Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

යමුනා සදහම් ආරාමයේ චෛත්‍යයට මුල්ගල තැබීම 13 වන දා

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව විශේෂ පින්කම් රැසක් පැවැත්වීමට වැල්ලවත්ත ශ්‍රී යමුනා සදහම් ආරාමයේ දී විහාරාධිපති අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශවයේ මහානායක හීනටියන නන්ද තිස්ස මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී කැන්දගොල්ලේ පාලිත හිමියන් හා විහාරවාසී පොල්ගහවෙල ඤාණානන්ද හිමියන් විහාර කාර්ය සාධක සමිතිය කටයුතු සංවිධානය කොට ඇත. 2011 පෙබරවාරි 26 වෙනි දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් රාජනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක තෙමහල් ධර්ම මන්දිරයට මුල්ගල් තැබූ අතර එම ගොඩනැඟිල්ල ඉදිවෙමින් පවතී. එම ඉදිකිරීම් කටයුතු වලට මූල්‍යමය අනුග්‍රහය ඉෂාර නානායක්කාර මහතා ප්‍රධාන පිරිස අනුග්‍රහය ලබාදෙන අතර 2008 වර්ෂයේ ගීතා ශ්‍රී නිශ්ශංක මහත්මිය විසින් පූජා කරන ලද මෙම ආරාමයට මෙතෙක් අඩුපාඩුවක්ව පැවති චෛත්‍යරාජයාණන් වහන්සේට මුල්ගල් තැබීමේ මහෝත්සවය මැයි මස 13 වෙනි සිකුරාදා සිදු කිරීමට කටයුතු සංවිධානය කොට ඇත. මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමේ මූල්‍යමය අනුග්‍රහය ලබා දීමට කල්ෂා අමරසිංහ මහත්මිය සහ මහතා විසින් භාරගෙන ඇත.

රාජනීතිඥ එච්.ශ්‍රී නිශ්ශංක මැතිතුමා සහ මැතිනිය වාසය කළ යමුනා මන්දිරය බුදු සසුනට පූජාකිරීමෙන් අනතුරුව විහාරාධිපතිත්වයට පත් අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශවයේ මහානායක හීනටියන නන්ද තිස්ස මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී කැන්දගොල්ලේ පාලිත හිමිපාණන් වහන්සේ සමඟ විහාර කාර්ය සාධක සමිතිය පසුගිය වර්ෂයේ බෝධි ප්‍රාකාරය ඉදිකළ අතර මෙම වර්ෂය තුළ සියලුම විහාරාංගයන් ගෙන් සමන්විත මහා විහාරයක් බවට ශ්‍රී යමුනා සඳහම් ආරාමය පත් කිරීමට කටයුතු සංවිධානය කරගෙන යමින් පවතී.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් 17 වෙනි දින සිට 23 වෙනි දින දක්වා සතියක ශීල භාවනා වැඩ සටහනක් දාස්වත්තේ සුමනසීල ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ. අරියමග්ග සංවිධානය, එච්.ශ්‍රී නිශ්ශංක පදනම, විහාර කාර්ය සාධක සමිතිය මෙම කටයුතු සංවිධානය කරනු ලැබේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.