Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සව්සත සනසන සිව් බඹ විහරණ

බ්‍රහ්ම විහරණ ගුණධර්මයෙන් පරිපූර්ණවීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික සැනසීම පිණිසත්, ඒ තුළින් සමස්ත සමාජයේ පොදු යහපත පිණිසත් හේතුවේ. මිනිස් සිත් සතන් තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මසුරුකම, ව්‍යාපාදය ආදී පවිටු සිතිවිලි නැති වූ තරමට සැනසීම, සැහැල්ලුබව, පී‍්‍රතිය ළං වේ. ඒවා වැඩි වූ තරමට නොඉවසීම, අතෘප්තිය, අසහනය, කලකිරීම ළඟාවී, විනාශය කරා පිය නගනු ඇත.

මිනිස් දිවිය උසස් තත්ත්වයට පත් කරන, උතුම් ගුණාංග අතර, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යනුවෙන් හැඳින්වෙන ‘සතර බ්‍රහ්ම විහරණ’ ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අන්දම බුදු දහමේ දැක්වේ. ‘බ්‍රහ්ම’ යන්නෙන් ශ්‍රේෂ්ඨ යන අර්ථයද, විහරණ යනුවෙන් වාසය කිරීම, පැවැත්ම යන අර්ථයද ගෙන දෙයි. මේ අනුව ශ්‍රේෂ්ඨ ලෙස (උසස් ලෙස) හැසිරීම උසස් පැවැත්ම බ්‍රහ්ම විහරණයයි. මේ තුළින් පුද්ගලයා සමාජය කෙරෙහි බැලිය යුතු ආකාරයත්, සමාජය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරයත් උගන්වයි. මෙම ගුණාංග වර්ධනය කර ගැනීම තුළින් පුද්ගල ශ්‍රේෂ්ඨත්වය උදාවන අන්දම පැහැදිලිවේ.

මෙත්තා හෙවත් මෛත්‍රීය නම් හිතවත් භාවයයි. කිසිදු භේදයකින් තොරව සියලු සත්ත්වයා දුකින් තොරව, සැපෙන් යුතුව ජීවත්වනු දැකීමයි. ද්වේෂයෙන් තොරව සමාජය දෙස බැලීමෙන් මෙම උතුම් ගුණාංගය ක්‍රම ක්‍රමයෙන් ප්‍රගුණ කර ගත යුතු වේ. ඒ අනුව තමා කෙරෙහි හිතවත්වීම, තම නෑ හිත මිතුරන් කෙරෙහි හිතවත්වීම, මධ්‍යස්ථ පුද්ගලයන් කෙරෙහි හිතවත්වීම, සතුරන් කෙරෙහි හිතවත්වීම ප්‍රගුණ කළ හැකි ය. එකවරම, සමස්ත ලෝකවාසී සියලු සත්වයා වෙත හිතවත්වීම කළ නොහැකි බැවින්, ක්‍රම ක්‍රමයෙන් එය ප්‍රගුණ කර වර්ධනය කොට, ව්‍යාප්ත කළ යුතු ය. ප්‍රථමයෙන්, තමා තමාට හිතවත්වීම අත්‍යවශ්‍ය වේ. තමාට හිතවත්ව තම හිතසුව සලසා නොගන්නා පුද්ගලයාගෙන්, අනුන්ට හිත සුවයක් අපේක්‍ෂා කළ නොහැකිය. ඒ අනුව, තමාගේ නිරෝගී බව, සැපවත්බව දියුණුව සැමවිටම ළඟා කර ගත යුතු ය. ඊළඟට පියවරෙන් පියවර මව්පිය, සහෝදර සහෝදරියන්, නෑ හිතවතුන්, ගුරුවරුන්, මධ්‍යස්ථ පිරිස, සතුරන් කෙරෙහි ආදී වශයෙන් හිතවත්බව හිතවත්වීම කළ හැකිවේ. මෙසේ ක්‍රම ක්‍රමයෙන් පුහුණුව වර්ධනය වූ මෛත්‍රී සහගත සිත (හිතකාමීබව) සමස්ත සත්ත්වයා කෙරෙහිම යොදා ගන්නා අන්දම, කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී වදාළහ. ඒ අනුව, ක්‍රම ක්‍රමයෙන්, සිත තුළ හිතවත්භාවය වර්ධනය කර ගැනීමට දරන මානසික ව්‍යායාමය, මෛත්‍රී භාවනාව වශයෙන් හැඳින්වේ. එසේ උසස් මට්ටමට වර්ධනය වූ මෛත්‍රීය, බ්‍රහ්ම විහරණයකි.

කරුණාව නම් දුකින් පෙළෙන සත්ත්වයන් කෙරෙහි ඇතිවන අනුකම්පාවයි. සතුරු බිය, රෝග බිය, හදිසි අනතුරු හා විපත්, දරිද්‍රතාව ආදියෙන් පෙළෙන සත්ත්වයා, කෙරෙහි අනුකම්පාවෙන් ක්‍රියා කොට ඉන් ගලවා ගැනීම, කරුණාවෙන් හදවත පුරවා ගත් පුද්ගලයාගේ ස්වභාවයයි. මිනිසකුගේ පමණක් නොව තිරිසන් සතකුගේ පවා අසරණභාවය, දුක්ඛිත භාවය දැක පිහිට වේ. ජාති, කුල, ආගම්, පරපුර, උස් පහත්කම් ආදිය ගැන නොසැලකේ. ලොව ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ තමන් දුක් පීඩා විඳිමින් වූවද, අන්‍යයන් දුක් පීඩාදියෙන් මුදවා ගෙන සැපවත් කිරීමට වෙහෙසෙති. තම සුඛ විහරණය ගැන පමණක් නොසිතන ඔවුහු සමාජයකට මහාර්ඝ වස්තු වේ. ආත්මාර්ථකාමීව, පටු හැඟීමෙන් ක්‍රියා කරන්නාට කරුණාව ව්‍යාප්ත කිරීම අසීරුය. කෙටියෙන් දක්වතොත් කරුණාව තම නිවසට, කාර්යාලයට, වැඩපොළට, ගමට රටට, ජාතියට පමණක් සීමා කර ගත යුත්තක් නොව, සමස්ත විශ්වයටම පොදුවේ ව්‍යාප්ත කරලිය යුතු, උතුම් ගුණ ධර්මයකි. මහා කරුණාවෙන් පිරි උතුමෝ, සමස්ත විශ්වය සිය පවුල ලෙස සලකා, අනුකම්පාවෙන් ක්‍රියාකර සෑම සත්ත්වයකුටම ශාන්තිය උදාකරති. ලොව්තුරා භාග්‍යවතුන් වහන්සේ ඊට හොඳම නිදසුනකි.

අන්‍යයන්ගේ සැපත, සතුට, දියුණුව දැක එය තමාට ලැබුණා වූ දෙයක් ලෙස සලකා සතුටුවීම, පී‍්‍රතිවීම, මුදිතා ගුණයයි. අන්‍යයන්ගේ දුක් දොම්නස්, කරදර හිරිහැර ආදියේදී අනුකම්පාව දැක්වීම තරමට අනුන්ගේ සැපත සතුට දියුණුව දැක සතුටුවීම, හෝ පී‍්‍රතිවීම පහසු දෙයක් නොවනු ඇත. එම අපහසු තත්ත්වය, යම් පුද්ගලයකුට තම සිත තුළ පහළ කර ගත හැක්කේ, නම් එය උසස්ම ස්වභාවයකි. සතුටට පත්වන්නේ තම නෑදෑයකු හිතවතකු නිසාද එය මුදිතාව නොවන අතර, කිසිදු භේදයක් නැතිව සමාජයේ ඕනෑම කෙනෙකුගේ සැපවත්වීම දැක අවංක සිතින් සතුටුවීම මුදිතා ගුණයයි. අල්ලස් ගැනීම, දූෂණය, සොරකම් කිරීම, මංකොල්ලකෑම ආදී දුසිරිත් තුළින් ධනවත්ව පී‍්‍රතිවන පුද්ගලයකු කෙරෙහි ඇති කර ගත යුත්තේ මුදිතාව නොව කරුණාවකි. දැනට තාවකාලික සතුටක්, ලැබුවත් ඔහු විසින් කරන ලද දුසිරිත් නිසාම අනාගතයේ දුකට පත්වන අන්දම සිතා බැලීමෙන් ඇතිවන්නේ අනුකම්පාවකි. මුදිතා ගුණයෙන් පිරි සමාජයක, භේද භින්නතා නැති අතර සොම්නස රජ කරයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඉස්මතු නොවේ. ආධ්‍යාත්මික ගුණවගාවෙන් අනූනය.

උපේක්‍ෂාව නම් පුද්ගල සිත් සතන් තුළ ඇතිවන නොසැලෙන මැදිහත් බව ලෙස දැක්විය හැකි ය. එය අලසකම, අඥාණභාවය ආදිය නිසා ඇතිවන, කිසිම දෙයක් ගණන් නොගෙන සිටීමේ ස්වභාවය නොවේ. ලෝක ස්වභාවය හා ජීවිත ස්වභාවය පිළිබඳ මනා වැටහීමකින් යුතුව, සිතෙහි සමබරතාව පවත්වා ගැනීම අපේක්‍ෂා කෙරේ. සමාජයේ දී දෛනිකව හමුවන විවිධ කරුණු සහ දුක්වන්නන් අනුව දුක්වීමටත්, සතුටට පත්වන්නත් අනුව සතුටුවීමටත් යාම නිසා සිතේ සමබරතාව විනාශ වී යයි. එක් එක් පුද්ගලයා කෙරෙහි, මෙන්ම එක් එක් වස්තූන් කෙරෙහි ඇති තද ඇල්ම, තද ආශාව නිසාද උපේක්‍ෂා ගුණය විනාශ වේ. එබැවින්, සැමවිටම ඇලීම්, ගැලීම් ගැටුම් අනුරෝධ, විරෝධ නොතකා අවබෝධයෙන් යුතුව, මධ්‍යස්ථ පැවැත්ම දියුණු කර ගැනීම තුළින්, උපේක්‍ෂා ගුණය වර්ධනය කර ගත හැකි වේ. සැමවිටම සමාජයේ සියලුදෙනා එකිනෙකා කෙරෙහි උපේක්‍ෂාවෙන් යුතුව කටයුතු කරන්නේ නම් එහි විරුද්ධවාදීන් හෝ ගැටුම් ඇති නොවේ.

බ්‍රහ්ම විහරණ ගුණධර්මයෙන් පරිපූර්ණවීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික සැනසීම පිණිසත්, ඒ තුළින් සමස්ත සමාජයේ පොදු යහපත පිණිසත් හේතුවේ. මිනිස් සිත් සතන් තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මසුරුකම, ව්‍යාපාදය ආදී පවිටු සිතිවිලි නැති වූ තරමට සැනසීම, සැහැල්ලුබව, පී‍්‍රතිය ළං වේ. ඒවා වැඩි වූ තරමට නොඉවසීම, අතෘප්තිය, අසහනය, කලකිරීම ළඟාවී, විනාශය කරා පිය නගනු ඇත. ක්‍රෝධයක්, වෛරයක් සිත තුළ ඇති වූ විට මොනතරම් අසහනයක් දැනේද? එසේම මෛත්‍රීය, කරුණාව, මුදිතාව, උපේක්‍ෂා සිතිවිලි සිත තුළ හටගත්විට මොනතරම් සහනයක් දැනේද? මොනතරම් සැපතක් ද? මෙසේ සමස්ත සමාජයම පෙළ ගැසෙන්නේ නම්, ලෝකය මොනතරම් ලස්සන වේද?

මෙහි සාකච්ඡා කළ කුමන ප්‍රතිඵලයක් වූවද ලබාගත හැක්කේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්‍ෂාව පුද්ගලයාගේ චරිතයෙන් වෙන් කළ නොහැකී අන්දමට චරිතයේම කොටසක් ලෙස සලකා ප්‍රගුණ කිරීමෙනි. ඒවා චරිතය පුරා විහිදී, තදින් සිත තුළ කාවැදුණහොත් පමණි. ස්වකීයත්වයෙන් තොරව, මෙම ශ්‍රේෂ්ඨ ගුණාංග චරිතය පුරා වගා කර ගැනීමට හැක්කේ, මිනිසාට පමණි. මේ අන්දමට, කුඩා කළ සිටම මනස පුරුදු කිරීම තුළින් වර්ධනය වන මානසික ශක්තිය මෙන්ම ආධ්‍යාත්මික දියුණුව ප්‍රබල වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.