Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සසර ගමනේ පැවතීම සහ නැවතීම

සියලු සතුන් පිළිබඳ විමසිලිමත් වීමේ දී අපට පෙනෙනවා ජීවන යථාර්ථය වෙනුවට මුලාවට පත්ව වාසය කරන ඇතැමුන් සිටින බව. මිනිස් තිරිසන් සැමට අවශ්‍ය කරන්නේ සැනසීමයි. එම සැනසුම, සොයන්නට අප කෙතරම් යුහුසුළුව ක්‍රියාකරනවාද? ලොව සෑම ආගමක්ම බිහිවුණේ සැනසීම ලබාදීමටයි. එසේ නම් අප සොයන ඒ සැනසුම නිවීම ගැබ්ව ඇත්තේ චතුරාර්ය සත්‍යය තුළයි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
දුක්ඛං අරිය සච්චං යථා භූතං පජානාති දුක්ඛ සමුදයං අරිය සච්චං යථා භූතං පජානාති දුක්ඛ නිරෝධං අරිය සච්චං යථාභූතං පජානාති දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සච්චං යථාභූතං පජානාති.”

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ජීවිතයේ යථාර්ථය පැහැදිලිකොට වදාළ චතුරාර්ය සත්‍ය පිළිබඳ ධර්මානුශාසනයක් කරන්නයි මේ සූදානම් වන්නේ. සියලු සතුන් පිළිබඳ විමසිලිමත් වීමේ දී අපට පෙනෙනවා ජීවන යථාර්ථය වෙනුවට මුලාවට පත්ව වාසය කරන ඇතැමුන් සිටින බව. මිනිස් තිරිසන් සැමට අවශ්‍ය කරන්නේ සැනසීමයි. එම සැනසුම, සොයන්නට අප කෙතරම් යුහුසුළුව ක්‍රියාකරනවාද? ලොව සෑම ආගමක්ම බිහිවුණේ සැනසීම ලබාදීමටයි. එසේ නම් අප සොයන ඒ සැනසුම නිවීම ගැබ්ව ඇත්තේ චතුරාර්ය සත්‍යය තුළයි.

චතු අරිය සච්ච යන වචනත්‍රය එකතුව ‘චතුරාර්ය සත්‍ය’ යන වචනය සුසැදී තිබෙනවා. මෙහි ආර්යය යන්නෙන් අදහස් කෙරෙන්නේ උතුම් කියන එකයි. සත්‍ය නම් ඇත්තයි. චතු යනු සතරයි. ඒ අනුව මෙයින් ප්‍රකාශ වන්නේ උතුම් සත්‍ය හතර යන්නයි. බුද්ධාදී උතුමන් වහන්සේ අවබෝධ කරගත් සත්‍ය ධර්මයක් නිසාත් තථ අවිතථ අනඤ්ඤථ බැවිනුත් ආර්ය සත්‍ය කියල කියනවා. “යස්මා තථානි අවිතථානි අනඤ්ඤථානි ච තස්මා අරිය සච්චානං වුච්චති”, යනුවෙන් ඒ බව සංයුක්ත නිකායට්ඨ කතාවේ සඳහන් වෙනවා. මේ අනුව ඔබට පැහැදිලි වෙනව ඇති චතුරාර්ය සත්‍ය කියන්නේ කුමක්ද? කියල. අපගේ සසර ගමන නැවැත්මට නම් උපතට විරාමයක් තැබීමට නම් මේ සත්‍ය සතර අවබෝධකර ගන්නට ඕනෑ. මෙමඟින් බුදුරදුන් පෙන්වා වදාළේ පංචස්කන්ධයේ පැවැත්මේ හා නැවැත්මේ හේතුයි. දුක, දුක ඇතිවීමේ හේතුව, දුක නැති කිරීම, දුක නැතිකිරීමේ මග යන කරුණු මෙයින් විග්‍රහ කෙරෙනවා. “ඉදං ඛො පන භික්ඛවේ දුක්ඛං අරිය සච්චං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා” යනාදි වශයෙන් දුක්ඛාර්ය සත්‍ය පැහැදිලි කළා. ඉපදීම ජරාව මරණය, ව්‍යාධිය, අපි‍්‍රයන් හා එක්වීම පි‍්‍රයයන්ගෙන් වෙන්වීම කැමැති දේ නොලැබීම දුකයි. කෙටියෙන් කියතොත් පංච උපාදානක්ඛන්ධයම දුකයි. දුක්ඛ යන වචනයේ දු යන පදයෙන් පිළිකුල් බවත් ඛ යන පදයෙන් හිස් බවත් ගම්‍ය වෙනවා. එසේ නම් පිළිකුල් කටයුතු හිස් දෙය යන අරුතින් දුක්ඛ යැයි කියනවා.

ජාති දුක යනු සත්වයන්ගේ යම් භවයක මුල්ම පහළවීමයි. මව් කුසෙහිදී උෂ්ණයෙන් තැවෙනවා. මව ආහාරපානාදිය ගන්නාවිට ඒවායෙහි ස්වභාවය අනුව ශීත උෂ්ණාදී වශයෙන් ඒ ඒ වේදනා දැනෙනවා. මෙය ජාති දුකයි. ජරා දුක යනුවෙන් හැඳින්වෙන්නේ ස්කන්ධයන්ගේ දිරීමයි. මහළුවීමයි. ලස්සන කේශ කලාපය අවපැහැගැන්වෙනවා. මුතු ඇට මෙන් සැදි දත් හැලෙනවා. තීක්‍ෂණ පෙනුමැති දෑස නොපෙනී දුර්වල වෙනවා. මේ ජරා දුකෙහි ස්වභාවයයි. රෝගාබාධයන්ට ලක්වීම ව්‍යාධි දුක වශයෙන් දක්වා වදාළා. බොජ්ඣංග සූත්‍රවලදී සතුනට විවිධ රෝගාබාධ වලට ලක්වන්නට සිදුවන බව වදාළා. අපට ලෙඩ රෝග වැළඳෙන ක්‍රම අටක් තිබෙනවා. වා, පිත්, සෙම් නිසා ඇතිවන රෝග, එයින් දෙකක් හෝ සියල්ලම නිසා ඇතිවන සන්නිපාතික ආබාධ, සෘතු විපර්යාස නිසා ඇතිවන රෝග, විෂම වූ ආහාරපාන නිසා ඇතිවන ආබාධ, තමන්ගේ හෝ අනුන්ගේ උපක්‍රම හේතුවෙන් ඇතිවන ඕපක්කමික ආබාධ, සහ කර්මය නිසා ඇතිවන ලෙඩ රෝග. කර්ම විපාක රෝග ඖෂධ භාවිතයෙන් වළක්වා ගන්න අපහසුයි. සෙසු රෝග සඳහා බෙහෙත් පාවිච්චි කිරීමෙන් සුවය සහනය සළසා ගන්න පුළුවන්. කෙටියෙන් කිවහොත් අප මේ නාවන කවන පොවන සරසන සනහන සිරුර රෝග සැ¼ගවී සිටින ගුහාවක්. “රෝග නිඩ්ඪං පභං ගුරං”

මෙසේ රෝගයනට ලක් වූ විට ඇතිවන මීළඟ දුක මරණයයි. “මරණම්පි දුක්ඛං” පංචස්කන්ධය තුළින් ආයුෂ උණුසුම, විඤ්ඤාණය පහවීම මරණය බව බුදුරදුන් වදාළා. ආයුක්ඛය, කම්මක්ඛය උභයක්ඛය උපච්ඡේදක ආදී වශයෙන් මරණයේ ප්‍රභේද දක්නට ලැබෙනවා. මරණය සිදුවන අවස්ථාවේ බලවත් වේදනාවක් දැනෙනවා. අනේපිඬු සිටු තුමන් මරණ මංචකයේදී සැරියුත් මාහිමියන් විචාල පැනයන්ට පිළිතුරු දුන්නේ කෙසේද? “ස්වාමීනි! බලවත් පුරුෂයෙකු මිටියකින් ගසන්නාක් මෙන් හිස වාතයෙන් පෙළෙනවා. ගිනි අඟුරු වළක දමා පෙරළ පෙරළා දමන්නාක් මෙන් දැවෙනවා යනාදි වශයෙනි. මෙපමණ දන්‍ය පුණ්‍ය ක්‍රියාවන් සිදු කළ එතුමන්ගේ තත්ත්වය එසේනම් සෙසු අයගේ තත්ත්වය කෙසේ වන්නේද?

තමන් පි‍්‍රය නොකරණ පුද්ගලයන් හා වස්තූන් සමග එක්වීම දුකයි. අපි‍්‍රය සම්ප්‍රයෝගයම දුක බව මින් පැහැදිලි වෙයි. තමන් ආදරයෙන් ඇසුරු කළ පුද්ගලයන් හා වස්තූන්ගෙන් වෙන් වන්නට සිදුවීමද දුකක්. මෙය පි‍්‍රය විප්‍රයෝග දුකයි. කෙටියෙන් කිවහොත් ජාත්‍යාදී දුක් ඇතිවන පංචස්කන්ධයම දුකයි.

චතුරාර්ය සත්‍යයේ සඳහන් දෙවැන්න දුක්ඛ සමුදයාර්ය සත්‍යයයි. සමුදය කියන්නේ හට ගැනීමටයි. දුක හට ගැනීම මෙයින් පැහැදිලි වෙනවා. ‘නන්දිරාග සහගතා තත්‍රතත්‍රාභි නන්දිනී” තෘෂ්ණාවෙන් නැවැත ඉපදීම ඇති කෙරේද නන්දිරාගය හෙවත් එහි ඇලීමෙන් බැඳීමෙන් යුක්තද එනිසා සතුට ඇති කෙරේද? එය ‘කාම භව විභවාදී තණ්හාවයි. එතකොට දුක ඇතිවීමේ හේතුව මෙකී තෘෂ්ණාවයි. තෘෂ්ණාවේ ප්‍රභේද එකසිය අටක් පවතිනවා. අරහත්භාවය දක්වාම තෘෂ්ණාව පවතිනවා. අනාගාමි වීමෙන් තුනීවන තණ්හාව සහමුලින් දුරුවන්නේ අර්හත්වය තුළිනි. නිවනට ළඟාවිය හැක්කේ මේ තෘෂ්ණාව දුරු කිරීමෙනුයි. “තණ්හක්ඛයො නිරෝධෝ නිබ්බාණ අනාදිමත් කාලයක් භවය පුරා විවිධ දුක් දෙන මේ තෘෂ්ණාව දුරු කරන්නට අප උත්සාහ ගත යුතුයි.

චතුරාර්ය සත්‍යයේ තෙවැන්න දුක්ඛ නිරෝධාර්ය සත්‍යයි. දුක නැතිකිරීම මින් පැහැදිලි කෙරෙයි. දුක නැති කිරීම කියල කියන්නේ සංසාර ගමන නැති කිරීමයි. නිවන යනු සැප සම්පත් සපිරි ස්ථානයක් නෙවෙයි. ඉපදීම පැවතීම නැති ශාන්ත සුන්දර සහනශීලී ස්වභාවයක්, “නිබ්බාණං පරමං සුඛං” නිවනෙහි ප්‍රභේද දෙකයි. සෝපදිසේස හා අනුපදිසේස කියල.

සිව්වැනි ආර්යය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාවයි. එනම් සම්මා දිට්ඨියේ පටන් සම්මා සමාධිය දක්වා වූ ආර්යය මාර්ගයයි. මේ අනුව ඔබට වැටහේවි නිවන් ලබනු පිණිස ගමන් කළ යුත්තේ අරි අටඟි මඟෙහිම බව. සම්මා දිට්ඨි යනු නිවැරැදි දැකීමයි. කම්මස්සකතා සම්මා දිට්ඨි (කර්මය හා විපාකය පිළිබඳ විශ්වාසය) මතුසච්ච සම්මා දිට්ඨි (චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය) විපස්සනා සම්මා දිට්ඨි (සියලු සංස්ඛාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්‍ෂණයන්ට අනුව බැලීමෙන් පහළවන නුවණ) ඣාන සම්මා දිට්ඨි (රූපාවචර අරූපාවචර ධ්‍යාන පිළිබඳ ඇතිවන නුවණ) මග්ග සම්මා දිට්ඨි (සෝවාන් ආදී මාර්ග පිළිබඳ ඇතිවන නුවණ) ඵල සම්මා දිට්ඨි (සතර ඵල පිළිබඳ අතිවන නුවණ) යනුවෙන් මෙහි ප්‍රභේද හයකි.

සම්මා සංකප්ප යනු යහපත් කල්පනාවයි. මෙය නෙක්ඛම්ම (කාම වස්තූන් දුරුකිරීම) අව්‍යාපාද (ව්‍යාපාදයට විරුද්ධ ධර්මය) අවිහිංසා (අනුන්ට හිංසා පීඩා නොකිරීම) යනුවෙන් කොටස් තුනකින් යුක්තය. සම්මා වාචා යනු බොරුකීම ආදී වචනයෙන් සිදුවන වරදින් දුරුවීමය. සම්මා කම්මන්ත යනු ප්‍රාණඝාතාදී ත්‍රිවිධ දුශ්චරිතයන්ගෙන් වෙන්වී සිටීමයි. කාය වාග් මනඞ යන ත්‍රිවිධ දුසිරිතෙන් හා පංචවිධ අධාර්මික වෙළඳාම් වලින් කුහනා ලපනාදියෙන් වෙන්වීම සම්මා ආජීවයයි.

උපන් අකුසල් දුරුකිරීම නූපන් අකුසල් නූපදීම පිණිසත් උපන් කුසල් දියුණු කිරීමත් නූපන් කුසල් උපදවා ගැනීම පිණිසත් වෑයම් කිරීම සම්මා වායාමයයි. සම්මා සති යනු සතර සතිපට්ඨානයෙන් යුක්තව වාසය කිරීමයි. කුසලාරම්මනයන්ගේ සිත පිහිටුවා ගැනීම සම්මා සමාධියයි.

සැකෙවින් දක්වන ලද මේ චතුරාර්ය සත්‍ය ධර්මානුශාසනයෙන් ජීවිතය සසර ගමන පිළිබඳ ඔබට සුළු හෝ අවබෝධයක් ලැබෙන්නට ඇති. මේ පිළිබඳ දහම්පත පොත හොඳින් පරිශීලනය කොට මනා අවබෝධයක් ලබා උත්තරීතර ලෝකෝත්තර අමාමහ නිවන්සුව අවබෝධ කර ගැනීමට උත්සාහවන්ත වන්න.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.