ප්‍රායෝගිකත්වයට එමු
නාවලපිටියේ අරියවංශ හිමි
ප්‍රත්‍යවේක්‍ෂා කිරීම
ප්‍රත්‍යවේක්‍ෂා කරනවා කියන කාරණාව අමතක කරගන්න එපා. වැරැදි විදියට
ගන්නත් එපා. අදාළ සුත්‍ර දේශනා නැවත නැවත කියවන්න. කියවල, කියල තියෙන
විදිහටම පුරුදු කරගන්න. මේ සෑම එකක්ම ටික ටික තමා පුරුදු කර ගත යුත්තේ,
ධර්මය ගොඩක් එකවර ඉගෙන ගත්ත කියල, ඔක්කොම එකට පුරුදු කරන්න බෑ. ඔක්කොම
එකවර අපට පරිහරණය කරන්ට බෑ. මේ හැම එකක් ම ඉගෙන ගෙන ටික ටික පුරුදු
කරන්ට මතක තියාගන්න. එහෙම නැත්නම් ඔබට බය සිතෙයි. කොහොමද මේවා ඔක්කොම
එකවර කරන්නේ කියල. අපි ටික ටික පුරුදු කළොත් අපට මේ හැම එකක්ම කරන්ට
පුළුවන් කලක් එනවා.ආන්න එතකොට අප තුළ බය සැක නෑ. ඒ නිසා කලබල නොවී ටික
ටික පුරුදු කරගන්න.
අප කලින් දවස්වල සිහිකරල දුන්න භාවනා පහවත් අඩුගානේ පුරුදුකරන්ට ඕනෑ.
මේ භාවනා පහ ම කරන්න ඕනැ ද? කොහොමද කරන්නෙ? පහක්ම කරන්න අමාරුයි නෙ
කියල කෙනෙකුට සිතෙන්ට පුළුවන්. භාවනා පහක් එකවර කරන්න කියල අප කිව්වෙ
නෑ. පටන් ගැන්මේදී ම කිව්වේ ටික ටික කරන්ට කියල. අපට පිගානකට බත් බෙදල
දෙනව අප කොහොමද ඒක වළඳන්නෙ? ටික ටික නේද? ලේසියි නේද මේවා තේරුම් ගන්න
. ඇයි අපි මේ ප්‍රායෝගිකත්වයට එන්නෙ නැත්තෙ? අපි එදිනෙදා සෑම දෙයක්ම
කරන්නේ ටික ටික දැන් අපට තේ එකක් ලැබෙනවා. මුහුණ උඩට හරවල කට ඇරල
ඔක්කොම එකවර කටට වත්කරගන්නව ද? නෑ නේද? අපට තේ එකක් දුන්නහම බොන්නේ ටික
ටික තොලේ ගගා නේද? එච්චර ඕනෙ නෑ. සීනි බෝලයක් හම්බවෙනවා එහෙම පිටින්ම
ගිලිනව ද? ඒක පොඩ්ඩ පොඩ්ඩ නේද සූප්පු කරන්නේ.ඇයි මේ ප්‍රායෝගික විදියට
අප කල්පනා නොකරන්නේ ? මේ පුංචි දේ එහෙම නම්, මේ ධර්මය කොහොමද පුරුදු
කරන්නේ ? ටික ටික, ටික, ටික පුරුදු කරන්න.ආන්න එහෙම ටික ටික පුරුදු කරන
කෙනාට යම් කාලෙකදි භාවනා පහක් නෙමෙයි විසිපහක් කරන්ට පුළුවන්. අපි
ඉස්සරහට තව දේශනා ටිකක් කතා කරන්නට කල්පනා කළා. එතකොට ඔයාලාට සිතෙයි,
මේවා කොහොමද කරන්නේ කියලා. එච්චර තියෙනවා. එහෙම නැතුව මේ සසරෙන් නිදහස්
වෙන්න පුළුවන්ද?
පුංචි කාලෙදී, ළමයින්ට වතුර ටිකක් තොලේ ගානවා. වතුරෙන් පුළුවන්ද
යෝධයෙක් හදන්න. සැමදාම වතුර තොලේ ගගා ඉන්නවද? නැහැ. පස්සෙ ටික ටික මොනව
හරි මෙයාගෙ කටට දානව. එහෙම කරල ටිකක් ලොකු වුණාට පස්සෙ, බත්, පරිප්පු
ආදී හැම එකක් ම දෙනවා. දැන් මිනිස්සු බත් මාළු කනව කියවල, ඉපදුන ගමන්
බත් මාළු දෙනවද කෙනෙකුට ? නැහැ. ඒ වගේම තමයි අප භාවනා කරන්ට පටන්ගත්ත
ගමන් මේ භාවනා ඔක්කොම කළ යුතු ද? නැහැ නේද? නමුත් අප කළ යුතු
ප්‍රමාණයක් තියනවා. මනුෂ්‍යයා විසින් බත් එළවළු ව්‍යාංජන ආදී දේ අනුභව
කරනු ලබනවා. කියල, ඉපදුන මනුෂ්‍ය පැටියට ඔක්කොම දේ දෙන්නෙ නෑනේ. ඒ
පැටියගේ කාලයට සුදුසු දෙයක් නේද දෙන්නෙ? ඒ පැටිය ටික ටික මෝරනකොට, අන්න
එයාට මේරු ජීවිතයකට වුවමනා දේ දෙනවා. එහෙනම් අපිත් ළදරුවො කාලයේ,
ළදරුවො විදියට වැඩ කරන්න. හැබැයි, ළදරුවා සුදුසු ආහාර නොගත්තොත්, එයා
මෝරල යන්නෙ නෑ. ඒකත් මතක තියාගන්න. එහෙනම් අප අපේ ජීවිතය දියුණුවෙන
විදියට මේ ධර්මය ටික ටික පුරුදු කරන්ට, දැන්ම ම පුරුදුවෙන්ට ඕන . අන්න
එතකොට අප කලක් යනකොට, කාලයත් එක්ක මේරු අය බවට පත්වෙනවා. එතකොට අප
ගොඩක් දේ කරන අය නැත්නම් එක පාරට මේ භාවනා පහක් කියල දුන්න කියල, පහ ම
එක පාරටම කරන්නට බෑ කියල බය වෙන්න දෙයක් නෑ. ඒවා ටික ටික කරන්න කලක්
යනකොට අපිට පහක් නෙමෙයි ගොඩක් කරන්න පුළුවන් කලක් එනවා. මේවා හරිම
ප්‍රායෝගිකයි.ලේසියි කලක් යනකොට භාවනා විසි පහක් විතර කරන්න පුළුවන්.
මනුෂ්‍යයා කියල කියන්නෙ නුවණ තියෙන සතෙකුට නේද? එයාට නේද සසරෙන් නිදහස්
වෙන්ට පුළුවන්. ඒ නිසා මේවා කරන්ට පුළුවන්. බය වෙන්න එපා. හැබැයි එක
පාරට අතගහන කෙනාට බෑ. බයවෙලා කලන්තෙ දාලා, අර තේ කෝප්පය එකපාරට කටේ
හලාගත්ත කෙනාට වෙච්ච දේට වඩා වින්නැහියක් කරගන්නවා. ඒ නිසා මේ මුකුත්
එකවර කරන්ට බෑ. ටික ටික පුරුදු කරන්න කම්මැලි වෙන්ටත් එපා.
එතකොට සමහර කෙනෙකුට අප කියල දුන්න භාවනා පහ ම එක වර කරන්ට බැරිවෙන්ට
පුළුවන්. සමහර භාවනා හොඳට කෙරෙයි. තවත් සමහර භාවනා හොඳින් කෙරෙන්නේ
නෑ.අමාරුවන් කෙරෙන්නෙ. එහෙම වෙන්ට පුළුවන් පහ ම එක වගේ වෙන්නෙ නෑ. ඒක
හරියට අතේ ඇඟිලි පහ වගේ. අතේ ඇඟිලි පහක් අපට තියෙනවා.අතේ ඇඟිලි පහම එක
වගේ ද? මේ ඇඟිලි පහෙන්ම එක වගේ ප්‍රයෝජන ගන්ට පුළුවන්ද? ගන්න බෑ. දැන්
ලොකු ඇඟිල්ල ගත්තොත් ඒකෙන් ටිකක් ලොකු වැඩක් කරන්ට පුළුවන්. පුංචි
ඇඟිල්ල ගත්තොත් ඒ ලොකු ඇඟිල්ලෙන් කරන ප්‍රමාණයෙන් භාගයත්වත් කරගන්ට බෑ
නේද? ඉතින් කෙනෙක් කල්පනා කළොත් මේ සුළඟිල්ලෙන් වැඩක් නෑ. මේකෙන්
මුකුත් කරන්ට බෑනේ. හයියක් නෑ. ඒක එපා ඒක මා අතහරිනවා.මේ ලොකු ඇගිල්ල
නම් හයියයි කියල මා ඒක පාවිච්චි කරනවා. ඒක හරිද? ඒක නුවණින්
කල්පනාකිරීමක් නෙවෙයි. පුංචියි ලොකුයි කියල එකක් නෑ. මේ ඇඟිලි පහම එකතු
වුණාම අතට ලොකු ජවයක් එන්නෙ . හැබැයි සුළඟිල්ල පුංචියි කියල නෑ. අයින්
වුණාම අර සමස්තයක් විදියට ආපු ජවයෙන් විශාල ප්‍රමාණයක් අයින්වෙලා යනවා.
යම් දෙයක්ද මේ අතින් කරන්ට පුළුවන් වන්නේ, මේ පුංචි සුළඟිල්ල අයින්වෙලා
ගියාත් ඒ හැකියාවෙන් ගොඩාක් අඩුවෙලා යනවා. නමුත් අප සාමාන්‍යයෙන්
බැලුවොත් නම් මේ සුළඟිල්ල පුංචියි නෙ, මුකුත් කරන්න බැහැයි කියල
සිතෙන්ට පුළුවන්. නමුත් ඇඟිලි පහම එක් වුණහම අතට ලොකු දෙයක් කරන්ට
පුළුවන්.
ආන්න ඒ වගේ අප භාවනා කීපයක් කරනකොට කෙනෙකුට සමහර භාවනා කෙරෙන්නේ නෑ,
ආමාරුයි, සාමාන්‍යයෙන් කියන්නෙ වැටහෙන්නෙ නෑ කියල නේ. ඉතින් ගොඩක්
කට්ටිය මට මේක අමාරුයි කියල අතහරිනවා.අර හොඳට කෙරෙන එක ආසාවෙන් කරගෙන
යනවා. එයා හරියට, සුළඟිල්ල පුංචියි කියල කපල දැම්ම කෙනා වගේ. එයාට ඒ
අතින් කරගන්ට පුළුවන් වැඩ වලින්, ලොකු දෙයක් කරගන්ට බැරුව යනවා. හයිය
නෑ කියල, පුංචි එක අයින් කළා එහෙම සිතන්න එපා. යම් භාවනාවක් අපට
යාන්තම් සිතේ පුරුදු කරගන්ට පුළුවන් වුණත් ඒකෙන් මහත් වූ පිළිසරණක්,
පිහිටක් සිතට ලැබෙනවා. අපට ආන්න ඒ විශ්වාසය තියෙන්ට ඕන. අපට ඒ විශ්වාසය
තිබුණොත්, යම් භාවනාවක් හොඳට කෙරෙන්නෙ නෑ කියල අත හරින්නෙ නෑ. දැන්
සමහර කෙනෙකුට අසුභය කෙරෙන් නෑ. මෛත්‍රිය හොඳට වැඩෙනවා. ඉතින් ඒ අය
කරන්නෙ අසුභය අතහැරල දානවා.ආන්න එහෙම කරන්ට එපා. අමාරුවෙන් හරි කමක්
නෑ,ඒක කරගෙන යන්න ඒ හැම එකක් ම ඉතා හොඳට කෙරෙන කලක් එනවා. ඒක තමා
ස්වභාවය. ආරම්භයේදී සමහරවිට ඔක්කොම එක වගේ කෙරෙන්නෙ නෑ. එක භාවනාවක්
හොඳට කෙරෙයි. සමහර භාවනා කෙරෙන්නේ ම නෑ. අමාරුයි කියල ඒක අතහැරල දාන්ට
එපා. ටික ටික පුරුදු කරගෙන යන්ට කලකදී ඒ හැම එකක්ම එක වගේ කරන්ට
පුළුවන් කලක් එනවා.අපට භාවනාව යන්තම් පොඩ්ඩක් සිතේ පවත්වන්නට පුළුවන්
වුණත්, ඒකෙන් මහත් වූ පිහිටක්, පිළිසරණක් සිතේ පිරිසුදු භාවය පිණිස
තියෙනවා.
මතු සම්බන්ධයි
|