Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආර්ය අෂ්ටාංගික මාර්ගය ‘මජ්ඣිම පටිපදා’ නමින් හඳුන්වයි. එය මධ්‍යම මාර්ගයක් වන්නේ අන්ත දෙකක් බැහැරලා අන්තයන් ඉක්මවා සිටින බැවිනි. පැහැදිලි කරන්න.

පිළිතුර - අධික කාමභෝගී ජීවිතයක් සඳහා පියමං තබන ‘ කාමසුඛල්ලිකානු යෝගය ‘ එක් අන්තයකි. එය බැහැරලිය යුත්තේ ග්‍රාම්‍ය වූ හීන වූ පිළිවෙතක් නිසාත් පෘථග්ජනයිනට සුදුසු වුවත් අනාර්ය මෙන්ම එයින් අනර්ථයක්ම (අනත්ථසංහිතා) සිදුවන නිසාය. අනික් අන්තය අත්තඛිලමතානුයෝගය නම් වූ දුක් අනුභවයයි. සිරුර තැවීමයි. එය දුක් සහිත මෙන්ම අනාර්යද අනර්ථකාරීද වෙයි. මෙසේ අන්ත දුරලීම ආර්ය මාර්ගයෙහි සෑම අංගයක් කෙරෙහිම දක්නා පොදු ලක්ෂණයකි.

ප්‍රශ්නය - ප්‍රතීත්‍ය සමුද්පාද ධර්මතාවයට (ගැටලුවත් ඊට හේතුවත් විසඳුම් මගත්) යටත් වූ මිනිසාට විවරණය කළහැකි වන්නේ එම ධර්මතාවයට හසුවන දේ පමණි. එම ධර්මතාව තුළ ව්‍යාප්තව ඇති මූලික ලක්ෂණය ‘දුක’ නම් (සංඛිත්තෙන පාචුප්පාදානං දුක්ඛා) (දුඞඛෙලොකෙ පතිට්ඨිතො) මිනිසාට අවශ්‍යවන්නේ එම දුක දුක නැතිකිරීම හා නැතිකිරීමේ මගයි. මෙම සංකල්පනාව පැහැදිලි කරන්න.

පිළිතුර - ම.නි. අරියපරියෙසන සූත්‍රාගත තොරතුරු අනුව මිනිසාගේ වර්තමානය (ජාති ජරා මරණ) නොසතුටු දායක බව පවත්නා නිසා සතුටුදායක තත්ත්වයක් ලබාගත යුතුය. එහෙයින් පරම සැපය අරමුණු වෙයි. (පරමං සුඛං) උපත දුක් දෙන්නක් නිසා නො ඉපදීම ප්‍රාර්ථනය වෙයි. (අජාතං) දිරායාම අසතුටට කරුණක් නිසා දිරා නොයාම බලාපොරොත්තු වෙයි. (අජරං) ව්‍යාධිය කරදරයක් නිසා අව්‍යාධිය එකම බලාපොරොත්තුව වෙයි. (අව්‍යාධං) මරණය අකමැති නිසා නොමැරීම කැමැත්ත වෙයි. (අමතං) ශෝකයෙහි ආදීනව දැනෙන නිසා සෝක නැතිබව සෙවීම වෙයි. කෙළෙස් සහිතව සිටීම නුසුදුසු නිසා නිකෙලෙස්වීම විය යුතු සුදුසුකමයි. (අසංකිලිට්ඨං) බැඳීසිටීම නොමනා නිසා නොබැඳීම ඉලක්කයයි. (යොගක්ඛෙමං) මේ සියල්ල එක්වචනයකින් (නිබ්බාණං) නිවනයි. මේ සඳහා කෙරෙන උත්තම සෙවීම ‘අරියපරියේසනයයි’ එයම දුක්ඛ නිරෝධය වේ.

ප්‍රශ්නය- බුද්ධ දේශනාවට අනුව ගිහි සාමිචි පටිපදා යනුවෙන් සඳහන් වන්නේ කුමක්ද? එය දේශනා කොට වදාළ අවස්ථාව පැහැදිලි කරන්න.

පිළිතුර- අනේපිඬු ගෘහපතිතුමාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ගැහැවියෙනි! මෙලොව ආර්ය ශ්‍රාවකයෙක් (ගහපති අරියසාවකො) පිණ්ඩපාත සෙනාසන - ගිලාන ප්‍රත්‍ය බෙහෙත් පිරිකර - භික්ෂු සංඝයා වෙත පුදනට එළඹ සිටියේ වෙයි. ගෘහපතිය මෙම සතර කරුණින් පිරිපුන් ආර්ය ශ්‍රාවක වෙත යසස් ගෙනදෙන (යසො පටිලාභිනං) ස්වර්ග සම්පත් ලැබීමට සුදුසු වෙයි. ඔවුනට දිවා රෑ දෙකෙහි පින් වැඩෙයි. අං.නි. චතුක්ක නිපාත ගිහි පටිපදා සූත්‍ර)

ප්‍රශ්නය - (අංනි. සබ්‍රහ්ම සූත්‍ර) මහණෙනි, මවුපියනට පුබ්බාචරිය (පූර්වචාර්ය) පුබ්බදේව (පූර්වදෙව) ආහුනෙය්‍ය (පූජනීය) යන විශේෂ වශයෙන් හඳුන්වන නාමයන් වෙයි. බුදු සමයට අනුව දෙමව්පියන් සුවිශේෂ නාමයන්ගෙන් විවරණය කොට ඇති නාමයන් අර්ථවත් වන අයුරු පැහැදිලි කරන්න.

පිළිතුර - ‘බ්‍රහ්මාති භික්ඛවෙ මාතා පිතුන්නං’ මවුපියනට බ්‍රහ්ම යන නමෙකි. බ්‍රහ්ම යන්න බුද්ධ කාලීන යුගයේ ශ්‍රේෂ්ඨ උතුම් යන අර්ථයෙන් යෙදී ඇත. ‘මහණෙනි, යම් දරු කෙනෙකුන් විසින් දෙමව්පියන් ගෘහයෙහිදී පුදනු ලබන්නේ්ද ඒ කුලයෝ (පවුල) බ්‍රහ්ම සහිතයහ. (සබ්‍රහ්මකාති භික්ඛවෙතානිකුලානි) යම් දරු කෙනෙකුන් විසින් මවුපියෝ ගෙහිදී පුදනු ලබන්නේ ද ඒ කුලය ‘පුබ්බාචරිය’ (පූර්වාචාර්ය) සහිතයහ.

යම් ගෘහයක පූජිත මවුපියන් වෙසේද එතැන පුබ්බදේවතා (පූර්වදේවතා) සහිතයහ. යම් දරු කෙනෙක් මව්පියන් ගෘහයෙහිදී පුදනු ලැබේද එතැන ආහුනෙය්‍ය සහිතය හ.

මහණෙනි, මවුපියෝ දරුවනට බොහෝ උපකාර ඇතිය හ. හදනුවහ. වඩනුවහ. මෙලොව දක්වනුවහ. (බහුකාරා භික්ඛවෙ මාතා පිතරො පුත්තාහං ආපාදකා - පොසකා - ඉමස්ස ලෝකස්ස දස්සෙකාරොති)

ප්‍රශ්නය - අසූමහා ශ්‍රාවකයන් වහන්සේ අතරෙත් බහුශ්‍රැත ශ්‍රාවකයන් අතරෙත් ප්‍රධානස්ථානය සේම. සිහිකල්පනා ඇත්තවුන් අතරින්ද වහා අවබෝධකර ගැනීමේ ශක්තියෙන් ද දිරිමත් ශ්‍රාවකයන් අතරෙන්ද ප්‍රධානස්ථානය ගත් ශ්‍රාවකයන් වහන්සේ කවුද?

පිළිතුර - අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන් වහන්සේ

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය විස්තර කරමින් ‘බුත්සරණ’ රචනා කළ ග්‍රන්ථ කතුවරයා කවුද?

පිළිතුර - විද්‍යාචක්‍රවර්ති පඬිවරයා බුත්සරණ කතුවරයායි.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය දම්සක් පැවතුම් සූත‍්‍රයෙහි ඇතුලත් වී ඇත. එම ධර්මය විදහා දැක්වෙන සංකේතය කුමක් ද?

පිළිතුර - ධර්ම චක්‍රය

ප්‍රශ්නය - මෙකුමරු පළමු කෙස්වැටිය කපන කෙණෙහිම සෝවාන් විය. දෙවන වැටිය කපන කෙණෙහි සකදාගාමි විය. අනතුරුව අනාගාමි විය. කෙස් බා අවසන්වත්ම රහත් විය. උන්වහන්සේ පැවිදි වූ දින පටන් මහසඟනට කැමැති තාක් සිවුපසය ලැබුණි. මේ කුමරු පැවිදි වූ පසු නම කුමක්ද? ශ්‍රාවකයාණන් වහන්සේ අතරෙන් මුන්වහන්සේ ලැබූ අගතනතුර කුමක්ද?

පිළිතුර - දෙව්රම් වෙහෙර වැඩසිටි බුදුරජාණන් වහන්සේ ධර්ම සභා මණ්ඩපයෙහිදී ‘මහණෙනි! මාගේ ශාසනයෙහි ප්‍රත්‍යලාභීනි අතරෙන් සීවලී තෙරණුවෝ අග්‍රයහයයි. අග්‍රස්ථානයෙහි තබා වදාළ සේක.

ප්‍රශ්නය - බුදුසමය ශ්‍රී ලංකාද්වීපයට සැපැත් වුන මුල් අවදියෙහිදී ථෙරවාදයේ කේන්ද්‍රස්ථානය වූයේ අනුරාධපුර මහා විහාරයයි. පසුව ඇතිවූ දේශපාලනික හා ශාසනික මතවාදී නිසා ඇතිවූ සිදුවීම් හේතුකොටගෙන රුහුණේ කේන්ද්‍ර ස්ථානය වූයේ කුමන ස්ථානයක් ද?

පිළිතුර - තිස්ස මහා විහාරයයි. රුහුණේ ශාසනික සේවය තිස්ස මහා විහාරය කේන්ද්‍රකොටගෙන සිදුවිය.

ප්‍රශ්නය - බුද්ධ කාලීන එක්තරා ආගමික කණ්ඩායමක නායකයෙකු මෙසේ කියයි. ‘රහත් ගුණ මා කෙරෙහි පිහිටියේ ය. නයින් දමනය කරන්නා වූ සෘද්ධි භවත් ගෞතමයන් කෙරෙහි පිහිටියේ ය. මෙම ප්‍රකාශය කවුරුන් විසින් කුමන අවස්ථාවකදී ප්‍රකාශ කරන ලද්දක් ද?

පිළිතුර - සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ උරුවෙල කාශ්‍යපයන්ගේ අසපුවට වැඩමකර ගිනිහල් ගෙයි වූ විෂඝෝර නාගරාජයා විෂ නැතිකොට පාත්‍රයෙහි විෂඝෝර නාග රාජයා විෂ නැතිකොට පාත්‍රයෙහි දරණලා හොවා දමනය කොට උරුවෙල කාශ්‍යපට පෙන් වූහ. එදවස ඒ ප්‍රාතිහාර්යයෝ දැක ඉහත සඳහන් ප්‍රකාශය උරුවෙල කාශ්‍යපයන් විසින් කරන ලදී.

ප්‍රශ්නය - සත්ත්වයාගේ ප්‍රකෘති සිත ප්‍රභාස්වර වස්තුවකි. එනිසා තථාගතයන් වහන්සේ පභස්සර මිදං - භික්ඛවෙ චිත්තං තංච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං වදාළහ. මහණෙනි! සත්ත්වයාගේ ප්‍රකෘති සිත ප්‍රභාස්වරය (සැදැහැවත්ය) සිත කෙලෙසෙන්නේ බාහිර ක්ලේෂයන් නිසා කිලිටු වේ. මෙම ආගන්තුක උපක්කිලේශ මොනවාද?

පිළිතුර - ප්‍රභාස්වර සිත කිලිටි වන්නාවූ උපක්ලේශ ක්‍රෝධය, උපනාහය, මක්ඛ- පලාස- ඉස්සා මච්ඡරිය - මායා- සාඨෙය්‍ය ආදී කෙලෙස්මල කම්මාරො රජතස්සෙව - නිද්ධමෙ මලමත්තනො’ රන්කරුවා ගිනියම් කරමින් රන්රිදී ලෝහයෙහි මල හරින්නාක් මෙන් සිත් බැඳී කෙලෙස් මල ඉවත්කළ යුතුයයි බුදුහු වදාළහ.

ප්‍රශ්නය - දස සංයෝජන වලින් ‘සක්කාය දිට්ඨි’ පදය එකකි පැහැදිලි කරන්න.

පිළිතුර - පුද්ගල සත්ව යනු, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, යන ස්කන්ධ පංචකයයි. මෙම ස්කන්ධ යන් නිතර වෙනස්වන සුලු යන අර්ථයෙන් අනිත්‍යය. අනිත්‍ය වූ යමක සුවදායක පැවැත්මක් නැත. එය දුකකි. දුක් දනවන යමක් මමායනයෙන් (මගේ හැඟීමෙන්) ගැනීම සසරට බැසීමකි. සක්කාය දිට්ඨිය සංයෝජනයක් වන්නේ ඒ නිසයි.

ප්‍රශ්නය - ආත්මාර්ථය හා පරාර්ථය හැඳින ගැනීමට ද දෙලොව අභිවෘද්ධිය සඳහා ද අවකාශ නොදී ආවරණය කරන නිසාම ක්ලේශ ධර්ම පසක් නීවරණ වශයෙන් පෙල දහමෙහි හැඳින්වෙයි. නීවරණ ධර්ම නාමික වශයෙන් සඳහන් කරන්න.

පිළිතුර -
1. කාමච්ඡන්ද නීවරණ පස්කම් සැප කෙරෙහි ඇතිකරගන්නා රාගය ලොල්බව
2. ව්‍යාපාද නීවරණය (කුද්ධොඅත්ථං නජානාති) ව්‍යාපාදයෙන් පීඩිත මනසක් ඇත්තා යහපත නොදනී (කුද්ධො ධම්මං නපස්සතී)
3. ථීන මිද්ධ නීවරණය. සිත්හි උදාසීන බව හා පසුබැසීමය.
4. උද්ධච්චකුක්කුච්ච නීවරණය - සිතෙහි හටගන්නා නොසන්සුන් බව සිතෙහි හට ගන්නා නොසන්සුන්බව විසිරුනු ස්වභාවය උද්ධච්චයයි.
5. විචිකිච්ඡා නීවරණය - බුද්ධාදී අටතැන්හි ඇතිවන සැකයයි. මෙම නීවරණය ප්‍රඥාව දුබල කරයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.