අට ලෝ දහමෙන්
කම්පා නොවීම
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලේවෙල, පුවක්පිටිය ශ්‍රී බෝධිරාජාරාමයේ
ගලගෙදර රතනවංස හිමි
අද සමාජය තුළ දැකිය හැකි ලක්ෂණයක් ලෙස සුළු දෙයකට පවා කම්පා වීමේ
ස්වභාව පෙන්වා දිය හැකිය. බුදු රජාණන් වහන්සේ අපට අභියෝග බාධක ජය ගෙන
ජීවිතයක් පිළිවෙළට ඔපවත් කර ගන්නා ආකාරය ධර්මය තුළින් උගන්වා ඇත. ඒ
අනුව එම අභියෝග පැමිණෙන විටදී එයට නොසැලී මුහුණ දී ජීවිතය ඉදිරියට ගෙන
යන ආකාරය පිළිබඳ මෙම මාතෘකාවෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.
ඒ සඳහා ත්‍රිපිටකය තුළ ඇති වැදගත්ම සූත්‍ර 2 ක් ලෙස අංගුත්තර නිකායේ
පඨම පණ්ණාසකයට අයත් පඨම ලෝක ධම්ම හා දුතිය ලෝක ධම්ම සූත්‍රයන් දෙක
පෙන්වා දීමට පුළුවන. ඒ අනුව ලොව ජීවත් වන සියලු සත්වයනට පොදුවේ බලපාන
අෂ්ඨලෝක ධර්මය ගැන කරුණු අනාවරණය වේ. බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ
ප්‍රමුඛ කොටගත් ඕනෑම තරාතිරමක ජීවත් වන කෙනකුට වුවද මෙම අෂ්ඨලෝක ධර්මය
පොදුවේ බලපාන බව සනාථ වේ.
පඨම ලෝක ධම්ම සූත්‍රය තුළින් අටලෝ දහම පිළිබඳ පැහැදිලි විවරණයක් කර
තිබේ. එම ධර්මතා සියල්ල අනිත්‍ය ස්වභාවයෙන් යුක්තය.
ලාභෝ අලාභෝ අයසෝ යසෝච
නින්දා පසංසා ච සුඛංච දුක්ඛං,
ඒතෙ අනිච්චා මනුජේසු ධම්මා
අසස්සතා විපරිනාම ධම්මා
ලාභය, අලාභය, අයසය, යසය, නින්දාය, ප්‍රශංසාය, සුඛය, දුක්ඛය යන මේ
ධර්මයෝ සත්වයන් කෙරෙහි පෙරැළෙන ස්වභාවයෙන් යුක්තය. මෙම ධර්ම අට හරියටම
චක්‍රයක් මෙන් ලෝක සත්වයා වෙත සුබ, අසුබ දෙඅංශයෙන්ම විපාක දෙන්නේය.
එයින් පැන යෑමට කිසිවකුටත් පුළුවන්කමක් නැත. ලාභයක් ලැබෙන තැන අලාභය ද
ඇත. ඒ ආකාරයෙන් සැප ළඟ දුකද, යසස ළඟ අයස ද ප්‍රශංසාව ළඟ නින්දාව ද
පවතී. එසේ වුවද සමහර අයට මෙහි යථාර්ථය අවබෝධ කර ගැනීමට අපහසුවීම හේතු
කොටගෙන සිත කම්පාවට පත් කරගෙන නොයෙක් ප්‍රශ්න, ගැටලු ඇති කරගන්නවා
පමණක් නොව ජීවිතය ද අහිමි කර ගන්නා අවස්ථා නැතිවාම නොවේ.
ඒතේ ච ඤත්වා සතිමා සුමේධො
අවෙක්ඛති විපරිනාම ධම්මේ
ඉට්ඨස්ස ධම්මා න මථෙන්ති චිත්තං
අනිට්ඨතො නො පටිඝාතමෙති
සිහි නුවණින් යුක්ත පණ්ඩිත තෙමේ වෙනසට බඳුන් වන මෙම අටලෝ දහම ගැන
නුවණින් දැක, එතුළින් කම්පාවට පත් නොවේ. එම දහම් තුළින් පණ්ඩිතයාගේ සිත
නොකැළැඹෙන අතර ඒ කෙරෙහි ඇලීමට ද ගැටීමට ද පත් නොවේ.
සියලු දෙනාටම මෙම ගුණය, එනම් අටලෝ දහමෙහි කම්පා නොවී සිටීමේ හැකියාව
ඇතිකර ගැනීම අපහසු කාර්යයකි. බොහෝ දෙනා එතුළින් කම්පාවට පත් වේ. එයයි
නියම ස්වභාවය වන්නේ. මොහොතකට, පසුගිය කාල වකවානුවල අප රටේ සිදුවු විපත්
සිහියට නඟා ගනිමු. ගංවතුර නිසා කෝටිපතියන්, ලක්ෂපතියන් මොහොතකින්
සිඟන්නන් බවට පත්විය. සුනාමිය තුළින් ද එලෙසම සිදු විය. තවද සුළි සුළං,
මහ වැසි, නියය ආදී ස්වභාවික විපත් නිසා බොහෝ ධනවත්තු අලාභ ලබති. සැප
ලැබූ අය දුක් වෙති. සිනා නඟන අය කදුළු සලති. එක වේලාවක කීර්ති ප්‍රශංසා
ලබන අය තව මොහොතක අපහාස, අපකීර්ති ලබති. මේ ආදි වශයෙන් මේ දහම් අට
චක්‍රියව ලෝක සත්වයා වෙත ළඟා වනු ඇත. අද බොහෝ දුරට මිනිසුන් සිතන්නේ
සැපය, ලාභය, කීර්තිය ලබන ආකාරය ගැන පමණකි. සැපය ළඟ දුකත්, ලාභය ළඟ
අලාභයත්, කීර්තිය ළඟ අපකීර්තියත් පවතින බව සිතන්නේ සීමිත පිරිසකි.
සැපක් ලැබුණ තැන එයින් උදම් වී එය තමයි ජීවිතය කියා සිතන්නට වැඩි
දෙනෙක් පුරුදු වී සිටිති. ඒවා ලැබෙනවාත් සමඟම එහි අනෙක් පැත්තත්
ලැබෙන්නට හැකියාව ඇති බව සිතන්නේ පණ්ඩිතයන්ය. කන්දක් නැග්ගොත් පල්ලමක්
ද ඇත කියා ව්‍යවහාරයෙහි කියමනක් තිබේ.
තස්සානුරොධා අථවා විරොධා
විධුපිතා අත්ථගතා න සන්ති
පදඤ්ච ඤත්වා විරජං අසෝකං
සම්මප්පජානානි භවස්ස පාරගූති
පණ්ඩිතයාගේ සිතෙහි කිසිම මොහොතක අටලෝ දම් කෙරෙහි විරෝධයක් නූපදී. ඔහු
නිවැරැදි ලෙස එහි ඇති ස්වභාව දැකීමට සමර්ථ වේ. කෙලෙස් නැති කොට, ශෝක
නැති කොට නිර්වාණාවබෝධය කරා යෑමට ඔහු උත්සාහ කරයි. මේ ආකාරයෙන් බලන කල
අටලෝ දහම ලෝක ධර්මතාවක් බවත් අප කැමැති වුවද අකැමැති වුවද එයට මුහුණ
දීමට සිදුවන බවත් පැහැදිලිය. එම දහම් අට බුදුරජාණන් වහන්සේ උදෙසා ද
නොයෙක් අයුරින් බලපෑ ආකාරය බුද්ධ චරිතය අධ්‍යයනය කිරීමෙන් දැන ගත
හැකිය. වේරංජාවේ වස් විසීම, චිංචි මානවිකාව බුදු රදුනට අභූත චෝදනා
නඟමින් කුසෙහි දර මිටියක් බැඳගෙන ඒම, තීර්ථකයන්ගේ නොමනා හැසිරීම,
දේවදත්ත තෙරුන්ගේ තර්ජන, ගර්ජන හා තාඩන, පීඩන ආදීි නොයෙක් දේ තුළින්
බුදු හිමිට ද අටලෝ දහමට මුහුණ දීමට සිදු විය.
නමුදු කිසිදු තැනකදී බුදු රදුන් කම්පා වූ බවක් හෝ උදම් වූ බවක් හෝ
දක්නට නොලැබේ. එය මුළු බුද්ධ චරිතය පුරාම දැකිය හැකි සුවිශේෂි කරුණකි.
එය මහ රහතුන් ඇතුළු ආර්ය ශ්‍රාවකයන් තුළ ද දක්නට ලැබේ.
අටලෝ දහමෙහි කම්පා නොවී සිටීමට හැකිනම් ඔහු බුද්ධිමතෙකි, පණ්ඩිතයෙකි.
ඔහුට අටලෝ දහම ජීවිතයට සවියක් මිස බාධකයක් නොවනු ඇත. කම්පා නොවී
ජීවිතයක් ජයගත හැක්කේ කෙසේද? අපට මුහුණ දීමට සිදුවන්නේ අටලෝ දහමටය. ඉන්
එහා කිසිවක් නැත. බුදු රජාණන් වහන්සේ ජීවිතයට හසුවන සියලු දේම (සුබ
අසුබ දෙඅංශයම) සම්පිණ්ඩනය කොට අටලෝ දහම තුළින් දක්වා ඇත. අපට එම
දෙඅංශයටම මුහුණ දීමට සිදු වේ. එක පැත්තක් පමණක් නොසිතිය යුතුය. අටලෝ
දහමට සමානව මුහුණ දී, දෙපැත්තෙන් එක් පැත්තක හෝ අන්තයට නොවැටී සමබරව
සිටිය යුතුය.
කොපමණ ගල් බොරළු තිබුණත් අතර මඟ
යායුතු තැනට යනවාමයි ගලන ගඟ
ඒ ආකාරයෙන් ජීවිතයට එළැඹෙන සියලු ප්‍රශ්න, ගැටලු, බාධක, දුක් කම්කටොලු
ඉවසීමෙන් යුක්තව ජය ගත යුතුය. ඉවසීමෙන් සැනසීම ලැබේ යන්න තුළද විශාල
අර්ථයක් ගැබ් වී ඇත.
ජීවිත අතහැර යෑම හෝ ජීවිතයෙන් පලා යෑම නියම බුද්ධිමත් පුද්ගලයකුගේ
ස්වභාව නොවේ. එය බාල, මෝඩ පුද්ගලයන්ගේ ස්වභාවයයි. බුද්ධිමතාගේ,
පණ්ඩිතයාගේ ස්වභාව වන්නේ අටලෝ දහමට සමබරව මුහුණ දී ජීවිතය ජය ගැනීමය.
“මා නිවත්ත අභික්කම” නොනැවතී ඉදිරියටම යන්න. ඒ බුදු වදන ද සිත් දරාගෙන
ජීවිතය ජය ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු. |