Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සසර ගමන කෙටි කරන සීලය

යමෙක් නිවන් අවබෝධය සඳහා පිළිවෙත් පිරීමට අපේක්‍ෂා කරන්නේ ද ඔහු ඒකාන්ත වශයෙන්ම සිල්වත් අයෙකු විය යුතු බව දැක්විය යුතු ය. මෙහි දී සීලය මත තම ආධ්‍යාත්මය ගොඩනඟා ගත යුතු ආකාරය මුල් බුදු සමය තුළ බෙහෙවින් සාකච්ඡාවට ලක් වූ කාරණයක් ලෙස හැඳින්විය හැකිය. එම නිසා සීලයෙන් සමාධියටත්, සමාධියෙන් ප්‍රඥාවටත් ගමන් ගත යුතු ආකාරය තථාගත දේශනයේ පැහැදිලි කොට ඇත.

තථාගතයන් වහන්සේගේ බුද්ධ සාසනයෙහි මූලික පරමාර්ථය වන්නේ සසර දුක් කෙළවර කොට නිවන ශාක්සාත් කර ගැනීමය. යමෙක් නිවන් අවබෝධය සඳහා පිළිවෙත් පිරීමට අපේක්‍ෂා කරන්නේ ද ඔහු ඒකාන්ත වශයෙන්ම සිල්වත් අයෙකු විය යුතු බව දැක්විය යුතු ය. මෙහි දී සීලය මත තම ආධ්‍යාත්මය ගොඩනඟා ගත යුතු ආකාරය මුල් බුදු සමය තුළ බෙහෙවින් සාකච්ඡාවට ලක් වූ කාරණයක් ලෙස හැඳින්විය හැක. එම නිසා සීලයෙන් සමාධියටත්, සමාධියෙන් ප්‍රඥාවටත් ගමන් ගත යුතු ආකාරය තථාගත දේශනයේ පැහැදිලි කොට ඇත. මෙහි දී සීලය වශයෙන් සඳහන් වන්නේ සිත, කය, වචනය යන තිදොරෙහි සංවර භාවය බව ම දත යුතු ය.

මෙය නිර්වාණය පිණිස හේතුවන කාරණයක් පමණක් නොව දුගතියට පුද්ගලයා නොවැටී සුගති උත්පත්තිය සඳහා ද හේතු වන කරුණක් බව ද අප දත යුතු ය. මක්නිසාද යත් දුසිල් මනසක් ඇති පුද්ගලයාගේ අවසාන මොහොත එනම් මරණාසන්න අවස්ථාව ඉතා ඛේදනීය වන බව අප මෙහි දී දත යුතු ය. දුෂ්ශීලයාගේ මරණය සිදුවන අවස්ථාවේ දී ඔහුගේ සිත ඒකාන්ත වශයෙන් යහපත් නිමිත්තක් නො ගන්නා බව දත යුතු ය.

ඔහුගේ මනස වික්ශිප්ත වන අතර නො සන්සුන් බවම ඇති වන්නේ ය. මෙසේ විකල් මනසකින් මරණයට පත්වන පුද්ගලයා අනතුරුව දුගතියටම පිළිපන් පුද්ගලයෙකු වන්නේ ය. එම නිසා ප්‍රඥාවන්තයා විසින් පිරිපුන් සිල්වතෙකු ලෙස කටයුතු කිරීම වැදගත් බව මෙහි දී දත යුතු ය.

තථාගතයන් වහන්සේ කිසිවෙකු විසින් රක්නා සීලයෙහි මෙලොව වශයෙන් ලැබෙන ආනිසංස පහක් පිළිබඳව විස්තර කොට ඇත. එනම් (ගහපතිවරුනි සිල්වත් තැනැත්තාගේ පවතින අප්‍රමාදී බව නිසා බොහෝ බෝග සම්පත් ලබන්නේය. සිල්වතාගේ කීර්ති දසත පැතිරෙන්නේ ය. සිල්වතා බ්‍රාහ්මණ, ක්ෂ්ත්‍රීය ඇතුළු සියලු දෙනා වසන සභා මධ්‍යයෙහි පවා විශාරදව ඉදිරියටම පැමිණෙන්නේ ය. එසේම සිල්වතා නොමුලා සිතින් කළුරිය කරන්නේ ය. මරණින් මතු සුගතියෙහිම උපදින්නේය.) ආදී වශයෙනි.

එසේම තථාගත දේශනයට අනුව ආභිසමාචාරික ශීලය සහ ආදිබ්‍රහ්මචරියක ශීලය වශයෙන් කොටස් දෙකක් පිළිබඳව දක්වා ඇත. මෙහි දී මාර්ග ඵල අවබෝධය පිණිස නොව සමාජ ආචාර ධර්මයන්ට අයත් ශික්‍ෂා ඇත් ද ආභිසමාචාරක ශික්ෂාව වශයෙන් දත යුතු ය. මෙහි දී භික්‍ෂු භික්‍ෂුණි යන උභය පාර්ශ්වය උදෙසා දේශිත උභය ප්‍රතිමෝක්ෂයට අයත් පාරාජිකාපත්ති සහ සංඝාදිසේස ආපත්ති නොකඩා රැකීම ආදිබ්‍රහ්මචාරික ශීලය වශයෙන් දත යුතු ය. මෙය සෘජු ලෙසම නිවන සඳහා පාදක වන ශීලය ලෙස දත යුතු ය. බෞද්ධ ඉගැන්වීමෙහි සීලය ප්‍රමාණික වශයෙන් ප්‍රධාන කොටස් තුනකට පෙන්වා දිය හැක. එනම් හීන සීල, මධ්‍යම සීල, ප්‍රණීත සීල වශයෙනි.

හීන සීලය යනුවෙන් දක්වා ඇත්තේ සිල් පද කෙරෙහි කිසිදු උත්සාහයක් හෝ වුවමනාවකින් තොරව ආරක්‍ෂා කරනු ලබන සීලය වන්නේ ය. එසේම (සීල වන්තයා මමය, අන් අය දුෂ්ශීලයෝය, පාප ධර්ම ඇත්තෝය ආදී වශයෙන් අත්තුක්කංසන – පරවම්බනය සහිතව අනුන් හෙළා දකිමින් රකින කිළීටි වූ සීලය හීන සීලය යැයි ද දත යුතු ය. මෙහි ප්‍රතිඵල ඇතත් මහත් ඵල නොවන බව දත යුතු ය. මධ්‍යම සීල යනු ලාභ කීර්ති ප්‍රසංසා අපේක්‍ෂාවෙන් යුතුව රකින සීලය ලෙස දත යුතු ය. එසේම සිල් රැකීමේ දී ඇතැම් අය විවිධාකාර හීන පරමාර්ථයන් මුදුන් පත් කරගැනීමේ අපේක්‍ෂාවෙන් තමා තුළ මෙවැනි සීලයක් ඇතැයි පෙන්වීමට උත්සාහ කරත්, මෙහිදී කීර්තිය, ලාභසත්කාර, වැනි පටු ආකල්ප පෙරදැරිව රකින සීලය නිවන පිණිස හේතු නොවන බව දත යුතු ය. එම සීලය තමා වෙත ලාභ සත්කාර ලැබුණු විගසම එය අත්හැර දුෂ්ශීල මගක් ගන්නේ ය.

මෙය පරියාපන්න සීලය ලෙස ද දක්වා ඇත. ලාභ සත්කාර නොසලකා රකින සීලය අපරියාපන්න සීලය යැයි ද මෙහිදී දත යුතු ය. ප්‍රණීත සීල ලෙස දක්වා ඇත්තේ සෝවාන් ආදී මාර්ග ඵල අපේක්‍ෂාවෙන් යුතුව දැඩි වීර්යෙන් රක්නා සීලය වන්නේ ය. තවද තමා රක්නා සීලය පිරිහීමකට පත් නොවන සේ ආරක්‍ෂා කර ගැනීම උසස් වූ සීල විශුද්ධියකට හේතු වන කාරණයකි. මෙහි දී ඇතමෙක් ධර්මය නොදත් අඥාණයන් ඇසුරට ගනිමින් ඤාණවන්තයන් ඇසුරු නොකරයිද?, වැරැදි දෘෂ්ටි උපදවමින් රකින සීලය (හානභාගිය) සීලය ලෙස දක්වා ඇත. තවද පිරිහීමකට හෝ අභිවෘද්ධියට පත් නො කර ගන්නා සීලයක් යමෙක් තුළ ඇත් ද එය (ඨිතිභාගිය) සීලය ලෙස දක්වා ඇත.

මෙහි දී ඇතමුන් සීලය පමණක් රකිමින් එපමණින් සතුටට පත්ව එයින් කටයුතු අවසන් කරන්නේ ය. ඔවුන් තමා රක්නා සීල සම්පත්තිය උපයෝගී කොට සමාධිය ඉපදීමට උත්සුක නොවන්නේ ය. එම නිසා මෙම සීලයට ඨිතිභාගිය ලෙස හඳුන්වා ඇත. මේ අතර ඇතමුන් තමා රකිනා සීලය උපයෝගී කර ගෙන උපචාර හා (ධ්‍යාන සිත්) ඉපදවීමට උත්සාහ කරන්නේ ය. මෙම සීලය හඳුන්වා ඇත්තේ විසේසභාගිය සීලය ලෙසටය.

අර්පණා කෞශල්‍ය උදෙසා කිසියම් ශිලයක් රක්නේද එම සීලය නොකිලිටි හා නොකැලැල් ස්ථිර සාර සීලයක් ලෙස පවත්වා ගත යුතු බව ද මෙහි දී දත යුතු ය. තවද කිසිවෙකු විසින් තමා රක්නා සීල සම්පත්තියෙන් පමණක් සතුටට පත් නොවී ස්වකීය සීලය මෙනෙහි කරමින් සමාධීයට ද සමාධීය උපයෝගී කරගනිමින් විදසුන් නුවණ උපදවා ගනී ද එබදු සීලය නිබ්බේදභාග සීලය ලෙස දත යුතු ය.

මේ ආකාරයට සම්බුදු සසුනෙහි ඉගැන්වෙන සීලයෙහි අවසාන නිෂ්ටාව ලෙස සලකනු ලබන්නේ සීලයෙන් සමාධියටත් සමාධියෙන් විදසුන් නුවණ උපදවා අනාදිමත් කාලයක් පුද්ගලයා විසින් පුරුදු කරන ලද කෙලෙස් දාහයාගේ සංහිදියාව ඇති කර ගැනීම බව දත යුතු ය. එම නිසා පරම දුර්ලභ වූ බුදු සසුනෙහි මනා ලෙස සීල සංවරයෙහි පිහිටන තැනැත්තාට සියලු දුක් දුරු කොට අමාමහ නිවනට ම එය හේතුවක් කර ගත හැකි බව මෙයින් දත යුතු ය.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.