ඓතිහාසික නයිගල පුරාණ රජ මහා විහාරය
බන්දුල සේනානායක
රන්න සමූහ
වීරකැටිය නගරයේ සිට වීරකැටිය රන්න මාර්ගයේ කි.මී.03 ක් පමණ දුරින් මෙම
විහාරස්ථානය පිහිටා ඇත.
මහනුවර යුගයේ විහාර මන්දිරය |
කිස්තු පූර්ව 03 වැනි සියවසේ මහානාග යුවරජු අනුරාධපුරයෙන් රුහුණට
පැමිණීමෙන් පසුව. එතුමා මාලිගාව තනාගෙන පදිංචිව ඇත්තේ වීරකැටිය මණ්ඩාඩුව
ගමේය. එක් නියං සායකදී මාළිගාව ඉදිරිපසට පැමිණි සුදු නාගයකු මාලිගාව ළඟ
සිට ආපසු හැරී යන්නට විය. රජු නාගයා පසුපස යන විට ඌ එක්තරා ගල්තලාවක්
මතදී අතුරුදහන්වී ඇත.
ප්‍රතිසංස්කරණය කර ඇති පැරැණි චෛත්‍යය |
රජතුමා හා පිරිස එහිදී සිසිල් දිය පිරුණු පොකුණක් දැක සතුටට පත්ව මෙය
මහා පුණ්‍ය භූමියක් බවට කල්පනාකර මෙහි විහාරස්ථානයක් ඉදිකිරීමට ඉටා
ගත්විට මහ වැසි වැස නියං සාය අවසන් වී ඇතැයි කියැවෙයි.
පසුව මහානාග යුවරජු මෙහි ඉදිකළ විහාරස්ථානය අදත් බෞද්ධ ජනතාවගේ අසීමිත
ගෞරවාදරයට පත්වෙමින් පවතී. අද සියලුම විහාරාංගයන් ගෙන් සමන්විත මෙම
නයිගල විහාරස්ථානයේ වඩාත් දියුණුව ආරම්භ වී ඇත්තේ මහනුවර යුගයේය.
අනුරාධපුරයෙන් වැඩම කළ බෝධි අංකුරයක් මෙහි රෝපනය කර ඇත. එදා මෙම
විහාරස්ථානයට අයත් භූමි භාගය විශාල වපසරියක පිහිටා තිබුණු බව පෙනේ.
එහෙත් අද ඒ භූමිය විහාරයට අහිමි වී ඇත. 1840 මුඩු බිම්පනත අනුව
විහාරස්ථානය සතු දේපොළ මුළුමනින්ම අහිමිවී ඇත.
අනුරාධපුර යුගයට අයත් විහාර මාලිගයේ නටබුන් |
මහානාග රජුට මෙහි එන්නට මඟ පෙන්වූයේ සුදු නයෙකු නිසාත් අදත් මෙම විහාරය
නාගයකු විසින් ආරක්ෂා කරන බව ජන වහරේ පවතින නිසාත් මෙහි නම ‘නයිගල ‘
නම් වී ඇත. ක්‍රි.පූ. 03 වැනි සියවසට අයත් නටබුන් අදත් මෙහි විහාර
බිමේත් අවට පරිසරයෙත් දක්නට ඇත.නාග පොකුණ, සෙල්ලිපි, ගල්තලාව මත පිහිටි
බෝධිය, කැසිකිලිගල, පාදෙනි ගල, ඉපැරණි චෛත්‍යය, ආසනඝරය, කොරවක්ගල්
යුගලය, එම නටබුන් අතර වේ.
මෙහි ඇති ශිලා ලේඛනය අනුව මෙහි අරියවංශ දේශනාව පැවැත්වීමට රන් කහවනු
පූජා කළ බව සඳහන්ය. දෙවනි පෑතිස් සමයේ ඉදිකළ විහාර මාලිගයේ නටබුන් අදත්
දක්නට ඇති අතර බුදුපිළිම නිර්මාණයටත් පෙර පූජාවට පාත්‍රවූ ආසන ඝරයක්ද
මෙහි ප්‍රථිස්ඨාපනය කර ඇත.
දිය නොසිඳෙන නාග පොකුණ |
මහනුවර යුගයේ ඉදිකරන ලද විහාර මාළිගය 1865 දී ගණාචාර්ය නෙල්ලිගොඩ
කොන්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කර ඇති අතර පල්ලත්තර රතනපාල
හිමි විසින් වැඩ නිම කර ඇත. ප්‍රථිමා ගෘහයේ මකර තොරණේ බ්‍රිතාන්‍ය
රාජ්‍ය ලාංඡනය මූර්තිමත් කිරීම මෙහි ඇති විශේෂත්වයකි.
1800 මෙහි විහාරාධිපති පදවිය උසුලන ලද්දේ මුල්ගිරිගල රජ මහා
විහාරාධිපති ව වැඩ සිටි වටරක්ගොඩ ධර්මපාල නායක හිමියන්ගේ ශිෂ්‍යයෙකු වන
කටුවන අත්ථදස්සී හිමියන්ය. ඉන් පසුව කටුවන පියදස්සි හිමි, බැදිගම
ධම්මරක්ඛිත හිමි , නෙල්ලිගොඩ කොන්ඩඤ්ඤ හිමි, පල්ලත්තර රතනපාල හිමි,
දෙනගම ශිලානන්ද හිමි, ඕමාරේ සුමංගල හිමි, අග්‍රාහැර සෝමරතන හිමි,
මොදරවානේ චන්ද්‍රනන්ද හිමි, විහාරාධිපතිත්වය උසුලන ලද අතර වර්තමාන
විහාරාධිපති බුද්ධියගම ධම්මසිරි හිමිපාණන් වහන්සේ මෙහි වර්තමාන
දියුණුවට උරදී සිටිති.
පැරැණි කැසිකිලි ගලක් |
පුරා විදු ඇස මෙම විහාරස්ථානයට යොමුකොට පූජා භූමියක් ලෙස සංවර්ධනය
කරන්නට පියවර ගන්නේ නම් මෙහි සැඟවී ඇති ඓතිහාසික බොදු උරුමය මතුකර ගත
හැකි බව මෙහිදී අවධාරණය කරමි.
|