Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සැම සතට සෙත දෙන නාථකරණ ධර්ම

අත්තාහි අත්තනෝ නාථෝ
කෝ හි නාථෝ පරෝ සියා
අත්තනාව සුදන්තේන
නාථං ලභති දුල්ලභං
 

තමාට පිහිට තමාම ය. වෙන කවරකු පිහිට වේද? මනා සේ තම සිත දමනය කළ පුද්ගලයා අරහත්ඵල නමැති පිහිට ලබන්නේ ය.

ඉහත සඳහන් ගාථාර්ථය තේරුම් ගන්නා තැනැත්තා ආත්ම විශ්වාසය, දැඩි අධිෂ්ඨානය හා නොපසුබස්නා වීර්යය ඇතිව තමන්ගේ මෙලොව, පරලොව ජීවිත ආලෝකමත් කරගනී. තමාට තමා කෙරෙහිවත් විශ්වාසයක් නැති පුද්ගලයා දුකකට, අසහනයකට පත්වූ විට අදෘශ්‍යමාන බලවේගවලින් පිහිට ප්‍රාර්ථනා කරයි.

එසේම, නොපෙනෙන දෙවියකුට පලතුරු වට්ටි පුදා පිළිසරණ පතයි. ටකරන් තහඩුවක් කිරි පැකට්ටුවක්, විදේශ රැකියා අවස්ථාවක් ලබා ගැනීම සඳහා තම ආගම පවා මාරු කරයි. ආත්ම විශ්වාසය හා දැඩි අධිෂ්ඨානය ඇතිකර ගැනීමෙන් තමා තුළින්ම තමාට විමුක්තිය ලබා ගත හැකි අන්දම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නාථකරණ සූත්‍රයෙන් වදාළ සේක. තම ආත්ම විශ්වාසය ඇතිකරගෙන මෙලොව, පරලොව ජීවිතය රැක ගැනීම සඳහා නාථකරණ සුත්‍රයෙන් කරුණු දහයක් ශාන්ති නායකයාණන් වහන්සේ පෙන්වා දී ඇත.

1. සීලවාහෝති (සිල්වතෙක් වෙයි)
2. බහුස්සුතෝ හෝති (බහුශ්‍රැත වෙයි)
3. කල්‍යාණ මිත්තෝ හෝති (කලණ මිතුරෙක් වෙයි)
4. සුවචෝ හෝති (කීකරු කෙනෙක් වෙයි)
5. දක්ඛෝ හෝති (දක්ෂයෙක් වෙයි)
6. ධම්ම කාමෝ හෝති (ධර්මයට කැමැති වෙයි)
7. ආරද්ධ විරියෝ හෝති (අරඹන ලද වීර්යය ඇත්තෙක් වෙයි)
8. සන්තුට්ඨෝ හෝති (ලද දෙයින් සතුටුවන්නෙක් වෙයි)
9. සතිමා හෝති (සිහි ඇත්තෙක් වෙයි)
10. පඤ්ඤවා හෝති (ප්‍රඥා වන්තයෙක් වෙයි).

ආත්ම විශ්වාසය තහවුරු කරගෙන තම මෙලොව, පරලොව ජීවිතය හැඩගස්වා ගැනීමට බුදුවදනේ මාර්ගෝපදේශකත්වයට අභියෝග කිරීමට කිසිම දහමක් ලොව නැත. ආත්ම විශ්වාසය පෙරදැරිව මෙම නාථකරණ ධර්ම අවබෝධ කරගෙන ඒ අනුව ජීවිතය හැඩගස්සවා ගැනීමට ප්‍රයත්න දරතොත් ලෞකික, ලෝකෝත්තර ජීවිත මල්ඵල ගන්වා ගත හැකිය.

සුද්ධී අසුද්ධි පච්චත්තං - නාඤ්ඤමඤ්ඤෝ විසෝධයේ

පිරිසුදුබව හෝ අපිරිසුදුබව පවතින්නේ තමා කෙරෙහිම ය. අනෙකක් අනෙකකු පිරිසුදු නොකරන්නේ ය. නොකෙලෙසන්නේ ය.

(1) සීලවා හෝති

සීලය යනු ජීවිතයේ ශීර්ෂයයි. ශීර්ෂය නොමැතිනම් ජීවිතය රඳා නොපවතී. සිල්වත්කම නොමැතිනම් ඔහුගේ් ජීවිතය සදාකල්හිම අඳුරේ පවතී. ගෘහස්ථයාගේ නිත්‍ය සීලය වන පංචසීලය රකින, දසකුසල ධර්මයන් හි යෙදෙන අයගේ මෙලොව පරලොව ජීවිත ආලෝකමත් වේ.

‘ධම්මෝ හ වේ රක්ඛති ධම්මචාරිං’
ධර්මයෙහි හැසිරෙන අයට ඒ තුළින්ම තම ආරක්ෂාව සැලසේ.

අම්බඛාදක මහාතිස්ස නම් තෙරුන් වහන්සේ දුර්භික්ෂ කාලයක දිනක් පිඬුසිඟා වැඩිය නමුත් කිසිවක් නො ලැබුණේය. උන්වහන්සේට ක්ලාන්ත ගතිය ඇතිවිය. තෙරුන් වහන්සේ එක් අඹ ගසක් යට ගිමන් හැරීමට නැවතිණි. අඹ ගස යට අඹ වැටී ඇත. එහෙත් නො පිළිගත් දෙය වැළඳීමට අවකාශ නැත. නොපිළිගත් දෙය වැළඳීම ආපත්තිකරය. ඒ අවස්ථාවේ එහි පැමිණි එක් උපාසකයෙක් ක්ලාන්ත වූ තෙරුන් වහන්සේට අඹ මිරිකා පෙව්වේය. එයින් සුවයක් නොවූ හෙයින් උපාසක තැන තෙරුන් වහන්සේ සිය ගමට රැගෙන යෑමට කරපිට හිඳුවා ගත්තේ්ය. කරපිට සිටින තෙරුන් වහන්සේ මෙසේ සිතීය. ‘’මා ඔබගේ පියාද නොවේ. මවද නොවේ. නෑයෙක්ද නොවේ. මගේ සිල්වත්බව නිසාම මෙම කෘත්‍ය කෙරේ’’ මෙය විදර්ශනාවට යොමු කළ තෙරුන් වහන්සේ කරපිට හිඳිද්දීම රහත් ඵලයට පත්වූ සේක.

ආත්ම විශ්වාසය ඇතිව සීල අධිෂ්ඨාන ඇති අය උවදුරු විපත්වලට පත් නොවේ. පංචවිධ ආනිශංසයන් සීලයෙහි පිහිටි අයට ලැබේ.

1. මහත් වූ භෝග සම්පත් ලැබීම
2. කල්‍යාණ මිතුරු ඇසුරින් කීර්තිය ලැබීම
3. යන යන තැන විශාරදව සිටීම
4. මනා සිහියෙන් යුතුව කාලක්‍රියා කිරීම
5. මරණින් මතු සුගතියෙහි ඉපදීම
මෙසේ සීලය මෙලොව පරලොව දෙලොවටම පිළිසරණ වන නාථකරණ ධර්මයකි.

(2). බහුස්සුතෝ හෝති

දෙවැනි නාථකරණ ධර්මය බහුශ්‍රැත බවයි. නැතහොත් බොහෝ අසුපිරූ තැන් ඇති බවයි. ධර්මයේ මුල, මැද , අග යහපත්ව දැන ගැනීමයි. එය තම ජීවිත චර්යාව හා බද්ධ කර ගැනීමයි. ධර්මය ප්‍රඥාවෙන් වටහාගන්නා විට කුසලමූල, අකුසල මූල මනාව අවබෝධ වේ. සියලු බෞද්ධයන්ගේ් ඒකායන පරමාර්ථ වන නිවන අවබෝධ කර ගැනීමට ධර්මය කෙරෙහි ඇති බහුශ්‍රැතභාව ඉවහල් වේ.

(3) කල්‍යාණ මිත්තෝ හෝති

දිවිමඟ හැඩගසා ගැනීමට කල්‍යාණ මිතුරු ඇසුර අවශ්‍ය ය. කල්‍යාණ මිත්‍රයා යනු අන් අයගේ යහපත හා දියුණුව කැමැති තැනැත්තා ය. සිඟාලෝවාද සූත්‍රයේ කලන මිතුරන් සිව්දෙනකු හඳුන්වා ඇත. උපකාරයක් අවශ්‍ය විට අවංකව උපකාර කරන පළමු මිත්‍රයා උපකාරක මිත්‍රයාය. මිතුරාගේ සුවදුක් තමාගේ සුවදුක ලෙස සලකන දෙවන මිත්‍රයා සමාන සුඛ දුක්ඛ මිත්‍රයාය. දෙලොව යහපත සිදුකර ගැනීමට මඟ පෙන්වන්නා අත්ථචායි මිත්‍රයා නම් වූ තෙවන මිත්‍රයාය. සිවුවන මිත්‍රයා වන්නේ, මිතුරාගේ දුකේදී කනගාටුවන, සැපේදී සතුටුවන අනුකම්පක මිත්‍රයාය. බුදුරජාණන් වහන්සේ කල්‍යාණ මිතුරු ඇසුර නිතරම ප්‍රශංසා කළ සේක.

‘’ස්වාමිනි, ශාසනයේ අඩක් රඳා පවතින්නේ කල්‍යාණ මිතුරු ඇසුර නිසා නොවේදැයි’’ අනද හිමියෝ දිනක් බුදුරජාණන්වහන්සේ ගෙන් ප්‍රශ්න කළහ.

‘’ආනන්ද එහෙම කියන්න එපා. මෙම ශාසනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්‍යාණ මිත්‍රයා නිසයි’’ බුදුරජාණන්වහන්සේ වදාළ සේක.

කල්‍යාණ මිත්‍ර ඇසුර මෙලොව, පරලොව දෙලොවම යහපත ළඟා කරදෙන නාථකරණ ධර්මයකි.

(4.) සුවචෝ හෝති

සුවචභාව යනු උසස්, පහත් බවක් හෝ වයස් සීමාවක් හෝ නොසලකා, යමකු තමන්ට අවවාදයක් දෙන්නේ නම් එය කරුණාවෙන් ඉවසීමයි. තම අඩුපාඩුවක් පෙන්වන්නේ නම් කෘතඥතාපූර්වකව පිළිගැනීමයි. සැරියුත් මහරහතන් වහන්සේ එයට හොඳම නිදසුනකි. තමන් වහන්සේගේ අඳනයේ කොනක් එල්ලෙමින් තිබෙනු දුටු සත් හැවිරිදි සාමණේර නමක් එය පෙන්වා දුන්නේය. සැරියුත් මහරහතන් වහන්සේ එය හිස් මුදුනින්ම පිළිගෙන සාමණේර නමට ප්‍රශශංසා කළ සේක. කුඩා රාහුල සාමණේරයන් වහන්සේ ද නිතරම බලාපොරොත්තු වූයේ තමන්ට කාගෙන් හෝ අවවාදයක් ලබා ගැනීමටය. කිනම් තරාතිරමක අයකු හෝ අඩුපාඩුවක් වරදක් පෙන්වා දෙන්නේනම් එය නිහතමානීව පිළිගැනීම නාථකරණ ධර්මයකි.

(5) දක්ඛෝ හෝති

කරන කටයුත්ත නිසිපරිදි ,ගැළැපෙන පරිදි, අවස්ථාවට උචිත ලෙස කරන පුද්ගලයා දක්ෂයෙකි. ඔහු ලෞකික ජීවිතය තුළ ද ප්‍රශංසා ලබයි. නිවන් මඟ සොයායන ගිහි, පැවිදි සැමට මෙය සාධාරණ ධර්මයකි. සාමණේර භික්ෂුව වුවද සිකපද මනාව රැකීමට දක්ෂ විය යුතුය. අලසකමෙන් නොසලකා හරින්නේ නම් සාමණේර නමගේ ද සිල්වත්කම නොරැකේ. උපසපන් බවට පත්වුණද එම අය තුළ සීලය නොරැකේ. ‘’වත්තං න පරිපූ රෙන්තො - න සීලං පරිපූරති’’ භික්ෂුව වුවද විහාරස්ථානයේ කුදු මහත් කටයුතු නිසි පරිදි ගැළැපෙන පරිදි කරන්නේ්නම් එය දෙලොවම ජය ගැනීමට උපකාරයකි . ගිහියාද මෙලොව මෙන්ම පරලොව ජීවිතයද සුඛිත කර ගැනීමට දක්ෂ විය යුතුය. ගිහියා සතු නිත්‍ය පංචසීලය රැක ගැනීමට ඔහු දක්ෂයකු නොවේනම් ඔහුගේ පරලොව ජීවිතය ද අඳුරට පත්වේ. එමෙන්ම සිත තුළ ජනිතවන කෙලෙස් මර්ධනය කිරීමට ගිහි පැවිදි දෙපක්ෂයම දක්ෂවිය යුතුය. අදක්ෂයා තුළට කෙලෙස් මාරයා පහසුවෙන්ම පැමිණේ. යමෙක් රූපාදී කෙලෙස් අරමුණු සුබයැයි සලකමින්, ඉන්ද්‍රිය සංවරයකින් තොරව, පමණ ඉක්මවා ආහාර ගනිමින්, කම්මැලිව, වීර්යය හීනව වෙසේනම් දුර්වල ගසක් සුළඟින් පෙරළා දමන්නා මෙන් කෙලෙස් මරු ඔහු මැඩලන බව ධම්මපදයේ සඳහන් වේ.

(6) ධම්මකාමෝ හෝති

ධර්මය යනු කෙනකු වරදින් මුදවා නිවැරැදි මඟට පත්කර ඔහුට සැනසුම ලබා දෙන්නකි. ධර්මයට කැමැති අය නිතර ධර්ම ශ්‍රවණයට කැමැති වෙති. ධර්මය මහා සමුද්‍රයට සමානය. සුමදුර ක්‍රමයෙන් ගැඹුරට පත්වේ. ධර්මයෙහි ක්‍රමයෙන් ගැඹුරට කිමිදෙන තැනැත්තා එහි අසීමිත දහම් රසය ලබයි.

‘සබ්බරසං ධම්ම රසෝ ජිනාති’ සියලු රසයනට වඩා ධර්ම රසය ශ්‍රේෂ්ඨය. ධර්මයේ රසය කැමැති තැනැත්තා එයින් ලබන අසීමිත සුවය විඳිමින් ධර්මය සමඟම ජීවත් වේ. බුදුරජාණන් වහන්සේ පහාරාද අසුරින්ද්‍රයාට වදාළේ ද සයුර අනුපිළිවෙළින් ගැඹුරට යන්නාක් මෙන් බුද්ධ ශාසනයද අනුපිළිවෙළින් අරහත්වය දක්වා ගැඹුරට යන බවය.

දසකුසල ක්‍රියා සිදුකරන තැනැත්තා ලෞකික, ලෝකෝත්තර සැපතින් වැඩීමට එය හේතුවන බව දන්නා නිසා ධර්මයට වඩාත් ලොල් බවට පත්වේ.

තව තවත් ධර්මයේ ගැඹුරට යෑමට ඔහු තුළ අසීමිත කැමැත්තක් ඇතිවේ. එමෙන්ම ධර්මය ලබාදීම ද නාථකරණ ධර්මයකි. ‘සබ්බ දානං ධම්ම දානං ජිනාති’ සියලු දානයන් අභිබවා උතුම් වන්නේ ධර්ම දානයයි.

ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා බලාපොරොත්තු නැතිව, කරුණා මෛත්‍රී පෙරදැරිව ධර්ම දේශනා කිරීමද දෙලොවම ජය ගැනීමට හේතු වන්නකි.

(7) ආරද්ධ විරියෝ හෝති

තමන් ආරම්භ කළ ක්‍රියාව කුමන දුෂ්කරතා පැමිණියද නොනවත්වා අවසානය දක්වා කරගෙන යෑම වීර්යයි. තම කටයුත්ත මුල, මැද, අග තුන් ස්ථානයම වීර්යය පෙරදැරි වූ විට එම කාර්යය සර්ව සම්පූර්ණ වේ. එය ආරම්භක ධාතු (කටයුත්ත පළමුව පටන් ගැන්මේ වීර්යය), නික්කම ධාතු (පටන් ගත් කාර්යය නොනවත්වා කරගෙන යෑමේ වීර්ය), පරක්කම ධාතු (කෙතරම් බාධක පැමිණියත් තම අභිමතාර්ථය සඵලවනතුරු ඉදිරියටම යෑමේ වීර්යය) යනුවෙන් හැඳින්වේ.

ලෞකික දියුණුව මෙන්ම ලෝකෝත්තර අභිවෘද්ධිය සඳහා ද මෙම වීර්යය අවශ්‍ය ය. ලෝකෝත්තර වශයෙන් නිර්වාණය පතාම මෙම වීර්යය වැඩීම අවශ්‍යය.

උපන් අකුසල් ප්‍රහාණය පිණිසද, නූපන් අකුසල් නූපදවා ගැනීම පිණිසද, නූපන් කුසල් ඉපදවීම පිණිස ද, උපන් කුසල් වැඩි දියුණුව පිණිසද වීර්යය කළ යුතුය. නොපසුබටව වීර්යයෙන් මෙලොව ජීවිතය ආලෝකමත් කර ගැනීමට හැකිවාක් මෙන්ම අරිඅට මගෙහි වන සම්මා වායාමය වැඩීමෙන් නිවන් මඟට අවතීර්ණවීම නාථකරණ ධර්මයෙකි.

(8) සන්තුට්ඨෝ හෝති

තමන්ට ලැබෙන තරමින් සතුටුවීම සන්තුට්ඨියයි. ‘සන්තුට්ඨිං පරමං ධනං’ සතුට තරම් ධනයක් තවත් නොමැතිබව බුද්ධ දේශනයකි. එසේනම්, සතුට ඇතිවීමට නම් තමන්ට ලැබෙන ප්‍රමාණයෙන් සෑහීමකට පත්විය යුතුය.

ලද පමණින් සතුටු නොවන්නේ අධික ආශාව නොහොත් තණ්හාව නිසාය. මල්කරුවෙකු ගසින් ගස මල් සොයා යන්නාක් මෙන් තණ්හාධිකයා කෙතරම් ලැබුණත් සෑහීමකට පත් නොවේ.

තෘෂ්ණාවෙන් මුළා වූ මිනිසා වස්තුකාම, ක්ලේශ කාමයන්ට වසඟව සසර ගමන දික්කර ගනී. වස්තු කාමයෙන් මත් වූ තැනැත්තා නොකා නොබී, වස්තුවට ලොල්වී මෙලොව වශයෙන්ද දුක්විඳී. ඔහු දුගතියේ මඟ හෙළිකර ගනී. ලද පමණින් සතුටුවන තැනැත්තා තුළ තණ්හාව, ආශාව, ලෝභය නැත. ඔහුගේ් සන්තුට්ඨි ගුණය දෙලොවම සැපවත් කරයි.

(9). සතිමා හෝති

සතිය යනු මනා සිහි කල්පනාවයි. නැතහොත් සිත නොවිසිරී පවත්වා ගැනීමයි. තමන් කරන යම් කටයුත්තක් වේනම් ඒ සඳහා මනා අවධානයෙන් සිටීමයි. ජීවිතය සාර්ථක කර ගැනීමට මනා සිහිය අවශ්‍යය. සිහිය මනාව හසුරුවා නොගතහොත් පරලොව දිවියද අසාර්ථක වේ.

සතිය පිහිටුවා ගැනීමට උපකාරී වන්නේ භාවනාවයි. නිවන් මඟ ජීවය වැනිවූ සතර සතිපට්ඨාන, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, පංචබල, පංච ඉන්ද්‍රිය, සප්ත බොජ්ඣංග යන සියල්ලටම සතිය ප්‍රධාන වේ.

මනා සතියක් නොමැතිනම් බෞද්ධ දර්ශනයේ හරය සොයාගත නොහැකිය. සසර ගමන නිමවීමට අත්‍යවශ්‍යම අංගයක් වන්නේ් සතියයි.

(10.) පඤ්ඤාවා හෝතී

ලෝක ස්වභාව පිළිබඳ ලබා ගන්නා නිවැරැදි වැටහීම ප්‍රඥාවයි. ඉහත විස්තර කළ ගුණාංග සියල්ල ඇතත් ප්‍රඥාව නොමැතිනම් එම ගුණාංග කිසිවක් වැඩිය නොහැකිය.

‘මා අවබෝධ කළ ධර්මය ප්‍රඥාවන්තයින් සඳහාය’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එනිසායි . ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමට ප්‍රඥාව අවශ්‍යය. ප්‍රඥාව නැති තැන කාම, භව, දිට්ඨි අවිජ්ජා ඕගයන් තරණය කළ නොහැකිය.

අපගේ් අවසන් පරමාර්ථය වන චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යායුතු ගමනට ප්‍රඥාව නමැති ශක්තිමත් වාහනය අවශ්‍යමය. නිර්වාණාවබෝධයට අවශ්‍යම අංගයක් වන ප්‍රඥාව නාථකරණ ධර්මයකි.

මෙම නාථකරණ ධර්මයන් පිළිපැදීමෙන් ඔබ තුළින් ම පිහිට සලසාගෙන උතුම් නිවන් මඟෙහි සුවසේ අප්‍රමාදී ව ගමන් කරන්න.

(මෙම ලිපිය සැකසීමේදී තල්පාවිල, කුසලඤාණ හිමිපාණන්ගේ ‘දිවි අරණට රැකවරණක්’, මිරහවත්තේ පඤ්ඤාසිරි හිමිපාණන්ගේ ‘නාථකරණ ධර්ම”, ධම්මපදය, විසුද්ධි මාර්ගය’ යන ග්‍රන්ථ පරිශීලනය කරන ලදී.)


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.