Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ණය නැති බව විමුක්තියට මඟයි

සමාජය තුළ නිතර කියැවෙන වදනකි දුක යන්න. සත්වයාගේ ගත, සිත පීඩාවට පත් කෙරෙන ස්වභාව දුකයි. දුක මත ලෝකය පිහිටා ඇති බව බුද්ධ දේශනාවයි. අනිත්‍ය සියල්ල දුක්ඛ බව බුදුදහම පැහැදිලි කරයි. දුක යන්නෙහි විරුද්ධ ස්වභාව සැප යන්නයි. සියලු ලෞකික සැප අනිත්‍ය ලක්ෂණය කරගෙන ඇති හෙයින් ඒ සියල්ලෙහි අවසානයද දුකමය. ලෝකෝත්තර වූ නිර්වාණයම පරම සුඛය වන්නේ ය.

මිනිස් ලොව කාම සුගතියකි. මනුෂ්‍ය ලෝකයෙහි ඉපිද කාමභෝගි ජීවිත ගත කරන මිනිසුන් ලෞකික සැපය කෙරෙහි දක්වන්නේ මහත් ඇලීමකි. දුක ප්‍රතික්ෂේප කරමින් වඩ වඩාත් පසිඳුරන් පිනවීම කෙරෙහි බොහෝ මනුෂ්‍යයෝ කැමැති වෙති. මෙසේ ලෞකිත සැප කැමැති වන පුද්ගලයාට දුක ගෙන දෙන අවස්ථා පිළිබඳ සාකච්ඡා කිරීමටයි අද බලාපොරොත්තු වන්නේ.

අංගුත්තර නිකායේ ඉණ සූත්‍රාගත කරුණු අනුසාරයෙන්, කාමභෝගින්ට දුකක් වන කාරණා හයක් හඳුනාගත හැකිය. මෙහි ප්‍රථම කාරණය ලෙස දක්වා ඇත්තේ දිළිඳුකමයි.

කාමභෝගීි ගිහියනට ජීවත්වීම සඳහා භෞතික සැප සම්පත් අත්‍යවශ්‍ය යි. ඉන් මිල මුදල්, ආර්ථික දියුණුව කාමභෝගී ජීවිතය සැපවත් වීමට මුල් වෙයි. මිනිසා මිල මුදල් නැතිව දරිද්‍රතාවයෙන් පෙළෙයි නම් එය ඔහුට විශාල දුකකි. රටක සම්පත් හිඟවන විට, විරැකියාව පැතිරෙන විට, පුද්ගල උත්සාහය හීනවන විට, ස්වශක්තිය නොමැති විට දරිද්‍රතාව ඉතා ඉක්මනින් මිනිසා වෙත දිව එයි.

ඒ අනුව දිළිඳුකමින් මිදීම සඳහා ණය ගැනීමට මිනිසා පෙළඹෙයි. දෙවන දුක්ඛදායක අවස්ථාව ලෙස ණය ගැතිවීම, මෙහිදී පෙන්වා දෙයි, දිළිඳුකම නමැති දුක නැතිකර ගැනීම සඳහා ණය ගනියි. අද ලක්වැසි බොහෝ අය මේ ණය බරින් මිරිකී ජීවත් වෙති. මේ දුක ඇතිකර ගෙන ඇත්තේ ද මිනිසාගේම දුර්වලතාව නිසයි. බුදුරදුන් පෙන්වා දී ඇත්තේ ලද සෙයින් සතුටුවීම ඉතා උසස් ගුණයක් බවයි. එහෙත් අද බොහෝ දෙනා අන් අයට පෙන්වීම සඳහා බාහිර ශෝභනකාරී ජීවිත ගත කිරීමට පෙළඹීම නිසා ණය බරිත වී ඇත. ආදායමට වඩා වැය පක්ෂය වැඩි වූ තැන ණය ගැනීමට සිදුවෙයි. සමාජගත මිනිසා තරගකාරී ලෙස ජීවත් වීම සහ අන් අය අතර කැපී පෙනෙන ලෙස සිටීමේ අධිමානයකින් පෙළීම මෙයට මූලික හේතුවෙයි.

මේ හැරුණ විට පාප මිත්‍ර සේවනය, සූදුව, දුරාචාරය, සුරාව වැනි අගතිගාමී ක්‍රියාවලට මිනිසා යොමුවීමද මේ ණය ගැතිබව ඇති කරවයි. මෙසේ ණය වීම දුකකි. මානසික වදයකි. මේ ණයගැති වීමේ දුක හේතුවෙන් ඇතැම් අය තම ජීවිත හානි ද කර ගනිති.

මෙසේ දුප්පතා, ණය ගෙන සිය දිවිමඟ ඉදිරියට ගෙන යෑමට අදහස් කළත් එමඟින් ඔහු තවත් දුකකට දොරටු විවර කර ගනී. එම දුක, ගත් ණය සඳහා පොළී ගෙවීමයි. එය තුන්වන දුක්ඛ අවස්ථාවයි. තම ආර්ථික දුෂ්කරතාවට සහනයක් පතා ණය ගත්තද පොළී ගෙවීමට සිදුවීම අතිශය කරදරකාරී අත්දැකීමකි. සමහර විට එම පොළිය ගෙවනු ලබන්නේ ද තවත් ණයක ට හිමිකරුවකු විමෙනි. මෙය කෙළවරක් නැති දුක් වැලකි. මානසිකව විශාල තැවුලකි. භය, තැති ගැනීම, මානසික පීඩාව, මානසික අසහනය මේ නිසා උද්ගත වෙයි. මෙය පදනම් කර ගෙන බාහිර ජීවිතයම අවුල් වෙයි. සමහරු කායික, මානසික රෝගිහු වෙති.

මෙම අවස්ථාව තවත් උග්‍ර වන්නේ ඊළඟට ඔහු මුහුණ දෙන දුක්ඛදායක අවස්ථාවත් සමඟයි. එය මෙහිදී විස්තර කෙරෙන සතර වන දුකයි. ණයට පොළී නොගෙවා සැඟවී සිටින විට විවිධ චෝදනා, ඇණුම් බැණුම් එල්ල වෙයි. සමාජයට මුහුණ දීමට නොහැකි වෙයි. සැඟවී සිටීමට සිදුවෙයි. සමහර විට එම චෝදනා කිරීම්වලින් නොනැවතී විවිධ තර්ජන මරණිය තර්ජන පවා එල්ල වෙයි.

ණයකරුවා කොතැන සැඟ වී සිටියත් ණය හිමියාගේ ඊළඟ පියවර වන්නේ ඔහු සොයමින් ලුහුබැඳීමයි. මෙම ලුහුබැඳ සොයා යෑම පස්වන දුක්ඛදායක අවස්ථාවයි. ණයකරුවා සොයමින් නිතර නිතර නිවෙසට පැමිණෙන ණය හිමියා නිවැසියන්ට බැණ වැදී සමහරවිට ගෙදර බඩු බාහිරාදිය ද රැගෙන යන අවස්ථා ඒවා විනාශ කරන අවස්ථා මෙන්ම නිවැසියන් ප්‍රාණ ඇපකරුවන් කර ගන්නා අවස්ථාද අද සමාජයෙහි දැක ගත හැකිය. මෙය ඕනෑම කෙනකුට ඉමහත් දුක්ඛ වේදනාවකි. අවසානයෙහි සමහර අය තම ගම, රට, අතහැර යන්නේ්ද මේ නිසයි.

මෙලෙස ක්‍රියා කළත් කවදා හෝ ණයකරුවා අල්ලා ගැනෙයි. මෙය සයවැනුව ඔහුට හිමිවන දුක්ඛ වේදනාවයි. ණය ආපසු නොගෙවීමේ වරදට ඔහු අල්ලා ගෙන විවිධ දඬුවම් පවා පමුණුවයි.

මේ අනුව, ඉණ සූත්‍රයෙහි දැක්වෙන්නේ කාමභෝගියා, දිළිඳුකමත් ණය ගැනීමත්, ණය වෙනුවෙන් පොළී ගෙවීමත්, එය අතපසු වූ විට චෝදනා එල්ල වීමත් ඉන්පසුව ණයකරුවා විසින් ලුහුබඳිනු ලැබීමත් හසු වූ වහා ඔහු බැඳ තබා විවිධ දුක් වේදනාවන්ට පැමිණවීමත් නිසා මහත් වූ දුකට පැමිණෙන බවයි.

මේ බාහිර ජීවිතයේ ඇති දුක්ඛදායක ස්වභාව මිනිසාගේ අධ්‍යාත්මික ජීවිතයට ද, සමාන කරමින් ඉතා වැදගත් ධර්ම කරුණු කීපයක්ද මේ සූත්‍රවෙහි දී පෙන්වා දී ඇත.

ඒ අනුව යම්කිසි අයකුට කුසල ධර්මයන්හි යෙදීමට ශ්‍රද්ධා ගුණය නැතිනම්, පවට ලැජ්ජා (හිරි) නැතිනම් පවට භය (ඔත්තප්ප) නැතිනම් කුසල් දහම් කිරීමට විර්යය, ප්‍රඥාව නොමැති නම් ඔහු දිළිඳු බව ආර්ය විනයෙහි පෙන්වා දී ඇත. එම දිළින්දා ඉන්පසු ඔහුගේ කයෙන්, වචනයෙන්, මනැසින් දුශ්චරිත රැස්කරයි. මෙය ණය ගැනීම හා සමාන වෙයි.

දුසිරිත් වැඩිවීමත් සමග ඔහු ප්‍රබල ණයකරුවකු වෙයි. ඉන්පසු විවිධ වහසිබස් දොඩවයි. මා මෙවැනි කෙනෙක්, මේ දේ මට පුළුවන් ආදී වශයෙන් දොඩමලු වීම ණයට පොලී ගෙවීම හා සමානයි. ඔහුගේ දොඩමලුවීම අසා සිටින යහළුවෝ ඔහුට පරිභව කරමින් ඔහු නින්දාවට ලක් කරති. මෙය ණයකරුට කරන චෝදනා බඳුයි.

මෙලෙස චෝදනා ලබන විට ණයකරුගේ සිතෙහි විවිධ පාපී චේතනාවන් උද්ගත වෙයි. එම පාපී චේතනාවන් ඔහු ලුහුබැඳීම හා සමාන වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මොහු මරණින් පසු නිරයෙහි හෝ තිරිසන් ලෝකයක හෝ ඉපදී එහි බැඳෙයි. මේ දුගතිගාමී වීම ණයකරු අල්ලා බැඳ තබා ගැනීමට හෝ සිරගත කර ගැනීමට සමාන වෙයි.

මෙලෙස විමසා බලනවිට, ණය ගැනීම පදනම් කර ගෙන මෙලොව ජීවිතයද පරිහානියට පත්වෙයි. පුද්ගලයා කායික, මානසික වශයෙන් පිරිහීමට පත්වෙයි.

එමෙන්ම ශ්‍රද්ධාදී ගුණ පිරිහී කාය, වාග්, මනඞ අංශවලින් දුශ්චරිත නමැති ණය ගත්විට මෙලොව, පරලොව දෙලොවම පිරිහීමට පත්වී දුගතිගාමී වෙයි. මේ බව මනාව වටහාගත් ඔබ කිසි දිනක ණයගැති වන්න එපා. ගුණ දහමෙන් පිරිහී තම කය, වචන, සිත තුළින් දුසිරිත් නමැති ණය ඇතිකර ගන්න එපා.

වෙර වීර්යය වඩා යම් ධාර්මික ජීවන වෘත්තියක නියැළී කටයුතු කළවිට ඔබට අනණ සුඛයෙන් සැපවත් විය හැකියි. ඒ සඳහා උත්සුක වන්න. අධිෂ්ඨානශීලි වන්න.

එසේම ගුණ නුවණින් සමෘද්ධ වීමට නිරතුරු උත්සාහවන්ත වන්න. කුසල් දහම්හි නිරතවෙමින් මෙලොව, පරලොව සැපවත් කර ගනිමින් අවසන උතුම් වූ අරහත්ඵලය සාක්ෂාත් කර ගැනීමට වීර්යවන්ත වන්න. සියලු කෙලෙසුන්ගෙන් මිදුණා වූ උත්තම වූ අනණ සුඛය එයයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.