Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෝධි පූජාවේ ඓතිහාසික හා ආගමික පසුබිම

බෞද්ධ ජනතාවගේ විවිධ පූජා විධි අතර බෝධි පූජාවට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. ඈත අතීතයේ පටන් මිනිසුන් අතර මුල් බැසගෙන තිබූ යම් යම් ඇදහිලි ක්‍රමද අන්‍ය ආගමිකයන් අතර පැවැතුණු සමහර පිදවිලි ක්‍රමද, බෞද්ධ ඉගැන්වීම්වලට පටහැනි නොවන සේ සකස් වී. බෝධි පූජා විධිය බෞද්ධ ගිහියන් අතරට පිවිස ඇත.

මහ පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වන පරිදි සැදැහැවත් බෞද්ධයන් විසින් නරඹනු ලැබීය යුතු, ඔවුන් තුළ පහන් සංවේගය ඇති කිරීමට සමත් ස්ථාන සතරකි. එනම්, බුදුරජාණන් වහන්සේ ගේ උප්පත්ති ස්ථානය බුද්ධත්වයට පත් වූ ස්ථානය, දම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කළ ස්ථානය සහ පිරිනිවන් පා වදාළ ස්ථානය යන මේවායි. මේ ස්ථාන නැරැඹීමෙන් ජනිතවන බුද්ධාලම්භන පී‍්‍රතියත්, ශ්‍රද්ධාවත් සුගතිගාමි වීමට හේතු වන බව එම සූත්‍රයේ සඳහන් වේ. එහෙයින් ඒවා බෞද්ධ පූජනීය ස්ථාන බවට පත් විය.

මේ ස්ථාන අතුරෙන් බුද්ධත්වයට පත් ස්ථානයෙහි හෙවත් බෝධි මණ්ඩලයෙහි පිහිටි මහා අශ්වත්ථ වෘක්‍ෂය බෞද්ධයන් විසින් බෝධි වෘක්‍ෂය ලෙස හඳුන්වනු ලැබ බුද්ධත්වයේ සංකේතය ලෙස පූජාර්භ විය. බෞද්ධයන් අතර බෝධි පූජාව මෙසේ ඇරැඹුණේ වී නමුත් බුදු සමයට කලින් පොදු ජනයා අතර ප්‍රචලිතව තිබූ ගස්, ගල්, නදී තීර්ථා දී ස්වභාවික වස්තු පිදීමේ සිරිත වෙනස් ස්වරූපයකින් බුදුදහමට අනුකූල වන අයුරින් බොදු ගිහි ජනතාව අතරට ඇතුළු වූ බව අශ්වත්ථ වෘක්‍ෂය කෙරෙහි ප්‍රාග් බෞද්ධ සමයේ දැක්වූ ආකල්ප විමසා බැලීමෙන් පැහැදිලි වේ.

අශ්වත්ථ වෘක්‍ෂය මොහෙන්ජෝදාරෝ හරප්පා ශිෂ්ටාචාර යුගයේ දී පවා අවධානයට භාජනය වූ වෘක්‍ෂයක් ලෙස නිගමනය කළ හැක්කේ එම ශිෂ්ටාචාරයට අයත් කාසි සහ මුදුවල ද මේ ගස ඉතා පැහැදිලිව ලාංඡන ගතකොට තිබෙන නිසාය. එම වෘක්‍ෂ ලාංඡනයන්ගේ ශාඛා බෙදී ඇති ආකාරයත්, සිහින්ව දිගට වැඩුණු අගිස්සෙන් යුක්ත වන පත්‍ර සහ පැහැදිලිව දිස්වන නාරටිත් නිසා විද්වත්හු මෙය අශ්වත්ථ වෘක්‍ෂය යැයි නිගමනය කරති. මෙම සාධකවලින් පෙනී යන්නේ එම ශිෂ්ටාචාරයේ ද අශ්වත්ථ වෘක්‍ෂය පූජනීය වස්තුවක් ලෙස සලකන්නට ඇති බවය.

ත්‍රිපිටකයෙහි බෝධි වෘක්‍ෂය ගැන සඳහන් වන්නේ විරල වශයෙන් වුවත් විනය මහාවග්ගයේ, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් පසු සත් දිනක් විමුක්ති සුවයෙන් බෝ රුක මුල වැඩ හිඳි බව සඳහන් වේ.

ථෙර ගාථාවේ සඳහන් වන පරිදි සන්ධික තෙරුන් වහන්සේ බෝධි වෘක්‍ෂය සමීපයේ දී එය අරමුණු කොටගෙන බුදු ගුණ මෙනෙහි කිරීමෙන් සත්‍යාවබෝධය ලැබූ සේක. අපදානයෙහි බෝධි පූජා ආනිශංස කිහිපවතාවක්ම සඳහන් වේ. එක් තෙරනමක් උදේ හවස බෝධියට උපස්ථාන කිරීම හේතුකොට ගෙන කල්ප දහස් ගණනක් සක්විති රජ සැප අනුභව කළේය. (බෝධි උපට්ඨායක ථෙරස්ස අපදාන) බෝධි වෘක්‍ෂයට පහන් දැල්වීමෙන් හා විජිනිපතක් පූජා කිරීමෙන් නන්දන සහ ජම්බුක යන තෙරුන් වහන්සේ සුගතිගාමි වී පසුව රහත් බව ලැබූහ. තවත් තෙරනමක සිද්ධත්ථ බුදුරදුන්ගේ බෝධියට බෝධිඝරයක් තැනවීමෙන් රත්න ඝරයක උපත ලැබ. අව්, වැසි, සුළං ආදියෙන් පීඩා නොලැබ,බොහෝ සැප අනුභවකොට සක්විති සම්පත් ද ලබා ඇත. බෝධි වන්දක තෙරුන් වහන්සේ විපස්සි බුදුරදුන්ගේ් පාටලී බෝධිය වන්දනා කිරීමේ අනුහසින් සුගතිගාමි වූ සේක.

බෝධිද්‍රැමය පිළිබඳ සංවර්ධිත අදහස් දක්නට ලැබෙනුයේ අටුවාවන්හි හා මහා බෝධිවංශයෙහිය. ජාතකට්ඨකතා නිදාන කතාවට අනුව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට සෙවන දීමෙන් බුදුවීමට උපකාරී වූ බෝධිද්‍රැමයට සතියක් අනිමිසි ලෝචන පූජාවෙන් සංග්‍රහ කළ සේක. තවද බෝධි වෘක්‍ෂය සිදුහත් කුමරු උපන් දිනම ලොව පහළ වූ සහජාත වස්තුන් සතෙන් එකක් බව මහා පදාන අට්ඨ කතා, කාළුදායි ථෙරගාථා අට්ඨ කතා, බුද්ධ වංශ අට්ඨ කතා යන ග්‍රන්ථයන් හි සඳහන් වේ. එහෙත් මහාපදාන ටීකාවේ දැක්වෙන පරිදි බෝධි වෘක්‍ෂය කල්තියා පෘථිවි අභ්‍යන්තරයෙහි වැඩෙමින් සිට බුදු වන දින පොළොව පලා රියන් සියයක් උඩට නැඟි එපමණක්ම පළලට අතුපතර විහිදා අහස් කුස පුරා පැතිරී සිට ගනී.

බුදුරජාණන් වහන්සේ ගේ ජීවිත කාලය තුළම මහජනයාට වන්දනාමාන කිරීම පිණිස බෝධි වෘක්‍ෂයක් පිහිටුවීම පිළිබඳ කතා පුවතක් සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ ජනපද චාරිකාවේ හැසිරෙන විට දෙව්රමට පැමිණෙන ජනකාය රැගෙන එන මල්, සුවඳ දුම් ආදි පූජා ද්‍රව්‍ය ගඳකිලිය ඉදිරිපිට දමායති ඒවා පූජා කිරිමට ස්ථානක් නියමකර නොතිබුණෙන් ආනන්ද තෙරුන් වහන්සේ ඒ බව බුදුරදුන්ට දන්වා සිටි සේක. ඒ අවසථාවේ පාරිභෝගික චේතියක් ඉඳිකළ හැකි බව බුදුරාජණන් වහන්සේ පැවසු සේක. බෝධි ද්‍රැමය බුදුරදුන් විසින් පරිභෝග කළ වස්තුවක් නිසා බෝමැඩ පිහිටි බෝධියෙන් ගිලිහුණු බීජයක් බිමට වැටීමට පෙර ගෙනවුත් දෙව්රම් වෙහෙරට ඇතුළුවන තැන දොරටුව අසල උත්සවාකාරයෙන් රෝපණය කරන ලදී.

සුවඳ කලලින් යුත් ස්වර්ණමය කටාරයක අනේපිඬු සිටුතුමාගේ අතින් රෝපිත මොහොතෙහිම එය පනස් රියන් උස සර්වප්‍රකාරයෙන් පරිපුර්ණ වූ වෘක්‍ෂයක් බවට පරිවර්තනය ව ප්‍රාතිහාර්ය පෑවේය. එම බෝධි මූලයෙහි සමාපත්තියට සම වැදීමෙන් එම බෝරුක පරිභෝග කරන මෙන් බුදුරාජාණන් වහන්සේගෙන් ආනන්ද හිමියන් ඉල්ලුවිට උන්වහන්සේ සමාපත්තියට සමවැද එක් රැයක් එම බෝධිය පරිභෝග කළ සේක. ආනන්ද හිමියන් උත්සුක වීමෙන් රෝපණය කරන ලද බෝධිය බැවින් එය ‘ආනන්ද බෝධිය’ යැයි ප්‍රකට විය.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාරිරික, උද්දේශික , පාරිභෝගික යන තුන්වැදෑරුම් චෛත්‍යයෝ බුදුරදුන් වෙනුවෙන් පෙනී සිටින වස්තු වෙති. ඒ නිසා සාමඤ්ඤඵල අටුවාවේ දැක්වෙන පරිදි චෛත්‍යයක් වන්දනා කළ යුත්තේ බුදුගුණ සිහිකරමින් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් යුක්තවය. බෝධින් වහන්සේට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දී මෙන් පසඟ පිහිටුවා වැඳිය යුතුය.

මෙසේ බෞද්ධ චෛත්‍යයන් බුදුරදුන් නියෝජනය කරන වස්තූන් වූ බැවින් ඒවා ‘අසත්ථඝාතාරහ’ විය. එබැවින් බෝධි ශාඛාවක් ලක්දිවට වැඩම කරවීමේ දී ධර්මාශෝක රජතුමාට විශාල ගැටලුවකට මුහුණ දෙන්නට සිදු විය.

සැතකින් තුවාල නොවන සේ බෝධි ශාඛාවක් කෙසේ ලබාගත හැකිද? එය නිරාකරණය කිරිම පිණිස බුදුරදුන් විසින් පිරිනිවන් මඤ්චකයේ සිට කරන ලදැයි සඳහන් අධිෂ්ඨානයන් හේතු වූ බවත්

මේ අධිෂ්ඨානයන් අනුව සියල්ල සිදුවූ බවත් සමන්තපාසාදිකාවේ බාහිර නිදාන වග්ගයේ සඳහන් වේ.

බෞද්ධ චෛත්‍යයන් විනාශ කිරීම ඉතා බැරෑරුම් පාපකර්මයක් ලෙස සැලකේ. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ අට්ඨානවග්ගයේ, පඤ්චානන්තරිය පාප කර්මයන්ගෙන් පස්වැනි වූ තථාගත ලෝහිතුප්පාදය සාකච්ඡා කිරීමෙන් පසු එම අටුවාවේ තථාගත චෛත්‍යයන් විනාශ කිරීම ආනන්තර්ය පාපකර්මය හා සමාන බව සඳහන් කරයි.

බෝධි පූජා පිළිබද සෑහෙන විස්තරයක් අටුවා සාහිත්‍යයෙන් ලබා ගත හැකිය. සමන්තප්‍රාසාදිකා බාහිර නිදාන වග්ගයේ දැක්වෙන ධර්මාශෝක රජු විසින් කරන ලද බෝධි පූජාව සහ කාලිංගබෝධි ජාතකයේ දැක්වෙන බෝධි පූජාව විශේෂයෙන් සඳහන් කළ හැකිය. මේ විස්තරයට අනුව සුවඳ පැනින් බෝධිය නැහැවීම, මල් පහන් පූජා කිරීම, මල් දාම පැළඳවීම, ධජ පතාකවලින් සැරැසීම, සුවද දුම් පිදීම, පුන්කලස් තැබීම, ප්‍රාකාර දොරටු ඉදි කිරීම, රන්වන් රිදීවන් වැලි බෝ මළුවේ ඉසීම. තුර්යවාදනය, ප්‍රදක්‍ෂිණා කිරීම , සාධුකාර දීම හා වැඳීම බෝධි පූජාවන්හි අන්තර්ගත අංග විය. මහා බෝධි මණ්ඩපයට සත් දිනක් පූජෝපහාර කළ කාලිංග රජු දහ අට රියන් ස්ථම්බයක් එහි ඉදි කළේය. මේ බෝධි පූජා අංගයන්ගෙන් සමහරක් සාංචි ස්ථූපාදි බෞද්ධ කැටයම් වලින්ද ප්‍රකට වේ. බෝ මළුව ඇමැදීම දිනපතා කරන වතාවතකි. (දීඝ අට්ඨ කථා, මහා පරිනිබ්බාන සූත්ත වණ්නනා) බෝධිය නැහැවීම බෝධි පූජාවේ විශේෂාංගයක් වී ඇත්තේ බෝධිය වැඩීමට හිතකර නිසා විය යුතුය. බෞද්ධ කැටයම් කලාවේ ද බෝධි වෘක්‍ෂයට පැන් වත් කිරීම සංකේතවත් වන අයුරින් පිළිබිඹු කොට ඇත. කනේරි ස්ථම්භයක ඇතුන් දෙදෙනකු සොඩින් ගත් කළවලින් බෝධි වෘක්‍ෂයට පැන් වත්කරන ආකාරය කැටයම් කොට ඇත.

ඈත අතීතයේ, අභිමතාර්ථයන් සඵල කර ගැනීම පිණිස වනස්පති වෘක්‍ෂයන්ට මල්, පහන්, ධජ, පතාක ආදියෙන් පූජා කිරීම ඉතා ජනපි‍්‍රයව පැවැති චාරිත්‍රයක් බව ධම්මපදට්ඨ කථා ජාතකට්ඨ කථා ආදි ග්‍රන්ථයන්ගෙන් හෙළිදරව් වේ. එසේ පුරුදු වී තිබු පුද පූජා බෝධි ද්‍රැමයට කළ හැකි වූයෙන් වෘක්‍ෂයන් පිදීමේ චාරිත්‍රය බෞද්ධයන් අතරින් ඈත් විය. වෘක්‍ෂයන් පිදීම වෙනුවට බෝධිය පිදීම හා ඒ පිනෙන් අභිමථාර්ත සාර්ථක කර ගැනීම බෞද්ධයන් අතින් සිදු විය. වෘක්‍ෂ වන්දනාව අර්ථාන්විතව සිදු වූවායැයි එයින් නිගමනය කළ හැකිය. බුදු දහමේ මුලික ඉගැන්වීම්වලට කැළලක් නොවන සේ, බුද්ධ චරිතයේ අනූපමේය ප්‍රතාපවත් භාවයම උද්දීපනය වන සේ නව අදහස් අටුවා ටිකා ග්‍රන්ථයනට ඇතුළත් වී ඇති බව පැහැදිලිව පෙනේ.

අශ්වත්ථය පිළිබඳ කෙතරම් පූර්ව සම්ප්‍රදායන් පැවතුණේ වී නමුත් බෞද්ධයන් බෝධි වෘක්‍ෂයට පුද පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේ ගේ සිහිවටනයක් ලෙසය. එමෙන්ම බුද්ධත්වයේ සංකේතයක් ලෙසය. තව ද විදුර ජාතකයේ සඳහන් පරිදි තමාට විඩා සංසිඳුවා ගැනීමට සෙවන දුන් ගසක අත්තක් පවා කඩා දැමීම ගුණමකු ක්‍රියාවකි. එහෙයින් මුළු මහත් ලෝකයාටම ශාන්තියක් සැලසීම පිණිස බුදුරජාණන් වහන්සේට සෙවන දීමෙන් උපකාර වූ බෝධි වෘක්‍ෂයට බෞද්ධ ජනතාව වැඳුම් පිදුම් කරන්නේ අප්‍රමාණ ගෞරවයකින් හා ශ්‍රද්ධාවකින් යුතුවය.

යස්සමූලේ නිසින්නෝව - සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්චුතා සත්ථා – වන්දේතං බෝධි පාදපං

ඉන්දනීල වන්න පත්ත
සේතඛන්ධ භාසුරං
සත්ථූ නෙත්ත පංකජාහි
පූජිතග්ග සාතදං
අග්ගබෝධි නාමවාම
දේවරුක්ඛ සන්නිභං
තංවිසාල බෝධි පාදපං
නමාමි සබ්බදා


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.