නූතන සමාජයට
උපයෝගී වන්නේ
ඇයි?
රදාවඩුන්න ශ්‍රී මහින්දාරාමවාසී
ගෞරව ශාස්ත්‍රවේදී
මැටියගනේ ඤාණදස්සන හිමි
බුදු දහම වනාහි නිශ්පුද්ගල පදාර්ථයක් නොවේ. නොපෙනෙන බලවේගයක් ද නොවේ.
හුදෙක් එය මිනිසා කේන්ද්‍ර කරගත් මානව කේන්ද්‍රීය වූ ආගමකි. කුමන ආගමක
වුවද බලාපොරොත්තුව වනුයේ සමාජයට, පුද්ගලයාට යහපතක් සිදු කිරීම පිණිසය.
නොමඟ යන මිනිසා සුමඟට ගැනීමත් අවිද්‍යාවෙන් තොර සිහි මුලාවූවන් නොමැති
යහපත් , සමාජ වටපිටාවක් ඇති කර ගැනීම පිණිසත්ය. බුදුදහම උපයෝගීතාවාදයක්
හෝ සුබපාරමවාදයක්, ප්‍රායෝගික ප්‍රතිඵලවාදයක් හෝ නොවේ. එහෙත් එකී ලක්ෂණ
බුදුදහම තුළ නැතැයි කීමට ද නොහැකිය. කෙසේ වුවද බුදුදහම මානව කේන්ද්‍රීය
ආගමකි. බුදු දහමේ සියලු ඉගැන්වීම් සාරගර්භ ඉගැන්වීම් ය. දහමේ සඳහන්
බෞද්ධ ආකල්ප සමාජයට කෙතරම් වැදගත් වන්නේදැයි සොයා බැලීම වටී. මෙම ලිපිය
වඩාත් නැඹුරුවක් දැක්වීමට බලාපොරොත්තු වනුයේ වර්තමානය අළලා ය. මන්දයත්
වර්තමාන සමාජයට බෞද්ධ ආකල්ප වඩාත් උචිත යැයි හැඟෙන නිසාවෙනි.
බුදුදහම අකාලික වූ දහමකි. අතීතයට, වර්තමානයට , මෙන්ම හෙට අනාගතයට ද එහි
වැදගත්කම අසීමිතය. මිනිසා යනු හේතුඵල දහමේ ප්‍රතිඵලයක් බව බුදුරජාණන්
වහන්සේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේදී වදාළ සේක. කෙසේ වුවද මිනිසා
වැඩෙන සත්වයෙකි. පුද්ගල රාශියක එකතුව සමාජයයි. සමාජයක් යහපත්ව අඛණ්ඩව
ගලා යෑමට නම් යුතුකම්, වගකීම්වලට මුල් තැනක් දිය යුතුය. සමාජයේ
ශක්තිමත් අරටුව යුතුකම් බව බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී
සිඟාල ගෘහපතියාට පෙන්වා දුන් සේක.
ඡායා - ලක්ෂාන් |
එහෙත්, වර්තමාන සමාජය තුළ යුතුකම් පිළිබඳ එතරම් උනන්දුවක් නැතත් වගකීම්
පිළිබඳව හැමෝම අවධානය යොමු කරති. මවුපියන් දරුවන්ට, දරුවන් මවුපියන්ට ,
ශිෂ්‍යයන් ගුරුවරුන්ට , ගුරුවරුන් ශිෂ්‍යයන්ට, පුද්ගලයා සමාජයට , සමාජය
පුද්ගලයාට ආදි ලෙසින් යුතුකම් ඉටුකළ යුතු යැයි පෙළ දහමේ දක්වයි.
චාරිත්‍ර නොකරන කිසිදු සමාජයක් සාරධර්ම අතින් යහපත් ලෙස ගොඩ නැංවිය
නොහැකිය. ජීවිතාවබෝධය මත පිහිටා මිනිසා ක්‍රියා කරන්නේ නම් සමාජය යහපත්
කර ගැනීමට හැකිය. යුතුකම්, සමාජයට උපයෝගී වනුයේ සමාජගත මිනිසාට අනෙකා
සමගින් සුහදව ජීවත් වීමටය.
තෙවරක් සම්බුදු පා පහස ලද, මහින්දාගමනයෙන් ශිෂ්ට සම්පන්න වූ රටක් තුළ
පියා, පුතා මරමින්, පුතා පියාට දස වද දෙමින්, ශිෂ්‍යයන් ගුරුවරුන් ගස්
බැඳ තබමින්, ගුරුවරුන් ශිෂ්‍යයන් නොමඟ යවමින්, පුතාට අම්මා, තම සහෝදරිය
නොපෙනෙමින් අකටයුතුකම් කරමින් පවිටු පටු අදහස් රජ කරන සමාජයක්
බිහිවනුයේ යුතුකම පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසාවෙනි. කළගුණ සැලකීමද
මීට සමගාමීව සිදුකරන යහපත් සත් ක්‍රියාවකි.
කළගුණ සැලකීම ද මිනිසා නොදන්නා සේය. කළ උපකාරය වෙනුවෙන් පෙරළා උපකාර
කිරීම බුදුන් වහන්සේ ආදර්ශයෙන් පෙන්වා දුන් සේක. වචනයකින් හෝ යම්
උපකාරයක් යමෙක් කළේ නම් ඒ සැමට කළ ගුණ සැලකිය යුතුය. ආදර්ශමත් සමාජයක
සිත් නිවාලන මනු දහම කළගුණ සැලකීමයි. හෙවත් යුතුකම් ඉටුකිරීමයි.
පුද්ගලයාගෙන් සමාජයට ඉටුවිය යුතු යුතුකම් සියල්ල මනාව ඉටුකරයි නම්
නිරන්තර සමාජයෙන් ද යුතුකම් ඉටුකිරීමට පෙළඹෙනු ඇත. මිනිසා සමාජය පිළිබඳ
අවබෝධයෙන් යුතුව ජීවත් වන්නේ නම් කලකෝලාහල දඹර කර ගැනීම්, අයිතිවාසිකම්
උදාකරගැනීමට පෙළඹීම් අඩුවෙනු ඇත.
මිනිසා සුහද සිතින් ජීවත් වීමට උත්සුක වෙයි. ‘සමග්ගා හොථ මා විවදථ’
සමගි වවු. විවාද නොකරවු. යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ එකමුතු කමේ,
සහජීවනයේ වටිනාකම පෙන්වා දෙමිනි. අසමඟිය තුළින් කිසිවක් ජය ගත නොහැකි
බවද, සමඟියෙන් එකමුතුකමින් රාජ්‍යයක් වුවද අත්පත් කර ගත හැකි බව වදාළහ.
සමඟියේ කඩ ඇණය ලෙස යුතුකම් ඉටුකිරීම බව සඳහන් කිරීම යුක්ති සහගතය.
මානව ඉතිහාසයේ ප්‍රථම වරට බිහිවූ ශ්‍රේෂ්ඨතම ශීල ප්‍රතිපදාව පංචශීල
ප්‍රතිපදාවයි. එහි ඇති වටිනාකම අසීමිතය. දඬුවමට, මරණයට බිය නොවන
කිසිවෙක් මිහිපිට නොමැත. ගිහියාගේ නිත්‍යශීලය ලෙස පංචශීල ප්‍රතිපදාව
බෞද්ධ, අබෞද්ධ සියලු දෙනාට රැකිය හැකි ප්‍රතිපදාවකි. පන්සිල් සුරැකීමේ
ආනිසංස අජාසත් රජුට සාමඤ්ඤඵල සූත්‍රයේදී දේශනා කළහ. මිනිසා සමාජය සමග
ජීවත් වීමේදී නොකළ යුතු කරුණු 5 ක් ලෙස මෙය දක්වා ඇත. අනුනට දඬුවම්
කිරීම, හිංසාකිරීම, පරපණ නැසීම මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය කිරීමෙකි.
ලොව උපන් කිසිඳු සත්ව කොට්ඨාසයක් තවෙකෙකුගේ ගොදුරක් නොවේ.
කිසිවෙකුට හිංසා කිරීම මිනිසාට අදාළ නොවන දෙයකි. පර පණ නැසීම
හේතුකොටගෙන සමාජගත මිනිසාට පීඩාවෙන් භීතියෙන්, තැතිගැනීමෙන් ජීවත් වීමට
සිදුවේ. තමාගෙන් පරිබාහිර කිසිඳු දෙයක් තමාට අයිති නැත. අන්සතු දේ
පැහැර ගැනීම මිනිසාට කරනු ලබන බලවත් අසාධාරණයකි. සොරකම තුළින් සමාජ
ගැටුම් උද්ගත වේ. පුද්ගලයා තමාගේ දේ තවෙකෙක් සොරා ගැනීමට උත්සාහ ගනු
ලබන විට එය රැක ගැනීමට විධි විධාන යොදයි. එහිදී කලකෝලාහල ගැටුම්
නිර්මාණයවී මිනී මැරුම් වැනි භයානක විපත් පවා සිදුවීමට බැරි නැත.
කම්සුව විඳීමට සියල්ලෝ ආශාවක් දක්වති. එහෙත් කාමය වරදවා හැසිරීම
පුද්ගලයාට කරනු ලබන හිංසාවක්ය.
නොසංසිදෙන ආශාව මතින් ලොව මෙතෙක් බිහිවී ඇති ඒඩ්ස් වැනි මාරාන්තික රෝග
පවා එහි අනිටු ප්‍රතිඵලයන්ය. බොරු කියන්නාට කළ නොහැකි පවක් නොමැත.
මිනිසුන් රැවටීම, දියුණු සහගත සමාජයක අඩිතාලම නොවේ. සිහිමද වූවන්,
මත්ද්‍රව්‍ය භාවිතා කරන්න වුන් ජීවත්වන සමාජයක් කිසිදා යහපත් කළ නොහැක.
එහෙයින් නූතන සමාජයට පංචශීල ප්‍රතිපදාවේ උපයෝගීතාව බෙහෙවින් බලපානු
ලබන්නකි.
හිංසා පීඩා, කරදර, දුක් දොම්නස් , සියල්ලේ මූල බීජය පන්සිල් නොරැකීමයි.
පන්සිල් රකින්නා දැහැමි වූවෙකි. ඒත් නූතන මානවකයා මේ සියල්ල තුළින් ඈත්
වී ඇත. එනිසා සමාජ පරිහානිය පිළිබඳ පුදුම විය යුතුද නැත.
මිනිසා යනු මනසින් උසස් වූ සත්ත්වයෙකි. යමක් සිතා බලා අවබෝධ කර ගැනීමේ
ශක්තිය ඔහුට ඇත. හොඳ, නරක, කුසල් අකුසල් වටහාගැනීමට තරම් නුවණක් ඇත.
එනිසා කුමන ආගමක වුවද යහපත් ආකල්ප තම ජීවිතයට ළංකරගත යුතුය. සියල්ලන්ටම
මෙත් සිතින් සමසේ, ආදරය, කරුණාව, දයාව දැක්විය හැකි හදවතක් නිර්මාණය කර
ගැනීම තුළින් ආදර්ශමත් විය හැකිය.
සමාජ බැඳීම් අවබෝධ කරගනිමින් නිවැරැදි ජීවන ප්‍රතිපත්තියක් ඇතිකර ගත
යුතුය. හංසයා කිරි සහ ජලය වෙන් කර අදුනා ගන්නාසේ මිනිසා ද හොඳ නරක
වෙන්කර හදුනා ගත යුතුය. අසත්‍යය, සත්‍යයෙන් ද, මුලාව සිහියෙන් ද,
ආත්මාර්ථකාමි බව දානයෙන් ද, ද්වේශය, මෛත්‍රියෙන් ද ජයගත යුතුය. ඒ සඳහා
අදාළ බෞද්ධ ආකල්ප තම ජීවිතයට උපයෝගී කර ගත යුතුය.
වත්මන් සමාජගත මිනිසා ජීවත් වනුයේ මරණයෙන් සියල්ල අවසන් වන ලෙසින්ය.
එහෙත් බුදු දහමට අනුව මරණය ජීවිතයේ අවසානය නොව සංසාර ජීවිතයේ ආරම්භයක්
පමණි. එනිසා ජීවත් වන සුළු කාලය තුළ පින් දහම් කළ යුතුවේ. බුදු දහමට
අනුව බෞද්ධයා පුනර්භවයක් පිළිගනී. පරලොව ද සැපවත් කර ගනු පිණිස මෙලොව
යහපත් විය යුතුය.අයහපත් ජීවිතයක් ගත කිරීමට ඕනෑම අයෙකුට කළ හැකි දෙයකි
. එහෙත් අප උත්සාහ ගත යුත්තේ වැරැදි කරන්නවුන් අතර නිවැරැදි වූවන් ලෙස
ජීවත් වීමටය.මෙලොව පරලොව, දෙලොව සිතන අයකුගෙන් හිංසාවක්, කිසිවෙකුටත්
සිදුවිය නොහැකිය. වර්තමාන මිනිසා හුදු සතුටක් අපේක්‍ෂා කරනුයේ
පංචේන්ද්‍රියන් පිනවීමෙන් ලබන ලෞකික සතුට පමණි.විනෝදය මත පමණක් ජීවත්
වන මිනිස් සන්තානය තුළ කිසිදු සහනයක් නැත. අසහනකාරී ජීවිතය පීඩාවක් බව
දැන දැනම මිනිසා එලෙසින්ම ජීවත් වීමට හුරුපුරුදු වී සිටියි.
පී‍්‍රතිමත් සදාචාර සම්පන්න ජීවිතයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය බෞද්ධ ආකල්ප
බොහෝමයක් බුදුදහමේ දක්වා ඇත. ජීවිතය සකසා ගැනීමට හැකියාව ලැබෙනුයේ
වර්තමානයෙන් මිස අතීතයෙන් හෝ අනාගතයෙන් නොවේ.
පුද්ගල සංවර්ධනය මේ භවයේදීම ඇති කර ගත යුතුය. සතුටු සිතින් ජීවත් වීමට
උත්සාහගත යුතුය. සතුට වනාහි සුවඳ විලවුමකි. එය අන් අයට ඉසින විට තමාට ද
නිතැතින්ම සුවඳ හමන්නේ ය. අසත්‍යයෙන් සත්‍යයට , අදුරෙන් එළියට, මරණයෙන්
අමරණීයත්වයට පත්වන මග කුමක්දැයි අවබෝධකරගත යුතු අතර ධනය, බලය, කීර්තිය,
ප්‍රශංසා, තාවකාලික වූවක් බව වටහාගත යුතුය.
බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්වයාට ප්‍රශංසා ආදියෙන් තොරව මෙත් වැඩූ
බව බුද්ධ චරිතයෙන් පිළිබිඹු වේ. එවැනි උදාරගති පැවතුම් වත්මන් මිනිසා
තුළ නොමැති තරම්ය. මිතුරන්ට මිතුරුවිය යුතුය. සතුරන්ට ද මිතුරු විය
යුතුය.
ලෞකික භව භෝග සම්පත් කොතරම් තිබුණ ද ඉන් මානසික සැනසිල්ලක් ඇති කර
ගැනීමට අසීරුය. සතුටක් ඇති වුවද එය තාවකාලික සැපකි.
බල ලෝභීත්වයෙන් රාජ්‍යයන් අත්පත් කරගත් අශෝක රජුට ද මානසික සැනසිල්ල
උදාවූයේ ශාන්ත ගමනින් වැඩිය සත් හැවිරිදි සුමන හිමියන් දැකීමෙනි. පියා
ඝාතනය කර රජකම පැහැරගත් අජාසත් රජුද කුමන සැප සම්පත් වින්ද ද හදවතින්
අපමණ වේදනා වින්දෙකි. ඒ අනුව වටහාගත යුතුවන්නේ මානසික සන්තුෂ්ටිය රඳා
පවතිනුයේ බාහිර බලවේගයන් තුළ නොව අභ්‍යන්තර ගුණ වගාව තුළ බවය.
සීලවන්තයා සතු මානසික සැනසිල්ල පිළිබඳව බුදුරජාණන් වහන්සේ අජාසත් රජුට
සාමඤ්ඤඵල සූත්‍රයේදී කරුණු දක්වති. එම සූත්‍රයට අනුව ධනයට බලයට සියල්ල
සිදුකළ නොහැකි බව එදා මෙන්ම නූතන මිනිසාට ද අවබෝධ කර ගැනීම වටී.
සියල්ලටම ප්‍රධාන වනුයේ සිත බව ධම්ම පදයේ පළමු ගාථාව උගන්වයි. මිනිසා
කරනු ලබන සියල්ල ක්‍රියා වන අතර ක්‍රියාවන් කිරීමේදී සිත යහපත් විය
යුතුය. චුල්ලකම්ම විභංග සූත්‍රයේදි බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ
“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” මහණෙනි මම චේතනාව කර්මය ලෙස හඳුන්වමි.
යමෙක් පිරිසුදු සිතින් යමක් කියයි ද කරයිද එයම ඔහුගේ සැප පිණිස පවතී.
වර්තමාන මිනිසා රාගයෙන් අන්ධ වී , ද්වේශයෙන් රත්ව මෝහයෙන් මුලාවී
සියල්ල මමය මාගේය යැයි තෘෂ්ණාවෙන් වෙළාගනිමින් සිටින්නෙකි. දෑස් පෙනුන
ද අන්ධයන්සේ සිහිවිකල් වූවන්සේ දුවන්නන් වාලේ දුවති. මිනිසා එසේ වන විට
ඔහුගේ පරිහානිය ද අතළඟය. බුදු දහම බුද්ධි ගෝචර දහමක් වූ හෙයින් බෞද්ධ
සමාජ ආකල්ප මොනවාදැයි මිනිසා අවබෝධ කර ගනු ලබන්නේ නම් යහපත්
පුරවැසියෙක් බිහිකර ගත හැකිය. |