ගතට සිතට
රැකවරණය
හබරණ වෙහෙරහේන යෝගාශ්‍රමයේ
මැල්ලවගෙදර
සමණ ධම්ම හිමි
නමෝතස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නගරං යථා පච්ච නත්තං
ගුත්තං සන්තර බාහිරං
එවං ගොපෙථ අත්තානං
ඛණොවෙ මා උපච්චගා
ඛණා’තිතා හි සොවන්ති
නිරයමහි සමප්පිතාති
පින්වත්නි,
ඉහත
මාතෘකා කළ ගාථාව අයත්වන්නේ ධම්ම පදයේ නිරය වග්ගයටයි. මෙම ගාථාවේ සරල
අදහස වන්නේ ඇතුළතින් හා පිටතින් රැකවල් කරන ලද පිටිසර නුවරක් රක්නා
රජකුමෙන් තම සිත රැකගත යුතුයි. මේ දුර්ලභ වූ උතුම් මොහොත ප්‍රයෝජනයට
යොදාගත යුතුය. යම් හෙයකින් මේ මොහොත ප්‍රයෝජනයට නො ගතහොත් නිරයහි ඉපිද
ශෝක කරති. එබැවින් මේ උතුම් මොහොත (බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලය)
අපතේ නො යවන්න.
බුදුරජාණන් වහන්සේ මෙම ගාථාරත්නය එක්තරා ආගන්තුක භික්ෂු පිරිසකට දේශනා
කළ සේක.
ආගන්තුක භික්ෂු පිරිසක් පිටිසර ගම්මානයකට වස් වාසයට වැඩම කළා.
ගම්වාසියන් මේ භික්ෂූන් වහන්සේලාට තම ගමේ වස් එළඹ වැඩ සිටීමට ආරාධනය කර
සියලු පහසුකම් සලසා දුන්නා. සියලු දෙනාම මෙම භික්ෂු පිරිසට සිවු පසයෙන්
උපස්ථාන කළා. මෙසේ මේ භික්ෂු පිරිස ඉතාමත් සුවසේ වැඩ සිටියා. සොරුන්
පිරිසක් පැමිණ ගමේ සියලු දෙනාගේම වස්තුව පැහැරගෙන ගියා. මේ නිසා සියලුම
ගම්වැසියන් ගම ආරක්ෂා කර ගැනීමට දිවා රාත්‍රී දෙකෙහිම රැකවල් යොදාගෙන
සිටියා.
මේ නිසා භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන්න අතපසු වුනා. මේ
භික්ෂූන්වහන්සේලා අපහසුවෙන් වස් තුන් මාසය ගතකළා. පසුව මෙම භික්ෂු
පිරිස බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සැවැත්නුවර ජේතවනාරාමයට වැඩම කළා. මේ
පිරිස බුදුරජාණන් වහන්සේට වන්දනාකර එකත්පසක හිඳ ගත්තා.
බුදුරජාණන් වහන්සේගේ චාරිත්‍රයක් වන පිළිසඳර කථාවේ යෙදුනා. ‘මහණෙනි
ඔබලා වස් තෙමස සුවසේ විසුවේ’දැයි බුදුරජාණන් වහන්සේ විචාළා. එයට
පිළිතුරු දුන් භික්ෂූන් වහන්සේලා ‘’ස්වාමීනි! වස් තෙමස පළමුමස නම්
සුවසේ ගත කළා. දෙවන මස සොරුන් පැමිණ ගම විනාශ කළා. ගම් වැසියන්ගේ සියලු
දෙය පැහැරගෙන ගියා. එනිසා ගම්වැසියන් ගම රැක ගැනීමට දිවා රාත්‍රී
යෙදුනා. එනිසා ඒ අයට අපට උපස්ථාන කිරීමට ඉඩකඩ නැතිව ගියා. එබැවින්
දෙමසක් අප සෑහෙන අපහසුතාවයකට පත්වුනා’ එවිට බුදුරජාණන් වහන්සේ භික්ෂූන්
වහන්සේලාට මෙසේ දේශනා කළා. ‘’මහණෙනි ඔය කාරණය එතරම් සැලකිය යුතු දෙයක්
නොවෙයි. පහසුවෙන්, හැමදාම කාටවත් වාසය කරන්න ලැබෙන්නෙ නැහැ.
ඔබලා ඔය කාරණය ආදර්ශයට ගන්න. ඒ මිනිසුන් තමන්ගේ ගම යම්සේ රැකගන්න
යෙදුනේද, එසේම ඔබලා විසින් ද ඔබලාගේ ආත්මය රැක ගැනීමට උත්සාහ ගතහොත්
ඔබලාගේ මහණකමේ පරමාර්ථය ඉෂ්ඨකර ගන්න ලැබෙනවා. මෙසේ අවවාද කළ බුදුරජාණන්
වහන්සේ ‘’මහණෙනි, ගමකට සොරුන් ඇතුල් නොවනු පිණිස ගමට ඇතුලුවන සියලු
දොරටු රැකවරණ යොදා ආරක්ෂා කර ගන්න ඕන. එමෙන්ම ග්‍රාමය නමැති තමන්ගේ
ආත්මයට කෙළෙස් නමැති සොරුන් ඇතුලුවන දොරටු හයක් තිබෙනව.
ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන මේ ආයතන ආරක්ෂා කර ගන්න ඕන. මෙම ආයතන
ආරක්ෂා කර නො ගතහොත් බාහිර ආයතනවන රූප, ශබ්ද, ගන්ධ ආදී සය අරමුණට
රාගාදී කෙළෙසුන් ඇතිවෙනව. එමනිසා එම කෙළෙස් සොරුන්ට තම ආත්මය නමැති
ග්‍රාමයට පැමිණීමට නොදී ආරක්ෂා කර ගන්න ඕන. ‘’යම් හෙයකින් අධ්‍යාත්මික
ආයතන වන චක්ඛු, සෝත ආදී සදොරට අරමුණු වන බාහිර ආයතන වන රූප, ශබ්ද, ගන්ධ
ආදී සය අරමුණට රාග ද්වේශ, මෝහ ආදී කෙළෙස් ඉපදීමට ඉඩ හරිතොත් මෙම
බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජනයක් ගත නොහැකියි’’ ඉහත මාතෘකා කළ ගාථාවෙන්
මෙසේ බුදුරජාණන්වහන්සේ ධර්ම දේශනා කළසේක.
පින්වත්හි, සිල්වත් භික්ෂූන් වහන්සේ වැඩ වසනතුරු බුද්ධ ශාසනය ආරක්ෂා
වේ. මහා කාෂ්‍යප, ආනන්ද, උපාලි ආදී මහ රහතන් වහන්සේලාගේ අනන්ත වූ කරුණා
මෛත්‍රියෙන් ධර්ම සංඝායනා කළා. අනතුරුව ශ්‍රී සද්ධර්මය ති‍්‍රපිටකයක්
වශයෙන් ලියා තැබූහ.
එනිසා අපට අද දක්වා එම නිර්මල බුදුදහම ඉතිරිව තිබෙනව. මේ වනවිටද අපගේ
ගෞරවනීය යතිවරයින් වහන්සේලා ධර්ම ග්‍රන්ථ එළිදක්වමින් තමන් වහන්ස්ලාගේ
දිවි දෙවැනි කොට බුදුදහම ආරක්ෂා කරනව.
සසර දුක හැඳීනගෙන එම දුකින් අත්මිදීමට වෙර දරන අනන්ත බොදු පිරිස අප අතර
සිටිනව. එම අධිෂ්ඨානය සඵල කර ගන්නනම් අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. මෙම
බුදුසසුන තුළදීම අපගේ පරමාර්ථය ඉෂ්ඨ කර ගැනීමට අධිෂ්ඨාන කර ගන්න ඕන.
මාතෘකා කළ ගාථාව නැවත සිහිපත් කරගන්න. නුවරක් රකින රජතුමෙක් මෙන් තම
සිත රැකගත යුතුයි. මෙම දුර්ලභව ලැබූ මනුෂ්‍ය ආත්මයෙන් ප්‍රයෝජන ගත
යුතුයි. එසේ නැතිව පාපකර්මවල යෙදුනහොත් සතර අපායට නැවත වැටෙනව.
අප සසරට එක්වූයේ කෙදිනකද යන්න අප කවුරුත් දන්නෙ නැහැ. අප සසරින් අත්
මිදෙන්නේ කෙඳිනකදැයි හිතන්නත් බැහැ. අනන්ත කල්ප ගණනාවක් දුක් විඳිමින්
ආ මේ සසර දුකින් අත්මිදිමට නම් ලැබුණු මනුෂ්‍ය ආත්මයෙන් ප්‍රයෝජන ගන්න
ඕන ගෞතම බුදුපියාණන්වහන්සේ අවබෝධ කළ නිර්මල බුද්ධ ධර්මය නොනැසී තවම
රැඳී පවතිනව. ගෞතම බුදුරජාණන් වහන්සේගේ රූපකාය ජීවමානව නො පැවතියත්
උන්වහන්සේගේ ධම්ම කාය නොනැසී පවතිනව.
ගෞතම බුදු සසුන තවම නොනැසී පවතිද්දී එය අවතක්සේරුකර මෛත්‍රි බුදුන් දැක
නිවන්දකින්න ප්‍රාර්ථනා කරන්නේ නම් එය අනුවනකමක්. අපගේ අධිෂ්ඨානය
නිවැරදි වූවොත් ගෞතම බුද්ධ ශාසනය තුළම අපගේ් අභිමතාර්ථ මුදුන්පත් කර
ගැනීමට හැකිවෙනවා. මෙම බුදු සසුන තුළ අප කුසල් සම්පාදනය නො කළහොත් සතර
අපායේ උපදින්න වෙනව. අපායේ තිරිසන් ලොව, පේ‍්‍රතලොව, උපත ලැබුවොත් කල්ප
ගණන් එම අභව්‍ය ස්ථානවල දුක් විඳින්න වෙනව.
එසේ වුවොත් මෛත්‍රි බුදුරජාණන් වහන්සේවත් දකින්න ලැබෙන්නෙ නැහැ. මෙම
භවයේ කුසලයෙහි නිරතවීනම් මාර්ගඵල නොලැබුවත් සුඛිත ආත්මභාවයක් ලැබෙනව.
අප සසරේ කළ කුසලකර්ම ඉදිරියට ගෙනයන්න පුළුවන්. එසේ වූවොත් මේ භවයේ
නොහැකි වුවත් උපදින අනෙක් භවයේදීවත් සෝවාන්ඵල මාර්ග ඥානයවත් ලබා ගැනීමට
හැකිවෙනවා. ඊට පසු අප සසරට බියවිය යුතු නැහැ. ඊට පසු අභව්‍ය ස්ථානයක
උපදින්නේ නැහැ.
සියලු බුදුවරයින් වහන්ස්ලාගේ අනුශාසනය පිළිපදින්නේ නම් මෙම
බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍යයකු වශයෙන් උපන් ඔබට එහි ප්‍රයෝජනය ලබා ගන්න
පුලුවන්.
සියලු පව් නොකිරීමෙන්ද, කුසල් වැඩීමෙන්ද, සිත නීවරණයන්ගෙන් පිරිසුදු කර
ගැනීමෙන් ද, යන සියලු බුදුවරයින් වහන්සේලාගේ අනුශාසනය අනුගමනය කිරීමෙන්
මෙම බුද්ධ ශාසනය තුළම සසර දුක නිවා ගැනීමට අධිෂ්ඨාන කර ගන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි! |