Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු සිරිත සත්සරින් ලිවීම

දිනේෂ් සුභසිංහ නමැති තරුණ සංගීතවේදියා විසින් නිර්මාණය කරන ලද “ කරුණා නදී” සංගෘහිත තැටිය (CD) ශ්‍රවණය කිරීම නිසා උපන් පහන් හැඟීමෙන් යුතු ව මේ සටහන තබමි. සත්සරින් ලියවුන බුදු සිරිතේ අසිරිය යැයි නම්කොට ඇති එහි දේවාරාධනාව, ලුම්බිණියේ මල්, සතර පෙර නිමිති, ලොව්තුරා බුද්ධත්වය, නරසීහ පිතා, යශෝධරා, විශාලා මහනුවර තුන්බිය, මහා බුද්ධ ශ්‍රාවකයන්, බුද්ධකාලේ මහා කාන්තාවන්, දෙව්දත් වැනසී, මහා පරිනිර්වාණය යන බුදු සිරිත හා සබැඳි සිදුවීම් මෙන් ම දන්නෝ බුදුන්ගේ ගීතයේ අනුවාදනයක් ද ඇතුළත් ය.

ආගමික තේමාවන් පාදක කොට ගායන වාදනවලින් නිර්මිත අර්ධ නාට්‍යමය ප්‍රබන්ධ යැයි මලලසේකර ඉංගී‍්‍රසි - සිංහල ශබ්දකෝෂයෙහි සඳහන් ඔරටෝරියෝ (oratorio) සම්ප්‍රදාය අනුව නිර්මාණය කැරැ ඇති මෙය, ගීත ගායනා පමණක් රසවිඳ පුරුදු රසිකයාට නුහුරු අත්දැකීමක් වනු නො අනුමාන ය. එහෙත් මෙය ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයට පමණක් නො ව ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ද ඉතා වැදගත් අවස්ථාවකි.

කෙ සේ වුව ද සංගීතය පිළිබඳ ව ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලැබූ පුද්ගලයකු නො වන මා හට කළ හැකි එක ම දෙය සංස්කෘතික දෘෂ්ටිකෝණයකින් මෙය විග්‍රහ කිරීම පමණි. මෙහි දී සංස්කෘතික අධ්‍යයනවේදී කාර්ය භාරය කුමක්දැයි අවබෝධ කැර ගැනීම පිණිස මහාචාර්ය විමල් දිසානායකයන් උපුටා දක්වමි. අමරදේව හා සිංහල සංගීත සංකථනය නමැති එම ලිපිය පුන්කලස සිළුමිණ ශාස්ත්‍රීය ලිපි සරණියෙන් උපුටා ගන්නා ලද්දකි.

”සංගීත සංකථනය අවශ්‍යයෙන් ම සංස්කෘතික සංකථනයකි. එබැවින් සංස්කෘතිය යන සංකල්පය කෙරෙහි මුලින් ම අප ගේ අවධානය යොමු විය යුතු ය. සංස්කෘතිය යන පදය විද්වත්හු විවිධාකාරයෙන් විවරණය කරති. අමරිකාවේ මානව විද්‍යාඥයකු වන මහාචාර්ය ක්ලිෆර්ඩ් ගර්ට්ස් මහතා සංස්කෘතිය යන පදය විග්‍රහ කෙළේ මිනිසා තමා අවට ගොතන අර්ථාවලිය බව යි. මෙය සංගීත සංස්කෘතිය වටහා ගැනීමට ද බෙහෙවින් උපකාරී වන්නකි. ගායකයන්, සංගීතඥයන් නාද රටා ඇසුරෙන් අර්ථ ජනනය කරන ආකාරය විද්වත් රසිකයන් ගේ විචාරක්ෂියට ලක් විය යුත්තකි. “

“පසුගිය දශක දෙක තුන තුළ බටහිර රටවල පමණක් නො ව පෙරදිග රටවල ද ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ ගවේෂණ මාර්ගයක් ලෙස සංස්කෘතික අධ්‍යයනය හැඳින්විය හැකි ය. සංස්කෘතිය යන සංකල්පය හුදෙක් විදග්ධ සංස්කෘතියට පමණක් සීමා නො කොට ගැමි සංස්කෘතිය,ජනපි‍්‍රය සංස්කෘතිය දෛනික ජීවන පරිචිති යනාදිය කෙරෙහි ද එක හා සමාන ආලෝක ධාරාවක් යොමු කිරීම ඔවුන් ගේ අරමුණයි.”

“සංස්කෘතික අධ්‍යයනය බිහිවූයේ සමාජ විද්‍යාව, මානව විද්‍යාව, ඉතිහාසය, දර්ශනය, සන්නිවේදන විද්‍යාව බඳු විෂයයන් ගණනාවක එක්වීමේ ඵලයක් වශයෙනි. ගවේෂණ මාර්ගයක් වශයෙන් සංස්කෘතික අධ්‍යයනය ප්‍රභවය ලැබුවේ එංගලන්තයෙහි බර්මිංහැම් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ව තිබුණු සංස්කෘතික අධ්‍යයන කේන්ද්‍රයෙහි ය.”

ඔරටෝරියෝ යනු ආගමික තේමාවන් පාදක කොට කැරෙන සංගීත නිර්මාණයක් නම් , ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් ආගමට වඩා පැරැණි බෞද්ධ ආගමේ මූලාශ්‍ර එ බඳු නිර්මාණයකට මෙතෙක් විෂය නොවූයේ ඇයි ද යන කාරණයත් මෙහි දී අවධානයට යොමු විය යුතු ය. බුදු සිරිත හා බැඳුණු බොහෝ සිදුවීම් විහාර චිත්‍රවලට විෂය වී ඇත. බුදු සිරිත කවියට නැඟීම අතීතයේ සිට පැවත එන සම්ප්‍රදායකි. ශ්‍රී ලාංකේය කලාවේ වර්ධනය සඳහා විශාල බලපෑමක් එල්ල කළ ඉන්දියාව සතු මහා සංගීත සම්ප්‍රදාය හෙළ ගීත කලාව කෙරෙහි පමණක් දායකවීම විමතියට කරුණක් නො වේ ද?

කරුණා නදී සීඩී තැටිය නිර්මාණය කළ දිනේෂ් සුභසිංහ ඉන්දියානු සංගීත ආභාෂය ඒ .ආර්.රහුමාන් නමැති විශිෂ්ට සංගීතඥයා යටතේ ලබා තිබීම ද මෙහි දී සැලකිල්ලට ගත යුතු ය. ඔස්කා සම්මානලාභී සංගීතඥ ඒ.ආර්. රහුමාන්ගේ ප්‍රථම ශ්‍රී‍්‍ර ලාංකික ශිෂ්‍යයා වන දිනේෂ්, ඉන්දීය සිනමාකරු මනිරත්නම් ගේ ‘රාවණා’ චිත්‍රපටයට වාදකයකු සේ දායක වී ඇත. දිනේෂ් සුභසිංහ මේ සියලු වාසනාවන් උදාකර ගත්තේ, රාවණ හත්ත නමැති ප්‍රාථමික තත් භාණ්ඩයේ ශ්‍රී ලාංකික උරුමය පිළිබඳ ව කළ ගවේෂණය හේතුවෙනි. මේ සංස්කෘතික සබඳතාව ‘කරුණා නදී’ සත්සර සරණියෙහි උපත කෙරෙහි ඍජු ලෙස ම බලපා තිබේ.

ඒ .ආර්. රහුමාන් යටතේ, සංගීත ශික්‍ෂණය ලබන දිනේෂ් සුභසිංහ ශ්‍රී ලාංකික අනන්‍යතාව නිවැරැදි ව හඳුනා ගත් බවට ‘කරුණා නදී’ සත්සර සරණිය කදිම සාක්කියකි. මෙය වඩාත් වැදගත් වන්නේ ඉන්දියානු රාගධාරී සංගීත සාගරයේ ගිලීගිය අප ගේ බොහෝ සංගීතඥයන් ගෙන් ශ්‍රී‍්‍ර ලාංකේය අනන්‍යතාව ගිලිහී ගිය බැවිනි. බුදුදහම මහා භාරතයෙන් අප ලද දායාදයක් වුව ද සුවිශේෂී සිංහල අනන්‍යතාවක් ගොඩනඟා ගැනීම සදහා එය ඉවහල් කැර ගැනීමට ශ්‍රී ලාංකිකයෝ සමත් වූහ. ඊට යම් දායකත්වයක් ලබාදීමට දිනේෂ් දරා ඇති උත්සාහය අප අගය කළ යුතු ය. ඔහු ගේ ප්‍රයත්නය අපට වැදගත් වන්නේ ඉන්දියානු සංගීතයේ ඉතිහාස කතාව වෙත අවධානය යොමු කළ විට ය.

ඉන්දීය සංගීතය ‘මාර්ග‘ හා ‘දේශීය’ යැයි ආකාර දෙකකින් යුක්ත ය. පාරලෞකික විමුක්තිය සඳහා වෛදිකයන් විසින් උපයෝගී කැර ගත් සංගීතය ‘මාර්ග’ වූ අතර සාමාන්‍ය ජනතාව ගේ රසාස්වාදය සඳහා භාවිත සංගීතය ‘දේශීය’ යනුවෙන් හැඳින්විණ.

සාමවේද යුගයේ මන්ත්‍ර ක්‍රමයක් ලෙස පැවැති සංගීතය “පළමුවෙන්” ඍග්” නමින් තනි ස්වරයකින් ද, ‘ගාථා’ නමින් ස්වර දෙකකින් ද ‘සාම’ නමින් ස්වර තුනකින් ද , ගායනා කොට තිබේ. ස්වර හතරකින් යුත් ස්වර මාලාවක් ‘ස්වතන්ත්‍ර’ නමින් භාවිත වී තිබේ.

මෙයින් පැහැදිලි වන්නේ බුදුරදුන් පහළ වන විට ඉන්දියාවේ දියුණු සංගීත සම්ප්‍රදායක් තිබූ බව හා ඊට හින්දු ආගම බෙහෙවින් බලපා ඇති බව ය. දීඝනිකායේ සක්ක පඤ්ච සූත්‍රයෙහි දැක්වෙන පංචසිඛ ගේ වීණා වාදනය පිළිබඳ ව බුදුරදුන් පළ කළ අදහස් නූතන විචාරකයන්ට මහා මඟපෙන්වීමකි. උන්වහන්සේ එහි දී පංචසිඛට මෙ සේ වදාළ සේක.

“පංචසිඛ ඔබ ගේ වාදනය ගායනය සමඟත්, ගායනය වාදනය සමඟත් එකිනෙක ගැලැපේ. වාදනය ගායනය ඉක්මවා නො යන අතර, ගායනය වාදනය ඉක්මවා නොයේ.”

වසර දෙදහස් පන්සීයකට පෙර ඉන්දියාවේ පැවැති සංගීත භාවිතය එ බඳු ය. එ බඳු ඉන්දිය සංගීත සාගරයෙන් දිය දෝතක් ගෙන වියළි කලා කෙත තෙමාලන්නට බටහිර සංගීත ශික්ෂණය ලැබූ දිනේෂ් දරා ඇති ප්‍රයත්නයට ප්‍රශංසා කිරීම සාධාරණ ය.

අවස්ථාවෝචිත පරිදි මිනිස් හඬ ද මුසුකර නිපැයු නාදරටා මඟින් බුදු සිරිතේ අසිරිය දැනවීමට දිනේෂ් සමත් වී ඇත. එයට කදිම උදාහරණයක් ලෙස නරසිහ ගාථා සංගීතය සමඟ යොදාගෙන ඇති ආකාරය දැක්වීමට පුළුවන. රතන සූත්‍ර දේශනාව ද පසුබිම් කොට ගත් විශාලා මහනුවර තුන්බිය සාර්ථක නිර්මාණයකි. අවශ්‍ය බොහෝ දේ ඔහු එහි දී ස්පර්ශ කැර තිබේ.

සිය නිර්මාණය පිළිබඳ ව දිනේෂ් සුභසිංහ දරන්නේ මෙ බඳු මතයකි.

“ලෝකයේ විවිධ ආගමික මුලාශ්‍ර උපයෝගී කර ගෙන නිර්මාණය කළ ඔරටෝරියෝ බොහෝ තිබෙනවා. ඒත් බෞද්ධ මූලාශ්‍ර උපයෝගි කරගෙන සංගීත ඔරටෝරියෝවක් නිර්මාණය වී නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතය ඔරිටෝරියාවක් ලෙස සීඩී තැටියකින් ඉදිරිපත් කිරීම දුර්ලභ කරුණක්. බුදුරජාණන් වහන්සේ ගේ මහා පරිනිර්වාණය අළලා ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් කැන්ටාටාවක් නිර්මාණය කළා. මටත් එයට වාදකයකු විදිහට සහභාගිවීමට ලැබුණා.”

“මේ නිර්මාණයට සංගීත ශෛලීන් රැසක් මා යොදා ගත්තා. දේශීය මූලාශ්‍ර, බටහිර සම්භාව්‍ය සංගීතය, චීන හා ටිබෙට් සංගීත ශෛලීන්, ඉන්දියානු සංගීතයේ ආභාෂය, පොප් සංගීත ශෛලීන් මේ සඳහා මා යොදාගෙන තිබෙනවා. මෙය මතු පරපුර ඉලක්ක කොට කළ දැවැන්ත නිර්මාණයක්. මේ සඳහා සංගීතය නිර්මාණය කර ඇත්තේ මැදුම් පිළිවෙත නමැති සංකල්පය මත යි .”

කෙ සේ වුව ද බෞද්ධ අනන්‍යතාව සොයා යන ගමනේ දී දිනේෂ් සුභසිංහ සංස්කෘතික සාක්ෂරතාව කෙරෙහි සැලකිළිමත් විය ගත යුතු ව ඇත. ඊට අදාළ උපුටා ගැනීමක් තිස්ස අබේසේකරයන් ලියූ ‘අයාලේ ගිය සිතක සටහන් ‘ කෘතියෙන් ගෙන හැර දක්වමි.

“බෞද්ධ පොත පතේ මුල් වරට (වංසත්ථප්පකාසිනි) සඳහන් වන පංචතූ®ර්ය නම් වූ සංගීත භාණ්ඩ පස් වර්ගයට තත් භාණ්ඩ අයිති නො වන වග මෙහි දී සැලකිය යුතු ය. එහෙත් සරසවිය අත දරා සිටින වීණාව තත් භාණ්ඩයක් බවත් එය හින්දුවරුන් ගේ පූජනීය භාණ්ඩය බවත් මා කියු දෙයට ප්‍රතිවිරුද්ධ ව නැඟිය හැකි ප්‍රබල තර්කයකි. වීණාව යනු ආර්ය වර්ගයාගේ වෛදික බමුණු කුලයේ උත්තර බව ප්‍රකට කරන සංකේතයක් මිස ඉන්දියාවේ බහුල ව භාවිත වූ සංගීත භාණ්ඩයක් නො වේය යනුවෙන් තවත් තර්කයක් නැඟිය හැකි ය.”

”මෙහි දී අපගේ මුඛ්‍ය තර්කය වනුයේ ආර්ය සංක්‍රමණයට පෙර ඉන්දියාවේ ප්‍රචලිත ව තිබූ ප්‍රබල රිද්ම රටා මුල් කරගත් නැටුම් සංගීතක් වූ බවත් එය උත්තර භාරතයෙන් නොහොත් ආර්යවර්ථයෙන් කෙමෙන් ඉවත් වුව ද දක්ෂිණ භාරතයේ අද දක්වා පවතින බවත් ය. ආංගිකාභිනය මුල්කර ගත් පුද පූජා ආශි‍්‍රත ව පවතින මෙහි රිද්ම රටා හා අපි‍්‍රකා මහද්වීපයේ ගෝත්‍රික යාතුකර්ම පුද පූජා ආශ්‍රීත බෙර වාදන ඔස්සේ බිහි වූ ජෑස් - ස් සංගීතයත් අතර ඇති ඥාති සම්බන්ධය පැහැදිලි ය. “

අප මෙ සේ සඳහන් කළේ ‘කරුණා නදී’ වෙනුවෙන් නිර්මාණය කැර ඇති කවරය සඳහා ගෙන ඇති ධර්ම චක්‍රය හා රූප ආදිය දෙස බැලූ විට සංගීත ඥානය ගැන මිස සංස්කෘතික සාක්ෂරතාව ගැන දිනේෂ් සුභසිංහ එ තරම් සැලැකිල්ලක් දක්වා නැති බව පෙනී යන බැවිනි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.