Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
මෙහි පහත පාලි පාඨයෙහි කාලීන වශයෙන් ඉතාමත් වැදගත් තොරතුරක් අනාවරණය වෙයි. “කො පන භන්තෙ හේතු - කො පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතීති” (අ.නි.4/ 98 පිට)(කම්බිල සූත්‍ර)

ස්වාමීනි! යම්හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි ශාසන සද්ධර්මය චිරස්ථායි වේ නම් ඒ හේතු ප්‍රත්‍ය කවරේද? වර්තමානික බුදුදහමෙහි චිරස්ථිතිය (පැවත්ම) සඳහා පෙළ දහමෙහි එන මෙබඳු තොරතුරු හා දේශනා බොදුනුවන් ධර්ම සාකච්ඡාවලදී භාවිත කළ යුතු ය. පැහැදිලි කරන්න.

පිළිතුර
බෞද්ධයන් අතර උපෝෂිත (පොහෝදින) දිනයන්හි ධර්මසාකච්ඡා මණ්ඩපයෙහිදී මෙබඳු දේශනා පිළිබඳව සාකච්ඡා කළ යුතු ය. මෙම සූත්‍ර දේශනාවෙහි ඇති සටහන පොහෝදින සාකච්ඡාවකට ඉතාම සුදුසු ධර්ම මාතෘකාවකි. තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු සද්ධර්මය චිරස්ථායි වීමට නම් සිවුවනක් පිරිස ශාස්තෘවරයන් වහන්සේ කෙරෙහි, ධර්මරත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි ගෞරවයෙන් පළමුතැන්හි ලා සැලකිය යුතු ය. ශික්‍ෂාවන්හි මෙන්ම සීලයෙහි අප්‍රමාදීව ගෞරව සහිතව එහි ප්‍රධාන බව සලකා කටයුතු කළ යුතුයි.


ප්‍රශ්නය
සත්‍යය නම් පවතින දෙයයි. එමෙන්ම බොරුකළ නොහැකිය යන තේරුමයි. බුදුදහමෙහි සත්වයා හා සම්බන්ධ සත්‍ය හතරක් ගැන ඉගැන්වෙයි. ‘රොහිතස්ස’ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. ‘මේ බඹයක් පමණ වූ සංඥා සහිත මනස සහිත ශරීරයෙහිම මම ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ ප්‍රතිපදාවත් පනවමි.” මේ සූත්‍ර පාඨයෙහි “ලෝක” යන්නෙන් අදහස්වන්නේ දුකයි. පෙළ දහමෙහි දුක පිළිබඳව විවිධ නිර්වචනයන් විවරණය කරමින් දුක පිළිබඳ දේශනා පිළිවෙළ පැහැදිලි කරන්න.

පිළිතුර
ලෝකය පිහිටා ඇත්තේ දුක මතය. එහෙයින් එය පිළිකුල්ය. ලෝකයේ කිසිම අර්ථාන්විත හරයක් නොමැත. එහෙයින් එය හිස්ය. එහෙයින් දුක්ඛ නම් පිළිකුල් ජනක හා හිස්බවයි. සාමාන්‍ය මිනිසුන් දකින ලෞකික සැප හුදෙක් ආශාවන් සංසිඳවීම සඳහා පමණකි. ආශා කරන දෙය ලබාගත් වහාම එය කෙරේ ආශාව අඩු වී යයි. එහෙයින් ආශාවෙන් අතෘප්තිකර වෙති. සියලු සත්වයෝම ජාතිය, ජරාව, ව්‍යාධිය හා මරණය උරුම කර ගත්තෝ වෙති. මෙම සතර වැදෑරුම් දුක් සහගත තත්ත්වයන්ගෙන් තොරවූ කිසිවෙක් නොවෙති. සුන් වූ බලාපොරොත්තුව දුකකි. අපි‍්‍රය කරන පුද්ගලයන් හෝ දුක සමග එක් වන්නට කිසිවෙක් කැමැති නොවෙමු. එමෙන්ම අපි පි‍්‍රයකරන රුචිකරන පුද්ගලයන්ගෙන් හෝ ද්‍රව්‍ය වලින් දුරස් වන්නට ද අපි කැමැති නොවෙමු. (අං. 4 ඉණසූත්‍ර 118 පිටු)

දුක පිළිබඳව ප්‍රායෝගිකව වෙනත් විවරණයක් දක්නට ලැබෙයි. මහණෙනි! ලොව දිළිඳුබව කාමභෝගීනට දුකය. ණය ගැනීම, එය දිනෙන් දින වැඩිවීම ද, (පොලිය) නියමිත දිනට ණය ගෙවීමට නොහැකිවීමද දුකයි. ඒ පිළිබඳ පිරිස්මැද අවමානයට ලක්වීමද දුකකි. නියම සැපත ඇත්තේ අපගේ සිත් තුළය. එය ධනය, බලය, කීර්තිය හෝ ජයග්‍රහණය වරදවා තේරුම් නොගත යුතු ය. එබඳු ලෞකික දේ සාවද්‍ය ලෙස භාවිතා කළහොත් තෘෂ්ණාවෙන් යුතුව එල්බගතහොත් ඒවා ද දුක් පිණිසම වෙයි.


ප්‍රශ්නය
බුදු සිරිතේ එන මෙවන් තොරතුරු ද හැදෑරීම බෞද්ධ ශ්‍රාවකයෙකුගේ බුදු බැතිය වැඩිදියුණුවනවා පමණක් නොව. බුදු සිරිතෙන් බොදු මගටත්, නිවන් මගටත්, සමීපතම වෙයි. “කරණීය මෙත්ත සූත්‍රාගත” දහමට අනුව “දිට්ඨිං ච අනුපගම්ම දස්සනෙන සම්පන්න” ගුණයෙන්ද පෝෂිතව නිවන්මඟට සත්‍යවශයෙන්ම පිළිපන් ශ්‍රාවකයෙකු වෙයි. බුදු සිරිත හැදෑරීමෙන් බොදුනුවන් බුද්ධානුස්සතියද වඩා භාවනාවද වඩා, ප්‍රඥාවද පහළ කරගනියි. බුදුරජාණන් වහන්සේ වෛද්‍යචාර්ය හෙවත් මහා වෙදාණ කෙනෙකු වශයෙන් (සක්කත්වා බුද්ධ රතනං ඔෂධං උත්තමං වරං) ආදී වශයෙන් සඳහන් කරන පරිදි) හඳුනාගත හැකි මං සලකුණු පෙලපොත් ඇසුරුකොට පැහැදිලි කරන්න.

පිළිතුර
පිළිතුර සකස්කර ගැනීම සඳහා විනය පිටකයෙහි මහා වග්ග පාලි භෙසජ්ජක්ඛන්ධකයේ සඳහන් තොරතුරු ප්‍රමාණවත් වශයෙන් ගෙන වෙදකම පිළිබඳව උන්වහන්සේ තුළ පැවැති සුවිශේෂ ප්‍රඥාව ප්‍රකට කළ හැකිය. එම සුවිශේෂ දැනුම් සම්භාරය මෙසේ ගොනුකළ හැකිය.

1. විවිධ රෝග සඳහා නියමිත ඖෂධ
2. රෝග නිශ්චය කළ වෛද්‍යවරයෙකු නියමිත ඖෂධ අනුමත කිරීම.
3. නිශ්චිතව රෝග විනිශ්චයක් නැති ප්‍රතිකාර ප්‍රතික්‍ෂේප කිරීම.
4. හෙදකම මෙන්ම ඖෂධීය ආහාරපාන මගින් රෝග සුවපත් කිරීම.
තවද උන්වහන්සේ කායික රෝග සඳහා නියම කළ බෙහෙත් වර්ග කර මෙසේ දක්වා ඇත.

1. සත්ව තෙල් - වසා භෙසජ්ජ
2. ගස් කොළ පොතු මුල් - මූල භෙසජ්ජ
3. කසාය බෙහෙත් – කසාව භෙසජ්ජ
4. කොළ බෙහෙත් – පණ්ණ භෙසජ්ජ
5. ඵල බෙහෙත් – ඵල භෙසජ්ජ
6. මැලියම් බෙහෙත් – ජතු භෙසජ්ජ
7. ලුනු බෙහෙත් - ලොණ භෙසජ්ජ
යන බෙහෙත් වර්ග ම – පාලි භෙසජ්ජක්ඛන්ධකයෙහි දක්නට ලැබේ.

පිළින්ද වච්ඡ තෙරුන්ට ඇති වූ හිස රුදාවක් සඳහා ඖෂධ හා ප්‍රතිකාර විධි ගණනාවක් දේශනා කොට ඇත.

වරෙක වාතරෝගයක් සඳහා ස්වේද කර්මයද අනුදැන වදාරා ඇත. උන්වහන්සේටම තවත් වරෙක සන්ධි රුදාවකින් පෙලෙන්නට වූහ. බුදුන් වහන්සේ මෙම රෝගය සඳහා ලේ ඇරීම කළ යුතු යැයි දක්වා එය සිදු කිරීමට ‘අඟක් ද අනුදැන වදාළහ. ශරීරයේ දූෂිත වූ රුධිරය බැහැරකිරීම සුදුසු බව පෙරදිග වෛද්‍ය ක්‍රමයේද සඳහන්වෙයි. (ආයුර්වේද ව්‍යාකරණය 159 පිටු) ගව අඟ උණුසුම්ය. මිහිරිසහිතය. සිනිඳුය. එහෙයින් වාතයෙන් දූෂිත වූ ලේ ඇතිකල්හි ඒ ගව අඟ ලේ හැරීමෙහි හිතකර වේ.

එක්තරා භික්‍ෂුවක් ශරීරයේ හටගත් ගෙඩියක්(ගණ්ඩාබාධ) හේතුකොටගෙන බලවත් වේදනාවට පත්විය. බුදුන්වහන්සේ, එම භික්‍ෂුව පරීක්‍ෂාකොට ශල්‍ය කර්මයක් නියම කළහ. ශල්‍ය කර්මයෙන් පසුව තුවාලය සේදීම සඳහා කසට වතුර තුවාලයෙහි ආලේපකිරීම සඳහා කල්කය, තුවාලයෙහි ආරක්‍ෂාව සඳහා පැලැස්තරයද වෙලුම් පටි ද නියම කළහ. තුවාලයේ කැසීම් ඇතිවන්නේ නම් තුවාලය වටා අබ කුඩු ඉසීමද ඕජස් වැගිරෙන්නේ නම් දුම් ඇල්ලීමද නියම කළහ. (මහා.පාලි. භෙස 534 පිට)

බුදුන් වහන්සේ කායික රෝග සඳහා ඖෂධ හා ප්‍රතිකාර නියම කළාසේම නිරෝගීතාවය රැකගැනීම සඳහා ආහාරද නියමකොට ඇත. උපන් සත්වයාට යැපීමට ආහාර නොතිබීමද (ජිගච්ඡා පරමා රෝගා) රෝගය වශයෙන් ද බුදුසමය පිළිගනී. පුද්ගල ආරෝග්‍යය සඳහා කායික ව්‍යායාමය බුදුරජාණන් වහන්සේ අනුමත කළහ. ඒ සඳහා සක්මන් කිරීමද එහි අනුසස් ද මෙසේ වදාළහ.

1. දුර ගමන් යාමේ පහසුව ඇතිකරයි.
2. නිරෝගී ඉන්ද්‍රිය පද්ධතියකට එය හේතුවක් වෙයි.
3. යෝග භාවනාව සඳහා බෙහෙවින් ආධාරක වේ.
4. ආහාර ජීර්ණය සඳහා යෝග්‍ය වෙයි.
5. සිත්හි නිරාකූල බවට හේතු වෙයි. (අ.නි. 5 )

විමුක්තිය ළඟාකර ගැනීම සඳහා තනියම ක්‍රියාකරන සුවිශේෂ පුද්ගලයෙකි. ඔහුට පෞද්ගලික වාසස්ථානයක් තබා තමාගේ යැයි ගතහැකි කිසිදු වටිනාකමක් නැති (අකිංචන – අනාදාන) තමා වටාසිටි සියලු ඤාති මිත්‍රාදීන් අතහැර අනගාරික සමාජයකට පැමිණ සිටී. අනවශ්‍ය භෞතික වස්තූන් කිසිවක් තමන් සතුව නොමැති බැවින් තම නවාතැන වෙනස්කළ හැකිය. ඔහුගේ ගමන ඉසුරු සෙවීමට නොව ආධ්‍යාත්මික සුවය සෙවීම සඳහාය. නිවන් පසක් කරගැනීමේ පරමාර්ථය හැර කිසිදු ලෞකික අපේක්‍ෂාවක් නැත. තවද භික්‍ෂුව යනු තමා ගැන පමණක් බලන ආත්මාර්ථකාමී පටු පිළිවෙතකින් බැහැරව පරහිතකාමී බහුජන හිතානුකම්ප ගමන් මගකට පිළිපන් පරමාදර්ශී උදාර පුද්ගලයකි. සමාජයේ යහපත උදෙසාම කැපවුණු විශිෂ්ට ගණයේ පරමාදර්ශයකි.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.