Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සප්ත අපරිහාණීය ධර්ම භික්ෂු ශාසනය උදෙසා

දීඝ නිකායේ මහා පරිනිර්වාණ සූත්‍රය ඇසුරෙනි

වස්සකාර ඇමැති හට, භාග්‍යවතුන් වහන්සේ අපරිහාණීය ධර්ම කරුණු සතකින් යුක්ත වජ්ජි දේශය ගැන දැක්වූ කරුණු අසා සිටි එම ඇමැති බුදුන් නැමැද පිටත්ව ගිය පසු, භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් ද සප්ත අපරිහාණීය ධර්ම දේශනා කළ සේක. වජ්ජි දේශය පිරිහීමට පත් නොවන කරුණු සතට සමාන්තරව සංඝ ශාසනය ද පිරිහීමට පත් නොවන කරුණු සතක් මෙයින් ඉදිරිපත් වේ.

1. භික්‍ෂූන් නිතර නිතර රැස්වීම
2. භික්‍ෂූන් සමඟියෙන් රැස්වීම, සමගියෙන් නැඟිට සමගියෙන් විසිරීම, සමගියෙන් සංඝ කර්ම කිරීම.
3. කලින් නොතිබූ නීති - රීති නොපැණවීම, පණවා ඇති නීති – රීති කඩ නොකර ඒ අනුව කටයුතු කිරීම.
4. වැඩිහිටි භික්‍ෂූන්ට ගරු සැලකිලි දැක්වීම හා එතුමන්ට ඇහුම්කන් දීම.
5. භික්‍ෂූන් තෘෂ්ණාවට වසඟ නොවීම
6. භික්‍ෂූන් වන සෙනසුන් ගැන බලාපොරොත්තු අත නොහැරීම.
7. සුපේෂල ශික්‍ෂාකාමී භික්‍ෂූන් වහන්සේ වඩිනවා නම් උන්වහන්සේ සුවපහසුවෙන් වෙසෙත්වා කියා සිහි කල්පනා උපදවා ගැනීම.

මේ කරුණු සත හා වජ්ජීන් පිළිබඳ බුදුන් වහන්සේ දෙසූ සප්ත අපරිහාණීය ධර්ම අතර සාම්‍යත්වයක් දැකිය හැකිය. වජ්ජි දේශය පරිහාණිය කරා නොයන කරුණු සත කුමන රටක් ගත්තත් පොදුවේ පරිහාණියකට තුඩු නොදෙන කරුණු සතකි. ඉතිහාසයෙන් එය අපි උගෙන ඇත්තෙමු. භික්‍ෂු ශාසනය සම්බන්ධයෙන් ද බුදුරජාණන් වහන්සේ දේශනා කළ සප්ත අපරිහාණීය ධර්ම කුමන සමාජයක වුවද පරිහාණිය, බිඳවැටීම වළක්වන කරුණු බව සක් සුදක් සේ පැහැදිලිය.

බුදුන් දවස භික්‍ෂූන් වහන්සේ දිනපතා සමඟියෙන් එක් රැස්වී කතා බහ කිරීම, බුදුන් වහන්සේට දැන්විය යුතු කරුණු දැන්වීම, ඒ ඒ අවස්ථානුකූලව බුදුන් වහන්සේ යම් යම් තීරණ ගැනීම සිදුවූ බව ත්‍රිපිටකගත කරුණුවලින් පැහැදිලිවේ. මේ නිසා එකල භාරතයේ විසූ අනෙකුත් ශාස්තෘන්ගේ අනුගාමික කණ්ඩායම් මෙන් නොව භික්‍ෂු ශාසනය ක්‍රමවත්ව, දීප්තිමත්ව වර්ධනය වූ බව පැහැදිලිව දක්නට ඇත.

අශෝක අධිරාජයාගේ සමයේ මහින්ද මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන ඒමෙන් පසු මෙරට භික්‍ෂු ශාසනයේ ව්‍යාප්තිය සිදුවූ ආකාරය කෙරෙහි නෙත් යොමා බලන විටද අපට දක්නට ඇත්තේ ඒ බුදුන් වහන්සේ දෙසූ සප්ත අපරිහාණීය ධර්ම ඒ ආකාරයෙන්ම මෙහිදී ද ක්‍රියාත්මක වූ බවය. යම් යම් යුගයන්හිදී මේ සප්ත අපරිහාණීය ධර්ම ක්‍රියාත්මක නොවීම හේතුකොට ගෙන භික්‍ෂු ශාසනය බිඳ වැටුණු සැටිද ඉතිහාසයේ දක්නට ඇත. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ භික්‍ෂූන් වහන්සේගේ කැපවීම නිසා භික්‍ෂු ශාසනය පරිහාණියට යා නොදී රැක ගෙන ලොවේ වෙනත් රටවල ද ධර්ම ප්‍රචාරය කරමින් වැඩ විසීම ප්‍රශස්ථය.

මහා පරිනිර්වාණ සූත්‍රය අනුව තවත් සප්ත අපරිහාණීය ධර්ම කාණ්ඩ තුනක් දැක්වෙන අතර අපරිහාණීය කරුණු සතරක් පමණක් අඩංගු කාණ්ඩයක් ද, කරුණු හයක් පමණක් අඩංගු කාණ්ඩයක් ද බුදුන් වහන්සේ දේශනා කළ බව සඳහන් වේ.

1 වන කාණ්ඩය

භික්‍ෂූහු යම් තාක් කල් බාහිර වැඩවල ඇලී ගැලී නොවසත් ද බාහිර කතා බස්වල ඇලී ගැලී නොවසත් ද, නින්දෙහි ඇලී ගැලී නොවසත් ද, රංචු ගැසීමෙහි ඇලී ගැලී නොවසත් ද, පාපි අදහස් ඇතිව නොවසත් ද, පාප මිත්‍රයන් ඇතිව පාප මිත්‍රයන්ට බැඳී නොවසත් ද, අල්ප මාත්‍රවූ හෝ විශේෂාධිගමයක් ලබා එයින් සෑහීමකට පත් නොවන්නාහු ද ඒ තාක් භික්‍ෂූන්ගේ අභිවෘද්ධියක්ම බලාපොරොත්තු විය යුතුය. පිරිහීමක් නොවෙයි.

2 වන කාණ්ඩය

යම්තාක් කල් භික්‍ෂූහු සති සම්බොජ්ඣංගය වඩත් ද ධම්ම විචය සම්බොජ්ඣංගය වඩත් ද, විරිය සම්බොජ්ඣංගය වඩත් ද, ප්‍රීති සම්බොජ්ඣංගය වඩත් ද, පස්සද්ධි සම්බොජ්ඣංගය වඩත්ද, සමාධි සම්බොජ්ඣංගය වඩත්ද, උපේක්ඛා සම්බොජ්ඣංගය වඩත් ද, ඒ තාක් කල් භික්‍ෂූන්ගේ අභිවෘද්ධියක්ම බලාපොරොත්තු විය යුතුය. පිරිහීමක් නොවෙයි.

3 වන කාණ්ඩය

යම්තාක් කල් භික්‍ෂූහු අනිත්‍ය සංඥාව වඩත් ද, අනාත්ම සංඥාව වඩත් ද, අශුභ සංඥාව වඩත් ද, ආදීනව සංඥාව වඩත්ද, ප්‍රහාණ සංඥාව වඩත්ද, විරාග සංඥාව වඩත්ද, නිරෝධ සංඥාව වඩත්ද, ඒතාක් කල් භික්‍ෂූන්ගේ අභිවෘද්ධියක්ම බලාපොරොත්තු විය යුතුය. පිරිහීමක් නොවෙයි.

අපරිහාණීය කරුණු සතරක් පමණක් අඩංගු කාණ්ඩය

භික්ෂූහු යම්තාක් කල් තුනුරුවන් විෂයෙහි සැදැහැ ඇත්තාහු වෙත්ද, නොහොබිනාකම් ගැන ලජ්ජා බිය ඇත්තාහු වෙත්ද, ධර්ම විනය දැන උගත් ඇත්තෝ වෙත්ද කයෙන් සිතෙන් දැඩි වීර්යය ඇති, සිහි කල්පනා පෙරදැරි කරගත් මනා නැණ නුවණ ඇත්තෝ වෙත්ද ඒ තාක් භික්‍ෂූන්ගේ වැඩි දියුණුවක්ම බලාපොරොත්තු විය යුතුය. පිරිහීමක් නොවෙයි.

තවත් අපරිහාණීය කරුණු කීපයක් අඩංගු කාණ්ඩයකි

භික්‍ෂූහු මෛත්‍රී සිත ඇතිව කාය කර්ම පවත්වත්ද, වාග් කර්ම පවත්වත්ද, මනඞ කර්ම පවත්වත්ද, යටත් පිරිසෙයින් පාත්‍රයට ලැබුණු ලාභය පවා සිල්වත් බ්‍රහ්මචාරීන් සමඟ පොදුවේ වළඳත් ද, බ්‍රහ්මචාරීන් හා සම බවට පත්ව වසත්ද ඒතාක් කල් භික්‍ෂූන්ගේ වැඩි දියුණුවක්ම බලාපොරොත්තු විය යුතුය. පිරිහීමක් නොවෙයි.

මේ අතිරේක කාණ්ඩ 5 යටතේ එන අපරිහාණීය ධර්ම කරුණු 31 කි. ඒ කරුණු මූලික සප්ත අපරිහාණීය ධර්ම කාණ්ඩයට ඌණ පූරණයක් ලෙස සැලකිය හැකිය. ඒ කොටස් පශ්චාත් බුද්ධ කාලයේදී මහා පරිනිර්වාණ සූත්‍රයට ඇතුළුවූවා විය හැකිය. බුද්ධ දේශනය මෙන්ම වාර්තා ස්වරූපයෙන් මේ සූත්‍රයට ඇතුළත්වූ කොටස් බෙහෙවින් තිබීමත්, බුද්ධ දේශනා ශෛලියට අනුගත නොවූ ඇතැම් කොටස් තිබීමත් එසේ අනුමාන කිරීමට හේතුවයි. කෙසේ වෙතත් මේ සියලුම කරුණු භික්‍ෂු ශාසනයේ චිරස්ථිතිය උදෙසා අතිශයින් වැදගත් වන බව නම් කිවයුතුය. ඒවා ගුරු තන්හිලා සැලකිය යුතුය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.