Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සමථ විදර්ශනා තේරුම් ගනිමු

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

නිවන් මඟ ආරම්භයේ සිට අවසානය දක්වා ම දියුණුවෙලා යන්නේ ප්‍රත්‍යවේක්ෂා කිරීම මතයි. ප්‍රත්‍යාවේක්ෂා කිරීමෙන් අපි කරන දේ සාර්ථක ද? අසාර්ථක ද? හරි ද? වැරදි ද? කියලා තෝරා බේරාගන්නට අපට අවස්ථාවක් ලැබෙනවා. එහෙම නැත්නම් අපි කරන දේ හරි ද? වැරදි ද? කියලා තේරෙන්නෙ නෑ. අපි හරියට කළාද? කළ යුතු දේ නො කළයුතු දෙයක් ද කළේ? මේ ආදී වශයෙන් අපිට තෝරා බේරාගන්නට ලැබෙන්නෙ නෑ. ප්‍රත්‍යාවේක්ෂා කරන්නෙ නැත්නම්.

ඊළඟ දේ තමයි, ප්‍රත්‍යවේක්ෂා කරනවනම්, අපට ඒ මඟින් තවදුරටත් විශ්වාසය, වීර්යය වැඩිදියුණු වෙලා යනවා. කරන දේ සාර්ථකයි කියලා යම් කෙනෙකුට තේරෙනවා නම් එපමණින් ම ඒ කටයුත්ත තවදුරටත් හොඳින් සාර්ථකව කරගන්න එයා තුළ උනන්දුවක් ඇතිවෙනවා. ඒක මේ වගෙයි. දැන් ඔන්න ගොවියෙක් ඉන්නවා. ඒ ගොවියා යම් බීජයක් හිටවනවා. එයාට තේරෙන්නේ නැත්නම්, ඒ බීජය පැළවෙනවා කියලා. එයා ඒකට සාත්තු කරයි ද? සාත්තු කරන්නෙ නෑ. යම් ගොවියෙක් ඉන්නවා. පැළයක් හිටවනවා. ඒ පැළය දිහා එයා දවසින් දවස බලනව. උදේ හවස බලනවා. ඒ බලනකොට එයාට තේරෙනවා නම් අලුතින් දළු දානවා තියෙන කොළ පැහැපත් වෙනවා. කඳ වැඩෙනවා. මේ විදියට මේ ගහේ වැඩීමක් එයාට තේරෙනවා නම්, එයා ඒකට සාත්තු කරයි ද? රැකබලා ගනියිද? ආදරය කරයි ද? නැද්ද? ඒක පෝෂණය කරනවා නේද?

යම් කෙනෙක් තමන්ගේ් වගාවට හොඳින් සාත්තු කරන්ට නම් ඒ වගාව හොඳින් වැඩෙනවා කියලා එයාට තේරෙන්ට ඕන. එතකොට තමයි සතුටෙන් එයා කරන්නෙ. ඒ වගේ් තමයි අපි කරන දේ සාර්ථකයි කියලා අපට තේරෙනවා නම්, අපි තවදුරටත් හොඳින් කරනව නේද? තවදුරටත් සතුටෙන් ඒක කරගෙන යනවා. ඒ නිසා භාවනා කරන කෙනාට ප්‍රත්‍යවේක්ෂා කරනව කියන එක, පී‍්‍රති ප්‍රමෝදය උපදවා ගැනීම පිණිස උපකාර වෙනවා. සතුටෙන් වාසය කරන්ට උපකාර වෙනවා. තවදුරටත් හොඳින් ඒ කටයුත්ත කරන්ට එයාට හැකියාව උපදිනවා. ඒ නිසා ප්‍රත්‍යවේක්ෂා කිරීමේ වටිනාකම හොඳින් තේරුම් ගන්න.

භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා ‘අනුන්ගේ සිත දැකීමේ හැකියාව, කුසලතාවය නැත්නම්, තමන්ගෙ ‘සිත දැකීමේ කුසලතාවය උපදවා ගන්ට’ කියලා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ තරුණ වයසේ කෙනෙක් කණ්ණාඩියකින් මුහුණ බලනකොට ඒ මුහුණේ යම් කැළලක්, මොනවාහරි කිලුටක් තියෙනවා එයා දැක්කොත්, එයා කැමැති වෙනවා ඉක්මනින් ඒක පිරිසුදු කර ගන්නට. එයා මුහුණේ පිරිසුදුභාවයට කැමැති වෙනවා. එයා ඉක්මණින් ඒක පිරිසුදු කර ගන්ට වෑයම් කරනවා. පිරිසුදු කර ගන්නවා. ආන්න ඒ වගේ අපට අපේ සිතේ ස්වභාවය හොඳින් ප්‍රත්‍යවේක්ෂා කරන්ට කියලා කියා දෙනවා. සිත දිහා හොඳට බලන්න. බලල සිතේ යම් කිලුටක් තියනවනම් ආන්න ඒ කිළිටි ස්වභාවය ඉක්මණින් දුරුකර ගන්නට බලවත් වූ කැමැත්ත උපදවාගන්ට කියලයි භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙන්නේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා ‘බණ භාවනා කරන කෙනෙක්, හොඳින් තමන් කරන භාවනාව පිළිබඳ නුවණින් කල්පනා කරලා බලන්න. විමසලා බලන්න. ප්‍රත්‍යවේක්ෂා කරන්ට කියලා.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සමථය හොඳින් පුරුදු වෙනවද? කියලා හොයලා බලන්ට කියලා. ඒ වගේ ම විදර්ශනාව හොඳීන් පුරුදු වෙනව ද? පිහිටනව ද? කියලා අපි හොයලා බලන්න ඕන. එහෙම හොයලා බලන්ටනම් අපි සමථයයි, විදර්ශනාවයි දෙකම ප්‍රගුණ කළ යුතුයි නේද? සමථයත් කරන්නට ඕන. විදර්ශනාවත් කරන්නට ඕන. එතකොට සමථයයි, විදර්ශනාවයි දෙකම කරන කෙනා, හොයලා බලන්න ඕන. ‘මට සමථය පුරුදු කර ගන්නට පුළුවන්ද? සමථය පිහිටනවද? විදර්ශනාව පිහිටනවද? කියලා.

ඒ විදියට හොයලා බලන්ට නම් කලබල කරගෙන පුළුවන්ද? කලබල කරගෙන බෑ නේද? එයා ටික ටික භාවනා කර බලන්ට ඕන. මේ භාවනාව මට පිහිටනව ද? කියලා. පොඩි වේලාවක් භාවනා කරල තීරණය කරන්ට බෑ. දවසක් දෙකක් කරල පුළුවන්ද? තීරණයකට එන්න. එහෙම බෑ. දවසක් දෙකක් සතියක් හමාරක්, මාසයක් හමාරක් භාවනාවක් කරලා භාවනාව වැඩෙනව ද? නැද්ද කියලා තීන්දුවකට එන්න බෑ. ඒ නිසා සමහර විට කලක් පුරුදු කරන්ට වෙයි. ඊළඟට කලබල වෙලා භාවනා කරලත් අපට තෝරා බේරගන්න බෑ කොහොමද වෙන්නෙ කියලා. දවසක් භාවනා කරනවා. ආයෙ දවස් කිහිපයකින් ආයෙ කරන්නෙ. එහෙමත් බෑ. අඛණ්ඩව කරගෙන යන්න ඕන. එතකොටයි ඒ භාවනාව තමන්ට හුරුකරගන්ට පුළුවන්ද? බැරිද? කියන කාරණය තේරෙන්නෙ.

එහෙනම් අපි සමථය කරන්ටත් ඕන. විදර්ශනාවක් කරන්ටත් ඕන. ඊළඟට අඛණ්ඩව භාවනා කරගෙන යන්ටත් ඕන. ඊළඟ දේ තමයි කලබල නොවී ටික ටික පුරුදු කරගන්ට ඕන. ඊළඟට ඒ පුරුදු කරන අතර ම හොඳින් ‍ෙත්රුම්ගන්ට ඕන. සොයා බලන්ට ඕනෑ. ‘මට සමථය සිතේ පිහිටවනවද ? සමථය වැඩෙනවද? විදර්ශනාව සිතේ පිහිටනවද? විදර්ශනාව වැඩෙනවද? කියන කාරණා ඒ විදිහට එයා හොඳින් තේරුම් ගන්නට නම්, ඊට කලින් තෝරා බේරාගත යුතු දේවල් තියෙනව නේද? මතකයි ද ඒවා....? ලාමක අකුසල්වලට මගේ සිත යටවෙලාද තියෙන්නේ කියන කාරණාව. අපි කලින් සොයලා බලන්ට ඕන. ඒවා සොයලා බලන් නැතිව අපට සමථය පිහිටනවද? විදර්ශනාව පිහිටනවද කියලා සොයාගන්ට බෑ. කලක් යනකොට ඒ අකුසල් ස්වභාවයන් ටික ටික තුනී වෙනවා අපට තේරෙයි. ආන්න ඒ සමගම සමථයද පිහිටන්නෙ? විදර්ශනාවද පිහිටන්නේ? ඒ දෙක ම පිහිටනවද? කියන කාරණාව තෝරා බේරාගන්ට පුළුවන්කමක් ලැබෙයි.

අපි මේ විදිහට භාවනාව අඛණ්ඩව නැත්නම්, ඉවසීමෙන් කළේ නැත්නම් අපට මේ ධර්මයෙන් පිහිටක් ලබාගන්ට බැරිවෙනවා. යම් කෙනෙක් ඉවසීමෙන් යුක්තව අඛණ්ඩව ටික ටික පුරුදු කර ගත්තොත් අපිට පුංචි හෝ ප්‍රතිලාභයක් පිහිටක් පිළිසරණක් මේ ධර්මයෙන් ලබාගන්ට අවස්ථාව තියෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා. කම්මැලි වෙන්ටත් එපා. ඉවසීමෙන් මේ ධර්මය ඉගෙන ගනිමින්, ටික ටික බණ භාවනා පුරුදු වෙන්න. සමථය විදර්ශනාව මේ භාවනා කොටස් දෙකම ටික ටික පුරුදු කරන්න. එතකොට කලක් යනකොට අපට මේ භාවනාව පහසුවෙන් පුරුදු කරගන්න හැකියාවක් ඇති කරගන්ට පුළුවන් වෙයි.

යම් කෙනෙකුට සමථය වැඩෙනව නම්, එයා සමථයේ පිහිටලා විදර්ශනාවට හරවගන්න ඕන. යම් කෙනෙකුට විදර්ශනාව නම් පිහිටන්නේ, ඒ විදර්ශනාව දියුණුකරගෙන, විදර්ශනාවේ පිහිටලා සමථයට හරවගන්ට ඕන. කලකදී එයාට සමථයත්, විදර්ශනාවත් දෙක ම පුරුදු කරගන්ට, හොඳින් පවත්වන්ට පුළුවන් කලක් උදාවෙනවා.

එනිසා කලබල නොවී මේ ධර්මය පුරුදු කරගත්තොත් අපටත් අවස්ථාවක් උදාවෙයි සමථය, නැත්නම් විදර්ශනාව කියන මේ භාවනා වලින් එකක් හෝ දෙක ම හෝ හොඳින් පුරුදු කර ගන්ට. අන්න ඒ අවස්ථාව අපට උදා වුණොත් මේ ධර්මයෙන් පිහිටක් ලබාගන්න පුළුවන්කමක් තියෙයි. කලබල වෙන කෙනාට ඒ අවස්ථාව ගිලිහිලා යනවා.

යම් කෙනෙකුට ඒ විදිහට භාවනාව දියුණු වෙන්නෙ නැත්නම්, අනාගතයේ දී දියුණුව ඇතිකර ගැනීම පිණිස වීර්යය කරන්ට කියලයි භාග්‍යවතුන් වහන්සේ කියා දෙන්නෙ. ඒ නිසා අපිට දවසකින් දෙකකින් භාවනාව වැඩෙයි කියලා බලාපොරොත්තු තියාගන්ට එපා. සමහර කෙනෙකුට එහෙම වෙන්ටත් පුළුවන්. සමහර කෙනෙකුට දවසකින් දෙකකින්, සතියකින් හමාරකින් භාවනාව පුරුදු වෙන්න පුළුවන්. ඒක එයාගේ පිනේ ස්වභාවය. එයාගේ සිත මෝරලා තියෙන ස්වභාවය. සමහර කෙනෙකුට අවුරුද්දකින්වත් දෙකකින්වත් භාවනාව පුරුදු නොවෙන්න පුළුවන්. ඒ එකිනෙකාගේ ස්වභාවය.

හැබැයි ශ්‍රද්ධාව දියුණු කරගෙන, සිහිය පිහිටුවාගෙන අඛණ්ඩව සතිපට්ඨානය පුරුදු කරගන්නට උත්සාහ කළොත් එයාට අවස්ථාවක් උදාවෙයි. කාලය කොහොම වෙයිද කියලා අපට කියන්න බෑ. යම් දවසක එයාට සමථය හෝ විදර්ශනාව හෝ සිතේ පිහිටුවගන්ට පුළුවන් කලක් උදා වෙයි. ඒ නිසා අධෛර්යමත් වෙන්ට එපා. ‘’අනේ මට භාවනාව වැඩෙන්නේ නෑ’’ කියන මතයට එන්න එපා. ‘’මට සමථය බෑ. මට විදර්ශනාව බෑ’ කියන ඒ අදහසට එන්ට එපා. ‘’මම මේ ධර්මයන් පුරුදු කරගන්නට ඕනෑ’ කියන හැඟීම ඇතිකර ගෙන ටික ටික පුරුදු කරගන්න. ඒ ධර්මයන් පුරුදු කිරීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ කල්පනා කරන්න. සුවපහසුව ගැන කැමැති වෙන්න. ආන්න එතකොට අපේ සිත කැමැතියි ඒ ධර්මයන් පුරුදු කරන්න. බලහත්කාරයෙන් මේවා පිහිටු ගන්න බෑ.

ගොඩාක් අය බණ භාවනා බලහත්කාරයෙන් සිතේ පිහිටුව ගන්න උත්සාහ කරනවා. ඒ නිසා ම භාවනාව පුරුදු කරගන්න බෑ. බලහත්කාරයෙන් අපට භාවනාව පිහිටුවන්න බෑ. බණ භාවනාවන් සිතේ පිහිටන්නනම්, සිතේ කැමැත්තක් තියෙන්ට ඕන. ඒ කුසලයට සිත කැමැතිනම් ඒ තුළ සිත පිහිටයි. ඒ නිසා යම් භාවනාවක් කරන කෙනා මුලින්ම ඒ භාවනාව කෙරෙහි කැමැත්ත උපදවාගත යුතුයි. ඒ විදිහට කැමැත්ත උපදවා ගන්නකොට කලකදී ඒ භාවනාව පුරුදු කර ගන්ට පුළුවන්කමක් තියෙයි. ඒ නිසා ඒ භාවනාවෙන් ලැබෙන ප්‍රතිලාභය කල්පනා කරලා භාවනාව ගැන කැමැත්ත උපදවාගත යුතුයි. ඒ විදිහට උපදවාගෙන ටික ටික පුරුදුකරගෙ යන්න. අඛණ්ඩව පුරුදු කරගෙන යන්න.

එතකොට කලකදී සමථය හෝ විදර්ශනාව හෝ එහෙම නැත්නම් ඒ දෙකම හෝ පුරුදු කරගන්න අපට අවස්ථාවක් උදාවෙයි. එතකොට සමථය පුරුදුවෙන කෙනා සමථයේ පිහිටලා විදර්ශනාවට හරවගන්න මහන්සි වෙන්ට ඕන. උනන්දු වෙන්ට ඕන. විදර්ශනාව පුරුදු වෙනකොනා විදර්ශනාවේ ඉඳල සමථයට හරවගන්න දක්ෂ වෙන්නත් ඕන.

මේ සියලු දෙනාටම භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි සමථ විදර්ශනාව හොඳින් පිහිටුවාගෙන ඒ උතුම් නිවන අවබෝධ කිරීම පිණිස වාසනාව උදා වේවා! කියලා අපි ආශිර්වාද කරමු.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.