අපරිහානිය ධර්ම පිළිපැද
දැහැමි පවුලක් ගොඩනඟමු
කොළඹ කුප්පියාවත්තේ
ජයශේඛරාරාමවාසි,
මාවරලේ භද්දිය හිමි
සංවිධානයකට සමඟිය තමයි
මහා සැපතක් වෙන්නේ. එනිසා භික්‍ෂූන්ට සමඟියෙන් ඉන්නට අවශ්‍ය කරුණු හතක්
ලෙසත් ගිහියාට රාජ්‍ය
පරිපාලනයේදීත් ගෙදර දොර නමැති පුංචි රාජ්‍යයේ යහපැවැත්මටත් මෙම සප්ත
අපරිහානිය ධර්මය පිළිපැදීමෙහි ඉතාම වටිනාකමක් තිබෙනවා.
මහා පරිනිබ්බාන සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙනවා සප්ත
අපරිහානිය ධර්මය පිළිබඳව. මෙම අපරිහානිය ධර්ම පිළිපැදීමෙන් සිදුවන යහපත
අතිවිශාලයි. එක පැත්තකින් භික්‍ෂූන්ට, අනෙක් පැත්තෙන් ලිවිඡවි
රජදරුවන්ට, මේ දෙගොල්ලන්ටම බුදුන්වහන්සේ සප්ත අපරිහානිය ධර්ම දේශනා
කරනවා.
සංවිධානයකට සමඟිය තමයි මහා සැපතක් වෙන්නේ. එනිසා භික්‍ෂූන්ට සමඟියෙන්
ඉන්නට අවශ්‍ය කරුණු හතක් ලෙසත් ගිහියාට රාජ්‍ය පරිපාලනයේදීත් ගෙදර දොර
නමැති පුංචි රාජ්‍යයේ යහපැවැත්මටත් මෙම සප්ත අපරිහානිය ධර්මය
පිළිපැදීමෙහි ඉතාම වටිනාකමක් තිබෙනවා. රාජ්‍යයක පුංචිම ඒකකය තමයි පවුල.
ඒක පුංචි රාජ්‍යයක් වගෙයි. රජවරු, බිසෝවරු, දරුවො, සේවක සේවිකාවො
ඉන්නවා. පුංචි ඒකකයක්. මෙම පුංචි ඒකකය වඩාත් හොඳින් පවත්වාගෙන යන්නට
නම්, ඉතාම වටිනවා මෙම සප්ත අපරිහානිය ධර්ම ක්‍රියාවට නැංවීම. එහි පළමු
කාරණය නිතර රැස්වීම. ගෘහයේ සමඟිය අපේක්‍ෂා කරනවා නම් ඕනෑම ගෙදරක නිතර
රැස්වීම කියන දෙය අනිවාර්ය කාරණයක් .
මීට දශක දෙකකට පමණ කලින් මේ රටේ සෑම ගෙදරකම පාහේ ‘පිළ’ කියල දෙයක්
තිබුණා. මේ පිළ තමයි අපගේ සංවාද ස්ථානය, සාකච්ඡා කරන ස්ථානය, ඇහුම්කන්
දෙන ස්ථානය බවට පත්වෙලා තිබුණේ. ඒ නිසා අදට වඩා මීට අවුරුදු තිහකට පමණ
පෙර ශ්‍රී ලංකාව තුළ මිනිස් සම්බන්ධතා යහපත්ව පැවතුණා. ඉතා සමීපබවක්
එකිනෙකා සමඟ තිබුණා. වර්තමානයේ ගෙවල් විශාල වෙන්න, විශාල වෙන්න, එක එක
කාමර වල එක එක ජීවිත. බිත්ති ප්‍රමාණය වැඩි වෙන්න, වැඩි වෙන්න අපගේ
ලෝකය වෙනම එකක්. සමහරුන්ගේ ලෝකය ලැප්ටොප් එකක් වෙනවා. තවත් සමහරුන්ගේ
ලෝකය මොබයිල් ෆෝන් එකක් වෙනවා. අපගේ ලෝකය බොහොම පොඩි දේවලට නතුවෙලා
තිබෙනවා.
අතීතයේ මිනිස්සු අනෙකාගේ සිතුම්, පැතුම් හොඳට තේරුම් ගත්තා. අපට තරම්
දියුණු තාක්‍ෂණයක් ඔවුන්ට නොතිබුණත් ඔවුන් ඉතා යහපත් සන්නිවේදනයක්
පවත්වා ගත්තා. අවාසනාවකට තරගකාරී සමාජයක වෙළඳපොළ වෙත නැඹුරුවෙමින් අප
ජීවත් වන නිසා නිතර හමුවීම කියන දෙය බොහොම අඩුවෙනවා. නිතර හමුවීම අඩුවන
තරමට ගෙදර ඇතුළෙහිම එකිනෙකා කෙරෙහි සැකය වැඩිවෙනවා. දුරස්වීම
වැඩිවෙනවා. කතා කරන්න ලැබෙන අවස්ථාව අඩුයි. ඇහුම්කන් දෙන්න ලැබෙන
අවස්ථාව අඩුයි. එවිට එකිනෙකා සම්බන්ධව ගොඩනැඟෙන්නේ විශ්වාසයක් නොවෙයි
සැකයක්. මේ නිසා තිබෙන වැටහීමත්, අවබෝධයත් ඈත් වෙලා දියවෙලා යනවා.
සමඟිය සොයාගෙන යන ගමනේදී බුදුරජාණන් වහන්සේ අපට පළමුවෙන්ම පහදා දෙන්නේ
නිතර හමුවී සාකච්ඡා කිරීමේ වැදගත්කම. ඔබ විවාහක ජීවිත ගත කරන ගෘහස්ථයො
නම් ඔබ දන්නවා විවාහයට කලින්, විවාහ වෙන්න අපේක්‍ෂාවෙන් ආශ්‍රය කරපු
දෙදෙනා අතර මොනතරම් බැඳීම් තිබුණ ද කියලා. එකිනෙකා දැකීම, පි‍්‍රය
කිරීම සහ අදහස් හුවමාරුව යහපත් මට්ටමක පැවතුණා. එහෙම වෙන්නෙ කතා
කරන්නත් ඇහුම්කන්දෙන්නත් අවස්ථාවක් තිබූ නිසා. යම් දෙයක් කියනවා නම්
කියන්නත් අවස්ථාවක් දෙනවා. කියන දෙයට ඇහුම්කන් දෙන්නත් සූදානමක්
තිබෙනවා.
නමුත් අවාසනාවකට විවාහයෙන් ටික කලක් යන විට මේ තත්ත්වය වෙනස් වෙනවා.
නිතර හමුවීම කියන දෙයට ඇස්තමේන්තුවක් නැහැ. විවාහයට පෙර එකිනෙකා
පිළිබඳ, විශේෂයෙන් එකිනෙකාගේ අදහස් පිළිබඳව සැලකිලිමත් බව පවත්වාගෙන යන
බැවින් ඒ කාලය තුළ හරිම සමඟියක් තිබුණා. නමුත් ඔබ ගෘහ ජීවිත ගතකරද්දී
අනිවාර්යයෙන්ම කාර්ය බහුලත්වයක් එනවා. ඒ කාර්යය බහුලත්වය ඇතුළෙ හමුවීමට
සාකච්ඡා කිරීමට තිබෙන කාලය අඩුකර ගැනීම ඔබ පළමුවෙන්ම කරන දෙයක් වෙනවා.
ඔබ එලෙස හමුවීමට තිබෙන කාලය අඩුකර ගන්න, අඩු කරගන්න එකිනෙකා අතර තිබෙන
විශ්වාසය වේගයෙන් අඩුවෙනවා. හමුවීම තුළ අනෙකාට අදහස් දක්වන්න අවස්ථාව
ලැබෙනවා. එම අදහස්වලට අනුකූලව අනෙකාට ප්‍රතිචාර දක්වන්න අවස්ථාව
ලැබෙනවා. ගෙදරක් තුළ, ආයතනයක් තුළ, රාජ්‍යයක් තුළ හමුවීම කියන දෙය නවතා
දැමුවහොත් එතැන එකිනෙකා පිළිබඳ සැකයක් හා අකැමැත්තක් වර්ධනය වෙනවා. ඒ
නිසා පන්සලකත්, රාජ්‍යයකත්, ගෙදරකත් සමඟිය සඳහා හමුවීම හා සාකච්ඡා
කිරීම අත්‍යවශ්‍යයයි මම ඔබට යෝජනා කරනවා. අවම වශයෙන් දවසකට පැයක්වත්
රාත්‍රි ආහාරයට පෙර හෝ රාත්‍රි ආහාරයට පසුව හෝ දරුවන්ට මවුපියන් කතාබහ
කළ යුතුයි. දරුවන්ට ඇහුම්කන් දීම කළ යුතුමයි. දරුවන් වෙනුවෙන් ඔබ
සියල්ල කළත් දරුවන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට ඇහුම්කන් දීමට ඔබ
මැලිවුණොත් එය යහපත් තත්ත්වයක් නොවෙයි. දරුවන් සම්බන්ධයෙන් ඒ යුතුකම
ඉටුකිරීම මඟහරින්න එපා. ඔබ එය නොකළොත් ඒ තැන ගන්න වෙන පිරිසක් මඟ
බලාගෙන ඉන්නවා. සමහර විට ඔබට හිතාගන්නත් බැරි තරමට ඔබේ දරුවා ඔබේ
පවුලෙන් ඈත් කරනවා වෙන්නට පුළුවන්. ඔබට තිබෙන්නා වූ ගෞරවය
සම්පූර්ණයෙන්ම ඉවතට යන්න පුළුවනි. දරුවන්ට දුකක් තිබෙනවා නම් දරුවන්ට
ප්‍රශ්නයක් තිබෙනවා නම් මවුපියන් සමඟ පැවසීමට අවස්ථාව සලසා දෙන්න.
දියණියට කතා කිරීම සඳහා මව අවස්ථාව දෙනවා නම්, පුතණුවන්ට කතා කිරීමට
පියා අවස්ථාව දෙනවා නම් ඒ සඳහා අමුතුවෙන් තවත් කෙනෙක් අවශ්‍ය වෙන්නේ
නැහැ. නිවස තුළම ඒ ප්‍රශ්න විසඳා ගත යුතුයි. ඔවුන් මානසික අසහනයකින්
තොරව රාත්‍රී නින්දට යනවා. ධාර්මික බව සැනසිලිසහගත බව පවුල තුළ
සුරැකෙනවා. ඒනිසා බුදුදහම තුළ ඉතාම වටිනා දෙයක් ලෙස සලකන නිතර හමුවීම
කියන දෙය ඔබේ නිවස තුළ සමඟිය තහවුරු කිරීම සඳහා යොදාගැනීම ඉතා වැදගත්.
සමඟිව රැස්වී, සමඟිව සංවාද කර, සමඟිව විසිර යා යුතුයි. සමඟියෙන්
සාකච්ඡා කිරීමට නම් බොරු නොකිය යුතුයි. සත්‍යයම කතා කළ යුතුයි. දරුවෝ,
බිරිඳ, සැමියා කතා කරනවා නම් කතා කරන දේවල සත්‍යය තිබිය යුතුයි. බොරුව
පටන් ගත්තොත් එම අවස්ථාවේ පටන් අසමඟිය, වංචාව ආරම්භ වෙනවා. ජීවිතය කටුක
වෙන්න පුළුවන්. නීරස වෙන්න පුළුවනි. බුදුදහම පැහැදිලි කරනවා සමඟියෙන්
සාකච්ඡාව ගෙනයන්න නම් අර්ථවත් ප්‍රතිඵලයක් ලබා ගන්න නම් මුසාවාදයෙන්
වැළකිය යුතුයි. සමඟියෙන් සංවාද කිරීමට නම් හිස් වචන නොකිය යුතුයි.
අහගෙන ඉන්න කෙනාට සහ කියන කෙනාට තේරුමක් නැති, අදාළ මාතෘකාවක් පැන යන්න
තිබෙන හිස් වචන නොකිය යුතුයි. කතා කරනවා නම් නිවැරැදි, අර්ථසම්පන්න,
ධාර්මික කතාවක්ම විය යුතුයි. කතා කිරීමට තරම් අර්ථවත් දෙයක් නොමැති නම්
නිහඬතාවය ඉතාම වටිනාදෙයක් වෙනවා. කේළාම් කීමෙන් සාකච්ඡාව ආරම්භ නොකළ
යුතුයි. කේළාම් කීම, එකිනෙකා බිඳවීම කිසිවිටෙකත් නොකළ යුතුයි.
පරුෂ වචන සාකච්ඡාවකට භාවිත නොකිරීම ඉතාම වැදගත්. පරුෂ වචන යනු අසභ්‍ය
වචන පමණක්ම නොවෙයි. පරුෂ වචනය යනු ඇහුවම සිත රිදෙන කටුක වචනයි.සංවාදය
සමඟියෙන් සාර්ථකව නිමවෙන්නට නම් කොතරම් බරපතළ විවේචනයක් ගෙනාවත්
ප්‍රශ්නයක් නැහැ, අනෙකාට ගරු කොට කතා කරනවා නම්. බුදු දහම අවධාරණය
කරනවා අනෙකාගේ හිත රිදෙන පරුෂ වචන භාවිත කරන්නට එපා. හොඳ සංවාදයක්
හොඳින් නිම කරගන්නට එය ඉතාම වැදගත් වෙනවා.
“මියුරු වදන් ගෙන දේමැයි මියුරු ඵල” ජේ.බී. දිසානායක මහතාගේ පොතක
ලියවුණ පොඩි වැකියක්. පි‍්‍රයවචන කතා කළොත්, අනෙකාට ගරුකොට කතා කළොත්,
ඒ වගේම පරුෂ වචන, හිස් වචන, කේළාම් සහ බොරු ඉවත්කොට කතා කළොත් එය
මියුරු වචනයක්ම වෙනවා. එවැනි මියුරු වචන සාකච්ඡාව සඳහා යොදා ගන්නවා නම්
එකිනෙකා ගැන ගෞරවය අනිවාර්යයෙන්ම රැකෙනවා.
ඔබ සාකච්ඡාවේදී ලැබෙන හොඳ ප්‍රතිඵල සතුටෙන් භාරගන්න ඕන. අනෙකාගේ හොඳ
අදහසක් තිබෙනවා නම් ඒක භාරගන්න ඕනෙ. බිරිඳගෙන්, සැමියාගෙන් හෝ පොඩි
ළමයකුගෙන් හෝ ඉදිරිපත් විය හැකි අදහස් අර්ථාන්විත නම් හොඳ ප්‍රතිඵල
තිබෙනවා නම් එම අදහස් ක්‍රියාත්මක කළ යුතුයි. එය ගෙදරක සමඟිය
අන්‍යෝන්‍ය ගරුත්වය, සුහදතාව ආරක්‍ෂා කර ගැනීමට ඉතාම වැදගත්. 32 වන
පිටුවට
අනෙක් කරුණ වෙන්නෙ නොදැන නීති නොපැණවිය යුතුය යන්නයි. සාකච්ඡාවේදී
කිසියම් ප්‍රතිපත්ති එකඟතාවයකට පැමිණිලා සිටින විට, මම මෙන්න මේ වැරැදි
කොටස ඔබ වෙනුවෙන් කරන්නේ නැහැ, මේ කොටස ඔබ වෙනුවෙන් ඉටුකරනවා ආදී
වශයෙන්, එම වචනයෙහි පිහිටා සිටීම ඉතා වැදගත්. එකඟතාව පවත්වා ගැනීමත්
ප්‍රතිපත්ති මත ජීවත්වීමත් සෑම ආකාරයකින්ම ඉතා යහපත් ගෙදර වැඩකටයුතු
කෙරෙන්නේ මෙන්න මෙහෙමයි කියලා තීරණයක් ගත්ත නම් එලෙසම ක්‍රියාත්මක විය
යුතුයි. එතකොට අවම වැඩකොටසවත් කෙරෙනවා. එකඟතාවයකින් තොරව අලුත් නීති
දාන්න එපා. අලුත් නීති දානවා නම් එකඟතාව මත ක්‍රියාවට නැංවිය යුතුයි.
අසමඟිකම ගොඩනැඟෙන්න ප්‍රධාන හේතුවක් තමයි ටික කලක් යන විට අතීත කතා සහ
මුල් එකඟතා අමතකවීම. ගොඩනඟාගත්ත එකඟතා වෙනුවට මාස හත අටක් යන විට වෙන
අදහස් ප්‍රකාශ කරන්නේ. පවුලක නම් බිරිඳත් සිල් රකින්න ඕනේ. සැමියාත්
සිල් රකින්න ඕනෙ.
රටක නම් පාලකයොත් ජනතාවත් සිල් රැකිය යුතුයි. දෙගොල්ලම සිල් ආරක්‍ෂා
කළොත් තමයි අර්ථසම්පන්න වෙන්නෙ. බිරිඳත් සැමියත් සිල් රැකිය යුතුවාසේම
විශේෂයෙන්ම ඔවුන් දෙදෙනා කාම මිථ්‍යාචාරයට නොයෑම සම්බන්ධ ප්‍රතිපත්තිය
රකින්න ඕනෙ. එසේ නොවුණොත් ගිහි ජීවිතය සම්පූර්ණයෙන් විනාශ වෙනවා.
උපදේශන මධ්‍යස්ථානවලට එන ප්‍රශ්නවලින් 80% ක්ම ඉක්මවා තිබෙන්නේ එක්කෝ
පුරුෂයා කාම මිථ්‍යචාරයට යනවා, නැතිනම් කාන්තාව කාම මිථ්‍යාචාරයට යනවා.
එනිසා මහා අතෘප්තියක ඉඳගෙන මිනිසා එකිනෙකාට වෛර කරගන්නවා. නකුළ මාතා සහ
නකුළ පිතාල වර්තමාන සමජයේ දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්.
විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ සප්ත අපරිහානිය ධර්මවලදී පෙන්වා දෙනවා
කාන්තාවට ගරු කළ යුතු බව. ඔබේ පවුලේ සෑම සාමාජිකයෙක්ම කාන්තාවන්ට ගරු
කරන අය බවට පත්වෙන්න ඕනෑ. සැමියා, බිරිඳ, දරුවෝ යන සියලුදෙනා කිසිම
කාන්තාවකට අගෞරවයක් වෙන වචනයක් හෝ ක්‍රියාවක් හෝ නොකළ යුතුයි. ආසියාතික
රටවල මව විසින් විශාල කාර්යයභාරයක් කරනු ලබනවා. ළමයා සම්පූර්ණයෙන්ම
ගොඩනැංවීම සහ ළමයාට ලෝකය හඳුන්වාදීම සම්බන්ධයෙන් විශාල වගකීමක් ඇයට
පැවරෙනවා. එය ආසියාතික රටවල ප්‍රබල තත්ත්වයක්. එනිසා බුදුහිමියන් දේශනා
කරන්නේ කාන්තාවකගේ ගෞරවය කෙලෙසෙන ආකාරයේ කිසිම ක්‍රියාකාරකමක් රාජ්‍ය
ඇතුළත සිදුනොවිය යුතුයි යනුවෙන්. එවිට රටේ යහපත් සමාජයක් ගොඩනැඟෙනවා.
ගෘහය තුළ මෙය ක්‍රියාත්මක විය යුතුයි.
වර්තමානය වන විට කාන්තාව පත්වෙලා තිබෙන තත්ත්වය අන්ත දුක්ඛිතයි. එක
පැත්තකින් ඔවුන් විසින්ම මේ වෙළඳපොළ තුළ ඔවුන්ගෙ ගරුත්වය මුදලට
විකුණගෙන තිබෙනවා. දෙවන කරුණ තව පිරිසක් විසින් මේ තත්ත්වය උදාකරනු
ලබනවා. ඔබ ටිකක් ගැඹුරෙන් කල්පනා කරන්න. ගෘහය ඇතුළත කාන්තාවට
අනාරක්‍ෂිතබවක් ඇතිවන ආකාරයේ ක්‍රියාකාරකමක් කෙරෙන්න දෙන්නේ නැති බවට
වග බලාගන්න. ගෙදරදීත්, පාරෙදීත් කාන්තාව දෙස ගෞරවනීය ආකාරයෙන් බලන්න
පුරුදුවීම අවශ්‍යයි. එවිට ඔබගෙන් කිසිම කාන්තාවකට අසහනයක් නැහැ. ඔබගෙන්
කාන්තාවකට හිංසනයක්, කරදරයක් නොවන බවට ඒ අයට ස්ථිරයි. එය සමාජයට අවශ්‍ය
යහපත් තත්ත්වයක්.
අපේ මේ යහපත්කම ගැන ලෝකයටත් අවබෝධයක්, ආදර්ශයක් ලබාදිය යුතුයි. මේ
හැදියාව ගෙදරදිත්, පිටදිත් පවත්වාගැනීමට පුරුදු විය යුතුයි. ගැහැනිය
සම්බන්ධයෙන් ගරු කටයුතු ලෙස කතා කරනවා සහ ක්‍රියා කරනවා කියන්නේ
විශිෂ්ට මානුෂිය ලක්‍ෂණයක්. අවමන් ලෙස කතා කිරීමෙන් දරුවන් ද එම
කාන්තාව පිළිබඳ ඇතිකර ගන්නේ බොහොම පහළ මානසිකත්වයක්. ගෘහය තුළ පියා
විසින් මවගේ ආත්මය විනාශ කරනු ලැබ ඇත්නම්, එම මව විසින් දරුවන්ට දෙනු
ලබන අවවාදවලින් කිසිදු අර්ථයක් සිද්ධ නොවන බව මතක තබා ගත යුතුයි.
අප සියලුදෙනාටම කුමක් හෝ ආගමක් තිබෙනවා. අප පවුලක් ලෙස, ආගමක් ඇසුරෙන්
හික්මීම අවශ්‍යයි. ආගමික ස්ථාන සමඟ ගෞරවනීය ආකාරයෙන් වැඩ කටයුතු කිරීමට
පුරුදු විය යුතුයි. බුදුන් වහන්සේ ලිච්ජවීන් සම්බන්ධයෙන් අවවාද කරන්නේ
රාජ්‍ය තුළ තිබෙන පූජනීය ස්ථාන සමඟ ගෞරවනීය සම්බන්ධකම් ගෙන යා යුතු
බවටයි. ඔබ ඒ ආයතන තුළින් ආධ්‍යාත්මික සංවර්ධනයක් බලාපොරොත්තු විය
යුතුයි. සිවුපසය සලසා දෙමින් ඔබ විසින් සුරකිනු ලබන, උතුම් ගුණ දහම්
පුරන පිරිසක් විහාරස්ථානය තුළ වැඩවාසය කරනවා. උන්වහන්සේලාට ඔබට වඩා
වැඩි වේලාවක් තිබෙනවා ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම.
ඔබගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාගැනීම
භික්‍ෂූන් වහන්සේ වෙතින් අපේක්‍ෂා කළ යුතුයි. එම අපේක්‍ෂාව පමණක් ඔබට
තිබුණොත් එය ගනුදෙනුකාරී එකක් වෙන්නෙ නැහැ. එවිට ගෞරවයට හානි වෙන්නේ
නැහැ. එම ආයතනයේ පැවැත්මත් ස්ථිර වශයෙන්ම සහතික වෙනවා.
භික්‍ෂූන්වහන්සේගේ ගරුත්වය උන්වහන්සේ විසින්ම නැතිකරගනු ලැබුවහොත් එය
පරමාදර්ශී සමාජයේ බිඳවැටීමයි. පන්සල පිරිහිලා නම් එම ගමත්
අනිවාර්යයෙන්ම පිරිහිලා යනවා. හාමුදුරුවො දුසිල්වත් නම් එය ගමේ තව එක
දුසිල්වත් ස්ථානයක් වෙනවා පමණයි. එමනිසා පූජනීය ස්ථානය සමඟ කටයුතු
කිරීම ප්‍රවේශමෙන් ගරුත්වයෙන් කළ යුතුයි.
වැඩිහිටියන්ට ගරු කරන, පූජනීය පක්‍ෂයට ගරු කරන පිරිසක් බවට අපේ සමාජය
පත්විය යුතුයි. විශේෂයෙන්ම මවුපියන් සමඟ කටයුතු කරන විට ඔවුනට හිමි
ගෞරවය ලබාදෙන්න දරුවන් කුඩා වියේ සිටම පුරුදු පුහුණු කිරීම අවශ්‍යයි.
වයසෙන් ශීලයෙන්, ගුණයෙන් හැදිච්චකමෙහි වැඩුණු අයට ගෞරව කිරීමට
වැඩිහිටියන් පුරුදු විය යුතුයි. ඔබ ගරුකරන ආකාරය දෙස බලමින් කුඩා
දරුවන්ද වැඩිහිටියන් කෙරෙහි ගෞරවනීය ලෙස හැසිරීමට පුරුදු පුහුණු වනවා.
සාර්ථක වන පුද්ගලයකුගේ විශේෂ ලක්‍ෂණයක් තමයි වයෝවෘද්ධයන්ගේ,
ගුණවෘද්ධයන්ගේ අදහස් පිළිගැනීම.
ගෙදරක්, සමාජයක් පිරිහීමට පත්නොවීමට, මේ අපරිහානිය ධර්ම ඉතාම වැදගත්
වෙනවා. නිතර නිතර රැස්වීම්, සමඟියෙන් රැස්වී සමඟියෙන් කතාකොට සමඟියෙන්
විසිරයෑම ප්‍රයෝජනවත්. නොපැණවූ නීති නොපැණවීම සහ පැණ වූ නීති ආරක්‍ෂා
කිරීම වැදගත්. කාන්තාවට ගරු කිරීම අත්‍යාවශ්‍යයයි. වැඩිහිටියන්ට ගරු
කිරීම ඉතා අවශ්‍යයි. සප්ත අපරිහානිය ධර්ම අතුරෙන් අවම වශයෙන් මෙම කරුණු
කිහිපයවත් ඔබගේ ගෘහය තුළ ප්‍රධාන තේමාව කරගත යුතුයි.
සටහන:
හේමමාලා රන්දුනු |