවක් අපට නො පෙනේ.
සිදුව ඇත්තේ අවබෝධයෙන් කරනු ලබන ජීවන පුහුණුවකට මඟ පාදාගැනීමක් පමණි.
තුනුරුවන් සරණ යෑමෙන් හා පන්සිල් ගැනීමෙන් බෞද්ධයකු විය හැකිය යන්න අප
හැම දරන සම්ප්‍රදායික ආකල්පයයි. තුනුරුවන් සරණ යෑම යනු හුදු වචන
මාලාවක් උසුරුවීම පමණක් නොවේ. එම සරණ යෑම සමඟ ඔබ අප මහා ගුණ ධර්ම
සමුදායක් ප්‍රගුණ කරන කෙනෙක් බවට ප්‍රතිඥා දීමක් සිදු කරනු ලබයි. එම
ගුණ ධර්ම පුහුණු නො කරන තාක්, ඔබ මොන තරම් වාර ගණනක් ‘බුද්ධං සරණං
ගච්ඡාමි’ යැයි කීවද බොදුනුවෙක් වූවා යැයි කිව නො හැකියි. මෙය සැබවින් ම
ගැඹුරින් අවබෝධ කරගතයුතු කාරණයකි.
පන්සිල් යනු දිනපතා කියවිය යුතු වචන මාලාවක් නොවේ. සික්ඛාපද යනු
නිරන්තර හික්මීමක් සඳහා අදාළ වන පුහුණු වීමකට දේශිත පද හෙවත් කාරණා
පහකි. ප්‍රතිඥාවක් පමණක් ද නොවේ. තම කැමැත්තෙන් තම හැකියාවනට අනුව
භාරගත යුතු ගුණ ධර්ම මාලාවකි. එම පුහුණු කිරීම කළ නොහැකි නම් දිනපතාම
පන්සිල් ගැනීමෙන් ගුණ ධර්ම ද හීන කර ගැනීමක් ද සිදුවේ.
මේ අනුව පන්සිල් ගැනීම පමණක් වත්, උපත සමග දෙමාපියන්ගෙන් දායාද ලෙස
ලැබෙන උප්පැන්න සහතිකයේ බෞද්ධ යැයි ලියා තිබීමෙන් පමණක් අප කිසිවෙක්
බෞද්ධයකු යැයි උදන් ඇණිය නොහැකිය. එසේවීම වරදක් නොවේ. නමුත් ඉන් ඔබ
සැබෑ බෞද්ධයකු නොවන බව පමණි, මෙයින් මතුකර දක්වන්නේ. එසේත් නොවේනම්
එසේවීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි මෙයින් අවධාරණය කරන්නේ.
මේ අනුව බෞද්ධයකු යනු ගුණ ධර්ම පුහුණු කරන මඟෙහි ගමන් කරන්නෙකි. ඔහුගේ
පුහුණුව දිනපතාම කළ යුත්තකි. ඒ උපතින් ලද බෞද්ධකම වැඩිය යුතු එකකි.
නිරන්තර උත්සාහයෙන් දියුණු කරගත යුතු එකකි. කෙලෙස් නමැති මළකඩ දිනෙන්
දින ටිකෙන් ටික සෝදා පිරිසුදු කළයුතු ය. එසේ නොවන කල බෞද්ධ නමක් මිස
බෞද්ධ කමක් ඇති නොවේ. මෙසේ දියුණු කළයුතු, ප්‍රගුණ කළ යුතු දෙයක් ම වන
බෞද්ධකම අර්ථවත් වන්නේ එවිට පමණි. අත්හළ යුතු දේ අත් හළ, පුහුණු කළ
යුතු දේ පුහුණු කළ, අවබෝධ කළ යුතු දේ අවබෝධ කළ නිසා මම බුදුවරයෙක් යැයි
බමුණෙකුට පිළිතුරු දුන් අප බුදුරජාණන් වහන්සේ ගිය ගමන් මඟ යන සැබෑ
අරුතින් බෞද්ධ කෙනකු බවට ඔබ අප පත්වන්නේ එවිට පමණි.
එබඳු බෞද්ධයකු වීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළ ප්‍රතිපදාව
ප්‍රධාන ක්‍රියාකාරකම් හෙවත් ක්‍රමවේද තුනකින් සමන්විතයි. එය තමා හමුවට
පැමිණෙන රෝගීවූ කෙනකුට හොඳ වෙද මහතකු දෙන අත්දුටු සත්‍යවූ බෙහෙත්
වට්ටෝරුවක් මෙනි. එය නම් දාන සීල භාවනා ප්‍රතිපදාවයි. අපේ බෞද්ධකම
දියුණු කරගනු පිණිස අනුමතකොට වදාළ ප්‍රතිපදා මාර්ගය එයයි. තිසරණ සරණ
ගිය කෙනකු නිරන්තරයෙන් ම තම හැකි පමණින් බෙදා හදා ගන්නා
පරිත්‍යාගශීලියෙක් විය යුතුමයි. එම ගුණය නිරතුරුවම දියුණු කරගනු
කැමැත්තෙක් විය යුතුයි. මින් අදහස් වන්නේ ඔහු හෝ ඇය කරුණාවන්ත කෙනකු
බවයි. අනුන්ගේ දුකෙහි දී උණුවන හදවතක් ඇත්තකු බවයි. පරිත්‍යාග ශීලීත්වය
හා බෙදා හදා ගැනීම භෞතික දේ සඳහා පමණක් නොවේ. සංවේදී ලෙස කරන වෙනත්
තමන් සතු හැකියා බෙදා හදා ගැනීමත් දානයට ම අයත් වෙයි. ආදරය කරුණාව දයාව
බෙදා හදා ගැනීම මෙන් ම තමන් සතු කුසලතා බෙදා හදා ගැනීම ද මෙයට අයත් ය.
ගණිතය දන්නා කෙනකු ඒ පිළිබඳ දුර්වලතා ඇත්තකුට නිශ්ශරණාධ්‍යාශයෙන් උපකාර
කිරීම එවැන්නකි. එබඳු බෙදා හදා ගැනීම්වලට මුදල් වියදම් නොවේ. අවශ්‍ය
වන්නේ කරුණාව පිරුණු ඛ්දවතක් පමණි. එබඳු බොහෝ දේ අපට කළ හැකි අවකාශ උදා
කරගත හැකිය. එබඳු කටයුතු වලින් අප බෞද්ධකම සමග ම දාන පාරමිතාව ද
නිතැතින් ම දියුණු වේ. ශීලය නම් කිසියම් ප්‍රතිපත්ති මාලාවක් තුළින්
කයත්, වචනත් සංවර කර ගැනීමයි. අනුන්ට ඊර්ෂ්‍යා ඇති නොවන පරිදි අපේ
ඇවතුම් පැවැතුම් පවත්වා ගැනීම ද සීල ප්‍රතිපදාවට ම අයත් වෙයි. අල්ලපු
ගෙදර හෝ තමා දන්නා හඳුනන අය අතර සංසන්දනාත්මක තරගයක නොයෙදී සාමකාමී
නිසංසල දිවි පෙවෙතකට මේ ප්‍රතිපදාව මැනවින් මඟ පාදා දෙයි.
ජීවිතය යනු මාත්සර්ය හෝ උඩඟු බව දියුණු කරන ප්‍රදර්ශන මෙවලමක් නොවන බව
වටහා ගැනීම මෙයින් අවධාරණය කෙරේ. සරල ජීවන මාවතකට යොමුවීමෙන් අපේ
බෞද්ධකම බෙහෙවින් දියුණු වේ. ඒ අතර පන්සල් ගොස් ඉඩ ලද දිනක, විශේෂයෙන්
පොහොය වැනි දිනක උසස් ශීලයක යෙදෙමින් කැපවුණු දිවියක් ඉඩ ලැබෙන පරිදි
ගත කිරීම බෞද්ධ පුහුණුව වඩාත් අර්ථවත් කරන්නක් වෙයි. බෟද්ධකම දියුණු
කරන වඩාත් අර්ථවත් ක්‍රියාවලිය ඉඩ ලද හැම විටකම සිත් පුහුණු කරන
භාවනාවක යෙදීමයි. එය හැම තරාතිරමකම අයට අතිශයින් ම වැඩදායකය. ඉගෙන
ගන්නා දරුවකුගේ සිට ඉහළ නිලතල දරන කෙනකුට පමණක් නොව සෑම කෙනකුටම තම
එදිනෙදා දවස ක්‍රමවත් ව හා මනා කළමනාකරණයකින් පොහොසත් කර ගන්නට මේ
මානසික අභ්‍යාසය දිනපතාම සිදු කිරීම අතිශයින් ම ඵලදායකය. මෙය
අත්දැකීමෙන් ම පුරුදු පුහුණු කළ යුත්තකි. මොහොතක් සියල්ල අමතක කොට
ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ ක්‍රියාවලිය දෙස සිත් සමාධි ගත කිරීමෙන්
ලැබෙන මානසික හා කාය සමාදානය ඔබටම අත්දැකිය හැකිය. ඉන් ලැබෙන සංසිඳීම
ජීවිතය ම නැවුම් කරයි. නව පණක් ඔබේ දවසට ලබා දෙයි. උත්තේජකාරී සිතක් ඔබ
තුළ පහළ කරවිය. මේ මගින් ඔබ අපගේ බොදුනු කම දියුණු කරනවා පමණක් නොව
ලෞකික ජීවිතයට ද අපූරු අරුතක් එක් කරනු ලබයි. මේ අනුව හැම කෙනකුට ම
භාවනාව බෙහෙවින්ම වැදගත් සේවාවක් ඉටු කරනු ලබයි. ප්‍රඥාව කරා ඔබ අප
මෙහෙයවන මාර්ගය එයයි.
|