Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රාග් බෞද්ධ හා සමකාලීන භාරතීය චින්තන ධාරාවන් අතර බුදුදහම

ක්‍රි. පූ. 06 වන සියවසෙහි බුදුරදුන් ලොව පහළ වන විට පැවැති ආගමික චින්තාවන් හෙවත් දෘෂ්ටිවාද රැසක් සූත්‍රානුසාරයෙන් හමුවෙයි. එම සූත්‍රයන්හි යථෝක්ත මත වාදයන් ගැන සහේතුකව හා න්‍යායාත්මකව බුදුරදුන් කරුණු ඉදිරිපත් කරයි. උන් වහන්සේ තත් කාලීන සියලු මතවාදයන් කොටස් දෙසැටකට බෙදා දැක්වූ අතර එම මතවාදයන් ශාස්වත හා උච්ඡේද යන වාදයන්ට හසුවන බවත් බුදුසමය මෙම අන්තයන් මුළුමනින්ම බැහැර කරන බවත් වදාළහ.

ප්‍රාග් බෞද්ධ යුගයෙහිදී හා බුදුරදුන් භාරතයෙහි පහළ වීමෙන් පසු භාරතීය සමාජයෙහි පැවැතියේ ආගමික වශයෙන් නොසන්සුන් තාවයකි. සත්‍යය පිළිබඳ වැටහීමක් නැති, ආගමික දෘෂ්ටිවාදයන්හි පැටලී අන්ධානුකරණයෙන් යුත් චින්තනයන් හෙවත් දර්ශනවාදයන් එකල සුලභව පැවැති බව දීඝ නිකායෙහි එන බ්‍රහ්මජාල හා සාමඤ්ඤඵල ආදි සූත්‍රයන්හි සඳහන් කරුණුවලින් ප්‍රකට වේ.

එම චින්තනයන්හි මුඛ්‍ය විමර්ශනයන්ට ලක්ව පැවතියේ සත්වයා, සමාජය හා ලෝකය පිළිබඳ ඊශ්වර නිර්මාණවාදී ඉගැන්වීමයි. එහි ප්‍රභවය මෙනයින් ඇති විනැයි නොයෙක් තර්ක විතර්ක මගින් කරුණු දැක්වූවන් එම යුගයන් දෙක තුළ විද්‍යමාන විය. ඒ අනුව ඒක දේවවාදය, බහු දේවවාදය හා ඊශ්වර නිර්මාණවාදය ආදී චින්තාවන් ඇති විය. මෙයට අමතරව පුබ්බෙකත හේතුවාදය, (සියල්ල කර්මයෙන් හට ගනියි. මිනිසා කර්මයට අයත්ය) අධිච්චසමුප්පන්නවාදය (ලෝකය කරුණු රහිතව ඉබේම හට ගනිහි යැයි පිළි ගැනීම) යන චින්තනයන් ද ඇති විය.

උපනිෂද් චින්තනය දියුණු වීමත් සමඟම බාහිර බලවේගයන් ඉවත් කොට ආධ්‍යාත්මයට නැඹුරු විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සත්වයා හා ලෝකය සතර මහා භූතයන්ගෙන් හටගත් බව දැක්වීය. එහෙත් ඔවුහු මෙහි නො නැසී පවතින ආත්මයක් ඇතැයි පිළි ගත්හ. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙස තවත් පිරිසක් ආත්මයක් නැතැයි අදහස් (මතවාදයන්) ඉදිරිපත් කළහ. එනිසා ‘ශාස්වතවාදය හා උච්චේද වාදය’ යනුවෙන් අන්ත දෙකක් බිහි විය.

ක්‍රි. පූ. 06 වන සියවසෙහි බුදුරදුන් ලොව පහළ වන විට පැවැති ආගමික චින්තාවන් හෙවත් දෘෂ්ටිවාද රැසක් සූත්‍රානුසාරයෙන් හමුවෙයි. එම සූත්‍රයන්හි යථෝක්ත මත වාදයන් ගැන සහේතුකව හා න්‍යායාත්මකව බුදුරදුන් කරුණු ඉදිරිපත් කරයි. උන් වහන්සේ තත් කාලීන සියලු මතවාදයන් කොටස් දෙසැටකට බෙදා දැක්වූ අතර එම මතවාදයන් ශාස්වත හා උච්ඡේද යන වාදයන්ට හසුවන බවත් බුදුසමය මෙම අන්තයන් මුළුමනින්ම බැහැර කරන බවත් වදාළහ. මෙහි එන ඇතැම් චින්තාවන් තිරශ්චීන විද්‍යාවන් ලෙස විවේචනයට ලක් කොට තිබේ. මෙමගින් ෂඩ්ශාස්තෘවරුන්ගේ දර්ශනය හිස් ප්‍රලාප බවට පත් විය.

යථෝක්ත චින්තනයන්ට අමතරව හින්දූන් ද ලෝක ප්‍රභවය ගැන කරුණු දැක්වුවද ඒවාද පදනම් විරහිත වු බව පෙනෙයි. විශාල පිරිස් සහිතව සංචාරිකව තම දර්ශනය ඉදිරිපත් කළ ප්‍රබල චින්තකයන් වූ මොවුන් දැඩි අවිහිංසාවාදී හා අත්තකිලමථානුයෝගී පිළිවෙත් හඳුන්වා දුන්හ. මොවුන් කුල භේදයට විරුද්ධ වු අතර නිර්වස්ත්‍රධාරීන් විය.

මහාවීරගේ අත්තකිලමතානුයෝගය බැහැර කළ යුතු, ශුන්‍ය දෙයක් ලෙස වදාළහ. අජීවී වස්තුන් සජීවත්වයට ආරෝපණය කොට ඒවා පෑගීම හා වැනසීම මගින් ප්‍රාණඝාතාදී අකුසල් සිදු වන බව ඔවුන් දැක්වූ අතර එම අන්ධගාමී පිළිවෙත් වෙනුවට කුසලාකුසල විනිශ්චය පිළිබඳ කරුණු ලෝකයාට හඳුන්වා දුන්හ.

තත් කාලීන සමාජ ව්‍යුහය තුළ මුල් බැස ගෙන තිබූ අභූත චින්තාවන් වෙනුවට න්‍යායාත්මක පදනමක් මත ලෝකයෙහි සියල්ල ඇති වන හා නැති වන බව බුදුරදුන් අවධාරණය කළහ. මෙම චින්තාවන් හමුවෙහි ලෝකයාට ධර්මය දේශනා කිරීමෙහිදී ආචාර විද්‍යාත්මක, ජීව හා සමාජ විද්‍යාත්මක සාධකයන් දැක්වීම අන්‍ය දර්ශනවාදයන් තුළින් දත නොහැකි ලක්ෂණයකි. බුදුදහම සෙසු චින්තාවන් අතර කැපී පෙනෙන සුඛනම්‍ය දහමක් වීමට මෙය පාදක වූ බව පෙනෙයි. අන්‍ය ශාස්තෘවරුන්ට වඩා උපමා උපමේයයන් හා සංවාදශීලීව, මානව කේන්ද්‍රීයව ධර්මය විවරණය කිරීම ද මෙහි සුවිශේෂී ලක්ෂණයකි. බුදුරදුන් තුළවූ විශාරදත්වය හා බුද්ධිගෝචර භාවය ද අසාහාය පෞරුෂමය ගති ලකුණු ද ශ්‍රාවකයන් තුළවූ ප්‍රිය ශීලිත්වය ද බුදුසමයෙහි ජනප්‍රියත්වයට හේතු විය.

සූත්‍රානුසාරයෙන් දත හැකි බුදුරදුන් තුළවු සුවිශේෂී ගුණයක් නම් අන්‍ය මතවාදයන් යථාර්ථවාදී මඟකට යොමු කිරීමයි. එකල පැවැති යාග හෝම බලි පූජාදී නිරර්ථක දේ වෙනුවට ‘දානය’ උසස්ම යාගය බවත් කෙළෙස් නැසූ තැනැත්තා බ්‍රාහ්මණයා (බාහිත පාපොති බ්‍රාහමණො) බවත් මිනිසාට ඉහළින් ඇති දෙවියෙක් බඹෙක් හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේගයක් නොමැති බවත් දැක්වූහ. මෙවැනි ඉගැන්වීම් මගින් තත්කාලීන සමාජයෙහි මුල් බැස පැවැති අරුත් සුන් ආකල්ප ධර්මය චින්තාවන්ට යොමු කළ අයුරු මැනවින් ගම්‍ය වේ. තත් කාලීන චින්තනයන් හමුවෙහි බුද්ධිමය හා සංවාදාත්මකව කරුණු ඉදිරිපත් කිරීම ද බුදුසමයෙහි ව්‍යාප්තියට හේතු කාරක විය. එකල ඇතැම් ආගමික සමාජයන් තමන් හා වාද විවාද කිරීම හා සාකච්ඡා කිරීම තහනම් කොට තිබූ අතර එසේ කළ හොත් දඬුවම් පමුණුවන බවට නීති සම්පාදනයකොට තිබිණි. එහෙත් බුදුසමය මගින් මානව හිතවාදීව නිදහස් චින්තනයට හා පුද්ගල ස්වාමිත්වයට ප්‍රධානත්වය පවරයි. අන්‍ය චින්තන ධාරාවන් තුළ දත නො හැකි උසස් ප්‍රජාතාන්ත්‍රීය ලක්ෂණ බුදුසමයෙහි මුළුමනින්ම ඇතුළත්ව පවතියි.

බුදුසමය ජනප්‍රියත්වයට පාදක වූ කරුණු අතර එහි ඉගැන්වෙන ශීලය හෙවත් කාය වාග් සමාචාරය මූලික විය. එමගින් සන්සුන් හා ප්‍රසන්න දර්ශනයක් ශ්‍රාවකයා තුළින් මූර්තිමත් වෙයි. මෙහිදී බුදුරදුන් තුළවූ ආගමික සහනශීලිත්වය හා ආගමික නිදහස මගින් ද බුදුසමය සෙසු චින්තාවන්ගෙන් සුවිශේෂී අයුරින් වෙනස් බවක් දක්වයි. එමෙන්ම බුදුදහම තුළ යථොක්ත දර්ශනයන්හි මෙන් අන්ධානුකරණයක් හා භක්තිවාදයක් නොමැති අතර යථාර්ථවාදී බුද්ධිවාදයක් ගම්‍ය වීමද ප්‍රාග් බෞද්ධ හා සමකාලීන චින්තන ධාරාවන් අතර ප්‍රධානත්වයෙහිලා සැළකීමට පිළිවන.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.