Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විසිතුරු ප්‍රතිභාන උපදවන අංගුත්තර නිකායෙන්....

2011.02.11 පත්‍රය හා සම්බන්ධයි

සිවු පිරිසේ තුලාවෝ
අංගුත්තර නිකායේ දුක නිපාතයේ දොළොස්වන වර්ගය “ආයචන වග්ග“ නම් වේ. එහි මුල් සූත්‍ර සතරෙහි දැක්වෙනුයේ භික්‍ෂු, භික්‍ෂුණී , උපාසක, උපාසිකා යන සිවුපිරිස විසින් පරමාදර්ශයෙහි පිහිටුවාගත යුතු චරිත අටක් පිළිබඳවයි.

දෑ අගසවු සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා
භික්‍ෂුවක් විසින් ශ්‍රද්ධාවෙන් ප්‍රාර්ථනා කළයුතු වන්නේ “ මමත් සැරියුත් තෙරුන් මෙන් මහා ප්‍රඥාවන්තයෙක් වන්නෙමි. මුගලන් මහතෙරුන් මෙන් සෘදිමත් තෙරනමක් වන්නෙමි “ කියායි. ඉන් පරිබාහිර වූ වෙනත් කිසිඳු ප්‍රාර්ථනාවක්, ආයාචනාවක් භික්‍ෂුවක විසින් නොතබාගත යුතුයි.

සම්බුදු සසුනේ භික්‍ෂු ශ්‍රාවක සංඝයා අතර තුලාව වනුයේත් ප්‍රමාණය (මිණුම) වනුයේත් මේ සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේමය. (එසා භික්ඛවෙ තුලා එතරං පමාණං මම සාවකානං භික්ඛූනං යදිදං සාරිපුත්ත මොග්ගල්ලානාති) තුලා යනු තරාදියයි. මාන යනු කුරුණි ආදී මිණුම් උපකරණයි. සම්බුද්ධ ශ්‍රාවකයන් අතර පරමාදර්ශී වන තුලාව හා මානය වනුයේ දෙඅගසවු දෙදෙනා වහන්සේය.

ඛේමා - උප්පලවණ්ණා දෙනම
සම්බුදු සසුනේ ශ්‍රද්ධාවන්ත භික්‍ෂුණීන් විසින් ප්‍රාර්ථනා කළ යුතු ආයාචනා කළයුතු වන්නේ “මමත් ඛේමා භික්‍ෂූණිය මෙන් ප්‍රඥාවන්තයින් අතුරින් අග්‍ර වන්නෙමි. උප්පලවණ්නා භික්‍ෂූණිය මෙන් මහත් ඍද්ධිමත් භික්‍ෂූණියක් වන්නෙමි” යනුවෙනි. ශ්‍රාවිකා භික්‍ෂූණීන් අතරින් තුලාව හා මානය වනුයේ ඛේමා උප්පලවණ්නා දෙඅගසවු දෙදෙනා වහන්සේය.

මෙසේ ගෞතම සම්බුදු සසුනෙහි භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිසගේ පරමාදර්ශී චරිත හුවා දක්වන, ඉස්මතු කර දක්වන තථාගතයන් වහන්සේ චරිතායනය කිරීම “ නම් මනෝවිද්‍යාත්මක ඉගෙනුම් ක්‍රම ශිල්පයෙහි ප්‍රාරම්භකයාණෝ බවට පත්වෙති.

පසුකලෙක මෙම බෞද්ධ ආභාසය මාඕසේතුං පාලන ක්‍රමයෙහිද තිබූ අතර අද පවා පෙරදිග අපරදිග අධ්‍යාපනඥයන් විසින් අගයනු ලබන්නකි.

භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිසගේ පරමාදර්ශී චරිත අගය කර, උසස් කර දැක්වීමෙන් අනතුරුව බුදු පියාණෝ උපාසක උපාසිකාවන්ගේ පරමාදර්ශී චරිත 4 මෙසේ ඉදිරිපත් කරති.

චිත්ත හා හත්‍ථක ගෘහපති
සම්බුදු සසුනෙහි සැදැහැති උපාසකයන් විසින් ආයාචනා කළ යුත්තේ, ප්‍රාර්ථනා කරගත යුතු වනුයේ “මමත් චිත්ත ගෘහපති මෙන් ප්‍රඥාවෙන් අග්‍රවෙමි. හත්‍ථක ආලවක රාජ කුමාරයා මෙන් මහත් ඍද්ධියෙන් යුක්තවෙමි. “ කියායි.ගෞතම බුදුසසුනේ සිටින උපාසකයන්ගේ තුලාව, මානය (පරමාදර්ශය) විය යුත්තේ චිත්ත ගෘහපති හා හත්‍ථාලවක රජකුමාරයාය.

ඛුජ්ජුත්තරාව හා වේළුකණ්ටකී නන්ද මාතාව

ගෞතම සම්බුදු සසුනෙහි උපාසිකාවන්ගේ පරම ආදර්ශය විය යුත්තේ උතුම් ප්‍රාර්ථනාව විය යුත්තේ “ මමත් ඛුජ්ජුත්තරා උපාසිකාව මෙන් මහා ප්‍රඥාවෙන් අග්‍ර වන්නෙමි. නන්දමාතාව මෙන් මහත් ඍද්ධියෙන් යුක්ත වෙමි.” කියායි. ඛුජ්ජුත්තරාව සහ වේළුකණ්ටකි නන්ද මාතාව උපාසිකාවන් අතර ශ්‍රේෂ්ඨත්වයෙහිලා සැලකිය යුතු තුලාව හා මානය වන්නේය.

ඉන් අනතුරුව එන සූත්‍ර ධර්ම දහයෙහි කියැවෙනුයේ බාල හා පණ්ඩිත පුද්ගලයන්ගේ චරිත ස්වභාව කිහිපයකි. ඒ අනුව දොළොස්වන ආයාචන වග්ගයේ සුත්‍ර දාහතරකි.

තමා සාරාදමන බාලයා
ධර්මය අධර්මය වෙන් කරගැනීමෙහි නොසමත් අව්‍යක්ත වූ (අඛ්‍යත්තො) අසත්පුරුෂ වූ (අසප්පුරිසො) බාලයා හෙවත් අනුවණ පුද්ගලයා සාරා දමන ලද ගුණ ඇති (ඛතං) සිදුණූ බිඳුණු නැසුණු ගුණ ඇති (උපහතං) තමා පරිහරණය කරයි.(අත්තානං පරිහරති) එනම් ඉතා දූෂිත වූ සමාජයේ ගැරහුමට පාත්‍රවන චරිතයක් ඇතිව, නින්දා- අපහාස ගැරහුම් මැද ජීවත් වේ.

හෙතෙම දොස් සහිත ක්‍රියාම කරනුයේ නුවණැත්තන්ගේ උපවාදයට යෝග්‍යව වෙසේ. (සාවජ්ජොච හොති සානුවජ්ජොච විඤ්ඤානං ) බොහෝ පවුද රැස් කර ගනියි.

(බහුංච අප්‍රඤ්ඤං පසවති) අනන්ත සසර දුක් විපාත දෙන පවුරැස්කර ගැනීමට බාලයා සිදුකරන ක්‍රියා කිහිපයකි. සූත්‍ර ධර්ම හතරක දෙක බැගින් එබඳු කරුණු අටක් පෙන්වා දී ඇත.

1. අනනුවිච්ච අපරියොගා හෙත්වා අවණ්ණා රහස්ස වණ්ණං භාසති
නොදැන, විනිශ්චය කර නොගෙන හෙවත් නියමාකාරයෙන් දැන නොගෙන සහ නොපිවිස අගුණ කිවයුතු පුද්ගලයාගේ ගුණ පැවසීම ආශ්‍රය කිරීමෙන් හෝ ආරංචි මාත්‍රයෙන් හෝ නොදත් ඉතා දූෂිතයකුගේ ගුණ කියන්නේ නම් ඒ ගිහි පැවිදි පුද්ගලයා “බාල” සංඛ්‍යාවට ගැනෙන බව මෙම බුද්ධ වචනයේ කියැවේ.

2. අනනුවිච්චච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති
නොදැන නොපිවිස ගුණ කිවයුතු පුද්ගලයකුගේ නුගුණ කීමද එබඳු වූ බාල ලක්‍ෂණයකි. මෙනිසා සත්‍ය වශයෙන්ම අගුණ ඇත්තාගේ ගුණ කීමත් ගුණ ඇත්තාගේ නුගුණ කීමත් නිසා එසේ පවසන පුද්ගලයා බාල, අව්‍යක්ත අසත්පුරුෂ තත්වයට පත්වෙයි.

3. අනනුවිච්ච අපරියොගාහත්වා අප්පසාදනියෙ ඨානෙ පසාදං උපදංසෙති
නොදැන නොපිවිස අප්‍රසාදයට පත්කළ යුතු ස්ථානයෙහි ප්‍රසාදය උපදවන්නේද එයද බාලයාගේ ලක්‍ෂණයකි. මිත්‍යා ප්‍රතිපදාවෙහි, වැරදි පිළිවෙත්හි හෝ අන්‍ය තීර්ථයන් කෙරෙහි පැහැදීම ප්‍රසාදය ඉපදවීම නුසුදුසු බව මෙහිදී කියැවේ. එනිසා බොහෝ පවුරැස් කර ගැනීම සිදුවේ. සුනක්ඛත්ත ලිච්ඡවී පුතුගේ කථාව මෙහිදී සිහියට නඟා ගත යුතුයි.

4. අනනුවිච්ච අපරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති
නොදැන නොපිවිස පැහැදිය යුතු සම්‍යක් ප්‍රතිපත්තියෙහි, යහපත් සසුන්හි අප්‍රසාදය පළකරයි ද අප්‍රසාදය උපදවා ගනියිද එද තමා බාල, අව්‍යක්ත, අසත්පුරුෂ තත්වයට පත්කරන කටයුත්තකි.

5 – 6 මාතරිච පිතරිච මිච්ඡා පටිපජ්පති – තම මව හා පියා කෙරෙහි වැරදි අයුරින් පිළිපදින්නා වූ කටයුතු කරන්නා වු අසත්පුරුෂයාද බොහෝ පවු රැස් කරගනියි. තමාම වනසා ගනියි.

7 –8 තථාගතෙච තථාගත සාවකෙච මිච්ඡා පටිපජ්ජති – තථාගතයන් වහන්සේ කෙරෙහිද උන්වහන්සේගේ ශ්‍රාවකයන් කෙරෙහිද වැරදි ලෙස පිළිපඳින්නා වූ බාල අසත්පුරුෂයාද බොහෝ පවුරැස් කරගෙන තමාම වැනසීමට පත්වේ.

තමා සුවපත් කරන පණ්ඩිතයා
අනතුරුව දැක්වෙනුයේ ව්‍යක්ත වූ (ඛ්‍යත්තො) සත්පුරුෂ වු (සප්පුරිසො) තමා සාරා නොදැමු (අක්ඛතං ) තමා තුළ නොනැසුණු ගුණ ඇතිව (අනුපහතං) තමා මැනවින් පරිහරණය කරයි. තමා සුවපත් කරගනියි. සැපවත් කරගනියි. හෙතෙම නිරවද්‍ය වූයේ, වැරදි වලින් (සාවද්‍ය කටයුතුවලින්) වැළකුණේ නුවණැත්තන්ගේ උපවාදයට , හැරහීමට සුදුසු නොවූයේද වේ.

(අනවජ්ජොච හොති අනනුවජ්ජො විඤ්ඤුතං ) මෙනිසා එබදු තැනැත්තා බොහෝ පින් රැස් කර ගනියි. (බහුඤ්ච පුඤ්ඤං පසවති) මෙසේ තමා සුවපත් කරගෙන මෙලොවත් පරලොවත් සැපවත් කරගන්නා දියුණුවන සත්පුරුෂයාගේ ලක්‍ෂණ (ක්‍රියාමාර්ග) අටකි.

1. අනුවිච්ච පරියොගාහත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති
නිවැරදිව, දැන පිවිස නුගුණ කිවයුත්තාගේ් නුගුණ කියා නම් ඒ සත්පුරුෂ ලක්‍ෂණයකි. තමාට වඩා ධනයෙන් බලයෙන් වැඩිවුවත් ඇත්තාවූ නුගුණ ඒ ඇති පුද්ගලයන් ඉදිරියෙහි පැවසීමට සමත්වීම ශ්‍රේ‍්‍රෂ්ඨ සත්පුරුෂ ලක්‍ෂණයකි. එමගින් නුගුණ ඇති පුද්ගලයා ගුණවත් කර ගැනීමටද දිට්ඨානුගතියෙන් පශ්චිම ජනතාව ගුණවත්භාවයට යොමුකිරීමටද හැකිවේ.

2. අනුවිච්ච පිරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණව භාසති
නිවැරදිව දැන, පිවිස ගුණ කිවයුත්තාගේ ගුණ තත්වාකාරයෙන් පැවසීමද සත්පුරුෂ ලක්‍ෂණයකි.

3. අනුවිච්ච පරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති
දැන පිවිස නොපැහැදිය යුතු මිසදිටු පිළිවෙත්හි අප්‍රසාදය පහළ කිරීමද සත්පුරුෂ ගුණාංගයකි.

4. අනුවිච්ච පරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති
දැන පිවිස පැහැදිය යුතු සම්‍යක් දෘෂ්ටික පිළිවෙත්හි ප්‍රසාදය පහළ කරයි. පැහැදෙයි. මෙය ද සත්පුරුෂ ලක්‍ෂණයකි.

5 –6 මාතරිච පිතරිච සම්මා පටිපජ්ජපති
මව කෙරෙහිද පියා කෙරෙහිද යහපත් ලෙස පිළිපදියි, යහපත්ව මාපියන් කෙරෙහි පිළිපදින්නා සත්පුරුෂයෙකි. අයහපත් ලෙස මව කෙරෙහි පිළිපන් පුද්ගලයන්ට මිත්තවින්දක උදාහරණයකි. අයහපත් ලෙස පියා කෙරෙහි පිළිපන් පුද්ගලයන්ට අජාතසත්තු මහ රජ උදාහරණයකි. ඒ දෙදෙන මෙන් නොකොට සාම කුමාර මාතුපොසක හÀථි මෙන් දෙමාපියන් කෙරෙහි මැනවින් පිළිපැදිය යුතුයි.

මතු සම්බන්ධයි


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.