Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිනිස් මනස ප්‍රකෘතියෙන් ම අනුසෝතගාමී ස්වභාවයෙන් යුක්ත බවද, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද සංසාර විමුක්තිය පිණිස වූ ධර්ම ප්‍රතිපදාව පටිසෝතගාමී බවද අපට අසන්නට ලැබේ. සෝත යන යෙදුම ප්‍රධාන වශයෙන් දෙතැනක දැකිය හැකිය. සෝත විඤ්ඤාණය යන තැන ඇසීම යන්නෙහි විශේෂණ පදයක් ලෙස එයි. සෝත ප්‍රසාදය ඇසීම උපදවන තැනය. සෝත යන්නෙහි අනෙක් අරුත ප්‍රවාහය යන්නයි. සෝතාපන්න, පටිසෝතගාමී යන තැන්හි ඒ අරුත ගනියි. පටිසෝතගාමී යනු ප්‍රවාහය ගලන දිශාවට ප්‍රතිවිරුද්ධව ගමන් කිරීම යනුවෙන් විස්තර කෙරේ. අනුසෝතගාමී යනු ප්‍රවාහය ගලන දිශාවටම ගමන් කිරීම හඟවයි.

ගසක හටගත් ගෙඩියක් එහි නැට්ටෙන් ගිලිහුණු කල එසැනින් පහළට වැටීම ස්වභාවයෙන්ම සිදුවෙයි. එය ගිලිහීමට පෙරද තිබුණේ පොළොව දෙසටම අදින ගුරුත්ව බලයකට යටත්ව ය. එම බලය ගෙඩිය ගිලිහීමත් සමග නිර්මාණය වූ ආගන්තුක බලයක් නොවේ. ඒ අයුරින් මිනිස් මනසද ස්වභාවයෙන් ම පහළට අදින බලයකට යටත්ව පවතී. ඒ බලය පුද්ගලයා විසින් ආයාසයෙන් යෙදිය යුතු එකක් නොවේ. අප දරා සිටින කයද ඒ බලයට යටත්ව පවතී. ජල ප්‍රවාහයක් ද ස්වභාවයෙන් ම පහළ තැනකට ගලන ස්වභාවයෙන් යුක්ත බව අපි දනිමු. ප්‍රවාහයක ඇති මේ ගතික ස්වභාවය ආදර්ශනය කර මිනිස් මනසද ස්වභාවයෙන්ම අනුසෝතගාමී යයි දක්වා ඇත.

පටිසෝතගාමී ප්‍රතිපදාව තේරුම් ගැනීමට ඒ ගැන ඉහත කී අනුසෝතගාමී ස්වභාවයට සාපේක්ෂව සාකච්ඡා කළ යුතු වෙයි. මිනිස් මනස ස්වභාවයෙන්ම හැරී යොමු වී පවතින්නේ භව පැවැත්ම පිණිස අවශ්‍ය අඩු වැඩිය සපයා ගන්නා පැත්තටය. ඉන්ද්‍රිය සන්තර්පනය මගින් කෙළෙස් සම්පාදනය කරගන්නා නොහොත් ත්‍රිවිධ අකුසල මූලයන් ගේ පෝෂණය පිණිසම පංච උපාදානස්කන්ධයෝ හැරී පවතිත්. මුලක් නොදකින සංසාරය පුරා අප අනුගමනය කළ ඉන්ද්‍රිය පාදක සංස්කරණ ක්‍රියාවලිය මගින් ඇති කරගත් අති ප්‍රබල විභව ශක්තියක් අනුසය වශයෙන් අප තුළ ඇත. දේව බ්‍රහ්ම ආදී භවාග්‍රයට මිනිස් මනස යොමු කරවනු ලැබුවත් අපාය දෙසටම හැරී බලය නොනැසී පවතී. ලිස්සන ගහක නගින අයෙකුට තමා පහළටම අදින බලයකට සෑම විටම යටත්විය යුතු බව මැනවින් දැනේ. සසරට බැඳුණු සත්ත්වයාගේ යථා ස්වභාවය වන්නේ ද සසරෙහිම රැඳී සිටීමට අවශ්‍යතා සපුරා ගැනීමයි. ඒ බලය උපදවා දෙනු ලබන්නේ් පංච නීවරණ ධර්මයන් මගිනි.

ඒ අනුව පුද්ගලයා සසරෙහි රඳවමින් පහළට යැවීම සඳහා ආයාසයෙන් යෙදවිය යුතු බලයක් අවශ්‍ය නැත. ඊට එරෙහිව පැන නගින සම්බාධකද නැත. ගලන ජල ප්‍රවාහයකට බැසගත් පුද්ගලයා නොපිහිනා සිටියත් ප්‍රවාහය විසින් ම පහළට ගෙනයනු ලබන බව අපි දනිමු. අවශ්‍ය වන්නේ දියෙහි නොගිලී සිටීම පමණකි. එසේම පංච උපාදානස්කන්ධයන්ගේ සන්තර්පනය සඳහා බැසගත් පුද්ගලයාට අවශ්‍ය වන්නේ නොවැටී එහිම රැඳී සිටීම පමණකි. අනුගමනය කරන ක්‍රියා පටිපාටියයි. අවදි වූ තැන පටන් නින්දට යනතුරු මිනිසා අනුගමනය කරන්නේ එයයි.

පටිසෝතගාමී ප්‍රතිපදාව ඉහත කී පංච උපාදානස්කන්ධයන්ගේ ආවේනික ක්‍රියා සාධක බලවේගයට ප්‍රතිවිරුද්ධව පටිපාටියකි. පවතින පද්ධතියක ස්වාභාවික පටිපාටියට එරෙහිව බාහිර කාරකයක් ප්‍රවේශ වූ විට ඒ බාහිර කාරකයේ ක්‍රියාකාරීත්වය උදාසීන කිරීමට එම පද්ධතිය විසින්ම ඊට ප්‍රතිවිරුද්ධ බලයක් ඇති කරන්නේය යන්න විද්‍යාත්මක න්‍යායකි. බෞද්ධ දර්ශනයට අනුව එය නියාම ධර්මතාවකි. පටිසෝතගාමී ප්‍රතිපදාව මිනිස් මනසේ ස්වභාවික ගලනයට එරෙහිව ගොඩ නගන්නකි. එනිසා එය හාත්පසින්ම දුෂ්කර කාර්යයකි. ගොයම දෙසට හැරුණු ගවයා ඒ දෙසටම ඇදීම පහසුය. ඉන් බැහැරට ඇදීම අපහසුය. ශිෂ්‍යයෙකුට විභාගයක් හොඳින් සමත් වීමට ඉමහත් වෙහෙසක් දැරිය යුතුය. අසමත්වීමට කිසිදු වෙහෙසක් දැරිය යුතු නොවේ.’

දාන සීල භාවනාදී කටයුතුවල යෙදෙමින් සංසාර විමුක්තිය උදෙසා බුදුරජාණන් වහන්සේ වදාළ දහම් පහස ලැබ එමඟ යමින් ධාර්මික දිවි පෙවෙතක් ගත කරන්නාගේ පටිසෝතගාමී පිළිවෙත පංච උපාදානස්කන්ධයන්ට කොහෙත්ම පි‍්‍රය නැත. ඒ නිසා ඒ පිළිවෙතට බැසගත් වහාම ඒ වෑයම උදාසීන කිරීමට පුද්ගලයාට නොදැනුවත්වම ප්‍රතික්‍රියාවක් ස්වභාවිකවම ඇතිවෙයි. බණ දහම් ඇසීමෙන්, කල්‍යාණ මිත්‍ර සේවනය ලැබීමෙන්, සීලාදී ගුණධර්ම වැඩීමට උත්සාහ කරන්නාට ඒ කටයුතු පහසුවෙන් හා නිරායාසයෙන් කළ නොහැකිය. ඒ සඳහා බලවත් වීර්යයක්, උත්සාහයක් හා අධිෂ්ඨානයක් අවශ්‍ය ය. සුළු ප්‍රමාදයක් වුවහොත් නැවතත් ආපස්සට ඇදෙන ගතිය ඉපදී ගමන නවතියි. ඒ පිළිවෙත් අනුගමනය කරන්නාට ඒවා කරගෙන යාමට අමාරුවන නොයෙකුත් කරදර සම්බාධක ඇතිවෙයි. රෝග පීඩාදියෙන්, ආහාරපානාදියෙන්, භෞතික අවශ්‍යතාවලින්, පරිසරයෙන් බොහෝ බාධක එළඹිය හැකිය. බාහිර අයගේ දෝෂාරෝපණ, ආත්ම ඝාතන, පවුල් අවුල් ආදියද ඇතිවිය හැකිය. ගත සිත දුබල විය හැකිය. ගඟක ඉහළට පිහිනන තැනැත්තාට දිය පහරේ පහළට ගලන වේග ශක්තියෙන් මෙන්ම දිය සුළි දිය රැළි ආදියෙන් සම්බාධක ඇතිවන්නා සේ පටිසෝතගාමී ප්‍රතිපදාවෙහි යෙදෙන්නාට ආරම්භයේ සිටම නොයෙකුත් බාධක එළඹීම ධර්ම නියාමක ලක්ෂණයකි. ඒ නිසා මේ මගට පිළිපන් අයටමයි නොයෙකුත් දුක් කරදර එළඹෙන්නේ යන නිගමනයට බැසීමක් සිදු වෙයි.

රාගය කිති කවන ටෙලි නාට්‍යයක් නරඹන විට බද්ධ පර්යංකයෙන් වාඩි වී වුවද එක එල්ලේ බලා සිටිය හැකිය. කිසිදු කායික වේදනාවක් නොදැනේය යි කීම අතිශයෝක්තියක් නො වන්නේ ය. නමුත් සරල භාවනාවක් හෝ කරන්නට වාඩි වූ තැනැත්තාට පරිසරය කෙතරම් සුබදායක වුවත් මිනිත්තු පහක්වත් අරමුණෙහි සිටිය නොහැකිය. ඉතා ඉක්මණින් කායික වේදනා මතුවෙයි. මනසද පිටපැන ආමිෂ අරමුණක් ගනියි. ඒ තත්ත්වයන්ගෙන් මිදීමට දිගු කලක් හා දැඩි වීර්යයක් ගැනීමට සිදුවෙයි.

බුදු දහමේ දැක්වෙන පටිසෝතගාමී ප්‍රතිපදාව යනු කුමක්දැයි කැටිකොට දැක්වුවහොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයම බව පැහැදිලිය. එහිදී පෙර කී පරිදි නොයෙකුත් සම්බාධක එමඟට පිළිපන් විට උදාවේයයි කියා එමඟ අත් හැරීම, මඟෙහි පසුබෑම හෝ මාර්ගයට ප්‍රවේශ නොවී සිටීම නුවණැත්තාගේ ස්වභාවය නොවේ. ඉන්ද්‍රිය බද්ධ ලෞකිකය තුළ කඳවුරු බැඳ මමය මගේය යන බන්ධනය ශක්තිමත් කිරීම දුකට හේතුව බව දන්නා බුද්ධ ශ්‍රාවකයා ආර්ය මාර්ගයේදී එළඹෙන සම්බාධක ගැන අවබෝධයෙන් දනියි. තවද එවැනි බාධක ඇතිවීමට එකම හේතුව පටිසෝතගාමී ධාර්මික ප්‍රතිපදාවයයි. ඒකාන්ත විනිශ්චයකට පැමිණීමද බුදුදහම ප්‍රතික්ෂේප කරයි. හේතුඵල පිළිබඳ ඉදප්පච්චයතා න්‍යාය අති පුළුල් පරාසයක විහිදෙන එකකි. නුවණැත්තාගේ ස්වභාවය වන්නේ පටිසෝතගාමී මාර්ගයෙහිදී හමුවන සම්බාධක වල සමුදය ස්වභාවය යථාවාදීව දැනගෙන ඒවා සමතික්ක්‍රමණය කිරීමයි. එම මාර්ගයේ යාමට ආරම්භයක් දීමටද, මඟෙහි රැඳී සිටීමටද, ඉදිරියටම යාමට ද කෙළවර කරා එළඹීමට ද බලවත් උත්සාහයක් වීර්යයක් හා අප්‍රමාද බවක් අවශ්‍යමය.

තවද මේ මඟට පිළිපන් තැනැත්තාට එරෙහිව එළඹෙන වඤ්චක ධර්මයෝ ද ඇත්තාහ. බුදු පිළිවෙතයයි ඇස කණ ආදී ආමිෂ ඉන්ද්‍රියයන් පිනවන නොයෙකුත් ක්‍රියාකාරකම්වල යෙදෙමින් එය විමුක්ති මඟයයි වරදවා දෙමින් පංච උපාදානස්කන්ධයෝ වඤ්චා කරති. බෞද්ධ ප්‍රබෝධය ලෙස අප හඳුන්වන සමහර ක්‍රියා තුළ මේ තත්ත්වය දැකිය හැකිය. තවද පටිසෝතගාමී මඟට ආරම්භක ප්‍රාථමික ප්‍රවේශයක් දුන් තැනැත්තාට ඉන් ඔබ්බට යන්නට ඉඩ නොදී එක තැන රඳවා තැබීමද වඤ්චක ධර්මතාවයක් විය හැකිය. මල් පහන් පූජා, බෝධි පූජා ආදියෙහි පමණක් යෙදෙමින් ඉන් ඉදිරියට නොගොස් එක තැන රැඳී සිටින පිරිස බොහෝ ය. සාම්ප්‍රදායිකව වේරමණි සීල සමාදනයෙහි පමණක් පිහිටා සංවර සීලයෙන් සීල විශුද්ධි මාර්ගයට නොබැස සිටීමද පටිසෝතගාමී නොවේ. පස් පවින් වැළකී සිටීමෙන් පමණක් පටිසෝතගාමී මඟෙහි ගමන් කරන්නෙකු නොවන බව මේ අනුව වටහා ගත හැකිය. එහෙත් තිසරණ සරණ යාම පමණක් වුවද උතුම් ය. කවර ක්‍රියා පිළිවෙතක වුවද ආරම්භය ප්‍රාථමිකය. කල්‍යාණ මිත්‍ර සේවනය ලබා ඒ පටන් ගැන්ම ඉදිරියට ප්‍රගුණ කර වත් පිරීමෙන් ආර්ය මාර්ගයට බැස ගත හැකිය. තවද නිසිවත් නොපුරන, එහෙත් පර්යාප්තිය පිළිබඳ දැනුමෙන් කරුණු වශයෙන් බහුශ්‍රැත වූ කෙනෙක් තමා පටිසෝතගාමී ආර්ය මාර්ගයෙහි ඉහළ තැනකට පත්ව ඇතැයි යන නිගමනයට එළඹෙන්නට පුළුවනි. වඤ්චක ධර්මයන්ගේ ස්වභාවය එයයි. ඒ ඇත්තෝ අන් අයද තමාගේ වසඟයේ තබා ගැනීමට වෑයම් කරති. ඒ වසඟයට පත්වන අයද බොහෝ ය. උදේ රාත්‍රි‍්‍ර දෙකේම පරිත්‍රාණ සජ්ඣායනා ඇසෙන්නට සලස්වාගත් පමණින් ද ආර්ය මාර්ගස්ථ වන්නේ්යයි සිතුවොත් ඒ සිතුවිල්ල සදොස් ය. කාර්යය කොපමණ හොඳ වුවත්, හොඳ වූ දෙයක්ම සම්‍යග් (සම්මා) ස්වරූපය නොගනී.

පටිසෝතගාමී ප්‍රතිපදාව ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවට විහිදී ඇති එකකි. එහි හුදු පුරුදු සමූහයක් නොව පුහුණු ප්‍රතිපදාවකි. එහි සියලු කාර්යයන් සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාව තුළ සමූහගත වෙයි. මෙහිදී අරතිය පරදවා සක්කාය දිට්ඨිය නමැති අපාය මූල බිජය විද්වංශනය වන තුරුම බලවත් වීර්යයකින් පිළිවෙත් පිරිය යුතු වෙයි. විදර්ශනා ඥාන පහළ වී ත්‍රිලක්ෂණය අවබෝධ වනතුරු ප්‍රතිපදාව වැඩිය යුතුය. නිවැරැදි මග පෙන්වීමක් ලබාදෙන කල්‍යාණ මිත්‍ර සේවනයක් ලැබීම මේ සඳහා අත්‍යවශ්‍ය ය. මාර්ගය වරදවන මිච්ඡා සංකල්පනාවන්ගෙන් බැහැර වී සම්මා සංකල්පනා පුද්ගලයාගේ සන්තානය තුළ ඇතිවන්නේ එවිට ය. එම සංස්කරණ සිදුනොවී තිබියදී පොතපත මගින් හෝ ස්වයං නිගමන මගින් මේ ප්‍රතිපදාවට බැසගත නොහැකි ය. ආමිෂ පුද පූජා ආදිය මෙම මාර්ගයට සුදුසු පරිසරයක් නිර්මාණය කර දුන්නත් එයම ප්‍රතිපදාවය යි ගැනීම මිච්ඡා සංකල්පනාවකි.

මෙම ප්‍රතිපදාවේ ආරම්භක පියවර ගැන සඳහන් කරන්නේ නම් මෙසේ තේරුම් ගත හැකිය. ප්‍රාණ ඝාතයෙන් වැළකී සිටීම වේරමණී සීලයයි. පානාතිපාතං පහාය පාණතිපාතා පටිවිරතෝ හොති යනුවෙන් දැක්වෙන පරිදි වේරමණී සීලයට අනතුරුව වර්ධනය කර ගත යුතු මෙත්තා, කරුණා , මුදිතාදී මානසික අභිවෘද්ධිය සඳහා කළයුතු ප්‍රායෝගික වැඩපිළිවෙළ පටිසෝතගාමී ප්‍රතිපදාව තුළ පිහිටයි. අන්සතු දේ සොර සිතින් තමා සතු කර ගැනීමෙන් වැළකීම අදත්තාදාන වේරමණී සීලයයි. තමා සන්තක දේ තණ්හා මාන දිට්ඨි යන ප්‍රපංචයන්ගෙන් තොරව අන් අයගේ යහපත පිණිස අත්හැරීම හෙවත්, අදත්තාදානයෙන් වැළකී සිටීමෙන් පසුව අනුගමනය කළ යුතු ප්‍රායෝගික වැඩ පිළිවෙළ පටිසෝතගාමී ප්‍රතිපදාව තුළ පිහිටයි. කාම මිථ්‍යාචාරයෙන් වැළකී සිටීම වේරමණි සීලයයි. ඊට තුඩු දෙන මානසික ස්වභාවය සංසිඳවා ගැනීම හෙවත් රාග ගින්න පටිසෝතගාමී ප්‍රතිපදාව තුළ පිහිටයි. මේ ආකාරයට අනෙකුත් වේරමණී සංඛ්‍යාත ශික්ෂාපද සමග ගලපා බලන විට වේරමණි සීලයෙන් ඔබ්බට විහිදෙන සංවර සීලයක් ඇතිබව දැකිය හැකිය. පටිසෝතගාමී ප්‍රතිපදාව තුළ පිහිටන්නේ සංවර සීලයයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන සීල ශික්ෂාව සම්පූර්ණ වන්නේ සංවර සීලය තුළය. එය සීල විශුද්ධියයි. සීලයත් සමගම වැඩිය යුතු සමාධි විදර්ශනා භාවනා පටිපාටිය පටිසෝතගාමී ප්‍රතිපදාව සම්පූර්ණ කරයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.