සිත භාවනාවට පුරුදු කර ගනිමු
ප්‍රත්‍යවේක්‍ෂා කිරීම
නාවලපිටියේ අරියවංශ හිමි
පසුගිය පත්‍රය හා සම්බන්ධයි
භාවනා, පුරුදු කරගන්ට බෑ කියල ඒවා අතහරින්ට එපා. අමාරුවෙන් හරි කමක් නෑ
භාවනා කරන්න පුරුදු වෙන්න අන්න ඒ නිසා තමයි අප කියෙන්නෙ, නිතර ටික ටික
පුරුදු කරන්න කියල. ටික ටික පුරුදු කරනකොට කලකදී සිත හොඳට පුරුදු
වෙනවා. මොකද නුහුරු දෙයක් නේ අපි කරන්නේ. අප සසරේ මේවා පුරුදු කරල නෑ.අප
පුරුදු නොකළ දෙයක් තමා දැන් මේ පුරුදු කරන්ට යන්නේ.
ඒ නිසා අපට අමාරුයි. ඒ අමාරු දෙයක් කරන කොට, ඒක ටික ටික කිරීමෙන් ඒ
අමාරුකම නැතිවෙලා යනවා. පහසු දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා,අප භාවනා
කීපයක් කරන්න කිව්වහම ඔක්කොම එක දවසකින් කරන්න බැරිවෙයි. නමුත් අප ටික
ටික භාවනා කරන්න පටන් ගත්තොත් කලක් යනකොට අපට භාවනා කිහිපයක් කරන්ට
පුළුවන්කමක් තියෙයි.
අප මේ විදියට අපහසුයි කියල සමහර භාවනා අතහරින්නේ, ධර්මය කෙරෙහි
ප්‍රමාණවත් විශ්වාසයක් නැති නිසා. අප අහල තියෙනවානේද? , මලක සුවඳ සිඹින
වෙලාවක් මෙත් සිත වැඩුවොත්, ඒක මහත් ඵලයි කියල. ඇස්පිය ගහන
වේලාවක්, අනිත්‍ය වැඩුවොත් ඒක මහත්ඵලය කියල අහල තියෙනව නේද? මේක අප
කියලත් තියෙනව නේද? මේ අසා තිබෙන දේ, මේ කියා තිබෙන දේ, අප පුරුදු
කරනවද කියල බලන්න
. එහෙනම් ඒ අසා තිබෙන දේ, අප කියා තිබෙන දේ අප දරාගෙන තිබෙනවද කියල
කල්පනා කරන්න. අප දරාගෙන තිබෙනව නම්,අනේ මට මේක අමාරුයි කියල කෙනෙක්ට
සිතෙන්නෙ නෑ. ඇසිල්ලක් ගහන වෙලාවක් අනිත්‍ය වඩනවා නම්, ඒක මහත්ඵලයි කියල
දේශනාවෙ තියෙනවා නේද? මොකක්ද ඒ දේශනාව? වේලාම සූත්‍රය කියවල බලන්න. ඒ
දේශනාව මුල ඉඳල කියවන්න භාවනාවෙන් අපට පෙන්වන ප්‍රතිඵලය කෙබඳුද කියල
පහසුවෙන් තේරුම්ගන්ට පුළුවන් වෙයි.
එහෙම නම් අපට ඒ ධර්මය පුරුදු කරගන්ට නම් අප තුළ තිබිය යුත්තේ
භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාවේ තියෙන කාරණා කෙරෙහි පැහැදීම ඇති කර
ගැනීමයි. එහෙනම්, ඒ වේලාම සූත්‍රය කවුරුත් කියවන්න කියවල ඒ ධර්මය
කෙරෙහි බලවත් පැහැදීමක් ඇති කරගන්න බලවත් පැහැදීමම ඇති කර ගත්තොත්
මෛත්‍රී භාවනාව, අනිත්‍ය භාවනාව වගේ දේවල් අපේ ජීවිතයට බද්ධ කර ගනී.
ආන්න එයාට යම් කලකදී, සමාධිය ඇති වෙයි. ඇයි ශ්‍රද්ධාවේ පිහිටපු කෙනාට
සමාධියක් ඇති කර ගැනීමට භාග්‍ය ඉපදෙනවා.
ශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනා දේශනාවේ කියා තිබෙන දේ කරනවා. එයා කල්පනා
කරනවා. ඇසිල්ලක් අනිත්‍ය වැඩීම මහත්ඵල නම්, මට කොච්චර පුළුවන්ද? අප
පොඩි දුරක් ඇවිදගෙන යනකොට ඇස්පිය කී සැරයෙක් ගහනවද? අපට ඇස අනිත්‍යයි
කියල කී සැරයක්, සිතන්න පුළුවන්ද? අප ඇවිදගෙන යනකොට මේ දේශනාව මතක්
වුණොත්, භාගවතුන් වහන්සේ මෙහෙමයි අපට කියාදීල තියෙන්නේ කියල, යම්
කෙනෙකුට සිහි වුණොත් එයා ශ්‍රද්ධාවට ඇවිල්ලද? නැද්ද? එයා ශ්‍රද්ධාවට
ඇවිල්ලා. දැන් ඒ ශ්‍රද්ධාවට ආපු කෙනා මොකද කරන්නෙ? භාග්‍යවතුන් වහන්සේ
යමක් ද වදාළේ ඒක
කරනවා.
එයා සිහි කරනවා ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව
අනිත්‍යයි, ශරීරය අනිත්‍යයි. සිත අනිත්‍යයි, අපට කී සැරයක් සිත සිතා
ගන්ට පුළුවන්ද? දැන් අන්න ඒ විදියට අනිත්‍යය සිහි කර කර යන කෙනාට
කල්පනා කරගන්ට පුළුවන් වුණොත් මා මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ
නේද කළේ කියල.
එයාට සතුට උපදීද? නැද්ද? උපදිනවා. එහි ධර්මතාවයක් ශ්‍රද්ධාවට ආපු
කෙනාට, ප්‍රම්‍රදිතභාවය උපදිනවා කියන එක ධර්මතාවක් ඒක කාටවත්
ප්‍රාර්ථනා කරන්ට දෙයක් නෑ. ඒක කාටවත් වළක්වන්ට බෑ. වළක්වන්න බැරිනම්,
සිද්ධ වෙනවා කියන එක වෙනවම නේද? වළක්වන්න පුළුවන් නම් අපට සිද්ධ වෙනවා.
කියල සිතන්න අමාරුයිනේද? ධර්මතාවයක් කියල කියන්නෙ තව කෙනෙකුට වළක්වන්ට
බැරි දෙයක් තව කෙනෙකුට වළකන්වන්ට බැරි නම්, ඒකසිද්ධ වෙන දෙයක්.
ඒ නිසා අප දියුණු කරගත යුතු බලවත් ම දෙයක් තමයි, ශ්‍රද්ධාව. ඒ
ශ්‍රද්ධාව දියුණු කර ගැනීම පිණිස උපකාර වන්නේ, මේ ධර්මයම යි. වෙන දෙයක්
නෙමෙයි. ඒ ධර්මයට අනුව ශ්‍රද්ධාව ඉපදෙන ආකාරයන් අහන්ට ලැබෙන්නේ කල්‍යාණ
මිත්‍ර ඇසුරෙන් අන්න එතනින් පටන් ගන්න. දැන් අප අද දවසේ ඉගෙන ගත්ත හොඳ
පාඩමක් නේද? අප කියල තිබුණත්, කියාදුන්නත්, කොතරම් දුරට අප දරාගෙන
තිබෙනවාද කියන නිගමනයට අප පැමිණිය යුතුයි නේද? නැත්නම් අප කියන්නෙ
එකක්, කරන්නෙ එකක්.
දැන් අප සුලු මොහොතක් අනිත්‍ය වැඩුවොත් මහත්ඵලයි කියල කොහොමද
පිළිගන්නෙ? ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනා පිළිගැනීමෙන්. ඒ දේශනා
පිළිගන්න කෙනා කෝ මට වැඩෙන්නෙ නැ නේ කියල හොයන්නෙ නෑ.
එයාට හොයන්න දෙයක් නෑ. ඇයි එයා පිළිගන්නේ, භාග්‍යවතුන් වහන්සේ මෙසේ
වදාළා මා ඒක කරනවා. කරල සිතනවා. භාග්‍යවතුන් වහන්සේ මේ විදියට කියා
දුන්නා, මා ඒ විදිහට කළා ප්‍රතිඵලයක් තියෙයිද? දැන් ආහාර පිඩක් අනලා
උගුරෙන් පහතට දානවා. එයා එක්ස් රේ එකක් අරන් බලනවද බත් ටික බඩට ගියාද
දන්නෑ කියල. එයා හොයනවද? නෑ නේද? ඊට වඩා විශ්වාසයක් කෙනෙකුට ඇතිවෙනවා
ශ්‍රද්ධාවට ආවට පස්සෙ. බලාගන්න ඒ වේලාම සූත්‍රය කියවලා. ඒකේ අගට කියා
දෙනවා ඇසිල්ලක් අනිත්‍ය වඩනව නම් මහත්ඵලයි කියල. අපේ ජීවිතයේ ඇසිලි
කීයක් ගියාද? ඇසිල්ල ගානේ අප කොච්චර ගත කළාද? ඒ ඇසිල්ලක් ගානේ අප
අනිත්‍ය වැඩුවා නම්, අප ජීවිතයේ ලොකු දෙයක් කරගෙන නේද?
අනිත්‍ය ගැන අපට කියා දී තිබෙන කාරණාව අප පිළිගත්තොත්, අපට කාලය ඕනෑ
තරම් තියෙනවා නේද? කාලය මදි කියල එක්ක් තියෙනවද? අව්ව, වැස්ස සීතල
ඒවායේ ගැටලුවක් අපට තියෙනවාද? නෑ නේද? මේ ඇස අනිත්‍යයි කියමින් ඇවිදගෙන
යනවා.
අපට අමාරුයිද? අමාරුවක් අපට එන්නෙ ඇයි ? ඇසිල්ලක් අනිත්‍ය වැඩුවොත්,
මහත්ඵලයි කියනදේට ඔබ්බෙන් දෙයක් අප සිතනවා. එහෙම නැතිව අප භාග්‍යවතුන්
වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසයට ආවොත් අප මේ දේවල් කරනවා. ඒ නිසා ඒ
ශ්‍රද්ධාවම උපදවා ගන්න.
උල උඩ ඉඳගෙන, ධර්මය අවබෝධ කළ අය ගැන අප අහල තියෙනව නේද? අන්න ඒ විදියට
සිත හැදෙන්නේ ශ්‍රද්ධාවෙන් පටන් ගත්තොත් පමණයි. ශ්‍රද්ධාවෙන් පටන්
නොගෙන, වෙනත් දේකින් පටන් ගත්තොත්, අපට මුකුත් කරගන්ට බෑ. ශ්‍රද්ධාවෙන්
පටන් ගත්තොත් අප ටික ටික භාවනා කරනවා.
ටික ටික භාවනා කරනකොට, අපට කාලය තියෙනවා.අපට මේ උෂ්ණ , සීතල, ආදී දේවල්
ලොකු ගැටලු වෙන්නෙ නෑ. ඒ නිසා ගුප්ත විදියට කල්පනා කරන්ට එපා. මේක
අමාරුයි කියල කල්පනා කරන්ට එපා. ප්‍රායෝගිකව අපට කියා තිබෙන දේ අපේ
සිතේ පුරුදු කරගන්න. ඒක තමයි භාවනා කරන පිළිවෙළ භාවනාවකින්, සාර්ථක
විදියට අප ප්‍රතිඵල ලබන්න නම්, ඒ විදියට අප ටික ටික භාවනාව හුරුකරන්නට
ඕනෑ.
|