Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අත් නොහැර එන කර්මය බුදුරජාණන් වහන්සේ

ලොව පහළ වන සමය වන විටද කර්ම සංකල්පය පිළිබඳව අදහස් මිනිසුන් තුළ පැවතුණි. ඒ බැව් සනාථ කෙරෙන එක් සාධකයක් පමණක් මෙහිලා දක්වනු කැමැත්තෙමි. මිනිසා තම ජීවිතය හා බැඳුණු කටයුතු වලදී තමාට ගැටලු සහිතයැයි හැඟුණු හැම විටකම, ඊට හේතු සොයා බැලීය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් බිහි වූ මත කීපයක්ම දක්නට ලැබුණි සමහරුන්ගේ පිළිගැනීම වූයේ සියල්ල සිදුවන්නේ පෙර කරන ලද කර්මයට අනුව බවයි. මේ මතය ‘පුබ්බේ කත හේතු වාදය’ ලෙස හැඳින්වේ. මෙය නොපිළිගත් ඇතැමුන් හොඳ හෝ නරක කියා දෙයක් නොමැති බවත්, එනිසාම එහි ප්‍රතිඵල ද නොමැති බවත් පැවසූහ. කෙසේ හෝ ජීවත්වීම ඔවුන්ගේ එකම අභිලාෂය විය. ‘අහේතු අප්පච්චය වාදය’ ලෙස මේ මතය බෞද්ධ පොත් පත් වල සඳහන් වේ. මේ අතර කර්මය ගැන සඳහනක් නොකර, ජීවී අජීවී සියල්ල සර්වබලධාරී උත්තමයෙකුගේ මැවීමක් යැයි පිළිගත් පිරිසක් ද වූහ. ඔවුනට අනුව පුද්ගලයාට තමා පිළිබඳව කිසිදු තීන්දු තීරණයක් ගැනීමට නුපුළුවන. තීරකයා වන්නේ මැවුම්කරුවාය. මේ මතය ‘ඉස්සර නිම්මාන වාදය’ යනුවෙන් හැඳින්වේ. මොවුනතුරෙන් පළමු පිරිස පැහැදිලිවම කර්මය පිළිබඳව විශ්වාසය තැබීමෙන්, පූර්ව බෞද්ධ යුගයේ දී පවා කර්ම සංකල්පය පිළිබඳව මිනිසාතුළ විශ්වාසයක් තිබුණු බැව් පෙනෙයි. සත්‍යය හා යථාර්ථය සොයා ගත නොහැකිව මිථ්‍යා මත වල පටලැවී මිනිසා ජීවත් වූ යුගයක, කර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ මතය බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.

කර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවන්හි කරන ලද ඉගැන්වීම් රාශියක් අපට හමුවේ. බොහෝ දෙනෙකුට හුරු පුරුදු හැඳින්වීම නම් ‘චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි’ යන පාඨයයි. බොහෝ දෙනාගේ පිළිගැනීම නම්, කර්මය යනු ක්‍රියාවක් බවයි. එහෙත් බුදු දහම එය අනුමත නොකරයි. දහමට අනුව කර්මය නම් ක්‍රියාව නොව, යම් ක්‍රියාවක් කිරීමේදී ඇති වන සිතිවිල්ල කර්මයයි. ජාති ආගම් රට ආදී කිසිදු භේදයකින් තොරව අප හැම දෙනාම ජීවත් වන කාලය තුළ සිදු කරනු ලබන්නේ ක්‍රියා තුනකි.

එනම් සිතින් සිතීම, කට මෙහෙයවා කතා කිරීම හා අතපය ඇතුළු ශරීරාංග මෙහෙයවීමෙන් යමක් කිරීමයි. මීට අමතරව යමක් කළ කෙනෙකු සිටිය නොහැක. සිත, කය හා වචනය යන ආයතන තුන මුල් කරගෙන මිනිසා සිදු කරනු ලබන ක්‍රියාවන් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කොටස් දෙකකට ඇතුළත් කළහ. ඒ සචේතනික ක්‍රියා හා අචේතනික ක්‍රියා වශයෙනි. ආශ්වාස හා ප්‍රශ්වාස කිරීම මෙන්ම ඇසිපිය හෙලීම වැනි නිරන්තරයෙන් සිදුවන ක්‍රියාවන් කීපයක් තිබේ. ඒවා අචේතනිකව සිදුවේ. දෛනිකව සිදු කරනු ලබන කටයුතු වලදීද ඇතැම් විට, අචේතනිකව සිදුවන ක්‍රියාවන් ඇත. ගමනක් යන විට පයට පෑගී කුහුඹුවන් වැනි සතුන් මරණයට පත්විය හැක. කුඹුරු කොටන ගොවියාගේ උදලු පහරට ලක්ව කෙතරම් සතුන් මරණයට පත්වනවා ඇද්ද? එවැනි ක්‍රියාවන් ඔබ අප හැම දෙනා අතින් සිදුවිය හැක. සිතාමතා නොකරන බැවින් ඒවා අචේතනික ක්‍රියා ගණයට ඇතුළත් වේ. යම් සිතිවිල්ලක් මුල් වී කරනු ලබන සියලු ක්‍රියා සචේතනික ක්‍රියා වේ.

සචේතනික ක්‍රියාවකට ඊට සාපේක්‍ෂ ප්‍රතිඵලයක් ලැබෙන නමුදු, අචේතනික ක්‍රියාවන්ට ප්‍රතිඵල නොමැත. එබැවින් සියලු සචේතනික ක්‍රියා පුණ්‍ය හෝ පාප ක්‍රියා ගණයට ඇතුළත් වේ. සිදු කරනු ලබන ක්‍රියාවකට පෙරටු වෙන සිතිවිල්ලෙහි ස්වභාවයට අනුව, එය පාප ක්‍රියාවක් ද පුණ්‍ය ක්‍රියාවක්ද යන්න තීරණය කෙරේ. යම් ක්‍රියාවකට ලෝභ, දෝස, මෝහ යන අකුසල මූලික සිතිවිල්ලක් මුල්වූයේ නම් එය අකුසල ක්‍රියාවක් ලෙසත්, අලෝභ අද්වේෂ අමෝහ යන කුසල මූලික සිතිවිල්ලක් මුල්වීමෙන් සිදු කෙරෙන ක්‍රියාවන් කුසල ක්‍රියාවන් ලෙසත් හැඳින්වේ. පාප ක්‍රියාවකට ලැබෙන ප්‍රතිඵලය දුක්ඛ දායකය, වේදනා සහගතය, පීඩා ගෙන දෙන්නේමය. ඒ බැව් සරල උපමාවකින් අපට පැහැදිලි කර දෙන්නේ ‘චක්කං ච වහතො පදං’ යනුවෙනි. කරත්තයට බඳින ලද ගොනාට එය ලිහනතුරු නිදහසක් නැත යන තැනට කරත්තයේ බර ඇදගෙන යා යුතුය, කරත්ත රෝද දෙක වේදනා දිදී ඌ අත් නොහැර එයි. අකුසල ක්‍රියාවන්ගේ විපාකය ද එලෙසින් දුක් දෙමින් දෙව්දත්, අංගුලිමාල, මහ මුගලන් වැනි ශ්‍රාවක චරිත තුළින්ද අකුසල කර්ම විපාක දීම පිළිබඳව අපට කදිම පාඩම් කියාදෙයි. කුසල සහගත ක්‍රියාවකට ලැබෙන ප්‍රතිඵලය සුවගෙන දෙන්නකි. සතුට දනවන්නකි. සැප ඇති කරවන්නකි. පින්කම්වල ඵල විපාක ධම්මපදයේ දක්වන්නේ “ඡායාව අනපායිනී” යනුවෙනි. තමන් අත් නොහැර පසු පස එන සෙවනැල්ලට උපමා කරමිනි. සෙවනැල්ල අප අත් නොහැර පැමිණියද එයින් වෙහෙසක් නොදැනේ. බරක් නොදැනේ. එමෙන්ම අප අත්නොහැරම පැමිණේ. පින්කමෙහි ප්‍රතිඵලයද එලෙසින් තමන් අත් නොහැර පැමිණ සැපයක්ම උදාකරයි. තමන් කරනු ලබන ක්‍රියාව පුණ්‍ය ක්‍රියාවක්ද නැතිනම් පාප ක්‍රියාවක්දැයි තෝරා ගැනීම බහුතරයකට ගැටලුවක් ව පවතින බව පෙනෙයි. ඇතැම්හු පින්කම් සිදු කරන පිළිවෙළ දෙස බලන විට මෙය තහවුරු වනු ඇත. පින්කම් මුවාවෙන් වංචනික ක්‍රියාවල යෙදෙන්නෝ ද බහුලව සිටිති. මත් කුඩු, මත් ද්‍රව්‍ය, මත් පැන් නිපදවන්නන් හා අලෙවි කරන්නන් හොර මැරකම් කරන්නන් අල්ලස් හා දූෂණ ක්‍රියාවල යෙදෙන්නන් හා සමාජ විරෝධී ක්‍රියාවල යෙදෙන්නන් සැපෙන් සතුටින් ජීවත්වෙන බවක්, පසෙකට වී බලා සිටින කෙනෙකුට පෙනෙයි. එය සැබෑවකි. එහෙත් ඔවුන් ඒ සැපය හා සතුට විඳිනුයේ තමන් කළ ක්‍රියාවේ ප්‍රතිඵල ලැබෙන තුරු පමණි.

ප්‍රතිඵල ලැබුණු තැන් සිට හිරේ විලංගුවේ වැටී අනේක දුක් විඳිමින් නින්දා ගැරහුම් ලබති. ජීවිත කාලය තුළ ගොඩ නඟාගත් කීර්තිය ගෞරවය හා පිළිගැනීම නැතිව යයි. සමාජයේ අපවාදයට, ගැරහුමට ලක්වෙයි. මියැදෙන තුරුම දුක් වේදනාවන් විඳිති. ඒ බැව් මෙම ධම්ම පද ගාථාවෙන් අපට සිහිපත් කරදෙයි. ‘පාපොපි පස්සති භද්‍රං, යාව පාපං න පච්චති, යදා ච පච්චති පාපං, අථ පාපො පාපානි පස්සති’ එමෙන්ම පින්කම්වල යෙදෙමින් යහපත් ජීවිතයක් ගෙවන්නාට තමා කරන කටයුතු නිශ්ඵලයැයි හැඟේ.

හොර මැරකම්වල යෙදෙමින් හෝ සුරාසූදු වැනි ක්‍රියාවන්හි යෙදුණි නම් සැප විඳීමට තමන්ට හැකියැයි බොහෝවිට සිතති. එය එක්තරා සාධාරණ සිතිවිල්ලකි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් නම් යහපත් ලෙස දිවි ගෙවන්න තම යහපත් කටයුතු වල ඵල ලැබෙනතුරු එසේ සිතන බවයි. එහෙත් ප්‍රතිඵල ලැබෙන විට තමන් නිවැරදි බැව් ඔහුටම දැනෙයි. කෙනෙකු යහපත් යැයි සිතන ක්‍රියාවක් තව කෙනෙකු අයහපත් ලෙස දකිති. කිසිවෙක් තමන් අකමැති දෙයක් කිරීමට ඉදිරිපත් නොවෙති. එදිනෙදා අප දකින හොඳ නරක සියලු ක්‍රියාකාරකම් සිදු කරන්නේ ඒ ඒ පුද්ගලයින් ඒවා හොඳයැයි සිතන බැවිණි. ඒ සෑම ක්‍රියාවක්ම යෝග්‍යයැයි කීමට හේතු ද ඔවුහුම ඉදිරිපත් කරති. මත් පැනට ගිජු වූ තැනැත්තා එහි යහ ප්‍රතිඵල ගෙනහැර දක්වයි. සූදුවට යොමු වූ තැනැත්තා සූදුවෙහි ගුණ කියයි. හැම ක්‍රියාවක්ම සාධාරණී කරණය කිරීමට හේතු ගෙනහැර දක්වයි. එබැවින් බුදුරජාණන් වහන්සේ හොඳ සහ නරක ක්‍රියා හැඳින ගත යුතු ආකාරය පෙන්වා දී ඇති අන්දම අවබෝධ කර ගැනීම හැම දෙනාටම වැදගත් වේ යැයි සිතමි.

අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයේ මේ පිළිබඳව සරල පැහැදිලි කිරීමක් දැක්වෙයි. “ඉදං මෙ කාය කම්මං අත්තව්‍යාබායපි සංවතතෙය්‍ය පරව්‍යාබාධායපි සංවත්තෙය්‍ය උභයව්‍යාබාධායපි සංවත්තෙය්‍ය අකුසලං” යනුවෙන් අකුසලය පැහැදිලි කරයි. ඒ අනුව සිත, කය හා වචනය යන තිදොරින් සිදු කෙරෙන යම් ක්‍රියාවකින්, කරනු ලබන්නාට හෝ එහි ප්‍රතිඵලය ලබන්නාට යන පාර්ශ්ව දෙකටම, දුකක් වේදනාවක්, පසු තැවීමක් සිදුවේනම් එය අකුසලයකි. කුසල සහගත ක්‍රියාවක් වෙන්නේ, කරන්නාට හා ප්‍රතිඵල ලබන්නාට යන දෙපිරිසටම සැප ගෙන දෙන, සතුට දනවන ක්‍රියාවකි. ඒ බැව් මෙසේ දක්වා තිබේ. “නෙව අත්තව්‍යාබාධාය සංවත්තෙය්‍ය නෙව පරව්‍යාබාධාය සංවත්තෙය්‍ය න උභයව්‍යාබාධය සංවත්තෙය්‍ය කුසලං” යනුවෙනි. අකුසලයෙහි දුක් විපාකත් කුසලයෙහි සැප විපාකත් ලැබෙන බව ද එහිම දක්වා තිබේ. ඒ අනුව හැම දෙනාටම තමන් කළ ක්‍රියාව කුසලයක්ද අකුසලයක්දැයි තමාටම අගැයීමක් කර ගත හැක.

මජ්ඣිම නිකාය කුක්කුර වතිය සූත්‍රයේදීද කුසලාකුසල කර්ම පිළිබඳ පැහැදිලි කිරීමක් කර තිබේ. පුණ්ණ නම් පිරිවැජියාට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරති. “අත්ථි පුණ්ණ කම්මං කණ්හං කණ්හ විපාකං, අත්ථි පුණ්ණ කම්මං සුක්කං සුක්ක විපාකං, අත්ථි පුණ්ණ කම්මං කණ්හං, සුක්කං කණ්හ සුක්ක විපාකං, අත්ථි පුණ්ණ කම්මං අකණ්හං අසුක්කං අකණ්ණාසුක්ක විපාකං” යනුවෙන් දක්වති. ඒ අනුව අකුසලය කළු පැහැයටත්, කුසලය සුදු පැහැයටත් උපමා කොට දක්වන බුදුරජාණන් වහන්සේ, තිදොරින් සිදුවෙන වැරැදි සහගත ක්‍රියා කළු කර්ම වන බැවින්, ඒවාට ලැබෙන ප්‍රතිඵලයද දුක් විපාක දෙන කළු විපාකයකි.

යහපත් ක්‍රියා සුදු කර්ම වන අතර ඊට ලැබෙන සුබ සහගත ඵලයන් සුලු විපාක ලෙසත් දක්වා තිබේ. මේ අතර කුසල් හෝ අකුසල් නොවන කර්මයන් ද තිබේ. එහි ක්‍රියා මාත්‍රයක් පමණක් ඇති බැවින්, ප්‍රතිඵලයක්ද නැත.

කළු ද සුදු ද නොවෙන කර්ම වශයෙන් ඒවා දක්වයි. එමෙන්ම කළු සුදු මිශ්‍ර කර්ම ද තිබේ. එවැනි කර්මයන්හි ප්‍රතිඵලය ද මිශ්‍ර වූවකි. භික්‍ෂූන් වහන්සේලාට නිතර මෙනෙහි කළ යුතු කරුණු දහයක් දස ධම්ම සූත්‍රයේ උගන්වා තිබේ. ඉන් එක් කරුණක් කර්මය පිළිබඳ ඉගැන්වීමකි.

“කම්මස්ස කොම්හි කම්ම දායාදො කම්මයොනි කම්ම බන්ධු කම්ම පටිසරණො යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකංවා තස්ස දායාදො භවිස්සාමිති පබ්බ ජිතෙන අභිණ්හං පච්ච වෙක්බ්තබ්බං’යනුවෙන් එය දැක්වෙයි. මෙලොව උපත ලබා ඇති හැම කෙනෙකුම ප්‍රතිසන්ධියේදීත් කර්ම ශක්තියට අනුව ක්‍රියාත්මක වී ඇති අතර, ජීවිතය පවත්වාගෙන යාමේදීත් කර්ම ශක්තිය බලපෑම් කරන බව මෙයින් පෙන්වා දී තිබේ.

එබැවින් කිසිවෙකුට කර්මයෙන් ගැලවී සිටිය නොහැක. බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ තවත් අයෙකුට නොදැනී නොපෙනී ඕනෑම වරදක්, අපරාධයක් කළ හැකිනම් එය ජයග්‍රහණයක් බවයි. රහසිගතව අපරාධ කිරීමට පෙළඹෙන්නේත් අපරාධයන් කළ පසු එය සැඟවීමට උත්සාහ දරන්නේත් එනිසයි. එහෙත් ලෝකයටම හොර රහසේ කලත් තම හිතට හොරා කිසිවක් කළ නොහැකි බව ඔවුහු නොදනිති.

වරදක්, අපරාධයක් කළ කෙනෙකු ජීවත් වන්නේ බියෙනි. තැතිගැන්මෙනි, සැකයෙනි. ඒ ඔහුගේ සිත ඔහුව පෙලන බැවිණි. කෙනෙකුට ලෝකයාගෙන් ලැබෙන දඬුවමකට වඩා එය අතිශය භයානකය. පාපයක් කළ කෙනෙකුට කොතැනක සැඟවී සිටියත් ඉන් බේරී සිටිය නොහැකියැයි දහමෙහි දැක්වෙන්නේ එබැවිනි.

“න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ඣෙ, න පබ්බතානං විවරං පවිස්ස, න විජ්ඣති සො ජගතිප්පදෙසො, යත්තට්ඨිතො මුංචෙය්‍ය පාප කම්මා පාපයක් අකුසලයක් කොට කෙනෙකුට සැඟව සිටීමට නොයෙක් තැන් සාදා ගත හැක. ඒ කොතැනක සැඟව සිටියත් කර්ම විපාකයෙන් බේරී සිටීමට නුපුළුවන. එබැවින් පව්කම් කරන්නෝ බියවිය යුතු කරුණු හතරක් පිළිබඳව දහමෙහි සඳහන් වේ. එනම් පාප සහගත ක්‍රියාවක් කිරීමට පෙර තමන් තමාතුළම ඊට බියක් ඇතිකර ගත යුතු ය. කිරීමට යන කටයුත්ත නිසා තමන්ට ගෞරවයක් ලැබේද නැතිනම් ජීවිතයට අපකීර්තියක්, කැළලක්, හානියක් සිදුවේදැයි සිතාබලා, හානියක්, විපතක් වේ නම් ඊට බිය වී කිරීමට යන කටයුත්තෙන් වැලකිය යුතු ය. මෙම අත්තානුවාද බිය ලෙස දහමෙහි දැක්වෙයි. දෙවැන්න පරානුවාද බියයි. තමන් කරන ලද ක්‍රියාවන් පාප සහගත පහත් වැඩ යැයි අන් අයගේ දෝෂ දර්ශනයට ලක්විය හැක. ඔවුන් තමන් නින්දා අපවාද වලට ලක් කරාවියැයි බිය ඇති කර ගැනීම පරානුවාද බිය ලෙස දැක්වෙයි. පව්කම් නම් බුද්ධිමත් කිසිම මිනිසෙකු අනුමත නොකරයි.

එය වරදක්මයි. වරදක් කළ කෙනෙකුට දඬුවම් තිබේ. එය පුද්ගලයෙකු හෝ සමාජයෙන් හෝ රජයෙන් ලැබෙන්නක් වියහැක. තමන්ට දඬුවමක් විඳීමට සිදුවෙතැයි බියෙන් වරදින් වැළකී සිටීම දණ්ඩ බිය ලෙස හඳුන්වා තිබේ. සිව්වැනි බිය දුග්ගති බියයි. වරදක් පාපයක් කළ විට එහි විපාක වශයෙන් මරණින් මතු දුගතියෙහි ඉපිද දුක් විඳීමට සිදුවන බව අවබෝධ කරගෙන, දුගතියට ඇති බිය නිසා වරදින් වැළකීම දුග්ගති බියයි. මේ සතරාකාර බිය හැඳිනගෙන වරදින් වළකින තැනැත්තා අතින් පාප සහගත ක්‍රියා සිදුනොවේ.

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව වන්නේ ද වරදෙහි බිය දැන වරදින් වැළකිය යුතු බවයි. ඔබේ අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කීපයක් තිබේ. සියල්ල පෙර කර්මය නිසා සිදුවේය යන පුබ්බේකත හේතුවාදය බුදුදහම නොපිළිගනී. එමෙන්ම සෑම කර්ම විපාකයක්ම වින්ද යුතුයැයි ද බුදු දහම නූගන්වයි.

කර්මයට සාපේක්‍ෂ ප්‍රතිඵල ඇතත් මිනිසාට බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් තම කර්ම ශක්තිය වෙනස් කිරීමට ද හැකියාව තිබේ. යස්ස පාපං කතං කම්මං, කුසලෙන පිථියති, සො ඉමං ලොකං පභාසෙති, අබිභා මුත්තෝච චන්දිමා ධම්ම පදයේ එන මේ ගාථාවට අනුව, යමෙකු බලගතු කුසල කර්මයක් කළ විට ඊට පෙර කරන ලද කුඩා පාප කර්මයන්ගේ විපාකදීමේ ශක්තිය වැසි යයි, විපාක නොදෙයි. බලගතු කුසල ශක්තිය ඉදිරියට පැමිණ සැපයක්ම සලසයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.