Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සක්කාය දිට්ඨි

වෙනස්වන ලෝකය තුළ ‘මම’ යන්නකු සිටිය නොහැකි බව වටහා ගන්නේනම් මිලිනවන ලෝකය කිසිසේත් ‘සැප’ නොවේය යන්න අවබෝධ කර ගන්නේනම් සැප දුක යනු සිතේ මායාවක් මිස පවතින දෙයක් නොවන බව පැහැදිලි කරගන්නේ නම් එම තැනැත්තා සම්මා දෘෂ්ටිගත වුන සක්කාය දෘෂ්ටිය ප්‍රහීණ කළ අයකු බව පැහැදිලිය.

මෙම ලිපිය සාකච්ඡා කරනුයේ දහම අනුව සක්ක දිට්ඨි දකින අයුරුයි. එය පවත්නා ජීවිත හෝ ලෝක පැවැත්මට සංහිදියාවක් ඇතිකර ගැනීම ගැන අදහස් නොකරේ. සක්කාය සත්කාය වශයෙන් ද කියවේ. සත් යනු හොඳ යන්නයි. කාය – කය ශරීරය යැයි කියවේ. හොඳ ශරීර ඇති යනු හොඳ සැප දෙන යහපත් යැයි කියවෙන ශරීර වලින් යුක්ත බවයි. සැප රජ කරවන ලෝකය යන්න අරුත් වලට බිදේ. මෙම ලිපිය දහම ගැන කතා කරයි. දහම ශරීර ස්කන්ධ වශයෙන් හඳුන්වන්නේ ජීව ලෝකයයි. ජීව ලෝකය යනු මේ පෘතුවි තලය මතුපිට සහ අවට පවතින පැවැත්වෙන ජීවීන්ටය. අපගේ සාමාන්‍ය දැනුම මත එය කතා කරන්නේ නම් ලෝකයේ පෙනෙන සත්වයන් සහ භෞතික ලෝකය කාය නම් වේ. එය හොඳයැයි සැප යැයි වනුයේ මේ ලෝකය සැප දායක බව ජීවිත පී‍්‍රතිමත් බව සහ ජීවිත – වින්දනය සඳහන් නිසාවෙනි.

ලෝකය සුවදායක සැපදායක තැනක් යන්න දැකීම සහ සැප සහ සුව ගැන ඒක පාක්‍ෂිකව බැලීම වැරැදි දෙයක් බව සඳහන් කළ යුතුය.

පළමුව සැප යනු කුමක්දැයි බලමු. යම් තැනක සැපයැයි සඳහන් කරනුයේ එහි දුක නැති බවයි. එහෙත් සැප සමඟ දුක අත්වැල් බැඳ ඇති බව පැහැදිලිය. අපි උදාහරණයක් ගෙන බලමු.ගෙයකට ගෙවැදීමකට උත්සවයක් සංවිධානය කරවනවා යැයි සිතමු. උත්සවය සංවිධානයට, නැකත් බැලීම, උත්සව ශාලාව හෝ ස්ථානය සැකසීම, වෙනත් විවිධ සංවිධාන කටයුතු රාශියක් කළයුතුව ඇත. නියමිත වේලාවට අමුත්තා ලවා පීත්ත පටිය කපන මොහොතේ දී සියල්ල සතුටුවේ. ඒ සතුට පවතිනුයේ එම තත්පර කීපය තුළ පමණි. එම කටයුත්ත සංවිධානය ඇරඹූ දින සිට සමහර විට උත්සවයෙන් පසුවත් බොහෝ දුක් ගැහැට විඳී. ඒ අත්පොලසන් හඬත් සමඟම සැප මිලින වී යයි. සැප යැයි කියන මොහොත ලබා ගැනීමට අපි කොතෙක් නම් දුක් විඳිමුද?

මේ ධර්මතාවය මේ ලෝකයේ සැප යැයි අත් විඳින සියල්ලටම පොදුය. ක්‍ෂණයක සිදුවීම මොහොතක ගැටුම සැප යැයි සිතා සතුටු වෙමු. එහි ඉතිහාසය පුරාම දිවෙන්නේ දුකකි. එම අනුව සැපය ප්‍රතිශතයක් වශයෙන් ගැනීමේ දී දශම බිංදු කීපයෙකින් එහා අගයක් ගනී. තුලානාත්මකව සැප දුක දෙස බැලීමේ දී අප වැරැදි දැක්මක සිටින බව පසක් කරගත යුතු ය.

බොහෝ අය සැප කායික සහ මානසික වශයෙන් දෙකොටසකට බෙදත්. භෞතික අභෞතික වින්දනය ඉහත සඳහන් ආකාරයට බෙදා වෙන් කෙරේ.

සැප යැයි කියන වින්දනය ලබා ගැනීම සඳහා කොපමණ වාරයක් මානසික ගැටීම් වල අතරමන් ව්ද? කොපමණ වාරයක් ඇලීම්, ගැටීම්, තෙරපීම්, පිපිරීම් වලට ලක්වේද? නොඉවසිලි උද්වේගකාරී කනස්සලු සිතිවිලි පරම්පරා කීයක් බිහිකරනවාද? මොහොතක් සිතා බලන්න.

හුදෙක් ජීවිතය හෝ ලෝකය දුක යැයි සිතීම අශුභ වාදීව දැකීමක් නොවේ. යමෙක් සැප සහ දුක හෝ ප්‍රතික්‍ෂේප කිරීමට තමාගේ මිම්මට ගලපන්නේ නම් එය අශුභවාදී සිතිවිල්ලකි. පවතින දේ පවතින අයුරින් වටහා ගැනීම තාත්ත්විකත්වයයි. පවතින අයුරින් දැකීමයි. පවතින දෙයෙහි මූලික පදනම සහ යථා ස්වරූපය දැකීම සත්‍ය දැකීමයි. මේ අයුරින් සත්‍ය දකින්නකු එහි පතුලටම බැස විමසිය යුතු ය.

ලෝකයේ ඇති සියල්ල සැප දුක මුසුව පවතින බව අපගේ පිළිගැනීමයි. මේ සැප දුක වින්දනය කරනුයේ සිත විසින්ය. දිවට දැනෙන යම් රස භාවය හෝ අමිහිරි භාවය තීරණය සිතේ ලියාපදිංචි කිරීමේ පිළිවෙත අනුව සිදුවේ. එම කාර්යයට පෙර ලැබූ අත්දැකීම් සහ පංචේන්ද්‍රිය වල බලපෑම ඇතිවිය හැක. ඒ සමඟම මිහිරි හඬක් ශ්‍රවණය කරයි. එයද සිත සටහන් කරගනී. මෙය ඇතිවූයේ කොහිද? වරෙක දිව අග තවත් වරක කන් බෙරය තුළත් ය. බිහිරි පුද්ගලයකුගේ සෝත නාලිකා තුළ සිත පිහිටන්නේ නැත. එයින් සෝත වින්දනය නොලබයි. වින්දනයේ ගුණාත්මක බව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එම වින්දනය සිත මුල් කොට පවතී. පංචේන්ද්‍රිය වින්දනය ලබාගැනීමේ මාධ්‍යයි. මාධ්‍යයේ ප්‍රබලතා පුද්ගල වින්දනයේ වෙනසකට හේතුවේ.

සැප දුක යනු සිත වෙනස්වීමකි. යම් හෙයකින් එක් වින්දනයක් සැප නොවේ යැයි කියා ප්‍රතික්‍ෂේප කරන්නේනම් හෝ දුක යැයි වශයෙන් එය පිළි නොගන්නේනම් එය සිතේ ඇති සටහනකි. එසේනම් අප සැප හෝ දුක යැයි කියන්නේ සිතටය.සිතට එන සංඥා (වින්දන) නවත්වන්නේ නම් සිතට තීරණවලට එළඹීමට නොහැකිවනු ඇත. සැප දුක කියා සංඥා නොලබන්නේ නම් සිත සැප දුක හඳුනා නොගනී. එසේනම් ලෝකය යනු අපට සංඥා එවන ගබඩාවකි. ගබඩාව හිස් කළ සිත සිතිවිලි නොලබයි. එසේ නම්, ලෝකය සැප දුක දෙකකට බෙදන්නේ කෙසේද? ඉහත කරුණු අනුව සක්කාය දිට්ඨිය වැරැදි හැඟීමකි.

වැඩි ජනතාවක් ලෝකය සැපදායක පී‍්‍රතිදායක තැනක් බව පිළිගන්නා, අතර ටික දෙනකු එය දුකක්ම බව පිළිගැනීමට මැලිවේ. මේ දර්ශනයන් දහමට අනුව කෙසේ පිළිගනිමුද? මෙහිදී දහමට අනුව යනුවෙන් සඳහන් කළේ දහමේ මතය කොටුකර පෙන්වීමට නොවේ. එසේත් නොවේ නම් දහම් මතය සුවිශේෂි මතයක් බව බලයෙන් පැටවීමටත් නොවේ. නමුත් එය සත්‍යම බව සහ පරම සත්‍යම බව ඒත්තු ගැන්වීමටයි. දහම යනු මතයක් හෝ දර්ශනයක් නොවේ. යම් දෙයක් නිරීක්‍ෂණය කිරීමේදී නිර්ණායකයන් වුවමනා කෙරේ. දහම පිරිසුදු නිර්ණායකයන් සමූහයකි.

අපි යම් සතුටක් වින්දනය කරන්නේ භෞතික වස්තුවකින් හෝ මනසින් බව ඉහතින් පැහැදිලිව දැක ගත්තෙමු. ඇස ගැටෙන ප්‍රසාද රූපය තවත් ඉන්ද්‍රියන්ගෙන් නිකුත් කළ රූපත් සමඟ හෝ තනිවම සංඥා නිකුත් කරයි. එය එක ගොණුවක් වශයෙන් මනසේ ළැඟුම් ගනී. මෙය සංඛාරයි. මෙම සංඛාර විඤ්ඤානය උත්පාදනයට උදව්වේ. විඤ්ඤානය ලද දේ නාම රූප ලබයි. අප ඉදිරියේ ඇති රූපය මානව රූපයක් හෝ සතකුගේ රූපයක් හෝ වෙනත් භාණ්ඩයක රූපයක් හෝ අප තුළ පදිංචි වන්නේ මෙ අයුරිනි.

අප දන්නා පරිදි මේ වායු ගෝලය යට ඇති සෑම දෙයක්ම කාලයත් සමඟම ළපටි බව තරුණ බව (මේරීම) වියපත් බව යන අවස්ථාවන්ට පත්වේ. පොහොට්ටුව පිපුන කුසුමක් වූයේ මේ ධර්මතාවය මතයි. එසේනම් සෑම දෙයක් (සියලුම වස්තූන්) වෙනස්වීම් වලට බඳුන් වේ. මෙය අනිත්‍ය වශයෙන් හඳුන්වයි. එක මොහොතකදී දකින ප්‍රසාද රූපය තව මොහොතකදී වෙනස් වේ. ‘අයකුට එක ගඟට දෙවරක් බසින්න බැහැ’ යැයි ධම්ම පදයේ සඳහන් වනුයේ එනිසාය. එක් බටහිර පඬිවරයකු පවසා ඇත්තේ ඇසපිය ගසන සෑම වාරයක් පාසාම ලෝකය වෙනස් වන බවය. පංචේන්ද්‍රිය මාධ්‍ය කරගෙන යවන සංඥා නිසා සිතේ විඤ්ඤානය හට ගන්න බව අපි ඉගෙන ගතිමු. මෙසේ විඤ්ඤානය හට ගැනීමට උපාදානය උදව්කරන බව ද අපි සඳහන් කෙළෙමු. උපාදානය හට ගන්නේ දැඩි ලෙස අල්වා ගැනීම නිසාවෙනි. ලෝභය මෙයට හේතුවයි. සත්‍ය කරුණු නොදැන ගැනීම අවිද්‍යාව වේ. අවිද්‍යා දියුණු කරන්නේ මෝහය නිසාවෙනි. මෝහය යනු රැවැටිල්ලය. මොනයම් හෝ හේතුවක් මුල් කොටගෙන සැපය කියා හෝ වටිනවායැයි කියා හෝ අපි යම් යම් දේවලට ආශා කරමු එය රැවටිල්ලකි. මෙසේ රැවටිල්ල ආරෝපණය කරගනු ලබන්නේ මමත්වයක් ගොඩනැඟීම නිසාවෙනි.

‘මම’ ඒක වචන සඳහා බහු වචන ‘අපි’ යෙදේ. එවිට නිනැතින්ම කණ්ඩායම් හැඟීම බෙදීම ඇතිවේ. වර්ණ භේද, ජාති භේද, කුල භේද, පංති භේද, ආගමික භේද සහ නොයෙකුත් සමාජ තරාතිරමයන්ගේ භේද ඇතිවේ. එහි ප්‍රතිඵලය වනුයේ සමානාත්මතාවය පැන යෑමයි. මෙය මෙසේ වන්නේ දහම නොදත් නිසාය.

සත්‍ය නොදන්නා නිසා ය. නිරන්තරයෙන් වෙනස්වන භාණ්ඩ (වස්තූන්) සඳහා මනාපයක්, සෙනහසක්, ආශාවක් ඇතිකර ගැනීම මෝහය නිසා සිදුවන්නකි. එවිට පුද්ගල වටිනාකම් ගැන සොයයි. එය මමත්වයයි. මමත්වය යනු සක්කාය දිට්ඨියයි.

පුද්ගලයා මේ ධර්මතාවයට යටත් වූවකි. ඔබ ඉතා ආදරය කරන තැනැත්තෙකු සිටි. ඔබද ඒ පුද්ගලයාට ඇලුම් කරයි. ඔබ ඒ ඇත්තන්ට දැඩිලෙස ඇලුම් කරන්නේ ඇයි? පෙර සඳහන් කළ මාධ්‍ය පහ ලබාදෙන පණිවුඩ මනස නමැති සයවන ඉන්ද්‍රිය ලබාගෙන එයින් උසිගැන්වූ අදහස් අනුව බව පැහැදිලිය මේ පණිවුඩ කරුවන්ගේ ප්‍රබලතා නිසා සයවැනි ඉන්ද්‍රිය මෝහනයට පත්වේ. එම මනස විනයකට පුරුදු පුහුණු නොකළ මනසක් නම් ක්‍ෂණයකින් ඒ උසිගැන්වීම්වලට නතු වේ. එය මෝහයයි. මෙයට හේතුව නොදැනීමයි. අවිද්‍යාවයි. ඔබගේ හිතවතාගේ ආකර්ෂණය ලබා ගැනීම සඳහා ඔබ නොයෙකුත් උපක්‍රම යොදනවා ඇත. එය කාරුණික, ආත්මාර්ථකාමී, පීඩාකාරී, දේ වියහැක. අප එම දැඩි ග්‍රහණයට පත් වන්නේ ලෝභ, ද්වේෂ, මෝහ නිසා බව මින් පැහැදිලිය.

භෞතික ලෝකයේ නොයෙක් දේවලට අයිතිවාසිකම් ප්‍රකාශ කරන්නෙත්, උරුමය ගැන තමාට අයිතිවිය යුතු යුතුකම් ගැන තර්ක කරන්නෙත් වෙළඳ පොළේදී, බස් පොළේදී පොදු ස්ථානවලදී තමාට හිමිදේ ගැන, අයිතිය ගැන දොඩන්නේත් එක එක්කෙනාට අපහාසාත්මකව ‘හූ’ හඬ තැබීම් උපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම් කරන්නේත් කැපී පෙනීම සඳහා තොරණ බැදීම කරන්නේත් වැරැදි වැටහීම නිසාය. සක්කාය දිට්ඨිය නිසාය.

අප දකින ලෝකය නිවැරැදිය. ‘මම’ යන්නෙක් සිටි යන්න අදහස් කිරීම සක්කා දිට්ඨි යයි. වෙනස්වන ලෝකය තුළ ‘මම’ යන්නකු සිටිය නොහැකි බව වටහා ගන්නේනම් මිලිනවන ලෝකය කිසිසේත් ‘සැප’ නොවේය යන්න අවබෝධ කර ගන්නේනම් සැප දුක යනු සිතේ මායාවක් මිස පවතින දෙයක් නොවන බව පැහැදිලි කරගන්නේ නම් එම තැනැත්තා සම්මා දෘෂ්ටිගත වුන සක්කාය දෘෂ්ටිය ප්‍රහීණ කළ අයකු බව පැහැදිලිය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.