Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අදමින් ජීවත් වෙනවා විතරට දැහැමින් මියයනු සොඳමයි දනහට

බුදු දහම පුද්ගලයාගේ ලෝකෝත්තර අංශය පමණක් නොව ලෞකික ජීවිතය පිළිබඳව ද කරුණු සාකච්ඡාකර ඇත. ආර්ථික කරුණු අඩංගු වෙනම ම ග්‍රන්ථයක් එහි දක්නට නොලැබුණත් සූත්‍ර පිටකයේ සූත්‍ර ගණනාවක ම ඊට අදාළ කරුණු දක්නට ලැබේ. අංගුත්තර නිකායේ අනණ සූත්‍රයේ සුඛ වර්ඝ හතරක් දක්වා තිබේ. අත්ථි සුඛ, භෝග සුඛ, අනණ සුඛ, අනවජ්ජසුඛ යනුවෙනි.

අÀථිසුඛය නම් උට්ඨාන වීර්යයෙන් බාහුබලයෙන් ඉපයූ ධනයක් ඇතැයි සිතා සතුටු වීමය. භෝග සුඛය නම් උට්ඨාන වීර්යයෙන් ඉපයූ ධනය පරිභෝග කරමින් පින්දහම් ද කෙරෙමියි යන සතුටය. අනණ සුඛය නම් කිසිවෙක්හට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නැතියි ඇතිවන සතුටය. අනවජ්ජ සුඛය නම් අනවජ්ජ කාය, වචී, මනෝ කර්මයෙන් ඉවත්වූයේය යන සතුටය. භෞතික සම්පත් තිබීම කාමභෝගි මිනිසාට සතුටකි. අංගුත්තර නිකායේ ඉණ සූත්‍රයේ දී කාමභෝගී ගිහියාට දිළිඳු බව දුකක් බවත් ණය ගැණුම ද දුකක් බවත් දක්වා තිබේ.

එහිම ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ වැය පිළිබඳ කරුණු දක්වා තිබේ. එහි දක්වන ආකාරයට පුද්ගලයකුගේ හිතසුව පිණිස බලපාන කරුණු හතරකි.

1. උට්ඨාන සම්පත්
2. ආරක්ෂා සම්පත්
3. කල්‍යාණමිත්‍රතාවය
4. සමජීවිකතාව ය.

උට්ඨාන සම්පදා නම් කිසියම් පුද්ගලයකු ජීවිකාව වශයෙන් කෙරෙන කෘෂිකර්මාන්තය, වාණිජකර්මාන්තය, රාජසේවය, වෙනත් ශිල්පයෙක් ආදී සියලු කර්මාන්තවල අනලස්බවය.

බාහු බලය යොදවා දහදිය වගුරුවා ඉපයීම කළ යුතුය. ආරක්ෂා සම්පදා නම් රජවරු, සොරු, පැහැර ගැනීමෙන් ගින්නෙන් පිළිස්සීමෙන් දියෙන් ගසාගෙන යාමෙන් අප්‍රිය නෑදෑයන් පැහැර ගැනීමෙන් ආරක්ෂාකර ගැනීම ය. කළ්‍යාණ මිත්‍රතාවය නම් ශීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා, ශ්‍රද්ධා සම්පදා යන ලක්ෂණවලින් හෙබි පුද්ගලයන් ආශ්‍රය කිරීමය. සමජීවිකතා නම් අය සහ වැය දැන සමබරව අය වැය පවත්වාගෙන යාමයි. මෙය උපමාවකින් දක්වන්නේ තරාදියක් අතින්ගෙන සිටින්නකු එහි උස් පහත් බව මනාව දැන සමබරව එය තැබීමට ප්‍රයත්න දරන්නාසේ පුද්ගලයා ද වැය පාර්ශ්වය අය නොඉක්මවා තිබිය යුතුයැයි දක්වා තිබේ. අඩු ආදායමක් ලැබ වැඩි මුදලක් වැය කිරීමට උත්සාහ දරන්නා දිඹුල් කෑමට සමානකර තිබේ. (අජුද්ධුමාරිකං) උදුම්බරකාදික ද සුදසු නැත. මෙහි සම්පත් විනාශවන මාර්ග හතරක් ද (අපාය මුඛ) දක්වා තිබේ.

අංගුත්තර නිකායේ ඉට්ඨධම්ම සූත්‍රයේ දී අලසබව හා අනුට්ඨානය නිෂ්පාදනයට බාධාවකැයි දක්වා තිබේ. කිසියම් කාර්යයක් පැමිණි කළ අලස පුද්ගලයා දැන් බඩගිනියි, දැන් බඩ පිරිලාය, දැන් උදෑසන වැඩිය, දැන් දහවල් වැඩිය, දැන් නිදිමතය, දැන් ශීතය, දැන් උෂ්ණය වැඩිය ආදී දේ කියමින් එළඹි කාරණය පසුවට කල් දමයි. එහෙත් ඔහුට කිසිදාක හෙටක් එළඹෙන්නේ නැත. මේ කාරණය පරාභව සූත්‍රය දක්වා ඇත්තේ මෙසේය.

“නිද්දාසීලි සභාසීලි අනුට්ඨාතා ච යො නරෝ
අලසො කොධපඤ්ඤාණො තං පරාභවතෝ මුඛං”

අවශ්‍ය පමණට වඩා නිදාගන්නා ද අනවශ්‍ය ලෙස සභාශීලී වන්නා (රංචුගැසී දොලොවටම වැඩක් නොවන අනුන්ගේ දේවල් විවේචනය කරන්නා) ද උත්සාහයක් නැති පුද්ගලයා ද අලස පුද්ගලයා ද ක්‍රෝධ කරන්නා ද දිනෙන් දින පිරිහීමට පත්වේ. මේ කරුණු ධන නිෂ්පාදනයට සෘජුව පවතින බාධාවන් ය.

නිෂ්පාදන කාර්යයේ දී සෑම විටම සීමාවක් තිබිය යුතුය. එම සීමාව නම් දැහැමි බව හෙවත් යුක්ති ධර්මය යි. ඉපයීමේදී සමාජයේ කිසිවෙකුටත් කරදරයක් හිරිහැරයක් නොවිය යුතුය.

බමරකු මලට කිසිදු හානියක් නොකොට රොන් ගන්නාක් මෙන් කිසිවකුටත් හිරිහැරයක් නොවෙන ආකාරයට නිෂ්පාදන කාර්යය කළ යුතුය. අන් අයගේ ශ්‍රමය සූරා කමින් අදැහැමිව අයථා ලෙස ධනය නිෂ්පාදනය කිරීම, ලාභ ලැබීම ආධ්‍යාත්මික වශයෙන් සිදු කරගන්නා විශාල විනාශයකි. අකුසල් රැස්කර ගැනීමකි, සතුන් වෙළදාම, විෂ වර්ග වෙළදාම, මත්ද්‍රව්‍ය වෙළදාම, මස් පිණිස සතුන් වෙළදාම් කිරීම, ආයුධ වෙළදාම පුද්ගලයා විසින් අනිවාර්යයෙන්ම නොකළ යුතුය. මෙම වෙළෙදාම පුද්ගලයාගේ හා සමාජයේ පරිහානිය සඳහා ම ඉවහල් වන බැවින් සදාචාර විරෝධීය.

“ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ - සැපයක් යැයි කකුළුව දිය කෙළියේ”

සදාචාර විරෝධීව ධන නිෂ්පාදනය කරන්නාට කිසියම් දිනක එහි අනිසි ප්‍රතිඵල ලැබේ. මෙලොවදීම නීතියට හසුකර ගැනීම නිසා දඩ ගෙවීමට ද සිරගෙහි ලැගීමට ද සිදුවන අතර සමාජයේ පිළිකුලට ද පත්වේ. එහි ප්‍රතිවිපාක අනුව ප්‍රේත, තිරිසන්, නරක භවවල ඉපදීම, මිනිස් භවයක් ලැබූවද ශරීර අගපසග විකෘතව ඉපදීම, මන්දබුද්ධිකව ඉපදීම, ආයුෂ අඩුවීම, විවිධ පාප රෝගවලට ලක්වීම (සුවකිරීමට අපහසු කුෂ්ට රෝග ආදිය) සිදුවේ.

නිරවුල් කර්මාන්තය මංගල කරුණකි. (අනාකුලා ච කම්මන්තා ඒතං මංගල මුත්තමං - මහා මංගල සූත්‍රය) කෘෂිකර්මාන්තය, රාජ්‍ය සේවය, නිවැරදි වෙළෙඳාම (කංස කූට, මාන කුට, තුලා කුට ආදියෙන් වෙන්වූ) ශිල්ප ඉගැන්වීම යන නිෂ්පාදන අංශ ඉතා සුදුසු ඒවාය. අල්ලස් ගැනීම් ආදී දූෂිත ක්‍රියාවන් ඉතාමත් පහත් ඒවාය. කිසියම් පරිත්‍යාගයක වටිනාකම රඳා පවතින්නේ ද එම පරිත්‍යාගයට සම්බන්ධ වූ ශ්‍රමයේ වටිනාකම මතය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාම යනුවෙන් දක්වා ඇත්තේ ද නිවැරැදි ජීවන ක්‍රමය පිළිබඳ අදහසකි.

යස ඉසුරු දැහැමි නොවන ආකාරයට බලාපොරොත්තු නොවිය යුතුය. අවම වශයෙන් පුතෙකු හෝ දැහැමි නොවන ආකාරයට බලාපොරොත්තු නොවිය යුතුය.

නිෂ්පාදන කාර්යයේ දී ශ්‍රමය දෙආකාරයකට යෙදවිය හැකිය.

1. කායික ශ්‍රමය
2. මානසික ශ්‍රමය යනුවෙනි.

ධනයේ උපත ශ්‍රමය යි. එනම් නිෂ්පාදන කාර්යයේ දී කාර්යක්ෂමතාවය අනිවාර්ය සාධකයකි. නූතනයේදී ශ්‍රමාභිමානය, ශ්‍රමශක්තිය යන සංකල්ප ගොඩනැගී ඇත්තේ ද මේ නිසාම ය. එහෙත් ශ්‍රමය සූරාකෑමේ න්‍යාය ප්‍රතික්ෂේප කළ යුතුය. කිසියම් කාර්යයක් සඳහා අනුන්ගේ ශ්‍රමය යොදාගෙන ඊට සරිලන සේ වැටුප් ආදිය ගෙවිය යුතුය. අනුන්ගේ ශ්‍රමයට නිසි ඇගැයුමක් ලබාදිය යුතුය. මේ කරුණ සිගාලෝවාද සූත්‍රයේදී ද පැහැදිලි කර තිබේ.

අංගුත්තර නිකායේ අප්පසාදප්පසාද සූත්‍රයට අනුව කිසියම් භික්ෂුවක් ගිහියාට අලාභ හානි කරන්නේ නම් එම භික්ෂුවට පටිසාරණිය කර්මය කිරීමට ද හැකි යැයි දක්වා තිබේ. (අංගුත්තර නිකායේ පටිසාරණියකම්ම සූත්‍රය).

“නහි සුත්තප්ප සිංහස්‍ය ප්‍රවිශන්ති මුකේ මෘගාඞ”

මේ සංස්කෘත වාක්‍යයෙන් ධන නිෂ්පාදනයට සම්බන්ධ ප්‍රධාන කරුණක් ඉදිරිපත් වේ. කැලයේ සිටින සතුන් අතර බලයෙන් වැඩිම සත්ත්වයා සිංහයා ය. එහෙත් ඔහු ද මහන්සි වී තම ආහාරය සපයාගත යුතුය. කැලයේ සිටින අනිකුත් කුඩා සත්ත්වයන් සිංහයා කුසගින්නේ සිටිතැයි ඇවිත් ඔහු කටට නොපනී. මහන්සියෙන් ගොදුරු සොයා නොගතහොත් සිංහයාට වුවද සිදු වන්නේ කුසගින්නේ මියැදීමට ය. එසේම තරාතිරම් වලින් තොරව සැම පුද්ගලයකු ම ජීවිකාව සඳහා කිසියම් උචිත නිෂ්පාදන ක්‍රියාවලියක නිරතවිය යුතුය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.