Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සුඛිත මුදිත සමාජයක් වෙත...

මංගල සූත්‍රයේදී මංගල කාරණ වශයෙන් පෙන්වාදෙන්නේ පුද්ගලයා විසින් සිදුකළ යුතු යහපත් ක්‍රියා කලාපයන්ය. කරණීයමෙත්ත සූත්‍රයෙන්ද, ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙන්ද දෙලොව දියුණුව සලසාගත හැකි අයුරු පැහැදිලි කරයි. පරාභව, වසල ආදී සූත්‍ර දේශනාවන් තුළදී යහපත් ක්‍රියාවන්ගෙන් ඈත්වී අයහපතින් පාපයට නැඹුරු පුද්ගලයා පිරිහීමට පත්වන අන්දම පැහැදිලිව විස්තර කර ඇත.

සැප හා සතුට පවත්නා සමාජය, සුඛිත, මුදිත සමාජයක් වෙයි. සමාජයක් සුඛිත, මුදිත ලෙස පවත්වාගැනීමට නම් ගුණධර්ම වල අගය තේරුම්ගෙන ජනතාව කටයුතු කිරීම බෙහෙවින් වැදගත් වෙයි. බෞද්ධ දර්ශනයේ සූත්‍ර ගණනාවක යහපත් සමාජයක පැවැත්මට අවශ්‍ය උපදෙස් රැසක් විස්තර වේ.

ජීවමාන බුදුරදුන් දවස පැවැතී මල්ල, වජ්ජි යන රාජ්‍යයන් බුදුරදුන් අගය කළේ එම රාජ්‍ය තුළ පාලකයින් සප්ත අපරිහාණීය ධර්ම ක්‍රියාවට නංවමින් යහපත් පාලනයක් ගෙන ගිය හෙයිනි.

සමාජයේ ජීවත්වන පුද්ගලයාට සැපවත් ලෙස තෘප්තිමත්ව, සතුටු සහගත ජීවිතයක් පවත්වාගෙන යායුතු අන්දම සම්බුද්ධ දර්ශනයෙහි පැහැදිලි ලෙස ඉදිරිපත් කර ඇත. සිඟාලෝවාද සූත්‍රය ගිහිවිනය ලෙස හඳුනාගත හැක්කකි. පුද්ගලයාට ඉටුකළයුතු වගකීම්, යුතුකම් පෙන්වා දෙමින් සමාජයට වැඩදායක ලෙස කටයුතු කළයුතු ආකාරය පැහැදිලි කරයි.

මංගල සූත්‍රයේදී මංගල කාරණ වශයෙන් පෙන්වාදෙන්නේ පුද්ගලයා විසින් සිදුකළ යුතු යහපත් ක්‍රියා කලාපයන්ය. කරණීයමෙත්ත සූත්‍රයෙන්ද, ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙන්ද දෙලොව දියුණුව සලසාගත හැකි අයුරු පැහැදිලි කරයි. පරාභව, වසල ආදී සූත්‍ර දේශනාවන් තුළදී යහපත් ක්‍රියාවන්ගෙන් ඈත්වී අයහපතින් පාපයට නැඹුරු පුද්ගලයා පිරිහීමට පත්වන අන්දම පැහැදිලිව විස්තර කර ඇත.

කරණීය මෙත්ත සූත්‍රයෙහි පෙන්වාදෙන ජන්ද, ද්වේශ, භය, මෝහ, යන සතර අගතියෙන් අගතිගාමී නොවී ක්‍රියාකිරීම, සමාජයට මහත් සැනසිල්ලකි. යහපතට කැමැත්ත පළ කරමින් මෛත්‍රී සහගත ලෙසින් සිදු කරන ක්‍රියා හේතුවෙන් සමාජයක් සුගතිගාමී වීම ප්‍රත්‍යක්‍ෂය.

තමන්ගේ නායකයා, ගුරුවරයා, ශාස්තෘවරයා පවසන දෙයද, පිළිගත යුත්තේ හොඳින් විමසා බලමින් බව සඳහන් කරන බුදුරජාණන්වහන්සේ කාලාම සූත්‍රයේදී පෙන්වා දෙන මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටක සම්පදානේන, මා තක්ක හේතු, මා ආකාර පරිවේතක්කේන මා දිට්ඨි නිජ්ජානක්ඛත්තියා, මා භබ්බරූපකාය මා සමනෝ නො ගරූහි යන කාරණා දහය තුළින් බුද්ධිමත් ලෙස පුද්ගලයා නපුරෙන්, අයපතින් ගැලවිය යුතු අන්දම මැනවින් පැහැදිලි කරයි. සමාජයක් සුඛිත, මුදිත වන්නේ පුද්ගල ක්‍රියාකලාපයන් ඔස්සේය.

එබැවින් සමාජයක පුද්ගලයා පංචශීල ප්‍රතිපදාව සුරක්‍ෂිත කරගැනීම වැදගත්ය. ප්‍රාණඝාතය, අදන්තාදාන, කාම මිථ්‍යාචාර, මුසාවාද යන සතර කර්මක්ලේෂයන්ගෙන් වෙන්වන පුද්ගලයාගේ ජීවිතය සැපවත්ය. එකිනෙකාගේ ජීවත්වීමේ අයිතිය සුරක්‍ෂිත වන්නේ ප්‍රාණඝාතයෙන් වෙන් වූ කළයි. සත්‍ය වැටහීමෙන් පසු බොදු පිළිවෙත අනුව ගිය ධර්මාශෝක අධිරාජ්‍යාගේ ධර්ම යාත්‍රාව සමාජීය පුද්ගල ජීවිත තුළට සම්බන්ධ කර ගත හැකිය.

තම තමන් දැහැමි ලෙස උපයා සපයාගත් නිශ්චල හා චංචල දේපල සුරක්‍ෂිත කරගත හැක්කේ අදන්තාදනයෙන් වෙන්වූ විටය.

සතුටින්, සමගියෙන් යුක්තව පවුල් ජීවිත ගොඩනැඟෙන්නේ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණ විටයි. විශ්වාසය පෙරටුකොටගත් සමාජයක් බිහිවන්නේ බොරුව නමැති එකිනෙකා රවටන මායාවෙන් පුද්ගලයා ඉවත් වූ විටයි.

සම්බුද්ධ දර්ශනයේ යහපත් ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන සමාජයන් දියුණුවීම නිතැතින් සිදුවෙයි. ශක්තිමත් ආර්ථික ශක්තියක් පවත්වාගෙන යාමට නිරතුරුව වෙහෙසෙන පුද්ගලයා භෝග විනාශ මුඛ නැතිනම් අපා මුඛ වලින් වෙන්වීම ද සමාජය සදාචාරයට හේතු වෙයි.

ස්ත්‍රී, ධූර්තවීම, සුරාවට, සූදුවට ලොල් වීම තමා උපයන ධනය විනාශ වෙමින් පුද්ගලයාගේ පිරිහීම පිණිස මුල්වන බව පෙන්වා දෙයි.

සමාජයක පුද්ගලයින් මෙකී දුසිරිත් මාර්ගයෙන් වෙන්වී යහමාර්ගයෙහි ගමන්ගන්නේ නම් පුද්ගලයාගේ ආර්ථික ආධ්‍යාත්මික දෙඅංශයේ සංවර්ධනය සේම සමාජයේ දියුණූව සිදුවෙයි.

දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය යන සතර සංග්‍රහ වස්තූන් ක්‍රියාවට නංවන සමාජයන් තුළ අත්ථි සුඛ, භෝග, සුඛ අණන සුඛ, අණවජ්ජ සුඛ යන චතුර්විධ සැප පවතී.

පිරිහී ගිය ජනසමාජයන් පරිහානිකර තත්ත්වයන්ගෙන් මුදවා සුඛිත, මුදිත කරලීමට බෞද්ධ දර්ශනයේ සඳහන් ධර්මානුධර්ම ප්‍රතිපත්ති මනා සේ ඉවහල් කරගත හැකි ය. අතීතයේ යහපත් සමාජ බුදුරදුන්ගේ ආශිර්වාදය ලැබුවාසේම උන්වහන්සේ දේශනාකළ ධර්මානුධර්ම ක්‍රියාපිළිවෙත් අනුගමනය කරන සමාජයට ධර්මයේ ආශිර්වාදය තුළින් සාර්ථකත්වයේ ඵල නෙලාගත හැකි ය.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.