Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම‍

ප්‍රශ්නය :
මෙම පාඨය කියවන්න
“එවං පියො පුථු අත්තා පරෙසං
තස්මා න හිංසෙ පරමත්ත කාමොති”
“එහෙයින් තමාගේ සුව කැමැති තැනැත්තේ අනෙකෙකු නොපෙළන්නේය”
ඛු.නි. රාජ සූත්‍රය.
බුදු රජාණන් වහන්සේ බෙහෙවින්ම සමීපතම යුවළකට දේශනා කළ උදානයකි.
මෙම දායක දායිකා දෙපළ කවුද? මෙයින් බුදු දහමෙහි දැක්වෙන සව¢කාලීන සද්ගුණය කුමක්ද?

පිළිතුර :
බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහිදී කොසොල් මහ රජතුමා සහ මල්ලිකා දේවිය අරමුණු කොට ගෙන දේශනා කළ ධර්ම පාඨයකි.
සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා
නෙවජ්ක්‍ධගා පියතර මත්ත නා ස්වච්
එවං පියො පුථු අත්තා පරෙසං
තස්මා න හිංසෙ පරමත්ත කාමොති

සියලු දස දෙස බැලුවත් තමනට වඩා ප්‍රියතමයෙකු කිසි තැනෙක කිසි කළෙක නො දකින්නේය. එසේම සියලු සත්වයන්ට තමාට වඩා තවත් ප්‍රියමනාප වූ අයෙක් නැත්තේමය.

එහෙයින් අත්තුපනායික ධර්ම ‘පරියාය’ තමා උපමානය වශයෙන් සලකා අනුනට හිංසා නොකළ යුත්තේය.

ප්‍රශ්නය :
සිය පුතුගේ මිරිවැඩි සඟලේ පියවර සටහන් දුටු බරණැස් සිටුවරයා ඒ අනුසාරයෙන් ඉසිපතනයට පැමිණියේය. මෙම පුවතට පාදක වූ සිදුවීම කුමක් ද?

පිළිතුර :
සිදුහත් බෝසත් තුමා වෙත බුදුවීමට කිරිපිඬු දානය පිළිගැන්වූ සුජාතා නම් සිටු දේවියගේ පුත් යස නම් සිටු පුත්‍රයා ගිහි ගෙයින් නික්ම ඉසිපතන මිගදායට ගොස් බුදුරදුන් හමුව ඒහි භික්‍ෂුභාවයෙන් පැවිදි විය. යසකුල පුතු ගිහි ගෙයින් නික්ම ගිය බව නොදැන සුජාතා උඩු මහලේ පුතු නොදැක බරණැස් සිටුතුමාට ඒ බව සැළ කළෙන් පුතු සොයා සිටුවරයා මිරිවැඩි සඟල පියවර ඔස්සේ ඉසිපතනයට ගොස් බුදුරජාණන් වහන්සේ හමුව පුතු පැවිදි බව අසා සොම්නසට පත්ව, මපුතුට මහත් ලාභයක් වූයේ යැයි සිතා සිය පුතු හා බුදුපාමොක් මහ සඟන වෙත දනට වඩනා ලෙස ආරාධනා කළේය.

ප්‍රශ්නය:
‘මහානාරද කස්සප ජාතකය දේශනාව අසා රජ කෙනෙක් සහ තම දූත පිරිස සෝවාන් ඵලයට පත් වූහ. සෝවාන් වූ රජතුමා රදුන් වෙත පැමිණ තමා ප්‍රාර්ථනා පසක් ඇතිව සිටි බව කීය. මෙම රජතුමා කවුද රජුගේ එම ප්‍රාර්ථනා පස කුමක්ද?

පිළිතුර
මගධාධිපති සේනිය බිම්බිසාර මහ රජතුමා මහා නාරද කස්සප ජාතක දේශනාව අසා සෝවාන් වූහ. බිම්සර මහ රජුගේ ප්‍රාර්ථනා පස නම්

1. රජවීම 2. තමන්ගේ රටට බුදුන් වහන්සේ සැපත් වීම. 3. බුදුරදුන්ගෙන් බණ ඇසීම. 4. බුදුන් වහන්සේ ඇසුරු කිරීම. 5. ධර්මය අවබෝධ කර ගැනීම යන පසය.

ප්‍රශ්නය:
මෙම බුද්ධ දේශනාවට පාදක වූ සිදුවීම පැහැදිලි කරන්න.

උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය
ධම්මං සුචරිතං චරෙ
ධම්ම චාරී සුඛං සේති
අස්මිං ලොකෙ පරම්භිච
නොමැළිව පිඬු සිඟව
නොපමාව දම් හැසිරෙව
දම් සැරි පුඟුල් තෙම
සුවසේ වෙසෙයි දෙලොවැම.

පිළිතුර
බුදු රදුන් කිඹුල්වත වැඩි ගමනෙහිදී කිඹුල්වත ශාක්‍යයෝ දහම් ඇසීමෙන් සොම්නස්ව බුදුරදුන් වෙත දනට ඇරයුම් නොකොට සිය මැදුරු බලා ගියහ. පසුදා බුදුරදුන් මහ සඟන පිරිවරා පෙර බුදු සිරිත අනුව යමින් පිඬු සිඟා වැඩියහ. යසෝදරා දේවිය ‘නරසීහ ගාථා අටකින්’ බුදු ගුණ වනා සිය මහ රජු වෙත පැමිණ ‘මහ රජ! ඔබ පුතු සිඟා වඩිති’ කීවාය.

සුදොවුන් රජු බුදු රදුන් වෙත පැමිණ හිමියනි! ශාක්‍ය වංශයෙහි වූවෝ සිඟා නොගියහ. මෙසේ සිඟමන් යාමෙන් අප වංශයට අවමන් නොකරනු මැනවැයි ඇයැද සිටියේය. එවිට බුදු රදහු මහරජ ඒ ඔබගේ වංශ යේ සිරිතය. මාගේ වංශය බුද්ධ වංශයයි වදාළහ. මහ රජ, එය අසා සෝවාන් ඵලයෙහි පිහිටියේය. ඉහත සඳහන් ගාථාව එම අවස්ථාවෙහිදී බුදු රදුන් විසින් සුදොවුන් මහ රජතුමා වෙත දෙසා වදාළහ.

ප්‍රශ්නය :
මෙම පාඨයෙන් සඳහන් වෙන දෙදෙනා කවුරුන්ද?

පැවිදි වෙස්ගත් ඔහු දෙදෙන උඩු මහලින් බිම් මහලට බැස මගට බටහ. මග යන ඔවුන් අතර මෙබඳු කථාවක් ඇතිවිය. ‘පැවිදි වීත් මොහු දෙදෙනා වෙන්විය නොහෙතියි’ මිනිස්සු කිලිටු සිත් පහළ කොටගෙන පව් පුරවා ගනිති. එහෙයින් ඉදිරි දෙමං සන්ධියේදී “අපි දෙදෙන වෙන්ව යමු ‘ යැයි දෙදෙනාම එකඟ වූහ. මානවකයා වටා තෙවරක් ප්‍රදක්‍ෂිණාකොට වැඳ අවසර ගෙන වම් මගින් හුදකලාව ඇය නික්ම ගියාය. මානවකයා දකුණු මං බලා ගමන් ගත්හ. ඔවුන් දෙදෙනා වෙන්ව ගිය කල්හි මහ පොළොව ගුගුරමින් කම්පා විය.

පිළිතුර
මගධ රට මහා තීර්ථ නම් බමුණු ගම කපිල නම් බමුණාට දාව උපන් ‘පිප්ඵලී’ නම් දරුවා තාරුණ්‍යයට පත්ව මදුරට සාගල පුරයෙහි භද්‍රකාපිලානී නම් දියණිය විවාහයෙන් පසුව දෙදෙනා සිය කැමැත්තෙන් ගිහි ගෙය අතැර පැවිදි වීම සඳහා පිටත්ව ගිය අවස්ථාව මෙම පාඨයෙන් කියැවෙයි. සම්බුද්ධ සාසනයෙහි තෙවන ශ්‍රාවක වශයෙන් සඳහන් වන ධූතංගධාරී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නමින් පසුව ඉහත සඳහන් පිප්ඵලී මානවකයා ප්‍රකට විය.

ප්‍රශ්නය
බුදු දහමට අනුව දෙමවුපිය පෝෂණය දරුවන්ගේ පරම යුතුකමක් මෙන්ම වගකීමකි. දෙමවුපිය දූ දරු සබඳතාව පිළිබඳව වදාල සමීපතම දේශනා පාඨයක් සඳහන් කරන්න.

පිළිතුර
ඛු. නි. සබ්‍රහ්මක සූත්‍ර,
බ්‍රහ්මාති භික්ඛවෙ මාතා පිතුන් නං එතං
අධි වචනං - ‘බ්‍රහ්ම’ යන සුවිශේෂ බුහුමන දෙමවුපියන් උදෙසාය.
පුබ්බාදේවාති – පූර්ව දෙවිවරු
පුබ්බාචරිය – පූර්වාචාර්යවරු
ආහුනෙය්‍ය - දන්දීමාදී පරිත්‍යාගයන්ට සුදුසුය.
මෙසේ වන්නට හේතු

බහුපකාරා භික්ඛවෙ - මාතා පිතරො පුත්තානං ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සෙතාණෙනි, මහණෙනි! මවුපිය දෙදෙන දරුවනට බෙහෙවින් උපකාර ඇත්තෝ වෙත්. ජීවිත ආරක්‍ෂාව හා පෝෂණය කරන්නෝ පමණක් නොව යහපත හා අයහපත කියාදෙන්නෝ ද වෙති.

ප්‍රශ්නය :
කාමාවචර කුසල පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර
‘කුස’ නමැති බුද්ධියෙන් ගතයුතු බැවින් ‘කුසල’ නම් වෙයි. පාපී සිතිවිලි වනසන බැවින් ද කුසල නම් වෙයි. සිතත් සිතිවිලිත් පිරිසුදු කොට සැප විපාක ලබා දෙන නිසාද කුසල යන්න පෙල දහමෙහි යෙදී ඇත.

කාමාවචර කුසල් කිරීමෙහිදී ශෝභන සාධාරණ චෛතසික එකුන් විස්ස ඒ ඒ කුසල් සිත් සමග උපදී. ඉන් කුසලයට මුල් වන චෛතසික ධර්ම තුනකි. එනම්, අලෝභ, අදෝස, අමෝහ යන කුසල් මුල් තුනය.

කාය කර්ම වාග් කර්ම, මනඞ කර්ම වශයෙන් කාමාවචර කුසලය තෙවදෑරුම් වෙයි. කාමාවචර කුසලය දාන, ශීල, භාවනා වශයෙන් ද තෙවදෑරුම්ය. සිත් වශයෙන් අටකි. දස පින්කිරිය වත් වශයෙන් දස වැදෑරුම්ය. දස පින් කිරිය වත් (දශ පුණ්‍ය ක්‍රියා වස්තු) කාමාවචර කුසල් සිත් අට යෙදේ.

ප්‍රශ්නය:
දස පුණ්‍ය ක්‍රියා වලින් පළමු වැන්න දානය හෙවත් දන් දීමය. ධර්මානු කූල විවරණයක් කරන්න.

පිළිතුර
තම සන්තකය නුවණ පෙරදැරි කරගෙන තුන් සිත පහදවා ගෙන දීම දානය නම් වේ. දස පාරමිතාවන්ගෙන් පළමු වැන්න දාන පාරමිතාවයි. සතර සංග්‍රහ වස්තුවලින් පළමු වැන්නයි. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වලින් (දාන - ශීල – භාවනා) පළමුවැන්නද දානයයි. දන් දීමෙහිදී දාන වස්තු වශයෙන් සිව්පසය මූලික වෙයි. පැවිදි වතට අනුරූපව දහමෙහි සඳහන් වුවත් (චීවර – පිණ්ඩපාත - සේනාසන යන ප්‍රතය) ගිහියෙකුට වුවත් ආහාර පාන, නිවහන සහ වස්ත්‍ර මූලික අවශ්‍ය දෑවෙයි. එබඳු දාන වස්තු දසයක් බුදු දහමෙහි සඳහන්ව ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.