Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
බුද්ධ දේශනාවට අනුව ජීව ලෝකයෙහි මෙය මෙසේ සිදුවේ යැයි නියමයන් කළ නොහැකි (කල් ඇතිව දැන ගත නොහැකි සිදුවීම්) පංච අනිමිත්තා නමින් සඳහන්ව ඇත. ඒ මොනවාද?

පිළිතුර
ජීවිතං ව්‍යාධි කාලොච
දෙහ නික්ඛෙපනං ගති
ඤ්චෙ තෙ ජීව ලොකස්මිං
අනිමිත්තා න ඤාය රේ.

1. ජීවිතය මෙතෙක් කල් පැවතිය යුතු ය. මිය යාම මෙසේ සිදුවිය යුතු ය. යනාදී වශයෙන් ස්ථාවරව කිව නොහැකි ය.
2. මිය යාමට හේතුව වන්නා වූ, රෝගාබාධයන් කිව නොහැකි ය.
3. මරණය නියතයි. එහෙත් කොතැනක කොයි මොහොතකදැයි අනාවැකි කිව නොහැකිය.
4. ජීවිතයෙහි අවසානයේ මිහිදන් කරන්නා වූ ස්ථානය වැලලීම ආදී (දේහනික්ඛේපන) කිව නොහැකි ය
5. ගති නම් පුනර් ජන්මය පිළිබඳව අනාවැකි කිව නොහැකි ය.

ප්‍රශ්නය
ප්‍රථම ශ්‍රී ලංකාවාසී රාජ්‍ය පාලකයා වූ මේ රජු සිංහලයන් සමග රට නැංවීමට ආදිවාසී ජනතාවගේ සහයෝගය ලබාගෙන අනුරාධපුර පිහිටුවන ලදී. සැලසුම් කරන ලද නගර නිර්මාණයක් ලෙස අනුරාධපුරය පිහිටුවාලීම ඔහුගේ විශිෂ්ටතම සේවාව විය. එම ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයාගේ නම කුමක්ද?

පිළිතුර
පණ්ඩුකාභය රජතුමා

ප්‍රශ්නය
යම් පුද්ගලයෙකු තවත් අයෙකු කෙරෙහි ඇති වෛරය අමනාපය හෝ ඊර්ෂ්‍යාව නැතිකර ගැනීම සඳහා ගත යුතු ක්‍රියා පිළිවෙත් බොහොමයක් අතුරෙන් ‘අත්තුප්පනායක ධම්ම පරියාය’ යනුවෙන් තමා උපමානය වශයෙන් සලකා දූෂිත සිත ඉවත් කර ගැනීමයි. මෙම ධර්මපර්යාය පැහැදිලි කරන්න.

පිළිතුර
තමා පිළිබඳව පළමුවෙන් මෙසේ සිතිය යුතු ය. මම සැපයට කැමැති වන්නේ වේදනාවට බිය වන්නේ යම් සේද? මා ජීවත් වීමට කැමැති වන්නේ මරණයට අකැමැති වන්නේ යම් සේද? අනෙකුත් සියලුම සත්වයන් කල්පනා කරන්නේ ද එසේමය.

මෙසේ තමා උපමානය සේ සලකා එසේ සිතීම අන් අයගේ ජීවිත පැවැත්මට හානි නොකරයි. ඒ අයගේ ජීවිතයට ගෞරව කරයි. භාග්‍යවතුන් වහන්සේද එක් අවස්ථාවකදී (සං. 1.75) මෙසේ වදාළහ.

මම මගේ මනසින් සතර දිසාවම අවලෝකනය කළෙමි. එහෙත් මට වඩා මා කැමැති වෙන කිසිවෙකු මට මුණ ගැසුනේ නැත. මේ අයුරින් සෑම කෙනෙකුම තමාට බෙහෙවින් ඇලුම් කරන්නේ ය.

යමෙක් හෘදයාංගමවම තමාට ආදරය කරන්නේ නම් ඒ තැනැත්තා කිසි විටක අන් අයට හිංසා නොකරන්නේ ය.

ප්‍රශ්නය
පස්වන සියවසේ මහානාම රජු දවස ලංකාවට වැඩමකොට අනුරාධපුර මහා විහාරයේ වැඩවසමින් විශුද්ධි මාර්ගය රචනා කළ පඬිවරයා කවුද?

පිළිතුර
බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ

ප්‍රශ්නය
ත්‍රිකුණාමල දිසාවේ තිරියාය ගිරිහඬු සෑය බෞද්ධාගමික වශයෙන් වැදගත් වන විශේෂ හේතුව කුමක්ද?

පිළිතුර
තපස්සු භල්ලුක වෙළඳ සහෝදරයන් ලබාගත් කේශ ධාතූන් වහන්සේලා නිදන් කොට ශ්‍රී ලංකාවේ ඉදිකළ ස්ථූපය පිහිටා තිබෙන්නේ තිරියාය, ගිරිහඬු සෑය නම් ස්ථානයෙහි ය.

ප්‍රශ්නය
ඓතිහාසික ලක්දිව සිදුවීමක් පිළිබඳව දෙදෙනෙකු අතර සිදුවූ සංවාදයෙන් කොටසක් මෙසේ ය. පාලි බෝධි වංශයේ 101 වන පිටුවෙහි එම සංවාදය මෙසේ සඳහන් වෙයි.

“සහායෙන මෙ කිං නදින්නං
අදින්නං තෙන මෙ අත්තමත්ත මෙව
මහා බෝධි පරිහාරං එකතො
කතං කරිස්සා මීති උප්පජ්ජ මාන
සොකං සහායො මෙදුරමකාස

සිංහල අනුවාදය

මගේ යහළුවා මට නොදුන්නේ ඔහුගේ ආත්මය පමණය. (අත්තමත්තමෙව) මේ සා විශාල බෝධි පෙරහරක් තනියම කෙසේ කරම් දැයි මගේ සිත තුළ උපදින ශෝකය පවා ඔහු විසින් දුරු කරන ලදී. මේ පුවත කවුරුන් විසින් කාහට කියන ලද්දක්ද? එම සංවාදයට මුල් වූ ඓතිහාසික සිදුවීම කුමක්ද?.

පිළිතුර
දඹදිව ධර්මාශෝක අධිරාජයා සහ ශ්‍රී ලංකාදීප රජය හෙබවූ තිස්ස රජු අතර බෝධි ආගමන පෙරහර පිළිබඳ ඇති වූ කතාවයි ඒ තිස්ස රජු විසින් කළ යුතුව තිබුණේ. මෞර්ය අධිරාජයා විසින් නියම කර එවා තිබූ අන්දමට ඔවුනට තනතුරු දී ඒ ඒ වැඩ රාජකාරී හා ආවතේව භාරදීම පමණි.

ප්‍රශ්නය
මිහිඳු මාහිමියන් මහමෙවුනා උයන පිළිගත් දිනයේම, අනුලාදේවිය ප්‍රධාන පිරිසක් එහිදී බණ අසා සකදා ඵලයට පැමිණ පැවිදි වීමට කැමැති බව රජුට දැන්වූවා ය. දෙවනපෑතිස් රජු ඒ බව මිහිඳු මහරහතන් වහන්සේට දැන්වීය. අනුලා දේවිය ප්‍රධාන කාන්තා පිරිසේ පැවිද්ද ඉල්ලීම නිසා ශ්‍රී ලාංකික බුද්ධ ශාසනයට විශිෂ්ට ප්‍රතිඵල දෙකක් හිමි විය. එම ප්‍රතිඵල මොනවාද?

පිළිතුර
අනුලාදේවිය ප්‍රධාන වනිතා පක්‍ෂයේ පැවිද්ද ඉල්ලීම නිසා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ආගමනයෙන් භික්‍ෂුණී සාසනයත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආගමනයෙන් කාල නියමයකින් තොරව බැතිමත් සැදැහැවතුන්ට සිත් සනහා ගත හැකි බුද්ධ පාරිභෝගික ධාතුවක් පූජනීය වස්තුවක් ශ්‍රී ලංකාවේ ප්‍රතිෂ්ඨාපිත විය. දෙවැන්න නිසා රටේ සංස්කෘතියක පුනරුදයට ලැබුණු දායාද සම්භාරය පළමුවැන්න අභිභවනය කොට ඇති බවද වර්තමානය දක්වා එහි ප්‍රතිඵල දක්නට ලැබීමෙන් වටහාගත හැකි ය.

ප්‍රශ්නය
කේන්ද්‍රිය බෞද්ධ සාරධර්ම ලෙස සැලකිය යුතු සිව්බඹ විහරණය වූ කලී මානව හිතවාදී බවද ඉක්මවා ගිය ජීව හිතවාදී හා අව්‍යාජ සංවේදී බවකින් ද යුතු ප්‍රබුද්ධ විකසිත සමාජයක් බිහි කරලීමට උපකාරී වන බෞද්ධ ඉගැන්වීමකි. අගැයීමක් කරන්න.

පිළිතුර
බුදු සමයෙහි එන කේන්ද්‍රිය සද්ගුණ සතර නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන්නය. මෙත්තාව යන්න අනේකාකාර වූ සකලවිධ ජීවීන්ගේ සුවසෙත ඉත සිතින් පතන්නෙකු, දුක්ඛය කැමැති නොවන්නෙකු බිහිකිරීම සඳහා ය. ද්වේෂයෙන් තොර චරිතයක් ගොඩ නැංවීම පිණිසය. කරුණාව දුකට පත් වූවන් කෙරේ සැබෑ අනුකම්පාව ඇත. එයින් කම්පාවන හදවත් ඇති මිනිසෙකු ගොඩනැඟීම අපේක්‍ෂා කරයි. මුදිතාව අන්‍යයන් කෙරේ ඊර්ෂ්‍යාවෙන් තොර වූ ඔවුන්ගේ දියුණු සැපත දැක සතුටු වන සිත් ඇත්තෙකු බිහි කරයි. උපේක්‍ෂාව ලෝකයේ විවිධාකාර සිතුම් පැතුම් හා අදහස් උදහස් දැක එකී විෂමත්වය තුළින් මැදිහත්ව සිතන්නෙකු ඇති කරලීමට අපේක්‍ෂා කරයි. බුදුන් වදාළ සියලු යහ ගුණයන් කේන්ද්‍ර වන්නේ මෙකී සිව් බඹ විහරණයන් ය.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.