ඓතිහාසික උරුමයක උල්පත
ගිරිහඬු මහ සෑය
සටහන - මිලින්ද මොරගොඩ
ඡායාරූප - නිශාංක සිල්වා
ගිරිහඬු සෑය බොදුනුවන්ට වැදගත් වන්නේ ඇයි?
එය බුදු සිරිතේ වැදගත් සන්ධිස්ථානයක ජීවමාන සාධකයකි. බුදුරජාණන් වහන්සේ
බුද්ධත්වයට පත් අවස්ථාවේදීම
හිමිකර ගත් කේශ ධාතුන් වහන්සේ තැන්පත් කර
මෙම ස්ථූපය ඉදිකර ඇති බවට සැලකෙයි.
ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ, බුද්ධත්වයට පත්වීමට පිටදුන් ජය ශ්‍රී මහා
බෝධින් වහන්සේ සහ බුදුසිරිපා පද්මය වන්දනාව බොදුනු ජනතාව මහත් ගෞරවයෙන්
සලකන බෞද්ධ සංකේතයන්ය. නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ
පිහිටි ගිරිහඬු සෑය ද මෙවැනි වැදගත්කමකින් යුතු පුද බිමකි. ‘’බොදුණු
ජනතාවගේ වැඩි අවධානයට ලක්විය යුතු බොදු සංකේතයකි’’. පැවැති
ත්‍රස්තවාදී ගැටුම් හෙයින් ජන අවධානයෙන් ගිලිහුණු මෙම පින්බිම අද යළිත්
මහජනතාවගේ අවධානයට ලක්විය යුතුය.
ගිරිහඬු සෑය බොදුනුවන්ට වැදගත් වන්නේ ඇයි? එය බුදු සිරිතේ වැදගත්
සන්ධිස්ථානයක ජීවමාන සාධකයකි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්
අවස්ථාවේදීම හිමිකර ගත් කේශ ධාතුන් වහන්සේතැන්පත් කර මෙම ස්ථූපය ඉදිකර
ඇති බවට සැලකෙයි. එසේම මෙම ස්ථූපය මෙරට ඇතිවූ පළමු වටදාගෙය වශයෙන් ද
සැලකිය හැකිය. ශ්‍රී සම්බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේ සත් සතිය
අවසානයේ පනස්වන දිනයේදී වනයට අරක්ගත් දේවතාවියකගේ වචනය පරිදි පැමිණි
තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් විළඳ හා මී පැණි ප්‍රථම දානය ලෙස
පිළිගන්වන ලද බව පූජාවලියේ සඳහන්ය. දානය පිළිගැනීමෙන් චිත්ත ප්‍රබෝධයට
පත් මෙම වෙළෙඳ දෙබෑයෝ වැඳුම් පිඳුම් සඳහා යමක් ඉල්ලා සිටි අවස්ථාවේ
බුදුරජාණන් වහන්සේ හිස පිරිමැද කේශධාතුන් වහන්සේලා ලබාදුන් බව ද
පූජාවලියේ වැඩිදුරටත් සඳහන් ය.
ගිරිහඬු සෑය ප්‍රවේශ මාර්ගය ඔස්සේ පෙනෙන අයුරු |
බුදුරජාණන් වහන්සේ ජීවමාන අවස්ථාවේ දීම පුද සත්කාර ලබන්නට කේශ ධාතුන්
වහන්සේ රැඟෙන වෙළෙඳ දෙබෑයන්ට හිමි වූ දඹදිව උත්තලා නගරයේ සිට පෙරදිග
වෙළෙඳාමට යන අතරතුර ලංකාවට ඔවුහු පැමිණ ඇත. ඔවුහු ගොඩට බැස ඇත්තේ
ත්‍රිකුණාමලය වෙළෙඳ වරායටය. කුච්චවේලිය, කට්ටුකුලම් ප්‍රදේශයේ
ගල්වරායෙන් ගොඩබිම සමීපයට පැමිණ යාංඔය ඔස්සේ ගිරිකණ්ඩ පර්වතයට මෙම
වෙළෙඳ දෙබෑයෝ ළඟාවී තිබේ. එහි පිහිටි සුරක්ෂිත තැනෙක බුදුරජාණන් වහන්සේ
ජීවමාන අවස්ථාවේදීම ලැබුණ කේශධාතූන් වහන්සේතැන්පත් කර සිය ආහාර ගෙන ඇති
අතර එය නිමකර පිටත්ව යන්නට සූදානම්වන අවස්ථාවේදී මෙම කේශධාතුන් වහන්සේ
ඉවත් කර ගත නොහැකි වූ බවත්, එහිම එය නිධන් කොට ගිරිහඬු සෑය ඉදිකළ බවත්
ඉතිහාසය ගැන දක්වන මහාචාර්ය එච්.ටී. බස්නායක මහතාගේ ‘ගිරිහඬු මහ වෙහෙර
පින්බිම තිරියාය’ කෘතියෙහි සඳහන් වෙයි. මෙරට ඉදිවූ පළමු බෞද්ධ සංකේතය
ගිරිහඬු මහ වෙහෙර බව සැලකිය හැකි සාධක හමුවී ඇත.
බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී සිදු වූ මෙම අතිශය වැදගත් සිදුවීමට
පසු කලෙක දේවානම් පියතිස්ස රජ සමයේදී මෙරටට බුදුදහම දායාදයක් ලෙස
ලැබිණ. තවත් කාලයක මෙම ශෛලමය පර්වතයේ කටාරම් කොටා බ්‍රාහ්මී ලිපි
පිහිටුවා මහ සඟරුවනට පුද කිරීමෙන් මෙම පුදබිමේ දෙවන අදියර ඇරැඹී ඇති
බවත්, අටවන සියවස වන විට වටදාගෙය ඉදිකර ඇති බවත් පුරාවිද්‍යා
චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමිපාණෝ සිය අධ්‍යයනවලින් පසු පළ කරන ලද
කෘතිවල සඳහන් කරති. ගිරිහඬු සෑය වෙනුවෙන් එම විහාරස්ථානාධිපති ගන්දර
ධර්මකීර්ති ශ්‍රී ආනන්ද නායක හිමිපාණන් රචිත කෘතියක ද මෙම තොරතුරු
වැඩිදුරටත් අනාවරණය කර තිබේ. මහනුවර යුගයේ දී රචිත නම් පොත නමැති
විහාරස්ථාන නාමාවලිය මෙකී පුදබිම නිතුපත්පාන යනුවෙන් හඳුන්වා ඇත. නිති
පතා දැල්වුණ පහනක් තිබෙන ස්ථානය පසුව නිතුපත්පාන යනුවෙන් බිඳී
ව්‍යවහාරයට ආ බව විද්වත් මතයයි.
කාලාන්තරයක් ගන වනාන්තරයෙන් වැසී තිබුණු මෙම ඓතිහාසික ස්ථානය 1929 වන
වසරේ දී හමුවූ ලියැවිල්ලක් අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහි
ඉතිහාසය ගවේෂණය කර ඇත. කේශධාතුන් නිධන් කොට ඉදිකළ ගිරිහඬු සෑය මෙය බව
පසුව රජයේ ගැසට් නිවේදනයකින් ස්ථිරව ප්‍රකාශයට පත්කර තිබේ. 1951 වසරේ
දී මෙම තොරතුරු දැන ගැනීමෙන් අනතුරුව එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ
ඩී.එස්. සේනානායක මහතා එවකට පුරාවිද්‍යා අධිකාරි ධුරය හෙබවූ මහාචාර්ය
සෙනරත් පරණවිතාන ශූ®රීන් ලවා තිරියායේ පුරාවිද්‍යා කඳවුරක් ඇතිකර
බොදුනුවන්ගේ අවධානයට ලක්විය යුතු මෙම වැදගත් සිද්ධස්ථානය
ප්‍රතිසංස්කරණය කර ඇත. එයින් වටදා ගෙය හෙළි පෙහෙළි කර මතු කරගෙන තිබේ.
ගිරිහඬු සෑය සමීප දර්ශනයක් |
ගිරිහඬු සෑය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ යාංඔය මුහුදට
ගලා බසින ස්ථානය සමීපයේය. ත්‍රිකුණාමලයට සැතපුම් තිහක් පමණ උතුරින්
පිහිටි තිරියාය ගම පිහිටා ඇති අතර එකී ගම්මානයට සැතපුමක් පමණ බටහිරට
වන්නට කුඩා පර්වතයක් මුදුනේ මෙම පින්බිම පිහිටා ඇත. දෙවන සියවසේදී වසභ
රජතුමන් තත්තුපාන නමින් වැවක් කරවා ඇති බවත් අටවන සියවස වන විට බෞද්ධ
විහාරයක් පැවැති බවට සාධක හමු වී ඇත. කඳු මුදුනේ පිහිටි ගල්ලෙන්වල
බ්‍රාහ්මී අක්ෂර ආකාරයේ ලියැවිලි හඳුනාගෙන තිබේ. සංස්කෘත භාෂාවෙන් ලියැ
වී ඇති සෙල් ලිපියක මෙම චෛත්‍යය වන්දනා කිරීමට ගාථා ගී දහයක් කියවා
ගන්නට හැකි විය. ඓතිහාසික වැදගත්කමක් ඇති මෙම පුදබිම 1985 න් පසුව
ත්‍රස්තවාදී ගැටුම් නිසා විනාශ වී ජනශුන්‍ය වූ අතර මෙහි විහාරස්ථානයේ
වැඩ විසූ ගන්දර ධර්මකීර්ති ශ්‍රී ආනන්ද නායක හිමිපාණන් ද ස්වකීය දිවි
ගළවාගෙන ඇත්තේ පළා ගොස් සැඟවී ජීවත් වීමෙන්ය. 2005 වසරින් පසු ගැටුම්
තවත් උත්සන්න වූ හෙයින් පූජණීය ගිරිහඬු සෑය විහාරස්ථානය හුදෙකලා විය.
බොදු බැතිමතුන්ට එහි ළගාවිය නොහැකි වී ඇත. පසුව නාවික හමුදාව විසින්
මෙම භූ®මිය අත්පත් කරගෙන තිබේ. ත්‍රිවිධ හමුදාව මෙවැනි සිද්ධස්ථාන
ආරක්ෂා කර එහි අතීත වැදගත්කම නැවත මහජනතාවට දැකබලා ගන්නට සැලැස්වීම
වැදගත් කාර්යයකි.
වසර තිහක් පැවැති යුද්ධය නිසා අන්ධකාරයෙන් වැසී තිබුණු ගිරිහඬු සෑ
පුදබිම යළි බොදු දනන්ට විවෘතය. ගැටුම් අවසන් වීමත් සමඟ දැන නැවතත්
තිරියායට වන්දනාවේ යන බොදුණු දනන්ගේ බැතිබර වන්දනාවට ගිරිහඬු සෑය එකතු
වී තිබේ. රරටපුරා එවැනි වැදගත් සංකේත හඳුනාගෙන ඒවා මතු පරපුර වෙනුවෙන්
විශේෂ සංරක්ෂිත වැඩපිළිවෙළක් ඇරැඹීම අපගේ යුතුකමෙකි. ගිරිහඬු සෑය
සම්බන්ධයෙන් නොයෙකුත් පුරාවිද්‍යා පර්යේෂණ පවත්වා ඇති අතර ඒ අවටින් හමු
වූ ශිලා ලේඛන කියැවීමෙන් මෙරට ඉතිහාසය හා බැඳුණු විශිෂ්ඨ අනන්‍යතා
හඳුනා ගන්නට විද්වතුන් සමත්ව ඇත. අභාග්‍යය වී ඇත්තේ බුදුරජාණන් වහන්සේ
ගේ කේශ ධාතුන් නිධන් වූ බවට සැලැකෙන මෙම බොදුබිම නිසි වැදගත් බුහුමනට
ලක් නොවීමයි.
මෙම පුදබිම යළි බොඳු බැතිමතුන්ට පහසුකම් සහිත ස්ථානයක් කරන්නට අවශ්‍ය
ය. සාමාන්‍යයෙන් මෙවැනි තැන්රැකබලා ගැනීම පැවරෙන්නේ රජයටය. එහෙත් එහි
වගකීම රජයට පමණක් පැවරීම සුදුසු නැත. රජයට එය බරකි. රජයේ වියදම
පැවරෙන්නේ මහජනතාවගේ බදු බරටය. රජයේ වියදමෙන් තොරව සාර්ථක අන්දමට
බොදු සිද්ධස්ථාන පවත්වාගෙන යන බව අපට පෙනෙන කාරණයකි. රාජ්‍ය අනුබලය
ඇතිව සමාජයේ පිළිගැනීම අනුව පිහිටුවන ලද විශේෂ කමිටුවක් හෝ භාරකාර
අරමුදලක් මගින් වැඩි අවධානයකින් හා නිසි සැලැස්මකින් යුතුව මෙම විශේෂ
පුණ්‍යභූ®මිය යළි පුනර්ජීවනයකට ලක්කළ හැකිය.
සම්බුද්ධත්ව ජයන්තිය සමරන අවස්ථාවේදී ශාසනික සංශෝධන කෙරෙහි අවධානය
යොමුකරන අතර ගිරිහඬු සෑය වැනි දීර්ඝ ඉතිහාසයක් ඇති, මෙරට බොදුනු වන්ට
වැදගත් ආගමික සිද්ධස්ථානයක් නඟා සිටුවීමට බොදුනුවන් එකතුවීම අවශ්‍යය. |