Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අග්නිදිග ආසියාවේ

සිංහල සග පරපුරේ මූලාරම්භය සහ සංවර්ධනය

බුදු දහමේ ථේරවාදී සම්ප්‍රදාය, ශ්‍රී ලංකාව, මියන්මාරය (බුරුමය) , තායිලන්තය (සියම), කාම්බෝජය සහ ලාඕසයේ මුල් බැස ඇත. ශ්‍රී ලංකාව අග්නිදිග ආසියානු රටවල් සමඟ බැඳෙන සවිමත් යදම වී ඇත්තේ බුදු දහමයි. ක්‍රි.ව. එකොළොස් වැනි සියවස පමණේදී අග්නිදිග ආසියාවේ බෞද්ධ රටවල් , ථෙරවාදී බුදු දහමේ මූලස්ථානය වන ශ්‍රී ලංකාව සමඟ කිට්ටු සබඳතාවකින් වෙළී ගියේය. එවක් පටන් ඉදිරියට ශ්‍රී ලංකාව,අග්නිදිග ආසියාවේ විවිධ කලාපයන්හි ථේරවාදී සම්ප්‍රදාය සංස්ථාපනයට සහ සංවර්ධනයට වැදගත් වගකීම් සහිත කාර්යභාරයක් ඉටු කළේය. එසේම සිංහල භික්ෂූහු අග්නිදිග ආසියාවේ ආගමික ඉතිහාසය තුළ ශක්තිමත් සහ සජීවි බලපෑමක් නියෝජනය කළහ. සියලු අග්නිදිග ආසියානු රටවලින්, විශේෂයෙන් බුරුමය සමඟ ඉතා කිට්ටුවෙන් ශ්‍රී ලංකාව සබඳතා පැවැත්වූ බව අපේ මූලාශ්‍රයන්ගෙන් පැහැදිලි වෙයි.

නරපතිසිථු (ක්‍රි.ව. 1173 – 1210 ) රාජ්‍ය සමයේ ඉහළ බුරුමයේ පේගන් නුවරට සිංහල සංඝයා හෙවත් ශ්‍රී‍්‍ර ලංකාවේ භික්ෂූහු හදුන්වා දෙනු ලැබූහ. නරපතිසිථු රජුගේ අනුශාසක උත්තරජීව හිමියෝ, චපත (Chapata) සාමණේරයන් සහ බුරුම සංඝයාගේ තවත් බොහෝ ශිෂ්‍යයන් විසින් පිරිවරන ලදුව, පුජ්‍යස්ථාන වැඳපුදා ගන්නට 1170 දී ශ්‍රී ලංකාවට පැමිණියහ. එසේ පැමිණි කල්හි ඔවුහු ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ විසින් පිළිගනු ලැබූහ. ඉක්බිති ඔවුන් විසින් ජනතාවගේ සමකාලීන ආගමික ජීවිතය සහ භික්ෂූන්ගේ ආගමික පාරම්පරා තොරතුරු ද සාකච්ඡා කරන ලදී. එහිදී, ශ්‍රී ලංකාවේ සංඝයා ක්‍රි.පූ තුන්වැනි සියවසේ, ශ්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රජ සමයේ බුදුදහම හඳුන්වා දෙන්නට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණි මහින්ද හිමියන්ගේ පරපුරේ උරුමක්කාරයන් බව ඔවුනට දැන ගන්නට ලැබිණ.

තවද කල්‍යාණී ශිලාලේඛන, Hmannan Yazawin Dawagyi සහ වෙනත් පුරාවෘත්ත, බුරුම භික්ෂුන් එක්තරා ආචාර්ය පරම්පරාවකට එනම්, වඩා අඩු තක්සේරුවක් ඇත යැයි සැලකෙන සඟ පරපුරකට අයිති බව සඳහන් කරයි. සිංහල භික්ෂූන්ගේ මතයට අනුව, බුරුම භික්ෂු පරපුර ගුරුවරයාගෙන් ගුරුවරයාට අඛණ්ඩ දාමයක් ලෙස පැවත ආවක් නොවේ. එහෙත් ශ්‍රී ලංකාවේ බුදු දහම පිළිබඳ ඉතිහාසයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ සිංහල භික්ෂුන්ගේ මුලස්ථානය වන මහා විහාරය බුද්ධකාලීන සමයේ පටන් වූ භික්ෂූ පරම්පරාවේ සම්මත විනයානුකුල පෙළපතක් ස්ථාවර ලෙස පවත්වා ගෙන එමින් තිබිණ. එබැවින්, එයට සිය තනි උරුමයක් සේ විනයානුකූල පැවිදි උපසම්පදාව ප්‍රදානය කරන්නට හැකි විය. සිංහල භික්ෂූන්, බුරුම භික්ෂූන් විසින් සැලසුම් කරන ලද පැවිදි කිරීමේ පිළිවෙත විනයානුකූල ලෙස නොපිළිගත්තේ එබැවිනි.

කලින් සඳහන් කරන ලද උත්තරජීව හිමියෝ සිද්ධස්ථාන වැඳපුදා ගැනීමෙන් පසු පේගන් නුවර වෙත ආපසු ආහ. එහෙත් ශ්‍රී ලංකාවේදී පැවිද්ද ලැබූ චපත හිමියෝ සිංහල සඟ පරපුරේ සාමාජිකයෙක් වූහ. ඉක්බිති උන්වහන්සේ දස වසරක් පමණ ශ්‍රී ලංකාවේ ගත කළහ. ඒ අතර ත්‍රිපිටකය සහ එහි අටුවා පිළිබඳ පිරිපුන් අවබෝධයක් ලබා ගත් උන්වහන්සේ මහාථේර පදවියට සුදුසුකම් ලබා ගත්හ. සිංහල බෞද්ධ සම්ප්‍රදාය කෙරෙහි උන්වහන්සේ වෙත වූයේ අචල විශ්වාසයකි. ඒ අනුව බුරුමයේ සිංහල සගපරපුරක් ස්ථාපිත කළ උන්වහන්සේට වුවමනා වූයේ සිංහල සංඝයා සහ බුරුම සංඝයා අතර ආසන්න සබඳතාවක් ඇති කිරීමයි. උන්වහන්සේ සැලකුවේ බුරුමයේ පැවැති ප්‍රව්‍රජ්‍යා ක්‍රමය විනයානුකූල එකක් නොවන බවයි. ඒ නිසා බුරුම සංඝයා සමග තමා අනුදත් විනයානුකූල සංඝකර්ම සංවිධානය කරන්නට උන්වහන්සේ කැමැති වූයේ නැත. උන්වහන්සේගේ අදහස වූයේ, උපසම්පදා භික්ෂූන් පංච වර්ගයකින් තොර මණ්ඩලයක් විසින් කැරෙන සංඝකර්මයක් තමාට අනුමත නොකළ හැකි බවයි. උන්වහන්සේ 1181 දී, ශ්‍රී‍්‍ර ලංකාවේ මහා විහාර වංශයේ භික්ෂූන් විසින් උපසම්පදාවේ පිහිටුවන ලද භික්‍ෂූන් සතර නමක සමග පේගන් නුවර වෙත පැමිණියේ එබැවිනි.

බෙංගාලයේ තමලිත්ති හෝ තම්ලූක්හි සීවලී, කාම්බෝජ රජුගේ පුත් තමලින්ද, දකුණූ ඉන්දියාවේ කාංචිපුර හෙවත් කොන්ජිවරම්හි ආනන්ද, ශ්‍රී ලංකාවේ රාහුල ආදී මහතෙරවරු චපත මහතෙරුන් සමඟ පැමිණයෝ වූහ. මේ පංච වග්ගය බුරුමයේ සිංහල සඟ පරපුරේ න්‍යෂ්ටිය වැනිය. ඔවුහු සම්මත සම්ප්‍රදායයේ උරුමක්කාරයෝ වූහ. ඒ අතර උත්තරජීව හිමියෝ අපවත්ව සිටියහ. සිය පැවිදි උපසම්පදාව ශ්‍රී ලංකාවේ මහා විහාර භික්‍ෂූන්ගෙන් ලබා සිටි හෙයින් චපත හිමියන් ප්‍රමුඛ භික්ෂූහු බුරුම හෝ පේගන් භික්ෂූන් සමඟ විනයානුකූල සංඝකර්ම සංවිධානය කරන්නට නොකැමැති වූහ. ඒ අනුව ඔවුහු වෙන ම ඒවා සංවිධානය කළහ.

පේගන්හි සිංහල මූල සඟ පරපුරකට මුල පිරුණේ එසේය. නරපතිසිථු රාජයාගේ අනුග්‍රාහකත්වය යටතේ ඉහත සඳහන් මහ තෙරවරු පස්දෙනා, සිංහල සංඝයාගෙන් පැවිදි උපසම්පදාව ලබා ගෙන තත් සඟ පරපුරට ඈදෙන්නට වුවමනාව සිටි බුරුම භික්ෂූන් විෂයයෙහි එකි පිළිවෙත අනුව පිළිපදින්නට කටයුතු යෙදූහ. මෙලෙසින් බොහෝ බුරුම භික්ෂූහු කෙමෙන් සිංහල සඟ පරපුරේ සාමාජිකයෝ බවට පත්වූහ. කල්‍යාණී ශිලාලේඛනයන්හි දැක්වෙන පරිදි පේගන්හි සිංහල සඟ පරපුරක් බිහි වුණේ ක්‍රි.ව. 1181 දීය.

කාලයාගේ ඇවෑමෙන් එකී සිංහල සගපරපුර නොයෙක් ශාඛාවනට බෙදී යන්නට වන. ඇතැම් විට සිංහල සඟ පරපුර අතර මතභේද පැන නැඟුණේ ආශ්‍රමික විනය සහ ඊට අමතරව පෞද්ගලික හේතු පදනම් කර ගෙනය. පස් මහ තෙරවරුන්ගෙන් එක් කෙනකු වූ රාහුල මහ තෙරණුවෝ නළගනකට පෙම් බැඳ ගිහි දිවියට එළඹෙන්නට නිගමනය කළාහු, සිය මිතුරන්ගේ උපදෙස් මත මලය දීපයට ගොස් සිවුරළු වූහ.

චපත මහ තෙරුන්ගේ අපවත් වීමෙන් පසු සීවලී, ආනන්ද, කමලින්ද තෙරවරු තිදෙනා පේගන්හි සිට ප්‍රශස්ත මට්ටමින් ආගමික කටයුතු සංවිධානය කර ගෙන ගියහ. එහෙත් වැඩි කල් නොගොස් ඔවුන් තිදෙනා අතර ද ආරාමික විනය විෂයයෙහි නොයෙක් මතභේද ඇති වන්නට පටන් ගත්තේය.මේ තෙරවරුන් තිදෙනා කෙරෙහි නරපතිසිථු රජු තුළ තිබුණේ දැඩි භක්තියකි. රජු විසින් එයට කෘතවේදීත්වය පළ කරන ලද්දේ තෙරවරුන් තිදෙනාට ඇතුන් තිදෙනකු පරිත්‍යාග කරමිනි. ඉක්බිති සීවලී සහ තමලින්ද තෙරවරු දෙදෙනා සිය සතුට පිණිස ඇතුන් දෙදෙනා වනයට මුදා හැරියහ. එහෙත් ආනන්ද හිමියෝ තමන්ගේ ඇතා වනයට මුදා හරිනු වෙනුවට දකුණු ඉන්දියාවේ කාංචිපුරම්හි ඥාතියකුට පරිත්‍යාග කළහ. ඉක්බිති අනෙක් තෙරවරු දෙදෙනා එය තරයේ විවේචනය කරමින් ආනන්ද හිමියන් කළේ ආශ්‍රමික විනයට පටහැනි වූවකී යි කියා සිටියහ. එහෙත් ආනන්ද හිමියෝ, බුදුන් වහන්සේ පවා ඥාති ජනයා කෙරෙහිත් කරුණාව අනුදැන වදාළ සේකැයි පවසමින් තමා කිසිත් වරදක් නොකළ බව කියා සිටියෝය. කෙසේ වෙතත් සීවලී හා තමලින්ද හිමිවරු ආනන්ද හිමියන් සමග විනය කර්මකරණය ප්‍රතික්ෂේප කර ඒවා තමන් වෙන ම සංවිධානය කළහ.

එහෙත් මතභේද සහ එයින් ඇති වුණු අර්බුද නිමාවක් දුටුවේ නැත. පසුව සීවලි හිමියන් සහ තමලින්ද හිමියන් අතර ද අර්බුද පැන නැගිණ. එසේ වූයේත් ආශ්‍රමික විනය සම්බන්ධයෙනි. තමලින්ද හිමියන් තමන්ගේ දැන උගත් සහ බුද්ධිමත් ශිෂ්‍යයනට ගිහියන් සඳහා පරිත්‍යාග අනුමත කර තිබිණ. එය ආශ්‍රමික විනයට පටහැනි වූවකි. එයට විරෝධය පෑ සීවලී හිමියෝ තමා වෙන්ව සිට විනය කර්ම සංවිධානය කළහ. මෙයින් සිදු වූයේ සීවලී හිමියන් සහ තමලින්ද හිමියන් අතර මත ගැටුමින් පේගන්හි සිංහල සඟ පරපුර දෙකඩව යෑමයි. මේ වකවානුවේ ඉහත සඳහන් සිදුවීම් අනුව ඉහළ බුරුමයේ පේගන්හි සිංහල සඟ පරපුර ශාඛා තුනකට බෙදී ගිය බව පෙනේ. කෙසේ ද යත්, සීවලී,  තමලින්ද සහ ආනන්ද මහ තෙරවරුන්ගේ් ශිෂ්‍ය පරම්පරා ලෙසිනි.

නරපතිසිථු රාජ්‍ය පාලන සමයේ දී ම පහළ බුරුමයේ දාලා (Dala) හිදී සිංහල සංඝ සම්ප්‍රදාය හඳුන්වා දෙනු ලැබිණ. එය සිදුකරන ලද්දේ දාලා පළාතේ රැන්ගුන් අසල පදිප්පජේය වැසියකු වූ සාරිපුත්ත නමැති තෙර කෙනෙකුගේ මෙහෙයවීම යටතේය. සාරිපුත්ත හිමියනට සිය පැවිද්ද ලැබී තිබුණේ පේගන්හිදී සිංහල භික්ෂුවක වන ආනන්ද මහ තෙරුන්ගෙනි. උන් වහන්සේට “ධම්මවිලාසථේර “ සම්මාන පදවිය පිරිනැමූ රජතුමා, සිය උපන් බිම වූ පහළ බුරුමයට ගොස් ආගමික සංශෝධනයක් කරන ලෙස ඉල්ලා සිටියේය. ඉක්බිති එහි ගිය ධම්මවිලාස තෙරණුවෝ “ සිහලපක්ඛභික්ඛුසංඝ “ නමින් සිංහල සංඝ පරපුරක් ආරම්භ කළහ.

කල්‍යාණි ශිලාලේඛනවලට අනුව, සාසනවංස බුද්ධවංස මහාථේර සහ වඩාත් ජනපි‍්‍රය මහානාග නමින් හඳුනා ගෙන ඇති මහාසාමි මහාථේර යන තෙරවරුන් දෙදෙනා පහළ බුරුමයේ මර්තබාන් සිට ශ්‍රී ලංකාවට පැමිණ සිංහල සඟ පරපුරේ භික්ෂූන් වෙතින් නැවත පැවිද්ද ලබා ගත්හ. ඉක්බිති ආපසු මර්තබාන් වෙත ගිය ඒ තෙරවරු දෙදෙනා එහි භික්ෂුන්ගෙන් වෙන්ව තමන් ද වෙන වෙන ම විනයානුකූල සංඝකර්ම සංවිධාන කළහ. එමඟින් ඒ දෙදෙනා විසින් මර්තබාන්හි සිංහල සඟ පරපුරට අයත් තවත් ශාඛා දෙකක් බිහි කරනු ලැබිණ. එයින් ඒ තෙරවරුන් දෙදෙනා අතර ද, ආශ්‍රමික විනය පිළිබඳ වත්පිළිවෙත් විෂයෙහි පරස්පරතා ඇති විය හැකිව තිබිණි.

මේ ශාඛා දෙකට අමතරව කලින් සඳහන් සීවලී, තමලින්ද සහ ආනන්ද හිමිවරුන්ගේ ශිෂ්‍යයන්ගෙන් සැදුම් ලත් සිංහල සඟ පරපුරේ ශාඛා තුනක් පේගන්හි වූ බව අමතක කළ නොහැකිය. එහෙත් මේ සිංහල සඟ පරපුර තුන මර්තබාන්හි පිහිටුවීම පිළිබද දින වකවානුවක් බුරුම මූලාශ්‍රයන්හි සඳහන් නොවේ. එසේ වුවත් ඒවාත්, නරපතිසිථුගේ අනුග්‍රාහකත්වයෙන් පිහිටැවූවා විය හැකිය. සිංහල සංඝයා අතර නොයෙක් වෙනස්කම් තිබුණත් උතුරු හා දකුණු බුරුමය තුළ ඒ කෙරෙහි ජනපි‍්‍රයත්වය රැක ගනු ලැබිණ. එය බුරුමයේ ආගම කෙරෙහි දැඩි බලපෑමක් කර ඇත. ක්‍රි.ව. පසළොස් වැනි සියවසේදී බුරුමය, ශ්‍රී ලංකාවේ සංඝයාගේ මඟ පෙන්වීම යටතේ ආගමික නව ජීවනයක් සහ සංඝයාගේ එක්සත්කරණයක් අත් දුටුවේය. එකල්හි බුරුමය තුළ සිංහල සංඝයාගේ වැදගත්කම ඉස්මතුව පෙනිණ. ඒ අතර අතිබහුතරයක් බුරුම භික්ෂූහු රාජකීය අනුග්‍රහය යටතේ සිංහල පැවිද්ද ලබා ගත්හ. මෙසේ සිංහල සංඝයාගේ අනුග්‍රහයෙන් බුරුමය ථේරවාදි බුදු දහමේ කේන්ද්‍රස්ථානයක් බවට තහවරු විය.

ශ්‍රී‍්‍ර ලංකාව සමග සතුටුදායක ආගමික සබඳතාවක් පවත්වා ගෙන ගිය අනෙක් වැදගත් රට සියම හෙවත් තායිලන්තයයි. උතුරු සියමේ ඉතිහාසය පදනම කර ලියන ලද ජිනකාලමාලි නමි පාලි ග්‍රන්ථය, ලෝතායි (ක්‍රි.ව. 1317 – 1347 ) නමින් හඳුන්වන ලද සුචෝදයේ ධම්මරාජගේ පාලන සමයේ (එහි) සිංහල සංඝයාගේ ප්‍රතිස්ථාපනය ගැන සදහන් කරයි. ධම්මරාජ හෙවත් ලෝතායි, රාම ඛම්හෙංගේ පුතාය. දහසය වැනි සියවසේ මුල් වකවානුවේ ජිනකාලිමාලි ලියනු ලැබ ඇත්තේ සිංහල සඟ පරපුරට අයත් භික්ෂුවක විසිනි. එයට අනුව උදුම්බර මහසාමි නම් ඒ විශිෂ්ට සිංහල මහතෙරුන් රාමඤ්ඤ රටට හෙවත් පහළ බුරුමයට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවෙනි. එසේම සිංහල මහ තෙරුන්ගෙන් (උදුම්බර මහසාමී) උපසම්පදා පැවිද්ද ලබා ගන්නට සහ උන්වහන්සේගේ මෙහෙයවීම යටතේ ධර්ම ග්‍රන්ථ හදාරන්නට සුඛෝදයෙන් රාමඤ්ඤ රටට පැමිණි සුමන නම සියම් භික්ෂුවක ගැනද අපට දැන ගන්නට ලැබී ඇත.

ඒ අතර සුඛෝදයේ පාලක ධම්මරාජ නරපති තෙමේ උදුම්බර මහාසාමි නම් වූ ඒ කීර්තිමත් සිංහල මහතෙරුන් ගැන අසා එහි භික්ෂූන් විෂයෙහි සියලු විනයානුකූල සංඝකර්ම සංවිධානය කරන්නට හැකි භික්ෂුවක එවන ලෙස ඉල්ලා සිටිමින් උන්වහන්සේ වෙත දුතයකු යැවීය. ඒ වකවානුවේ සිංහල භික්ෂූන්ගේ් දැනුම අග්නිදිග ආසියානු බෞද්ධ රටවල ව්‍යාප්තව පැවැති ආකාරය එයින් පැහැදිලිව පෙනෙනු ඇත.

එකල්හි සියම් රජ, ශ්‍රී ලංකාවේ සම්ප්‍රදාය අනුව සියම් බෞද්ධ භික්ෂූ පරපුරක් ස්ථාපනය කිරීමට සහ ප්‍රතිසංවිධානය කරන්නට සිංහල මහ තෙරුනගේ උදවු පතා සිටියේය. අන්තිමට සුඛෝදයේ රජු විසින් එවන ලද දූතයා උදුම්බර මහාසාමි මහ තෙරුන් මුණ ගැසුණේය. ඉක්බිති උදුම්බර මහාසාමීහු සුමන හිමියන් සුඛෝදයේ නරපති ධම්මරාජ වෙත යැවූහ. මෙසේ සුඛෝදය වෙත සුමන හිමියන්ගේ පැමිණීමෙන් සියම් දේශයට සිංහල සංඝයා හඳුන්වා දීමට මඟ පෑදිණ.

උදුම්බර මහා සාමි හිමිගේ කීර්තිය උතුරු සියමේ නබ්බිසිපුරයට ද පැතිර ගියේය. ඒ අතර නබ්බිසිපුර රාජයාවූ කිලණ රාමඤ්ඤ දේශයේ සිටි උදුම්බර මහාසාමි තෙරුන් වෙත දූතයකු යැවීය. එමගින් ආගමික වත්පිළිවෙත් මැනැවින් සංවිධානය කළ හැකි භික්ෂුවක නබ්බිසිපුරයට එවන ලෙස ඉල්ලා සිටින ලදී. රජුගේ ඉල්ලීමට එකඟ වූ මහාසාමි තෙරුන් විසින් සුමන හිමියෝ නබ්බිසිපුරයට යවනු ලැබූහ. ඉක්බිති සුමන හිමියෝ, කිලණ රජුගේ අනුග්‍රහය ඔස්සේ නබ්බිසිපුරයේ සිංහල සග පරපුරක් සංස්ථාපනය පිණිස මහාර්ඝ දායකත්වයක් සැපයූහ.

ක්‍රි.ව. 1423 දී පමණ කාම්බෝජ භික්ෂුන් අට දෙනෙකු සමඟ නබ්බිසිපුරයෙන් භික්ෂූන් විසිපස් දෙනකු ශ්‍රී ලංකාවට පැමිණි බව ජිනකාලිමාලි සඳහන් කරයි. ඔවුන් එසේ පැමිණියේ පැවිදි උපසම්පදාව ලබා ගැනීමට වන අතර, ශ්‍රී ලංකාවේදී ඔවුනට රාමඤ්ඤ දේශීය මොන් භික්ෂූහු සයදෙනෙක් ද එක් වූහ. ක්‍රි.ව. 15 වැනි සියවසේ දී මුල් අර්ධයෙහි නබ්බිසිපුර රජ වූයේ සැං ෆැං කෙං නමින් ද හැඳින්වුණු තිස්සරාජාය. ඔහු යකුන් පිදීය. වන ලැහැබ්, පර්වත, භූ®තයන්, ගවයන් හා මී හරකුන් ආදීනට පුද පූජා පැවැත්වීය. නබ්බිසිපුරයෙන් සියම් භික්ෂූන් ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවෙහි භික්ෂූන්ගෙන් උපදෙස් ලබාගෙන එවන් මිථ්‍යා ඇදහිලිවල නිමාවක් දැක, සිංහල සග පරපුරක් සංස්ථාගත කර සියමේ සිංහල පැවිදි උපසම්පදාව පිහිටුවීමට විය හැකිය. ඒ අනුව ක්‍රි.ව. 1424 දී ශ්‍රී ලංකාවේ කල්‍යාණියේ යාපාපට්ටනම්හි ශ්‍රී ලංකා මහ තෙරවරුන් විසි නමක ඉදිරිපිට තිස්නව දෙනෙකු පැවිදි කරනු ලැබූහ.

ඒ පැවිදිකරණයෙන් පසු සියල්ලෝ සිය මවුබිමට සැපත් වූහ. ඔවුන් විසින් පිවරන ලද සිංහල මහහතෙරවරුන් වන මහා වික්‍රමබාහු සහ මහෝත්තමපඤ්ඤා හිමිවරු ද සියම් දේශයට සැපත් වූහ.දකුණූ සියමේ අජෝයිහපුවා හෙවත් ඓතියා වෙත පැමිණීමෙන් පසු ඔවුහු, රජු සහ සද්ධම්ම කෝවිද හා සීලවිසුද්ධී යන හිමිවරුන් විසින් පිළිගනු ලැබූහ. ඒ හිමිවරුන් දෙදෙනා පැවිද්ද ලබා ගත්තේ මහා වික්‍රමබාහු හා මහෝත්තමපඤ්ඤා මහ තෙරුවරුන්ගෙනි. ඉක්බිති ඔවුහු උතුරු සියම පුරා සැරිසරමින් ශ්‍රී සචන්ලායි (ස්වර්ගලෝක), හරිපුඤ්ජය (ලම්පූන්) ඛේලංගනගර (ලම්පෑං), ජම්රායපුර (ශයිං සඑං), සුඛෝදය ආදී නගරවල සංචාරය කළහ. ඒ ගමනේදී ඔවුහු ස්වදේශිකයකු පැවිදි කරමින් උතුරු සියමේ සිංහල සඟ පරපුරකට මුල් ගල තැබූහ. ඉක්බිති නබ්බිසිපුර බොහෝ භික්ෂූහු තිස්සරාජයාගේ (ක්‍රි.ව. 1401 –1442) පාලන සමයේ උපසම්පදා පැවිද්ද ලැබුවාහු එහි සිංහල සඟ පරපුර ස්ථාපිත කළහ. තිස්සරාජගෙන් පසු ඔහුගේ පුත් තිලෝකරාජ (ක්‍රි.ව. 1442 – 1487 ) උතුරු සියමේ සිංහල සඟ පරපුරේ දියුණුව විෂයෙහි වැදගත් කාර්යභාරයක් සපුරාලීය.

සොළොස් වැනි සියවසේදී සිංහල සග පරපුර සියම තුළ සරුපල දරමින්, දියුණු වූයේය. සියම තුළ වැඩී ගිය ත්‍රිත්ව සඟ පරපුරක් ගැන ජිනකාලිමාලී, සඳහන් කරයි. එනම්, සිංහල සංඝ බහරවසීගණ, සහ පුප්ඵාරාමවසීගණ යනුයි. මේ සඟ ගණ තුන අතර සිංහල සඟ ගණය සියම තුළ විශිෂ්ටත්වයට පත් විය. ශාසනික විනය පිළිබඳ සියලු කටයුතුවලදී සිංහල සංඝයා ප්‍රමුඛත්ථානයක් ගත්තාහු මුල සිට අවසානය තෙක් සියලු කටයුතු සංවිධානය කළහ. අනෙක් දෙගණයේ භික්ෂූහු එහි මනා දායකත්වයක් සැපයූහ. 1518 දී නබ්බිසිපුර නරපති තෙමේ උදුම්බර මහසාමි තෙරුනට රාජකීය ගුරුවරයා යන අර්ථයෙන් රාජගුරු නම් සම්මානය පිරිනැමීය. එවක පාලන තිලෝකරාජ විසින් සිංහල සංඝ උදුම්බර සාමින් වෙත රාජගුරු පදවිය පිරිනැමීම දහසය වැනි සියවසේ සියම් දේශය තුළ සිංහල සංඝයාගේ වැදගත්කම ප්‍රකට කරන්නකි.

සිංහල බුදු දහම හා සිංහල භික්ෂුව හේතුවෙන් ශ්‍රී ලංකාව සමග කිට්ටු සබඳතා වෙත ඇදී ගිය තවත් රටවල් දෙකක් වූයේ කාම්බෝජය හා ලාඕසයයි. දොළොස් වැනි සියවසේ දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකාව හා කාම්බොජය අතර පැවැති සංස්කෘතික සබඳතා පිළිබඳ සාක්ෂි ඇත. එවක ථේරවාදි බුදුදහමේ කේන්ද්‍රීය උච්චස්ථානය බවට ශ්‍රී ලංකාව පත්වීම පිළිබඳ යශෝරාවය අග්නිදිග ආසියාවේ බෞද්ධ රටවල් පුරා පැතිර ගියේය. සිංහල බුදු දහම සහ සිංහල සංඝයා පිළිබඳ අවබෝධය පලදායක ලෙස ව්‍යාප්තව තිබිණ. සමකාලීන බෞද්ධ ලෝකය විසින් සිංහල භික්ෂූන් වහන්සේ මැනැවින් හඳුනා ගනු ලැබ සිටියහ.

එවක කාම්බෝජ කුමාරයකු වූ ශීන් තමලින්ද සිංහල සඟපරපුරේ මහතෙරුවරුන්ගේ හිතෛෂී මාර්ගෝපදේශය යටතේ සිංහල බුදු දහම හදාරන්නට ශ්‍රී ලංකාවට ආයේය.

පසළොස් වැනි සියවසේ පළමු අර්ධයේදී මහා ඥානසිද්ධි හිමියන්ගේ නායකත්වයෙන් භික්ෂූහු අටදෙනෙක්, සිංහල මහ තෙරවරුන්ගෙන් පැවිද්ද ලබා ගන්නට කාම්බෝජයේ සිට ශ්‍රී ලංකාවට ආහ.

ඉක්බිති ඔවුහු සිංහල මහතෙරවරුන්ගෙන් ධර්ම ග්‍රන්ථ හැදෑරුහ. අනතුරුව 1424 දි ශ්‍රී ලංකාවේ කල්‍යාණියේ නාගපට්ටනම්හිදි විසි දෙනෙකුගෙන් යුත් මහතෙරවරුන්ගේ සංඝ සභාවක් ඉදිරියේ පැවිදි කරනු ලැබූහ. කෙසේ වෙතත් ජිනකාලිමාලි ග්‍රන්ථය, ශ්‍රී ලංකාවේ සිට කාම්බෝජයට පැමිණීමෙන් පසු, කාම්බෝජියානු භික්ෂූන්ගේ ආගමික මෙහෙවර ගැන කිසිදු තොරතුරක් ඉදිරිපත් නොකරයි. මේ කාම්බෝජ භික්ෂූන් ශ්‍රී ලංකාවට පැමිණියේ, කාම්බෝජය තුළ සිංහල බුදුදහම සහ සිංහල භික්ෂූන්ගේ සංස්ථාපනය පිණිස සිංහල සංඝයාගෙන් අනුග්‍රහය සහ මාර්ගෝපදේශ ලබා ගැනීමට විය හැකිය. බුදු දහම සහ සිංහල සංඝයා පිළිබද මේ ශ්‍රී ලාංකික ආකෘතිය හෝ සම්ප්‍රදාය අද දක්වාත් කාම්බෝජය තුළ ඉදිරියට යමින් සිටී.

1353 දී ලාඕසය තුළ සිංහල බුදු දහම සහ සිංහල සංඝයාගේ ප්‍රගතිය පිණිස කාම්බෝජය විශිෂ්ට මෙහෙවරක් ඉටු කළේය. එයට අවස්ථාව උදා වූයේ කාම්බෝජයේ රජව සිටි ජයවර්මන් පරමේශ්වරගේ බෑනා වූ ෆා-න්ගුම් විසින් ලාඕසයේ ලෑං චෑං රාජධානිය පිහිටැවූ කල්හිය. ලෑං චෑංහි නිදහස් රාජධානිය පිහිටුවීම මගින් ලාඕසයේ බුදු දහමේ ඉතිහාසයට නව යුගයක් උදා වූයේය.

ජයවර්මන් පරමේශ්වරගේ දියණියගේ එනම් ෆාං න්ගුම්ගේ බිරිඳ ගේ උත්සාහය නිසා ලාඕසියයන් සිංහල බුදු දහමට හැරුණු බව එල්.පී . පි‍්‍රග්ස් සඳහන් කරයි. ක්‍රි.ව. 1602 දී පිහිටුවන ලද ‘වත් කී ‘  (Wat kee) ශිලා ලේඛනයෙන් කියවෙන්නේ ඒ වන විට ලෑං චෑං රාජධානිය තුළ බුදු දහම සැහෙන තරමින් හඳුනා ගෙන නොතිබුණු බවයි. ඉක්බිති ලාඕස් රාජයාගේ (ෆා - න්ගුම්) ඉල්ලීම පිට භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික නියෝජිත පිරිසක් කාම්බෝජයෙන් ලාඕසයට ළඟා වූහ.

කාම්බෝජයේ සිට එසේ ලාඕසයට පැමිණි මහතෙරුවරුන් තිදෙනකු ගැන ‘ වත් කී ‘ ශිලා ලේඛනය සඳහන් කරයි. එනම්, වැඩිමහලු සහෝදර මහදේව ලංකා කාඕ, බාල සහෝදර ප්‍රා මහාදේව ලංකා කාඕ සහ මහා නන්දිපඤ්ඤ කාඕ ය. මේ සියලු දෙනා වහන්සේ ශ්‍රී ලංකාවේ සිට කාම්බෝජයට පැමිණ සිටියාහුය.

විය හැකි පරිදි මහතෙරවරු කාම්බෝජයේ සිංහල බුදු දහම සහ සිංහල සංඝයාගේ ප්‍රගතිය හා ජනප්‍රසාදය විෂයෙහි වැදගත් කාර්යභාරයක් ඉටු කළහ. ඒ සමඟම ඔවුහු ලාඕසය තුළ ද බුදු දහම හා සිංහල සංඝයා පිළිබඳ මෙවන් ආකෘතියක් හඳුන්වා දීමෙහිලා විශිෂ්ට දායකත්වයක් සපයාලූහ.

(Mahabodhi Centenary Commemorative Volume – SAMBHASHA

සඟරාවේ පළ කරන ලද ආචාර්ය කනායි ලාල් හස්රාගේ The Introduction and Development of the Sinhala Sangaha නිබන්ධනයේ පරිවර්තනයකි)


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.