Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
බෞද්ධ ශ්‍රාවක සෑම කෙනෙකුම (සිව්වණක් පිරිස) නිතර මෙනෙහි කළයුතු ධර්ම කරුණු පහක් බුද්ධ දේශනාවන්හිදී සඳහන් කොට ඇත. වර්තමානයෙහි වූවද මෙබඳු සිහිගැන්වීම කායික හා මානසික සුවය සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත. මෙම නිතර සිහිගන්වා ගත යුතු ධර්ම මොනවාද?

පිළිතුර
බුද්ධ දේශනාවට අනුව නිතර සිහියේ තබා ගත යුතු සුවිශේෂ වූ කරුණු පහක් සඳහන් වේ. එනම් (අහං ජාති ධම්මෝම්හි) මම උපත උරුමව සිටිමි. (ව්‍යාධි ධම්මොම්හි) රෝගී බව උරුම කොට සිටිමි. (පියෙහි විප්ප යොගො) පි‍්‍රයයන්ගෙන් වෙන්වීම උරුම කොට ඇත්තෙමි. (කම්ම පටිසරණො කළ්‍යාණං වා පාපකංවා )යහපත් හෝ අයහපත් කර්මය උරුමකොට ඇත්තෙමි. මෙම දහම් නිතර මෙනෙහි කිරීම ත්‍රිවිධ තෘෂ්ණාව ප්‍රහාණය සඳහා බෙහෙවින් පිටිවහලක් වනු ඇත.

ප්‍රශ්නය
ධර්ම ශ්‍රවණයෙන් දහම්නය හඳුනාගත් බෞද්ධ ශ්‍රාවකයා පිළිවෙතින්, අරමුණ වූ නිවන් මඟ හෙළි පෙහෙළි කරගනී. ඒ අනුව බෞද්ධ පිළිවෙතෙහි ආරම්භය ධර්ම ශ්‍රවණයයි. සූත්‍රාගත තොරතුරු අනුව ධර්මශ්‍රවණයෙහි අරමුණ පැහැදිලි කරන්න.

පිළිතුර
ධර්මශ්‍රවණයෙන් පස් ආකාර වූ ආනිශංසයන් ශ්‍රාවකයාට ලැබෙන්නේ ය.

1. (අසස්සුතං සුණාති) නොඇසූ දෙය ඇසීම.
2. (සූතං පරියොදපෙති) ඇසූ දෙය පිරිසුදු කර ගැනීම.
3. (කංඛා විරති) සැක දුරු කර ගැනීම.
4. (දිට්ඨිං උජුං කරොති) විශ්වාසය තහවුරුවීම.
5. (චිත්තං පසීදති) සිත ප්‍රසන්නව ඇතිවීම යන ආනිශංස පහ ශ්‍රවණයෙන් ශ්‍රාවකයා ලබන්නේ ය.

ප්‍රශ්නය
කසළ ගොඩින් රජගෙදරට යන්න බුද්ධ කාලීන විශේෂිත පුද්ගලයෙකුගේ ජීවන පුවතක් ඇසුරෙන් සකස් වූවෙකි. මේ තැනැත්තා කවුද?

පිළිතුර
බුද්ධ කාලීන දක්‍ෂ වෛද්‍යවරයෙකු වූ ජීවක අභයරාජ කුමාරයාට දාව සාලවතීන නම් ගණිකාව කුස උපත ලැබූ තැනැත්තෙකි. ඉවතලන කසල ගොඩක දමා තිබියදී මගියෙකු විසින් රජ මාලිගාවට ගෙනගොස් බාරදීමෙන් අනතුරුව රජකුමරෙකු මෙන් රාජකීය සම්පත් ලැබීමේ වාසනාව නිසා ජීවක කෝමාර වච්ච යන නමින් ප්‍රසිද්ධ විය.

ප්‍රශ්නය
ක්‍රි.ව. 1848 අගෝස්තු මස 24 වන දින ඉංගී‍්‍රසි ජාතික ‘බුලර්’ මහතා ප්‍රධාන පිරිස විසින් අත්අඩංගුවට ගත් හිමිපාණන් වහන්සේ කවුද?

පිළිතුර
කුඩාපොල හිමිපාණන් වහන්සේ

ප්‍රශ්නය
බටහිර සිරිත් විරිත් සහ ඉංගී‍්‍රසි භාෂාව සම්භාවනාවට ලක් වූ යුගයක ඉපැරැණි ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාට සමකාලීන ජාතික වීරවරයා කවුද?

පිළිතුර
වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මෙසේ වදාළහ. මහරජ මෙතැන් පටන් මාගේ ශාසනයෙහි මා ඇති කල්හි වේවයි නැති කල්හි වේවයි දරුකෙනෙකුන් මා පියනට නොකියා මහණ කළ නොහැක්කේය. යම් නියමයක් පවතී. මෙම අවස්ථාව කුමක්ද?

පිළිතුර
ශුද්ධෝදන රජතුමා තම මුණුබුරාණන් වූ රාහුල කුමරු පැවිදි කළ බව අසා මහත් සේ කම්පාවට පත් විය. ඉක්බිති බුදුරදුන් හමුව දෙමාපියන් නොඅනුදත් දරුවන් මහණ නොකරණ බවට නිමයක් දෙන ලෙස අයැද සිටියහ. එවිට බුදුපියාණන් වහන්සේ ඉහත සඳහන් නියමය පැනවූ සේක.

ප්‍රශ්නය
මෙය බුදු සිරිතේ එක් අවස්ථාවකි.
මෙවන් පුතු ඇති යම්
මවු පිය දෙදෙන නිවියහ
බිරිඳ ද මෙවැනි හිමි සතු
නිවුනිය ඕ සැනසී
නිබ්බුතා නූන සා මාතා
නිබ්බුතා නූන සො පිතා
නිබ්බුතා නූන සා නාරී
යස්සායං ඊදිසො පති
මේ අවස්ථාව කුමක්ද මෙම පී‍්‍රතිවාක්‍යය පහළ කළේ කවුරුන් ද?

පිළිතුර
ජනපද කල්‍යාණි නම් රජකුමරිය බෝධිසත්වයන් වහන්සේ අබිනික්මන් කොට මහ මඟ වඩිනා දැක උඩුමහලේ බෝසතුනට පෙනෙන සේ සිට පළකළ පී‍්‍රති වාක්‍යය නිබ්බුත පද නමින් බුදු සිරිත හා එක්ව පවතී.

ප්‍රශ්නය
උරුවේලාවත්, ගයාවත් අතරමගදී බුදුරජාණන් වහන්සේ මුණගැසුණු එක් තැනැත්තෙක් මෙසේ කියයි. “ ඇවත, ඔබ නිසල වූ ගුණ ඇති කෙනෙකි. ස්ථිර වූ ගුණ ඇති කෙනෙකි. ගැඹූරු වූ ගුණ ඇති කෙනෙකි. තෙද ගුණ ඇති කෙනෙකි. සොමි ගුණ ඇති කෙනෙකි. අමා පින් වැනි කෙනෙකි. මහ පින් පිඩක් වැනි කෙනෙකි. ඇවත ඔබගේ ඉන්ද්‍රියයෝ ඉතා ප්‍රසන්නයහ. ශරීර වර්ණය පිරිසුදුය. කවර ශාස්තෘවරයෙකු උදෙසා පැවිදි වූයේහිද? බුදුරදුන් හමු වූ මේ මගියා කවරෙක්ද?

පිළිතුර
“උපක” ආජීවක මුණ ගැසුණුු විට කළ ප්‍රකාශය වේ.

ප්‍රශ්නය
සත්වයා යනු රූපාරූප ධර්මයන් ගේ සංයුතියකි. පැහැදිලි කරන්න.

පිළිතුර
රූපා අරූප ධර්මයන්ගේ සංතතිය සත්වයා යයි සම්මතයට එක්ව ඇත. රූප ධර්ම වලින් වර්ණ රූපය පමණක් අපේ ඇසට පෙනේ. එහෙත් අරූප ධර්ම (නාම) අපේ ඇසට නොපෙනේ. අරූප ධර්ම රූපයෙන් වෙන්වීම (වියෝවීම) අභාවය (මරණය) සිදුවේ. එවිට රූපයට ක්‍රියා කළ නොහැකිය.

රූපයෙන් අරූප ධර්ම (නාම) වෙන් වී ඇති නිසාය එයින් රූපය ක්‍රියා කරවන්නේ. අරූප ධර්ම (මනො පුබ්බංගමා ධම්මා මනො සෙට්ඨා මනොමයා) බව පැහැදිලිය. මෙසේ රූප – අරූප ධර්මයන්ගේ සංයෝගයක්, (එක්වීමක්) පැවැත්මක්, වෙන්වීමක් හැර සත්ව ශරීරයෙහි ආත්ම යයි ගත යුතු කිසිවක් නැත. මරණයෙන් ඔබ්බට යන කිසිවක් සත්වයා තුළ නැත.

ප්‍රශ්නය
රූප – අරූප ධර්මයන්ගේ සංතතිය සත්වයා බව පෙල දහමට අනුව විවරණය වී නම් රූප ධර්ම යන්නෙන් පැහැදිලි වන ධර්මතාවය කුමක්ද?

පිළිතුර
සත්වයාගේ ශරීරය රූපය බව අපි දනිමු. අපා, දෙපා, සිවුපා, බහුපා ආදී මිනිස් ලොව වසන හැම සතෙකුටම රූපයක් හෙවත් (ශරීරයක්) ඇත. රූපය රූප සමූහයක් සංයෝගයක් (කොටස් එකතුවක්) රූපස්කන්ධයකැයි ව්‍යවහාර වෙයි. රූපස්කන්ධය ඒ ඒ අංග (පදාර්ථ) රූප ධර්ම නම් වෙයි. රූපස්කන්ධය මහභූතරූප නමින් කොටස් 4 කට වෙන්ව හඳුනාගත හැකිය.

1. පඨවි ධාතුව ජීව, අජීව, වස්තුවල ඇති තද රළුගතිය.
2. අපෝධාතුව - එම වස්තුවල ඇති වැගිරෙන ඇලෙන ගතිය.
3. තෙජෝ ධාතුව - එම වස්තුවල ඇති සිසිල් ගතිය හා උණුසුම් ගතිය
4. වායෝ ධාතුව - එම වස්තුවල සැලෙන පුම්බන ගතිය.

ප්‍රශ්නය
“කථෝපකථනය” මෑත බෞද්ධ පුනරුදය සඳහා ද එය ග්‍රන්ථයක් වශයෙන් බෙහෙවින් ආධාරයක් විය. මෙම කෘතිය කවුරුන් විසින් රචිත ග්‍රන්ථයක් ද?,

පිළිතුර
හෙන්රි ඕල්කට්තුමා විසින් පළ කරන ලද ප්‍රශ්න, උත්තර සහිත ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය 45 වතාවක් මුද්‍රණය කර විදේශීය භාෂා 18 කට පරිවර්තනය කොට ඇත.

ප්‍රශ්නය
ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය වන ජේතවනාරාමය කරවන ලද්දේ කවුරුන් විසින්ද?

පිළිතුර
ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත බෞද්ධ ලෝකයේම සුවිසල් දාගැබ ලෙස සැලකෙන ජේතවන ස්ථූපය මහසෙන් රජතුමා (ක්‍රි.ව. 276 – 304 ) විසින් කරවන ලද්දකි. දැනට එහි උස අඩි 231 පමණ වූවත් මුල් යුගයෙහි දී අඩි 400 ක් වන බව සඳහන් වෙයි. දාගැබ් මලුව අක්කර 07 බිමක් වටා සිටී.

ප්‍රශ්නය
දළදා වහන්සේ සඳහා පොළොන්නරු රාජධානියෙහිදී නිශ්ශංක මල්ල රජතුමා විසින් කරවන ලද ගොඩනැඟිල්ල හැඳින් වෙන්නේ කුමන නාමයකින්ද?

පිළිතුර
හැටදාගෙය, මෙම ගොඩනැඟිල්ල නිශ්ශංක මල්ල රජු විසින් ඔහුගේ රාජකීය මන්දිරය මෙන් පැය හැටක් ඇතුළත නිමවන ලද බව සඳහන් වෙයි. එනිසා මෙම ගෘහය හැටදා ගෙයි නමින් හඳුන්වා ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.