හැට වසරක් සපිරි
වේරහැර ශ්‍රී බෝධිරාජාරාමය
සටහන හා ඡායාරූපය :-
ජනක වෙත්තසිංහ
ස්වේත වර්ණ බුද්ධ ප්‍රතිමා වහන්සේ |
දුටු සැනින් සිත් සතන් පැහැදෙන අපූරු දසුනකින් හෙබි වේරහැර බෝධිරාජාරාම
විහාරස්ථානය කුඩා බිම් කඩක මනා සැලැස්මකට අනුව කළමනාකරණය කර ගනිමින්
ගොඩනංවන ලද්දකි.
බුද්ධ මන්දිරය |
බොරලැස්ගමුව වේරහැර ශ්‍රී බෝධිරාජාරාමය ආරම්භ වන්නේ වසර 1950 දී ය.
එවකට කැස්බෑව මහජන නියෝජිතයාව සිටි සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ මැදිහත්
වීමෙන් වේරහැර ලංකා ගමනා ගමන මණ්ඩලය සතුව තිබූ විශාල ඉඩමට යාබදව
ජනපදයක් ගොඩනැගේ. එයට බෝධිරාජ පුර වශයෙන් නම තැබේ.
මෙම බෝධිරාජ පුරයත්, වේරහැරත් යන දෙගම් සීමාවෙහි බෝධිරාජරාමය,
ඉදිවන්නේ එම ගම් බිම්වල වැසියන්ගේ ආගමික අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ
පරමාර්ථයෙනි.
මුල් යුගයේදී අවට විහාරස්ථාන වලින් මෙහි ආගමික කටයුතු සිදුවුවද
කැන්දවින්නේ ධම්මරතන හිමියන්ගේ ආගමනය සිදුවීමෙන් විහාරස්ථානය ස්වාධීනව
පවත්වාගෙන යාමට හැකියාව ලැබේ.
විහාරස්ථානයේ ක්‍රමාණුකූ®ල දියුණුව වෙනුවෙන් බැරැණ්ඩිගම්පොළ
කල්‍යාණතිස්ස හිමි, ඉහළකෝන්වැව රතනසාර හිමි ආදි ස්වාමින් වහන්සේගේ
මුලිකත්වය දායක වෙයි.
1980 දශකයේ විහාරස්ථානයට වැඩම කළ මහහිල්ලේ පුඤ්ඤසාර හිමියන්ගේ යුගය,
විහාරස්ථානයේ ප්‍රවර්ධනයට වඩාත් ආලෝකයක් සැපැයීය.
වර්තමානයේ මෙම විහාරස්ථානය ඉතා දැකුම්කළු ලෙස නිර්මාණාත්මක ආකාරයට
වර්ධනය වී ඇත්තේ මෙසේ යුග කීපයක කාල ගමන් මගේ අභියෝග හා දුෂ්කරතාවයන්ට
නොබියව මුහුණ දීමෙනි.
විහාරස්ථානය අද සුවිශේෂී සන්ධිස්ථානයකට සපැමිණ තිබේ. බෝධිරාජාරාමය වෙතට
පිවිසෙන්නකුට ප්‍රථමයෙන් ඇස ගැසෙන අපුරු නිර්මාණයක් වූ චෛත්‍ය රාජයාණන්
වහන්සේගේ දර්ශනය බුද්ධාලම්භන පී‍්‍රතිය වඩවාලයි.
ප්‍රාකාරය මත ගොඩ නඟා ඇති චෛත්‍යය |
වටව ඉදිකළ පවුරේ එක් කොණක් මෙම චෛත්‍ය ඉදිකිරීමට යොදාගෙන ඇත්තේ භූමියේ
සීමා සහිත ඉඩ මනා ලෙස පරිහරණය කර ගනිමිනි. විහාරස්ථානය සීමාවන පවුර,
වඩාත් උසට සාදා ඒ මත ඉදිකර ඇති චෛත්‍යය දකින විට හැඟෙන්නේ නෞකාවක
මුදුන් තලයේ පූජනීය ලෙස තබා ඇති කරඬුවක් ආකාරයටය. නවමු සිතුවිල්ලක්
අනුව අපූරු වූ ආකෘතියකට නිමවා ඇති මෙම චෛත්‍ය දකින සැදැහැති බොදු
සිතුවිලි උස් තලයකට ඔසවා තබනු ඇත. පෙර සඳහන් කළ ආකාරයට විහාර භූමියේ
ඇත්තේ සීමාසහිත කුඩා ඉඩකි. එම ඉඩ නිසි ලෙස සංවිධානය කර ගනිමින්
සකලාංගයන්ගෙන්ම සමන්විත වන සේ විහාරාංගයන් ගොඩ නංවා තිබීම විශේෂිත වේ.
බෝධින් වහන්සේ |
කුඩා ඉඩක වුව මෙහි ඇති බෝධීන් වහන්සේ සුවිසල් ලෙස වර්ධනය වී තිබේ. එය
ආගමික පරිසරයක ගාම්භීර ලක්‍ෂණයක් ඉස්මතු කරයි. රන්වැටින් ආවරණය වී ඇති
බෝධින් වහන්සේ වටා ඇති බෝධි ඝරය සත් සති බුදු කුටි වලින් අලංකාර වී
තිබේ.
එම සත් සතියේ විවිධ අවස්ථා ඉතා දැකුම්කළු ආකාරයට පිළිම වශයෙන් නෙළා
සෝභාවත් වර්ණ සංයෝජනයන්ගෙන් අලංකාර කර තිබේ. එම නිමැවුම් ඇස කඨෝර
නොකරමින් ශාන්ත සිතුවිලි ජනිත කරවයි.
විහාර භූමියේ සීමාව ආසන්නයෙන් උඩට නැග යන්නට පිය ගැට පෙළක් තිබේ. මෙය
නැග චෛත්‍ය මළුව දක්වා ගමන් කළ හැක. ගිරි ශිඛරයක් තරණය කර මුදුන් තලයට
පැමිණිය විට දැනෙනා සුවය, මෙම චෛත්‍ය මළුවේදී ද අත්විඳිය හැක.
චෛත්‍ය සම්බන්ධ වන බිම් මහලද නිසිලෙස ප්‍රයෝජනයට ගනිමින් ඒ තුළ ධර්ම
පුස්තකාලය සාදා තිබේ. චෛත්‍ය ගර්භය තුළ ධාතු මන්දිරය ඉදිකර ඇත.
ධර්ම මන්දිරයට සම්බන්ධ කර සාදා ඇති කුඩා බුදු මැදුර තුළ ස්වේත වර්ණයෙන්
නෙළා ඇති බුදු පිළිම වහන්සේ මනා අංග ලක්‍ෂණයන්ගෙන් ශාන්ත ලෙස නිර්මාණය
කර ඇත.
සද්ධා සම්පයුක්ත හැඟීම් ජනනය කරවන සුළු එම ප්‍රතිමා වහන්සේ නෙළා ඇත්තේ
වර්ෂ 2002 දී බෝකුන්දර කුමාර ලියනගේ ප්‍රමුඛ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ
සිසු පිරිසකගේ ප්‍රතිභා සම්පන්න දෑත් වලිනි.
විහාරාධිපති ශාස්ත්‍රවේදී කටුවන චන්දරතන හිමි |
විහාරස්ථානයට අනුබද්ධිතව ඇති ශ්‍රී පුණ්‍යසාර දහම් පාසල අවට
දරුදැරියන්ගේ දහම් අධ්‍යාපනය වෙනුවෙන් කැපවී කටයුතු කරන්නේ සම්පත්
ඌනතාවයන් බොහෝ තිබියැදීය.
යෝජිත තෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ල අධ්‍යාපන කේන්ද්‍රයක් මෙන්ම සමාජ සුභ
සාධක කරයුතු රාශියක මධ්‍යස්ථානයක් ලෙසත් සැකැසීමට අපේක්‍ෂාකර ගෙන සිටි.
බෝධි ඝරය වටා ඇති සත්සතියේ නිර්මාණයන් |
අවට පවුල් 600 ක පමණ ප්‍රමාණයක ගේ ආගමික අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටිනා
බෝධීරාජාරාමයේ ප්‍රගමනය වෙනුවෙන් විහාරස්ථ කාර්ය සාධක සමිතිය සංඝමිත්තා
කුළඟන සමිතිය , තරුණ බෞද්ධ සමිතිය විශාල දායකත්වයක් සපයයි.
මෙහි වර්තමාන විහාරාධිපතින් වහන්සේ රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී
කටුවන චන්දරතන හිමියන්ය. විහාරස්ථානයේ වර්ධනය වෙනුවෙන් සහ සමාජ සුභ
සාධනය වෙනුවෙන් උන්වහන්සේ ගේ කැපවීම ඉමහත් වන අතර අවට සැදැහැති දායක
කාරකාදීන්ගේ දිරිය මෙම බෝධිරාජාරාමයේ ප්‍රගමනයට මහත් සවියකි.
|