Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මෛත්‍රී වඩන සමාජයක් ගොඩනඟමු

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 2500ක් සපිරුණු 1956 වසර ‘බුද්ධ ජයන්තිය’ යනුවෙන් නම් කර මහත් උත්සවාකාරයෙන් සමරන ලදි. වසර 10 ක් තිස්සේ එම ජයන්තිය සැමරීමට විවිධ වැඩසටහන් සංවිධානය කරන ලදී. මහාචාර්ය ජී.පී. මලලසේකර ඇතුළු ගිහි පැවිදි විද්වත් පිරිසක් එක්ව මේ සඳහා වැඩපිළිවෙළක් සකස් කළහ.

දසවසරක් තිස්සේ මේ සඳහා සූදානම් වූ හෙයින් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමටත් බලාපොරොත්තු වූ ඉලක්ක රැසක් ඉටුකර ගැනීමටත් හැකිවිය. වසර 10 ක් තිස්සේ මේ සඳහා පිළිවෙතින් පෙළගැස්වීමේ ක්‍රමවේදයක් ආරම්භ කරන ලදී. රටතුළ තිබූ යම් ශාසනික ආගමික දුර්වලකම් ඉවත්කර, සමාජයේ තිබුණු දුර්වලකම් නැතිකර අලුත් බෞද්ධ ප්‍රබෝධයක් ඇතිකරලීමට එම වැඩපිළිවෙළ ඉවහල් විය.

ඉන් වසර 55 කට පසු අපට තවත් එවැනිම සැමරුවක් ලැබී ඇත. එය පෙර සමරුමටත් වඩා වැදගත් වන්නේ ය. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් වසර 2600 ක් සම්පූර්ණ වීම ඊට හේතුවයි. මෙය අලුත් මාතෘකාවක්, අලුත් වැඩසටහනක් යටතේ ඉදිරියට ගෙන යා යුතුය.

මෙය උත්සවයක් පැවැත්වීමට හෝ එක් වැඩ සටහනක් පැවැත්වීමට හෝ නොව රටතුළ ආකල්පමය වෙනසක් ද ඇති කිරීමට උපයෝගි කර ගත යුතුයි. එහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ රටතුළ පවත්නා ශාසනික ගිහි පැවිදි දුර්වලතා නැති කර වඩාත් දීප්තිමත් ප්‍රබෝධවත් ගිහි පැවිදි පිරිසක් බිහි කිරීමය.

ඒ සඳහා මෙවර තේමාව ලෙසින් ‘’පිළිවෙතින් පෙළගැසෙමු’’ යන්න තෝරාගෙන තිබීමද අගය කළ යුතුය.

1956 වසරේ සිට මේ දක්වා ගත වූ වසර 55 ක කාලය තුළ මෙරට සංස්කෘතික, ආගමික අංශවල ඇතිව තිබෙන්නේ දියුණුවකට වඩා එම අංශයන් පරිහානියට පත්වන ආකාරයේ තත්ත්වයක් බව පෙනෙන්නට ඇත.

එබැවින් 2011 වෙසක් පොහෝ දිනෙන් ඇරැඹෙන සම්බුද්ධත්ව ජයන්තිය අප රටේ යහපත් ආකල්ප වර්ධනය කිරීම පිණිස උපයෝගි කරගත යුතුය.

මේ බව කල්පනා කළ තෛ‍්‍රනිකායික මහනාහිමිවරුන් ඇතුළු ගිහි පැවිදි විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් විසි වැදෑරුම් වැඩපිළිවෙළක් සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ක්‍රියාවට නංවා ඇත. මෙම විසිවැදෑරුම් වැඩපිළිවෙළ ඔස්සේ මෙරට ගිහිපැවිදි දෙපිරිසකගේම ගුණධර්ම වර්ධනයටත්, සාරධර්ම වැඩීමටත් සුවිසල් පිටිවහලක් ලැබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාත් ඇතුළු රජයේ පූර්ණ සහයෝගය මේ විසි වැදෑරුම් වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට ලැබී ඇත. මෙරට පොදු බෞද්ධ සමිති සමාගම් මෙන්ම විශේෂයෙන්ම සඳහන් කළ යුතු සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයත්, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයත් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට පූර්ණ දායකත්වය ලබාදීම පැසසිය යුතුය. එමෙන්ම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට රටේ මවුපියවරුන් ඇතුළු වැඩිහිටියන්, තරුණ පිරිස, පාසල් දරු දැරියන්, දහම් පාසල් සිසු සිසුවියන්, සියලු සමිති සමාගම් සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හි සහයෝගය හා දායකත්වය ලැබීම අත්‍යවශ්‍ය වේ.

මෙම සියලු කාර්යයන්ගේ අවසන් ප්‍රතිඵලය ලෙස බලාපොරොත්තු වන්නේ අපෙන් ගිලිහී ගොස් ඇති ගමත් පන්සලත්, භික්ෂූන් වහන්සේත් ගිහියාත් අතර සබඳතාව යළි ඇතිකිරීමය. එමඟින් ආගමික ශ්‍රද්ධාව ඇති රටට ආදරය කරන, ජාතියට ආදරය කරන, අපේකම අගයන, සදාචාර සම්පන්න සමාජයක්, පුරවැසියන් පිරිසක් බිහිකිරීම් අරමුණයි.

අපේ රටේ අතීතය ගැන සිතා බලනවිට පෙනීයන්නේ අපේ අනන්‍යතාව ආරක්ෂා කළ පිරිසක්, සමාජයක් රටේ සිටි හෙයින් රට තුළ සාමය සමගිය ආරක්ෂාවුණු බවයි.

ගමයි. පන්සලයි අතර සබඳතාව නිසාම ඉතිහාසය පුරා අපේකම ආරක්ෂා වී තිබුණි.

පෘතුගීසීන්ට (1505) අපේ රට යටත් කරගත නොහැකි විය.

ඔවුන්ට මුහුදු තීරය පමණක් යටත්කරගත හැකිවිය. ඔවුන්ට පසුව මෙරටට පැමිණි ඕලන්දකාරයන් හෙවත් ලන්දේසින්ටද සෙසු රටවල් අල්ලාගත හැකිවුවත් අප රටේ අල්ලාගත හැකිවූයේ පෘතුගිසින් අල්ලාගෙන සිටි පෙදෙස් පමණකි.

එසේම බ්‍රිතාන්‍යයන් හෙවත් ඉංගී‍්‍රසිකාරයන්ටද ශ්‍රී ලංකාව අල්ලාගත නොහැකි විය. ඔවුන්ටද යටත් කර ගැනීමට හැකියාව ලැබුණේ පෘතුගිසි හා ලන්දේසීන් අල්ලා ගත් ප්‍රදේශ පමණි.

මේ තත්ත්වය අවබෝධ කරගත් ඉංගී‍්‍රසි ආණ්ඩුකාරයන් කීවේ, ලෝකෙම ඇල්ලුවත් ලංකාව අල්ලාගත නොහැකි බවයි. ලංකාවෙ ඉන්නෙ මහ පුදුම ජාතියක්. ඔවුන්ට තිබෙනවා තමන්ගේකම, තමන්ගේ රට, ජාතිය, ආගම, සිරිත්-විරිත් ඇඳුම්-පැළඳුම් වගේම ඔවුන්ට තිබෙනවා විශේෂිත සංස්කෘතියක්. ගමත් පන්සලත් අතර තිබෙන සම්බන්ධය නිසයි මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. මේ බ්‍රිතාන්‍යයන්ගේ අදහස විය.

මේ නිසා ශ්‍රී ලංකාව යටත් කරගැනීමට නම් මේ සබැඳියාව බිඳ දැමිය යුතුබව ඔවුහු කල්පනා කළහ. ඒ සඳහා ඔවුන් දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ගමත් පන්සලත්, එමෙන් ගිහි පැවිදි සම්බන්ධයත් යම් මට්ටමකට බිඳ වැටුණි. මේ පරතරයෙන් රට ඇතුලට ගමන්කළ බ්‍රිතාන්‍යය ජාතිකයෝ 1815 දී අප රට ඔවුන්ගේ පාලනයට යටත්කර ගත්හ. ඒ පෘතුගීසින් මෙරටට පැමිණ වසර 300කට අධික කාලයක් ගත වීමෙනි. අපේ සමඟිය තිබෙන තුරු අප විනාශ කිරීමට, යටත් කර ගැනීමට නොහැකි ජාතියක් බව එයින්ම පැහැදිලිය.

එමනිසා මෙවර උදාවන 2600 සම්බුද්ධත්ව ජයන්තිය අර්ථවත් කිරීම සඳහා අප කළ යුතුවන්නේ අතීතයේ අප රැකදුන් ඒ ගමත් පන්සලත්, භික්ෂූන් වහන්සේත් ගිහියාත් අතර සබැඳියාව යළි ඇති කිරීමයි. බොදු සමාජයක, බොදු ආකල්ප, බොදු සංස්කෘතිය වැනි ගුණාංග තුළින් සාමකාමී, වෛර නොකරන, සදාචාර සම්පන්න රටක් බිහිකළ හැකිය. ඊට පසුබිම සැකසීම සඳහා පත්කළ කමිටුව මසකට වරක් රැස් වී මේ විසිවැදෑරුම් වැඩසටහනේ ක්‍රියාකාරීත්වය ගැන සාකච්ඡා කරයි. මෙම වැඩසටහන සම්බුද්ධත්ව ජයන්තියෙන් නොනැවතිය යුතුය.

මේ සඳහා හොඳ අත්තිවාරමක් අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති දි.මු. ජයරත්න මහතා යොදා ඇත. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ඒ ඒ දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක වැඩසටහන් සම්බන්ධව එතුමා පෞද්ගලිකවම සොයා බැලීම මහත් සේ අගය කළ යුතුය. එතුමන් වැඩසටහන් සංවිධානය සම්බන්ධයෙන් නිලධාරීන්ගේ අදහස් ලබා ගනිමින් නිලධාරීන් දැනුම්වත් කරමින් සිටී.

බෞද්ධ ප්‍රබෝධයක් යළි ඇති කළ යුතු ආකාරය ගැන මාධ්‍ය මඟින් ජනතාව දැනුම්වත් කිරීම සිදුවේ. එසේම මෙරට ථෙරවාදී බුදුදහම ලොව අනෙකුත් රටවලට ව්‍යාප්ත කිරීමද මෙහිලා වැදගත් වේ. ඒ අනුව බුදුදහම ලෝකයට ගෙනයාමේ වැඩපිළිවෙළ වඩ වඩාත් ක්‍රමවත් කළ යුතුය. වෙසක් පුන් පොහෝ දින අන්තර්ජාතික නිවාඩු දිනයක් බවට පත්කර ගත හැකිවූයේ ද ලෝකයට බුදුදහම ගෙන යෑමේ එක් වැඩපිළිවෙළක් ලෙසිනි. එම කාර්යයට අභාවප්‍රාප්ත, හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මහතා විශේෂ මහන්සියක් දැරීය. මෙහිදී එයද වැදගත් කරුණකි. සිංහල නොවන, බෞද්ධ නොවන, කදිරගාමර් මහතා එම කාර්යයට මහත් වෙහෙසක් ගෙන කටයුතු කිරීම අප සැමදා සිහිපත්කළ යුතුය. අපට අවශ්‍ය ජාතික සමගිය, ආගමික සමඟිය එතැනම දක්නට ඇත. නිදහස් සටනට උර දුන්නේ ද මේ අයුරින් ජාති, ආගම් භේද බලාගෙන නොවේ. ඒ ආකාරයෙන්ම අප මෙවර සම්බුද්ධත්ව ජයන්තිය බෙහෙවින් අර්ථ සම්පන්න කර ගැනීමට ක්‍රියාකළ යුතුය. ක්‍රියාකිරීමට උනන්දු කළ යුතුය. එමඟින් සමගි සම්පන්න, ආගමික සහජීවනයෙන් යුත්, මෛත්‍රී වඩන, ගුණ ගරුක ශ්‍රී ලාංකිකයන් පිරිසක් බිහිකළ හැකිය. එය 2600 සම්බුද්ධත්ව ජයන්තියේ ජයග්‍රහණය වනු ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.