Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙන්නේ කෙසේද?

වසර2600 උදාවන විටත් වසර 2300 ඉතිහාසයක් ඇති බෞද්ධ අප දැන් ද මුල්තැන දී ඇත්තේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට දේශනා කළ ධර්මයට නොව බුදු සිරිතටය. බෞද්ධ අප තවමත් කරන්නේ සම්බුදුපියාණන් වහන්සේ බුදුවීම සඳහා ආරම්භ කළ ක්‍රියාමාර්ග තුළ රැ‍ෙඳමින් මුල් අවස්ථාවේ වූ කටයුතු සඳහා බුදු ගුණ වයමින් ආමිස පූජාවේ යෙදීමට මුල්තැන දීම ය. තථාගතයන් වහන්සේ උතුම් කොට සැලකූ අනුශාසනා ප්‍රාතිහාර්ය නම් වූ ප්‍රතිපත්තිමය පූජාවට ඇත්තේ දෙවන තුන්වන ස්ථාන නොව අවසන් තැනය.

අභිනිහාර අෂ්ටධර්ම මත එදා රහත්වීමට වාසනාව තිබූ සුමේධ තවුසන් දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා සසරට එකතු වූයේ තමා කවදා හෝ සසර දුක්විඳින බොහෝ මහජනයා සසරින් මුදා ගැනීමට සම්මා සම්බුද්ධත්වය ලබාගන්නවා මිස බොහෝ දෙන ලවා වන්දනා මාන, ගරු සැලකිලි, ලාභසත්කාර ලබා ගැනීමට නොවේ. එවන් බුද්ධ පරමාර්ථ මෛත්‍රී බුදුන් වහන්සේගේ සාසනය දක්වා කල්තබා අද අපි වඳිමින් පුදමින් කල් ගෙවන්නෙමුය. එසේ නිවන තෙක් කල් දැමීමට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ කළ වරද කුමක් ද? ධර්මයේ ඇති අඩුව කවරේ ද? අපිදු එදා සිදුහත් තවුසාණන් විඳි දුෂ්කර ක්‍රියා කරමින් සිටීමට වෑයම් දරමින් සිටිමු. බුද්ධානුසාසනාව තුළ බුදුදහම ආරම්භ වන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ තැන් පටන්ය. බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ එතැන්සිට පටන් ගැනීමට ය. එනම් තමන් වහන්සේ අවසන් කළ තැනින් පටන් ගන්නා ලෙසය. ඒ වෙනුවට අපිදු බුදුසිරිතේ එන සුමේධ කල සිට වූ ක්‍රියාවලියෙහි යෙදී සිටිමු. ඒ වෙනුවට විය යුත්තේ තථාගතයන් වහන්සේ අවසන් කළ තැනින් පටන් ගැනීමය.

මෙසේ සඳහන් කළ විට සමහර විතක්කවාදීන් නොයෙක් මත ඉදිරිපත් කොට දහමේ ම කරුණු දක්වමින් වාදයට පැමිණිය හැක. බුදුදහම චිතක්කයෙන් නොව ශ්‍රද්ධාව හා ප්‍රඥාව සමව යන අතක්කාවචර දහමකි. දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, වීරිය, ඛන්ති, සච්ච, අධිෂ්ඨාන, මෙත්තා, උපෙක්ඛා (පාරමිතා) මේවා වඩන්නේ කවදාදැයි ඇසිය හැක.

සම්මා සම්බුදුවරයන් වහන්සේලා, පසේ බුදුවරයන් වහන්සේලා මේවා සසරදී වඩයි. එහෙත් අරහත් බුද්ධ උතුමෝ මේවා වඩාගත්තේ ලැබූ ජීවිතය තුළදී බව දේශනා පාලියයි. අරහත් බුදුවරයන් වහන්සේලාගේ ශ්‍රාවක - ශ්‍රාවිකා චරිතයන්ගෙන් මේ බව සහතික කරති. තනතුරු පතා යම් යම් ප්‍රාර්ථනා තිබු බව නම් අපදාන පාලියෙහි සඳහන්ව තිබේ.

දැන් අප කළ යුත්තේ තථාගත බුදුරජාණන් වහන්සේ ආරම්භ කළ තැන සිටීම නොව අවසාන කළ තැනට යාමය. ඊට අදාළ මාර්ගයෙහි ගමන් කිරීමට බාධා වී ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය නොව බුද්ධකාය දෙස බලබලා වන්දනා මාන කරමින් කල් ගෙවීමය. ගුණදැන පැහැදී ශ්‍රද්ධාව ඇතිකොට සිල් සපුරා විදර්ශනා වඩා ප්‍රඥාව කරායාම වෙනුවට ශ්‍රද්ධාව භක්තියක් වශයෙන් ගෙන භක්ති උන්මාදයෙන් මිථ්‍යාදෘෂ්ටිගතව වැඳුම් පිදුම් පුද පූජා පවත්වමින් සිටීමය. වැඳුම් පිදුම් පුද පූජා ප්‍රතික්ෂේප කිරීමක් මෙයින් අදහස් නොකෙරේ. ප්‍රතිපත්ති මාර්ගයෙහි පූර්ව කෘත්‍යයන් ලෙස ඒවා කිරීමෙහි කිසිදු වරදක් නැත. ඒවා සඳහා අවම කාලයක් ලබාදෙමින් වියයුත්තේ බුදුරජාණන් වහන්සේ ගිය මග යමින් අනුගාමිකයකු වීමය. අනුජාතයකු වීමයි.

මයා පවත්තිතං චක්කං
ධම්ම චක්කං අනුත්තරං
සාරිපුතේතා අනුවතේතන
අනුජාතො තථාගතං
(සේල සූත්‍රය ම.නි. සුත්ත නිපාතය)

‘’පුණ්ණය, මා විසින් විශිෂ්ඨ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොටගත් සතර කර්ම කෙනෙක් ඇත.”

1. අකුසල් වූ අකුසල් විපාක ඇති කර්මයක් ඇත. (ඔවුහු ඒකාන්ත දුක් ඇති නිරයන්හි ඉපිද සදුක්ඛ වේදනා විඳිති)

2. කුසල් වූ කුසල් විපාක ඇති කර්මයක් ඇත. ඔවුහු ඒකාන්ත සැප ඇති සුභකිණ්හ (දිව්‍ය, බ්‍රහ්ම) දෙවියන් සෙයින් සැප වූ නිදුක් වේදනා විඳිති.

3. අකුසල් වූ ද, කුසල් වූ ද විපාක ඇති (මිශ්‍ර) කර්මයක් ඇත. ඔවුහු මිනිසුන් සෙයින් (මිනිස් ලොව රජකුව ඉපිද රෝගයෙන් පෙළෙයි නම්) ඇතැම් දෙවියන් සෙයින් (භූමාටු වැනි දෙවියෝ) විනිපාතිකයන් සෙයින් (විමාන පේ‍්‍රතයෝ - තිරිසන්ව ඉපිද මංගලහස්තියා මෙන්) ඒ ඒ කර්ම හේතුවෙන් සැපද, දුක්ද, මිශ්‍ර වූ වේදනා විඳිති.

4. අකුසල් ද නොවූ, කුසල් ද නොවූ එවන් විපාක ඇති කර්මක්ෂයට වැටෙන කර්මයක් ද ඇත. පුණ්ණය, ඉහත කී ත්‍රිවිධ කර්මයන් කෙරෙහි අකුසල් වූ අකුසල් විපාක ඇති කුසල් වූ කුසල් විපාක ඇති හා කුසල්, අකුසල් මිශ්‍ර වූ යම් කර්ම වේද, ඒ කර්මයාගේ ප්‍රහාණය පිණිස යම් මාර්ග චේතනාවක් වේද කර්මක්ෂය පිණිස වැටෙන කර්මයක් ද වේ. (ම.නි. 2 කුක්කුරවතිය සූත්‍රය - පිටු 86 -91)

මෙහිලා සතර වෙනුව දක්වා ඇත්තේ තථාගතයන් වහන්සේ බුදු වූ ආත්මය තුළ නැවැත නො ඉපදීම (නිවන) සඳහා දේශනා කළ පිළිවෙත් මාර්ගය යි. ගමේ පන්සලට යමු. දහමේ උගතුන් හමුවෙමු. මේ පිළිවෙත් මග විස්තර වශයෙන් දැනගමු. සතර අපායන්හි ඉපිද දිව්‍ය බ්‍රහ්ම ලෝකයන්හි ඉපිද මේ පිළිවෙත් මග පිරිය නොහැක. ඒ ඇයි. ඒ ලෝකයන් ඇත්තේ තමා කළ කර්මයන්ට සැප හෝ දුක් හෝ දුක්සැප දෙකම එකට ඇති හෝ විපාක ලබාදීම සඳහා ය. ඒ විපාක අවසාන කොට (විඤ්ඤාණය අවසන් නොවූ නිසා) නැවැත සසර කොහේ හෝ ඉපදීම සිදුවනු ඇත. අවසානයක් නැත. කර්මක්ෂය කළ හැක්කේ් මිනිස් ලොව ඉපදීමෙන් පමණි. අභිනිහාර අෂ්ට ධර්මයේ එය සඳහන්ව ඇත. බෝසතාණන් තුසිත දෙව්ලොවින් (සියලු බුදුවරයන් වහන්සේලා) මිනිස් ලොවට බටුයේ එහෙයිනි. මේ මරණින් පසු නැවැත මිනිස් ලොවට ඉපදීමේ හැකියාව අල්ප බව අංගුත්තර නිකාය ඒකකනිපාත දේශනාවේ ඇත. (ජම්බුදීප පෙය්‍යාලය 1 - 16 + 4 - 2) එනිසා උසස් මනසක් ඇතිව උපන්, විඳීමෙන්ම සැප - දුක් දෙකෙහිම අවබෝධය ඇති ආයුෂයෙන් අඩු මිනිසාට පමණි. කර්මක්ෂය කිරීමේ මාර්ග ප්‍රඥාව උපදවා ගැනීමේ හැකියාව ඇත්තේ. එහෙයින් බුද්ධත්වයට පත්ව දේශනා කළ ධර්ම මාර්ගයේ අපි ලැබූ මේ ජීවිතය තුළින්ම යමු. 2600 සම්බුද්ධත්ව ජයන්ති උදාව පිළිවෙතින් සරුවීමට අරමුණක් වශයෙන් එය ගෙන උතුම් වූ ප්‍රතිපත්තිමය බුද්ධ උපහාරය දැක්වීමට අපි අධිෂ්ඨාන කරගමු.

මේ සඳහා ප්‍රථමකොට, තුණුරුවනෙහි ගුණ දැන ගනිමු. මේ සඳහා වැඩි වශයෙන් පන්සල් ඇසුරු කරමු. දහමට කන්දෙමු. දහම් පොතපත (විකෘති නොකළ) කියවමු. දැනෙන පරිදි ධර්ම සාකච්ඡා පවත්වමු. දහම් කරුණ ලියමු. ධර්ම කරුණු ගැනම වැඩිපුර කථා කරමු. මෙවිට මමත් ඔබත් ශ්‍රද්ධාවෙහි පිහිටියා වෙමු.

දෙවැනි කොට, ආචාරගෝචර ස්ථාන ඇසුරු කරමින් ශික්ෂා පද ආරක්ෂා කිරීමට කටයුතු කරමු. සිරිත් රකිමු. විරිතෙන් වළකිමු. පව් කිරීමට ලජ්ජාවෙමු. භය වෙමු. පොරොන්දු වන සිල් පද නොකැඩෙන පරිදි, බලයෙන් අඩු නොවන පරිදි, අතරින්පතර සිදුරු කර නොගෙන උතුම් (ආර්යකාන්ත) සිල් රකිමු.

තෙවනුව, එදිනෙදා කටයුතු සැලැසුම් කොට වැඩ අඩුකර (අප්පකිච්ච) සිත සංසුන් කරගතහැකි ක්‍රියාමාර්ග (බුද්ධ, මෛත්‍රී, පිළිකුල්, මරණ අනුස්සති ආදි සමථය) වඩමු. සිවුවෙනිව, තමා දකින දේ පිළිබඳව නිවැරැදි දැක්ම ඇතිකර ගැනීමට සම්මාදිට්ඨිය (දෘෂ්ටිය සෘජු කරවා ගැනීම) ඇතිකර ගන්නා අයුරු උගෙන ඒ අයුරු පිළිපැදීමට කටයුතු කරමු.

පස්වෙනිව, පටිච්චසමුප්පාද වැනි ධර්ම ඉගෙන අනිච්ච, දුක්ඛ, අනාත්ම වශයෙන් විශේෂ (විපස්සනා) ලෙස මේවා හැඳින මමත්වය (සක්කාය දිට්ඨිය) වෙනත් සීලව්‍රත (සිලබ්බතපරාමාස) අටතැන සැකය (විචිකිච්ඡාව) දුරුකොට නිවැරැදි මාර්ග ප්‍රඥාව (සෝවන් මාර්ගඥානය) වඩා සසරින් මිදෙමු.

මහණෙනි, මම කළ හැක්කක්ම දේශනා කරමු. නොකළහැක්කක් දේශනා නොකරමු

(- භාග්‍යවතුන් වහන්සේ)

අපි ජීවිතය පෙරටු කොට, නිවන ප්‍රමාද (කල් දැමීම) කොට සිතීම අතහැර නිවන පෙරටු කොට - ජීවිතය දෙවැනිකොට සළකා කටයුතු පටන්ගමු. මෙසේ වූ විට නිවනටද ලංවේ. ජීවිතය ද සපල වේ.

‘වර්තමානයේ ඇතැම් උගත්තු මෙය මාර්ග ඵලාවබෝධයට පත්විය හැකි කාලයක් නොවේ යැයි කියති. එය එක් මතයක් පමණි. මේ කාලයේ මාර්ගඵලාවබෝධය ක්‍ෂේත්‍ර නොවේ යැයි බුද්ධ දේශනාවේ නො දැක්වේ.

‘ඉමෙච සුභද්ද භික්ඛුසම්මා විහරෙය්‍යුං අසුඤ්ඤා ලොකෙ අරහනෙත්හි අස්ස’

(සුභද්‍රය, මේ භික්ෂුව මනාසේ වාසය කරන්නා හු නම් ලෝකය රහතුන්ගෙන් හිස් නො වන්නේ ය.) යි මහාපරිනිර්වාණ සූත්‍රයෙහි වදාළ සේක. )

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.