Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දියුණුව උදා කරගන්නේ කෙසේ ද?

බුදුදහම නිරන්තරයෙන් යහපත් පවුල් සංස්ථාවන්ගේ දියුණුව අපේක්‍ෂා කළ දර්ශනයකි. පුද්ගලයා ජීවිතය විඳවන්නේ අයහපත් ක්‍රියාකලාපයන්ට නැඹුරුවන නිසයි. එබැවින් යහපත් ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් ලෞකික ජීවිතය විඳිය හැකි අයුරු බෞද්ධ දර්ශනයේ පැහැදිලි කැරේ.

පවුල ගොඩනැගෙන්නේ පුද්ගල එකතුවකිනි. ඒ තුළ මව , පියා ප්‍රධාන කොටගත් දරුපිරිසක් ජීවත් වෙති. සමාජයේ කුඩාම සමාජ ඒකකය පවුලයි. පවුල් සංස්ථාවන්ගේ එකතුවෙන් ගමක්, සමාජයක්, රටක්, ලෝකයක් නිර්මාණය වෙයි. සමාජය දම්වැලක් නම් එහි පුරුක් වන්නේ පවුල් ඒකකයි. සමාජයක් ගොඩනැඟෙන්නේ පවුල් එකතුවෙන් වන බැවින් සමාජයක් යහපත් වන්නේ පවුල් සංස්ථා යහපත් වීමෙන් බව පෙනේ. පවුල නමැති පුරුක් ශක්තිමත් නොවන විට සමාජය නමැති දම්වැල ශක්තිමත් නොවෙයි.

පවුල් සංස්ථාවන් ධර්මයෙන් අර්ථයෙන් දුර්වල වීම නිසා මුළු මහත් සමාජයම පරිහානියට පත්වනු ඇත. සමාජයක්, යහපත් කරලීම සිදුකළ හැක්කේ පවුල තුළිනි. එනම් සමාජයක් සුඛිත මුදිත කරලීමේ පළමු පියවර පවුල් සංස්ථා තුළින් ඇරඹිය යුතුය. නිවස තුළ ගොඩනැගෙන පවුල් සංස්ථාව අර්ථාන්විතව පවත්වාගෙන යායුතු අන්දම පිළිබඳ නිරවුල් අවබෝධයක් පුද්ගලයාට පැවැතිය යුතුය.

ධර්මයෙන් පුද්ගලයා තුළ ඇතිකරනු ලබන හික්මීම පුද්ගලයාගේ ලෝකෝත්තර සුවය උදෙසා පමණක් නොව ලෞකික ජීවිතය සඳහා ද මනාපිටිවහලක් සපයයි. ගිහි විනය ලෙස සැලකිය හැකි සිඟාලෝවාද සුත්‍රයෙහි පෙන්වාදෙන ධර්මානුකූල ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් පුද්ගලයාට මෙලොව ජීවිතය තුළ ධර්මානුකූල සැපය උදාකරගත හැකිය. පවුල් සංස්ථාවක් ශක්තිමත් වීමට ශක්තිමත් ආර්ථිකයක් තිබීම අනිවාර්යය වෙයි. දිළිඳුකම පුද්ගලයාට දුකක්ම වන බව පෙන්වා දෙයි. එබැවින් පවුලක් සාර්ථක වීමට ධනය ලැබීම ද ප්‍රධාන හේතුවක් බව පෙනේ. ධනයෙන් හිඟකම් ඇති පවුල් තුළ ඇතිවන්නේ කලහකාරීත්වයන්ය. ධනධාන්‍ය අප්‍රමාණ ලෙස ලැබුණ ද සෑහීමට පත් නොවන, ධර්මයෙන් තොර පවුල් පිරිහීමට පත්වන බවද බෞද්ධ දර්ශනය තුළදී අවධාරණය කැරේ. පවුල තුළ ප්‍රධාන සාමාජිකයින් දෙදෙනා අතර ඇතිවන අන්‍යෝන්‍ය බැඳීම පවුල් සංස්ථාවේ පදනමයි. පවුලක් සෑම අංශයකින්ම දියුණුවන්නේ මවගේත්, පියාගේත් යහපත් ක්‍රියාකාරිත්වය තුළිනි.

බුදුදහම නිරන්තරයෙන් යහපත් පවුල් සංස්ථාවන්ගේ දියුණුව අපේක්‍ෂාකළ දර්ශනයකි. පුද්ගලයා ජීවිතය විඳවන්නේ අයහපත් ක්‍රියාකලාපයන්ට නැඹුරුවන නිසයි. එබැවින් යහපත් ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් ලෞකික ජීවිතය විඳිය හැකි අයුරු බෞද්ධ දර්ශනයේ පැහැදිලි කැරේ. ගිහ සැප, පැවිදි සැප වශයෙන් පවතින සැප දෙකකි. මෙම සැපයන් වැරැදි ලෙස විඳින්නට උත්සාහ දරන පුද්ගලයාට උදාකරන්නේ දුකක්මය. ගිහි සැප ලැබීමට පවුල නමැති සමාජ සංස්ථාව ආර්ථිකයෙන් ශක්තිමත් විය යුතු බව ඉහත ද සඳහන් කරන්නට යෙදුනි. ස්වකීය ආර්ථිකය ශක්තිමත් කරගත යුතු ආකාරය බුදුදහමේ පෙන්වා දෙන්නේ.

උත්සාහයෙන් බාහුබලය යොදා දහඩිය මහන්සියෙන් ධාර්මිකව ධනය ඉපැයිය යුතු බවයි. එසේ උපයන ධනයෙන් ගිහි සැප විඳිය හැකිය. එම සැප හතරක් වෙයි.අත්ථී සුඛ, භෝග සුඛ, අණන සුඛ, අනවජ්ජ සුඛ නම් එම සැපයි. අත්ථි සුඛ නම් ධාර්මිකව උපයන ලද ධනයෙන් සතුටට පත් වීමයි. භෝග සුඛ නම් ධාර්මිකව උපයාගත් ධනය නිවැරදිව පරිහරණය කිරීමෙන් සතුටට පත්වීමයි. අණන සුඛ නම් තමා අන්‍යයන්ට ණය නොවී ජීවත්වීමෙන් ලබන සතුටයි. කිසිවෙකුටත් වරදක් නොමැතිව ධාර්මිකව නිවැරදි අයුරින් දිවිය පවත්වාගෙන යාමෙන් ලබන සැපය අනවජ්ජ සුඛයයි . මෙසේ ලබන සැපයන් නිසා පවුල් ජීවිත සහනශීලි ලෙස පවත්වාගෙන යා හැකි වෙයි.

අධර්මයෙන් පුද්ගලයා ලබාගන්නා ධනය නිසා පුද්ගලයා පිරිහීමට පත් වෙයි. පවුල් ජීවිත පවත්වාගෙන යාමේදී ධාර්මික ලෙස උපයන ධනය පවුලේ දියුණුවට හේතුවෙයි. සිඟාලෝවාද සූත්‍රයෙහි පෙන්වා දෙන්නේ මී මැස්සා මල නොතලා රොන්ගන්නා ලෙස අනුන්ට කරදරයක් නොකර සම්පාදනය කරන ධනය වේයන් බඳින තුඹසක් මෙන් වර්ධනය වන බවයි. ධනය පමණක්ම ජීවිතය ලෙස නොදැකිය යුතුය. පවුල් තුළ වැඩිහිටි , තරුණ, බාල කවුරුත් ධර්මයට ගරු කළ යුතුය. දෙදෙනකුගේ විවාහය තුළින් ගොඩනැගෙන පවුල තුළ එකිනෙකා අතරෙහි විශ්වාසය, තිබිය යුතුය.ඒ තුළින් පවුලට යහපත උදා වෙයි. ගුණධර්ම දියුණුවන්නේ පුද්ගලයා යහපත් ක්‍රියාකාලපයන් අනුව හැසිරෙන විටයි. සංවාස සූත්‍රයේදී බුදුරදුන් සමාජයේ පවතින පවුල් ජීවිත හතරක් පෙන්වා දී ඇත. එනම්,

1.ජවෝ ජවාය සද්ධිං සංවසති
මළමිනියක් මළමිනියක් හා එක්ව වාසය කිරීම

2. ජවෝ දේවියා සද්ධිං සංවසති
මළමිනියක් දෙව්ඳුවක සමඟ වාසය කිරීම

3. දේවෝ ජවාය සද්ධිං සංවසති
දෙවියෙක් මළමිනියක් සමඟ වාසය කිරීම

4. දේවෝ දේවියා සද්ධිං සංවසති
දෙවියෙක් දෙව්දුවක සමඟ වාසය කිරීම

මේ අතරින් අගය කළේ දෙවියෙක් හා දෙව්දුවක සමඟ වාසය කරන්නා සේ සමාන ගුණධර්මයන්ගෙන් යුක්තවීමයි. සාර්ථක පවුල් සංස්ථාවක අඩිතාලම එයයි. බුද්ධ කාලයේ නකුල මාතා , නකුල පිතා යුවළ බුදුරදුන් අගය කළේ ඔවුන් දෙදෙනාම උදාර සමාන ගුණධර්මයන්ගෙන් යුක්තව සිටි නිසයි. මහා මංගල සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, වේළුද්වාර සූත්‍රය ආදී බෞද්ධ සූත්‍රදේශනා පුද්ගලයාට ලෞකික පවුල් ජීවිත සාර්ථක කරගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදෙයි. සිඟාලෝවාද සූත්‍රයෙහි පෙන්වාදෙන ස්වාමි භාර්යයා යුතුකම්ද යහපත් පවුල් පරිසරයක් පවත්වාගෙන යාමට හේතුවෙයි. එහිදී ස්වාමියා විසින් බිරිඳට ඉටුකල යුතු යුතුකම් මෙසේ දක්වයි. එනම්,

1. බිරිඳට ගරු කිරීම
2. අවමන් නොකිරීම
3. පරදාර සේවනය නොකිරීම
4. ඇයට ගෙදර වගකීම් පැවරීම
5. ඇඳුම් පැළඳුම් සපයාදීම

මෙලෙස යුතුකම් ඉටුකරන ස්වාමියාට බිරිඳ විසින් ඉටුකළ යුතු යුතුකම්ද වෙයි.

1. ගෙදර කටයුතු මැනවින් සංවිධානය කිරීම
2. ඇසුරු කරන පිරිසට මැනවින් සංග්‍රහ කිරීම
3. පරපුරුෂ සේවනය නොකිරීම
4. උපයන ලද ධනය ආරක්ෂා කිරීම
5. සෑම කටයුත්තකම දක්ෂවීම හා අනලස වීම

ඉහත අඹු - සැමි යුතුකම් නිසි පරිදි ඉටුකළ නොහැකි තත්ත්වයන් උද්ගත වීමෙන් පවුල් සංස්ථා බිඳවැටෙන අවස්ථා බොහෝය. පවුලේ කටයුතු අවුල් වේ නම් කොතරම් මුදල් උපයා ගත්තත් ඉන් පළක් නොවන බව වටහාගත යුතුය. මෙම ස්වාමි භාර්යා යුතුකම් ඉටුවන පවුල් පරිසර සාර්ථකය. එම දෙමාපියන් වටා ගොඩනැඟෙන පවුල සාමකාමී ප්‍රසන්න පවුලක් බවට පත්වනු ඇත. කුඩා අවධියේ සිට දරුවන් හැදෙන වැඩෙන පවුල් පරිසරයන් යහපත් විය යුතුය. සමාජය තුළ කුඩාදරුවන් බහුතරයක් නොමග යන්නේ පවුල තුළ පවතින අරගල ආරවුල් නිසා බව පෙනේ. එබැවින් දරුවන් යහපත් කිරීමට පවුල් පරිසරය ධර්මානුකූල විය යුතුය. කුඩා අවධියේ සිට දරුවන්ට පවුල තුළින් ඇතිකරන හික්මීම අනාගතයේ සමාජයට වැඩදායක වැඩිහිටියෙකු බිහිවීමට හේතුවෙයි. ආගම ධර්මයෙන් ලබන ආශිර්වාදයත් සමඟ සාර්ථක පවුල් ජීවිත ගත කරන පුද්ගලයාගේ දෙලොවම සාර්ථකය. තම පවුලත් සමාජයත් සුරක්‍ෂිත වන ආකාරයේ ක්‍රියාවන්හි නිරත විය යුතුය. දෙමාපියන්, දරුවන් අතරෙහි ඇතිවන සුහදත්වය සමාජයේ දියුණුවට රුකුලකි. පවුල් රැකුණොත් සමාජයන්ද සුරක්‍ෂිත වනු ඇත.දැහැමි මාවතේ ගමන් අරඹමින් සමස්ත සමාජයටම වැඩදායක දරු පරපුරක් බිහිකර ගැන්මට පවුල් සංස්ථාවන් ධර්මයෙන් අර්ථයෙන් ශක්තිමත් වීම හේතුවෙනු ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.