සදහම් දැනුම
වහුමුවේ
විජයවංස නා හිමි
ප්‍රශ්නය -
තථාගතයන් වහන්සේගේ මහා කරුණා නෙතට යොමු වූ ඇය සිටු දියණියකි. තම
දෙමව්පියන් සහ ස්වාමිපුරුෂයාත් එකම සහෝදරයාත් එකමදා මිය යෑමෙන්
සෙනෙහෙබර ලෝකය අහිමි වූ අසරණ කාන්තාවක් බුදුපිහිට ලබා සුවපත් වූවාය. මේ
විපතට පත් කාන්තාව කවුද? බුදුරජාණන් වහන්සේගේ කුමන ගුණයක් මෙයින් මතුවී
පෙනුණි ද?
පිළිතුර -
සිය ආදරණීය ලෝකය පමණක් නොව ඇඳිවත පවා අහිමිවූ ‘පටාචාරා’ නම් වූ ඇය
බුදුරජාණන් වහන්සේගේ් මහා කරුණා ගුණයෙන් මෙහෙණි සසුනට ඇතුළත්ව රහත්බව
ලබා විනයවාදී මෙහෙණින් වහන්සේලා අතුරෙන් අගතනතුර ද ලැබුවාය.
ප්‍රශ්නය -
දම්සක් පැවතුම් සූත්‍රයේ ඇතුලත් වන ප්‍රධාන අංග මොනවාද?
පිළිතුර - අත්තකිලමථානු යෝගය - කාමසුඛල්ලිකානු යෝගය හා මධ්‍යම
ප්‍රතිපදාව වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය - චතුරාර්ය සත්‍යය හා නිවන
පිළිබඳව සඳහන් වෙයි.
ප්‍රශ්නය -
අෂ්ට ඵලරුහ බෝධි නමින් ශ්‍රී ලංකා වංස කථාවට එක්වූ සිදුවීම කුමක්ද?
පිළිතුර -
මිහිඳු මහරහතන් වහන්සේ වෙතින් දේවානම් පියතිස්ස රජුවෙත භාර කරන ලද
අනුරාධපුර ජයශ්‍රීමහා බෝධින් වහන්සේගෙන් බෝ අංකුර අටක් ඇතිවිය. ඒ පැල
අට ලංකාවේ ස්ථාන අටක රෝපණය කළේය. ඒ මෙසේය.
1. දඹකොළ පටුන
2. තිවක්ක බමුණුගම
3. ථූපාරාමය
4. කසුන්ගිරි වෙහෙර
5. පඨමක චෙතිය
6. සඳගිරිය
7. සඳුන්ගම
8. කතරගම
මේ සියල්ල අෂ්ට ඵලරුක බෝධිනම් විය.
ප්‍රශ්නය -
‘පුඤ්ඤ’ පින් යනුවෙන් පෙලදහමෙහි හැඳින්වෙන්නේ කුමක්ද?
පිළිතුර -
අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ‘පුඤ්ඤභිසන්ද’ සූත්‍රයට අනුව තෙරුවන්
සරණ යාමත් පන්සිල් රැකීමත් පින ඉපදෙන (පුන්‍යක්‍රියා) වශයෙන් දක්වයි.
පස්පවින් වැළකීම පින් වශයෙන් සැලකීම හේතුවන කරුණ මෙම සූත්‍රය
පැහැදිලිවම සඳහන් කරයි. ප්‍රාණඝාතයෙන් වැළකුණ ආර්ය ශ්‍රාවකයා අප්‍රමාණ
සත්ත්වයනට අභය දෙයි. “පාණාති පාතා පටිවිරතො අරිය සාවකො අපරිමාණං
සත්තානං අභයං දෙති. අවෙරං දෙති. අව්‍යාපජ්ජං දෙති’’ අවෛරය දෙයි. නිදුක්
බව දෙයි. මේ දුන් දානයන්ට තමන්ද හිමිකරුවෙකු වෙයි.
(අව්‍යපජ්ජස්ස භාගී හොති) දේවතා සංයුත්තයේ ‘වනරෝප සූත්‍ර දේශනාවෙහි
මල්ඵල උයන් වතු වැවීම, වන වගාව, ඒ දඬු පාලම් කරවීම, පැන්හල්, පොකුණු,
ගෙවල් කරවාදීම, රෑ දවල් දෙක්හි පින් වැඩෙන, සුගතියට මිනිසා ගෙනයන
ක්‍රියා ලෙස හඳුන්වයි. ඒ අනුව පින්වත් මිනිසා සමාජ ආර්ථික
ක්‍ෂෙත්‍රයෙහි ප්‍රබුද්ධ ක්‍රියාකාරී පුද්ගල වශයෙන් බුදුසමය සලකනු
ලැබේ.
ප්‍රශ්නය -
සිල්වත් බවින් අගතියට පත් (දුසිල්) පුද්ගලයා දුක් විපාක පහක්, විඳිනා
අතර සිල්වත් බව නිසා සුවදායක ඵලයන් පහක් ළඟාකර ගනී. පැහැදිලි කරන්න.
පිළිතුර -
අංගුත්තර නිකාය සීලසූත්‍රාග දේශනයට අනුව දුසිල්බවේ විපාක මෙසේය.
ප්‍රමාද හේතුවෙන්,
භෝග විනාශ වේ
පාපී අපකීර්තියක් ඇතිවේ
පිරිස් මැද බිය සැක ඇතිකරයි.
සිහි විකල්ව මිය යාමද සිදුවෙයි.
සිල්වත් බව නිසා හෙවත්,
අපමාද බව නිසා භෝග විපුලත්වයට පත්වේ.
යහපත් කීර්තියක් පැතිරේ
බියෙන් සැකෙන් තොරව අභීතව පිරිස් මැදට පැමිණිය හැකිය
නුමුළා කලුරිය කරයි
මරණින් මතු සුගතියට යයි.
ප්‍රශ්නය -
අංගුත්තර නිකායාගත දේශනාපාඨයකි මේ. දාළිද්දියං භික්ඛවේ දුක්ඛං ලොකස්මිං
කාමභෝගිනි’ කාමභෝගී ගිහියාට දිළිදු බව දුකකි. ගෘහස්ථ පුද්ගල ජීවිතයෙහි
දුක් සහිත වූ දිළිඳුබව කුමන හේතු නිසා එබඳු දුක් සහගත බවක් ඇතිවන්නේ ද
යන්න බුදුරදුන් පැහැදිලි කර ඇත. ඒ කෙසේද?
පිළිතුර -
දුගී දුප්පත් බව නිසා තවදුරටත් ණය ගැනිමට (ඉණදානම්පි) සිදුවේ. ඊට පොලී
(වඩ්ඩීපි) ගෙවීමක් සිදුවේ. ණය නොගෙවීම නිසා චෝදනා ලැබීමත් (චොදනාපි) ණය
නොගෙවීම නිසා පසුපස හඹා ඒමත් (අනුචරියාසි) දඬුවමට යටත්වීමත් (බන්ධනාපි)
දුකක්ම බව දේශනා කොට වදාළහ.
ප්‍රශ්නය -
සංස්ඛාර පිළිබඳ විවරණයකදී ‘පුඤ්ඤාහි සංඛාර යනුවෙන් සඳහන් කෙරෙන්නේ කුමන
ධර්ම කොටසක් ද?
පිළිතුර -
කය, වචන, සිත යන තුන්දොරින් සිදුකරනු ලබන දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ
වූ කාමාවචර කුසල චේතනා අටක් රූපාවචර භාවනාමය කුසල චේතනා පසත්
පුඤ්ඤභිසංඛාර නම් වේ.
ප්‍රශ්නය -
ජය ශ්‍රී මහාබෝධි ශාඛාව ද සම්බුද්ධ ධාතූ®න් වහන්සේලා සහ පාත්‍ර ධාතුව
ශ්‍රී ලංකාවට ගෙන ඒමෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති වූ සංස්කෘතික
සම්බන්ධතාවය කුමක්ද?
පිළිතුර -
ජය ශ්‍රී මහාබෝධි ශාඛාව ලක් බිමෙහි රෝපනය කිරීම බුද්ධ ධර්මය සහ බෞද්ධ
සංස්කෘතිය මෙහි පිහිටුවාලු බවට සංකේතයක් විය. සම්බුද්ධ ධාතූ®න් වහන්සේ
බුදුන් වහන්සේ ජීවමානව මෙහි වැඩ සිටින බවට ශ්‍රී ලාංකිකයා සලකන්නට විය.
බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතුව රජගෙහිම සුරක්ෂිත කොට රාජකීය භාණ්ඩයක්ම
විය. මෙම පාත්‍රය පසුකලෙකද දන්ත ධාතුන් වහන්සේ හා සමානව සිංහලයන්ගේ
ආරක්ෂිත දේවතාව හා අසහාය ජාතික වස්තුව බවට පත්විය.
ප්‍රශ්නය -
මිහිඳු මාහිමියන් භාරතීය මගධ මහා රාජ්‍යයේ ශෝභාසම්පන්න අගනුවර වූ
පාටලීපුත්‍ර නගරයෙහි වාසය කොට පුරුදු කෙනෙක් වූ නිසා උන්වහන්සේ සිය
පියාණන් විසින් කරවන ලද අශෝකාරාමාදිය හා තම මෑණියන් විසින් වීදිසාවෙහි
කරවන ලද චෙතයගිරි (සාංචි) ආදී මහා ආරාමයන් දැක පුරුදු කෙනෙකි.
එබැවින් අනුරාධපුර මහාවිහාරිය සැලැස්ම සකස්කිරීමට එවකට මිහිඳු මාහිමි
තරම් සුදුස්සෙක් තවත් නොවන්නට ඇතැයි සිතිය හැකිය. ශ්‍රී ලංකා බුද්ධ
සාසනයෙහි මූලස්ථානය වූ අනුරාධපුර මහා විහාරය පිහිටුවීම පිළිබඳව
මූලාශ්‍රවල එන මේ පුවත් සනාථකළ හැකි සාධක පැහැදිලි කරන්න.
පිළිතුර -
මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන පිරිස මුල් දිනයෙහි දේවානම්පියතිස්ස මහ
රජතුමාගේ බලවත් ඉල්ලීම සලකා ‘නුවරට ඉතා නුදුරු නොළං’ මහමෙවුනා උයනෙහි
පිහිටි රාජ මන්දිරයෙහි වැඩ විසූහ. රජතුමා තෙරුන් වහන්සේ හමුවට ගොස්
සුවදුක් විචාර පහසු තැනැක්දැයි විමසා බලවත් සතුටට පත් රජතුමා රන්
කෙන්ඩියෙන් අතපැන්වත්කොට, මහමෙවුනා උයන මහා සංඝයාට පූජා කළේය. පසු
කලකදී මෙරට බෞද්ධ සභ්‍යත්වයෙහි මහා කේන්ද්‍ර ස්ථානය ලෙසද ථෙරවාද බුදු
දහමෙහි ප්‍රධාන ස්ථානය වූද මහා විහාරය බවට පත්වූයේ මිහිඳු මාහිමියන්
ආරම්භ කළ මෙම ස්ථානයයි. |