Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පංචවිධ අනිමිත්ත ධර්ම

ජීවිතය පවතින ආකාරය ගැන කිසිවකුටවත් ස්ථිර නිගමනයකට එළඹිය නො හැකිය. මෙලොව උපත ලද හැම දෙනාටම මුහුණපෑමට සිදුවන ප්‍රධාන කරුණු අටක් ඇත. එය අටලෝ දහමය.

බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ, සියලු සත්ත්වයන්ගේ දෙලොව යහපත සඳහාය. එසේම ලෝකය, සත්ත්වයා ජීවිතය පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කර ගැනීම පිණිසය. සියලු කෙලෙසුන් නසා සසර සයුරෙන් එතෙරවීම පිණිසය. ඒ බව විශුද්ධි මාර්ගය නම් ග්‍රන්ථයෙහි සඳහන් වන පංචවිධ අනිමිත්ත ධර්මයන්ගෙන් ද මනාව පැහැදිලි වෙයි. එම ධර්ම කරුණු මෙසේ ය.

ජීවිතය

ජීවිතය පවතින ආකාරය ගැන කිසිවකුටවත් ස්ථිර නිගමනයකට එළඹිය නො හැකිය. මෙලොව උපත ලද හැමදෙනාටම මුහුණපෑමට සිදුවන ප්‍රධාන කරුණු අටක් ඇත. එය අටලෝ දහමය. එනම් ‘

‘’ලාභො අලාභො අයසො යසොච
නින්දා පසංසාච සුඛංච දුක්ඛං’’

යන මෙයින් කියැවෙන ආකාරයට සමහර අවස්ථා වලදී බොහෝ ලාභ ලැබේ. එම අවස්ථාවේදී සතුටින් සැපෙන් සිටී. නමුත් එම ලාභ නැතිවී අලාභය ළඟාවූ විට ජීවිතය ගත කරන්නට සිදුවන්නේ දුකසේ ය. එසේම, වරෙක යස ඉසුරින් පිරි ජීවිත ගතකළ අපට තවත් වරෙක සියලු සැප සම්පත් වලින් පිරිහී ගිය යුගයක් උදාවනු ඇත. එසේම පැසසුම් ලබමින්, සිනාමුසු මුහුණින් ජීවත් වූ අපට තවත් වරෙක සිතට විඳ දරාගත නො හැකි තරමට හේතු ඇතිව හෝ නැතිව නින්දා අපහාස ලැබේ. ඒවා විඳ දරාගත නො හැකිව දුක් සුසුම් හෙලමින්, හැඬූ කදුළින් ජීවත්වන්නට ද සිදුවේ.

එසේම ජීවිතයේ නියම ස්වභාවය වන අනිමිත්ත ධර්මතාවය නොදන්නා ඇතැම් අය නින්දා අපහාස විඳ දරාගත නොහැකිව හඬා වැලපීමට ගමෙන් පළාතෙන් පිටවන්නට හෝ වස පානය කිරීමෙන්, හෝ ගෙල වැළලා ගැනීමෙන් දුම්රියට පැනීමෙන් හෝ සිය දිවි නසා ගැනීමට පෙළඹෙන අවස්ථා අසන්නට, දකින්නට ලැබේ. එමනිසා බුදුදහමේ උගන්වන ජීවිතයේ අනිමිත්ත ස්වභාවය මනාව තේරුම්ගෙන ජීවිතය සාර්ථක කර ගනිමු.

එසේම, අතිසුඛෝපභෝගී ජීවිත ගතකරමින්, රජසැප විඳිමින් සිටි ඇතැම් අයට මහ මග සිඟා කන තත්ත්වයට පත්වන්නට සිදුවේ. මේ අතර, අන්ත දිළිඳු තත්ත්වයට ඇදවැටී සිටි ඇතැම් අය එයින්භ මිදී රජසැප විඳිනු පෙනේ. මෙම ස්වභාව ධර්මතාවය කිසිවකුටවත් වැළකිය නො හැකිය. එසේම ජීවිතය ගඟකට උපමා කර ඇත. ගඟ ගලන්න පටන් ගන්නේ ඉහළ තැනකින් ය. කුඩා දියවැල පහලට වැටුණු පසු පුංචි දොළක් වී පසුව ඇලක් වී ඔයක් වී ගඟක් වී මහමුහුදට ගලා බසී. එම ගමන අතිදුෂ්කරය. කඳු අතරින්, ගල්පර අතරින්, ගෙවල් ඉදිරියෙන් හෝ පසු පසින් ගලායන ගඟ ගස් ගල්වල හැපෙයි. ගඟ දෙපස ඉවුරුවල හැපෙයි. එහෙත් එම බාධාවලට ගඟ පසු නොබසියි. මහ මුහුද සොයා ඉදිරියටම ගලා යයි. අපගේ ජීවිතයේ ස්වභාවය ද එයයි.

එසේම කරදර බාධක උරුමයි. ඇයි අප තවමත් ලතවන්නේ’ යන පඩිවදනින් පෙනෙන්නේ ද ජීවිතයේ ස්වභාවයයි. ජීවිතය වයසට යයි. එය ගැන නොසිතන ඇතැම් අය ජීවිත මදයෙන් මත් වී තම කායික ශක්තිය, තරුණ ජවය ගැන ආඩම්බර වී ආගම දහමින් ඈත් වී විවිධ අපචාරවලට යොමු වෙයි. මේ අයගේ සිරුරු වැහැරී තරුණ ජවය පිරිහී ගිය පසු ගත වූ අතීතය ගැන සිහිවී මහළු වන්නට පෙර, කුසල් දහම් හි යෙදෙන්නට නොහැකිවීම ගැන දුක්වෙයි. එමනිසා තරුණ අවිධියේ සිටම බුදුදහමට අනුව ජීවිතය හැඩ ගසා ගන්නට උත්සාහ ගනිමු. එය සසර දුකින් මිදීමට මගය.

ව්‍යාධිය

ලෙඩ වීම ද අනිමිත්ත ධර්මතාවයකි. මිනිස් ලොව පහළ වී සිටින හැමදෙනාම කවර හෝ ව්‍යාධියකින් පෙළෙයි. එය වැළැක්වීමට සමතෙකු මිහිපිට නැත. චක්ඛු රෝග, කණ්හ රෝග, මුඛ රෝග, දන්ත රෝග, චර්ම රෝග ආදී වශයෙන් අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි දෙසිය තුනක් අතුරු ආන්තරාවන් මේ මිනිස් ලොව ඇත. තුන් දොසින් සකස්වුන, පස් කඳින් යුත් අපට මෙම ලෙඩ රෝගවලට අනිවාර්යයෙන් මුහුණදීමට සිදුවේ. එමනිසා, එම ලෙඩරෝග වැළඳීමට බාල, තරුණ , මධ්‍යම, මහළු, දුප්පත්, පොහොසත් ආදී වශයෙන් භේදයක් නැත. ව්‍යාධිය නමැති මෙම අනිමිත්ත ධර්මතාවය ගැන වැටහීමක් නැති ඇතැම් අය, නිරෝගීව සිටිනතාක් මට කවදාවත් ලෙඩ රෝග නොහැදේ. මම හැමදාම නිරෝගීයව සිටිමියි සිතා ඉතා සතුටින් කාලය ගෙවයි. එය ආරෝග්‍ය මදයයි. එයින් මත්වී ලෙඩ රෝගවලට භාජනය වී දුක් විඳින අය දෙස බලා උපහාසයට ලක්කරණ අයද අප සමාජයේ ඇත. එය මහා පාපයකි. තමන්ටම කර ගන්නා අපහාසයකි. ඔවුන්ටද කවදා හෝ කවර හෝ ව්‍යාධියක් වැළඳුනවිට ජීවිතය ගැන කලකිරී දුක් සුසුම් හෙළමින් මෙසේ කියයි.

‘’මමනම් කිසි දවසක හිතුවෙ නෑ මට මෙතරම් බරපතළ රෝගයක් හැදෙයි කියා”. තමන් හමුවට එන අය සමග කියමින් දුක් වෙන ඇතැම් අය හමුවී ඇත. තම ශරීර ශක්තිය නිරෝගී භාවය ඇති කාලයේ එම ශක්තිය හැමදාම පවතියි යැයි සිතාගෙන මත්වතුරට, මස් මාළු වලට, දුම්පානයට, කාම මිථ්‍යාචාරයට ලොල් වී සිටි අය, ශරීර ශක්තිය පිරිහී මහළු වයසට ගිය විට තම තරුණ, විය සිහිකර දුකට පත් වේ. එමනිසා අපගේ නිරෝගීභාවය ඇතිකළ ආගම, ධර්මය අනුව දාන, සීල, භාවනාවල යෙදී තම ජීවිතය සුචරිත භාවයට පත්කර ගැනීමට උත්සාහ ගත යුතුය. එසේ නැතිව ආරෝග්‍ය මදයෙන් මත් වී නොයෙකුත් දුසිරිත්වල හැසිරෙමින් සිටින කල හදිසියේම ව්‍යාධියකට ගොදුරු වුවහොත් ‘අනේ! මගේ ඇඟේ පතේ සවි ශක්තිය ඇතිකළ පින්දහම් කර ගන්න බැරිවුණා යැයි’ කියමින් දුක්වීමට සිදුවේ. එමනිසා ‘ අප්පමාදො අමතපදං’ යන ධර්ම අවවාදය සිහියට ගෙන ව්‍යාධිය නමැති අනිමිත්ත ධර්මයට අසුවන්නට පෙර, ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල යෙදෙමු. එය දෙලොව සැපයට නිවණින් සැනසීමට හේතු වනු ඇත.

කාලය

මේ ලෝකයේ පහළ වී ඇති ජීව - අජීව සියලු වස්තූ®න් අනිත්‍යය, එම ධර්මතාවය පදනම් කරගෙන ඉපදුනු හැම සත්ත්වයෙක්මද කවර හෝ දිනයක වෙලාවක මරණයට පත්වේ. එමනිසා, කාලය නමැති අනිමිත්ත ධර්මතාවයට අප හැම දෙනාම යටත් වේ. එහෙත් මරණය සිදුවන ස්ථානය, දිනය කාලය ස්ථිර වශයෙන් කියන සමතෙක් නැත. සමහර අය මව්කුසේ දී මරණයට පත්වේ. බිහිවන විට බිහිවී දින සති, මාස, වසර ගණන්ගත වී මරණයට පත්වේ. එසේම විවිධ ලෙඩ රෝග වැළදී හෝ කිසිදු බරපතළ රෝගයක් නැතිව මියයන අයද ඇත. මෝඩයාත්, පණ්ඩිතයාත් ධනවතාත්, දුප්පතාත් යන හැම දෙනාම මරණයට පත්වීම වැළැක්වීම නොහැකිය. එමනිසා මරණයට වයසක්, කාලයක්, තැනක් නැතිබව අපි සිතට ගනිමු. එම අනිමිත්ත ධර්මතාවය අවබෝධ කර ගෙන ජීවත්වන විට මරණය ගැන දුකක් බියක් ඇති නොවේ. කාලය හෙවත් මරණය ගැන නූතන කවියන් තම කවි ඇසින් දැක ඇති අයුරු මෙසේ දැක්විය හැකිය.

උදයෙන් රැය නැසේ
රැයින් උදය ද වැනසේ
මරණය ගෙන මෙසේ
උපනි මිනිහා උපන් දවසේ
නොමැරීම සැපතයි
උපනොත් මරණ නියතයි
ලොව හැම අනියතයි
එයින් මරණයෙ උපත උපතයි

මෙයින් පැවසෙන්නේ ද අප හැමගේම මරණය සිදුවන කාලය අවිනිශ්චිත බවය. එමනිසා ලෝවැඩ සඟරා කතුවරයා කියා ඇති පරිදි ‘අද අද එයි මරු පිංකර ගන්නේ’ යන උපදේශනයට පරිදි සහ ධම්මපදයේ එන ‘අප්ප මාදො අමත පදං’ යන බුදුරජාණන් වහන්සේගේ උපදේශයට අනුව යෝනිසෝමනසිකාරයෙන් යුතුව ප්‍රමාදනොවී, කුසල් රැස්කර ගත යුතුය. එවිට මරණය කවදා කවර මොහොතක එළඹුණාද, එය සතුටින් භාර ගැනීමට අපට චිත්ත ධෛර්ය ඇතිවේ. නමුත් නොමැරෙනවුන් සේ ජීවත්වන අයද අප සමාජයේ සිටිය හැකිය. ඔවුන් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන්, වෛරයෙන්, කටයුතු කරයි. උඬගුකමින්, අහංකාර කමින්, අන් අයව හෙළා දකියි. අපහාස කරයි. මානසිකව වේදනා දෙයි.

එසේම ඉඩමට, වැටට නියරට, පාරට මුදලට අඬදබර කරගන්නට මිනීමරුවන් වන්නට නිතර සූදානම් වෙයි. මෙසේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රියාකරන අය නොමැරෙනවුන් සේ අනන්ත ආසා පොදි බැඳගෙන ජීවත් වුවද, මරණය පැමිණිවිට භීතියට තැතිගැනීමට පත් වී දුකෙන්, ශෝකයෙන් මරණයට පත්වෙයි. එවැනි අයගේ් පරලොව ජීවිතයද, අමිහිරිය. සතර අපායෙන් එකකට පත් වී අපමණ දුක්විඳියි. එමනිසා, බෞද්ධයන් වන අපි නිති පන්සිල් පොහොය අටසිල් ආදී ආර්යකාන්ත සීලයක් ආරක්ෂා කරමින් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දසපින් කිරියාවත්, දස කුසල් කරමින්, මරණසති භාවනාව වඩමින් ජීවිතය යහ මගට යොමුකර ගනිමු. එවිට දෙලොව ජයගත හැකිය. සෝවාන් ආදී මාර්ගඵල ලබා මරණයෙන්ද ජය ගත හැකිය.

දේහය

කෙදිනකදී හෝ කවර තැනකදී හෝ මරණයට පත්වෙන අපගේ මළ සිරුර මිහිදන් කරන ස්ථානය ස්ථිර වශයෙන් කාටවත් කිව නොහැකිය. එමනිසා අපගේ් මෘත දේහය ද අනිමිත්තය. නමුත් අපේ ඇතැම් අය තම මෘත දේහය අසවල් සුසාන භූ®මියේ වළ දැමීමට, තැන්පත් කිරීමට, අසවල් ආදාහනාගාරයේ පුළුස්සා දැමීමට කියා ස්ථිර වශයෙන් නිගමනය කරගෙන එයට සූදානම් වන ආකාරයද පෙනෙන්නට තිබේ. ඔවුන් එසේ නිගමනයන්ට බැසගෙන සිටිය ද, එම තීරණ වෙනස්වන බව ඔවුන් නොදනිති.

ශ්‍රී ලංකාවේ ඉපදී විදෙස් රටවල මැරෙන අයද ඇත. මෘත දේහය පිට රටවල ආදාහනය කරන අවස්ථා ද ඇත. පසුගිය වසර තිහ තුළ මේ රටේ තිබූ කොටි ත්‍රස්තවාදය නිසා මරණයට පත් වූ දහස් ගණනකගේ මෘත දේහයන් තබා ඇට කැබැල්ලකුදු සොයාගත නොහැකි වී ඇත. එසේ සිදුවන බව ඔවුන් කිසිදා නො සිතන්නට ඇත. එය ලෝක ධර්මතාවයයි. එසේම, මේ රටට උදාර සේවයක් කළ ඇතැම් රාජ්‍ය නායකයන්ගේ හා මැති ඇමැතිවරුන්ගේ දේහයන් ද ත්‍රස්තවාදීන් ගේ් මැර ප්‍රහාරවලින් කිසිවකු නො සිතු ලෙස විනාශ විය. එමනිසා දේහය පිළිබඳ අනිමිත්ත ධර්මතාවය ද අපි වටහා ගනිමු.

දිනක් බුදුරජාණන් වහන්සේ ජනපද චාරිකාවේ මහමඟ වඩිනවිට මහළු බමුණකු මහ ගසක් මුල වළක් කපමින් සිටිනව දැක්කා. මේ පිළිබඳව බමුණාගෙන් නො විමසා බුදුරදුන් වැඩියහ. නැවතත් මාසයකට පමණ පසු එම මාර්ගයෙන්ම වඩින බුදුරජාණන් වහන්සේට අර බමුණා එම ගසමුලම වළකපනව දැක්කාහ. එතනට වැඩිය බුදුරදුන් පින්වත් බමුණා! ඔබ කුමක් කරන්නේද? යි ඇසූහ. එවිට බමුණා මෙසේ පිළිතුරු දුන්නේ ය. භවත් ගෞතමයිනි! මම තමයි මේ ප්‍රදේශයේ සිටින පැරණිම බමුණා මගේ වයස අවුරුදු අසූවකි. මම ඉතාම උසස් බ්‍රාහ්මණ වංශයට අයිති කෙනෙකි. එමනිසා මගේ මරණයෙන් පසු මෘත දේහය කිසිම කෙනෙකු වල නොදැමූ තැනක තැන්පත් කිරීම සඳහා මෙම වළ මම කපන බව පැවසීය. එය ඇසූ බුදුරජාණන් වහන්සේට සිනා පහළ විය. ස්වාමිනි සිනාවුනේ කුමක් නිසාදැයි ඇසීය. එවිට බුදුරජාණන් වහන්සේ පින්වත් බමුණ! මෙයට පෙර ඔබගේම මළ සිරුර මෙම ස්ථානයේම 999 (නවසිය අනූනව) වාරයක්ම වළ දමා ඇත. මේ 1000 (දහස්වැනි වාරයයි) එමනිසා බමුණා ඔබගේ අදහස වැරදියි. එය සසරේ ස්වභාවයයි. මගේ මළ සිරුර අසවල් තැන වළ දමනවායයි ස්ථිරලෙස කාටවත් කිය නො හැකිය. එමනිසා දේහය පිළිබඳ අනිමිත්ත ධර්මතාවය වටහා ගනිමු.

ගතිය

බුදුදහමේ උගන්වන මෙම පංචවිධ අනිමිත්ත ධර්මතාවයන් ගැන අවබෝධය නැති අය, මරණයෙන් පසු මම උපදින්නේ අසවල් තැනයයි සිතමින්, කියමින් සිටින අයද ඇත. නමුත් කුසල් කළ අයෙකු හෝ අකුසල් කළ අයෙකු මරණයෙන් පසුව උපදින්නේ් දෙව්ලොවද සතර අපායේද ආදී වශයෙන් ස්ථිරව කිව නොහැකිය. සමහර අය මැරෙන මොහොතේ ගිනිදැල්ල අන්ධකාරය, ආදිය දැක බියට පත් වී අඬයි. කෑ ගසයි. එයට හේතුව මරණාසන්න අවස්ථාවේ සිතට පහළවන අකුසල් සිතිවිලිවල බලපෑමය.

මෙයට හොඳම උදාහරණය චුන්දසූකරය. මරණාසන්න අවස්ථාවේ සමහර අය සිනාමුසු මුහුණින් සිටින බව අසා ඇත. එයට හේතුව කුසල් චේතනාවල බලපෑමය. මෙයට හොඳම උදාහරණය දුටුගැමුණු මහරජතුමාය.

කිසිදු කුසල කර්මයක් කරගන්නට අවස්ථාවක් නොලද මට්ටකුණ්ඩලී කුමරා මරණාසන්න අවස්ථාවේදී ශාන්ති නායක බුදුරජාණන් වහන්සේගේ රූපය දුටු පමණින් උන්වහන්සේ කෙරෙහි ඇතිවූ ශ්‍රද්ධා චෛතසිකය මුල් වී මරණයට පත්වීමෙන් පසු ඔහුට ලැබුණ ගතිය දෙව්ලොවය.

එම නිසා අප හැමගේ ‘ගති’ ය ද සිදුවන ආකාරය ගැන ස්ථිර වශයෙන් කාටවත් කිව නො හැකිය. එමනිසා කරගත් කුසල කර්ම සහ මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව නිතර මෙනෙහි කිරීමට පුරුදුවීමෙන් ද, අපගේ මරණාසන්න අවස්ථාව පින් සිතිවිලි වලින් යුක්ත වූ විට අපගේ ‘ගති’ නිමිත්ත යහපත් වේ. එවිට දෙවන භවයද යහපත් වේ.

මේ අනුව විමසා බලනවිට අපට පැහැදිලිවන දෙයක්නම්, මෙම පංචවිධ අනිමිත්ත ධර්මවලින් බේරීම ඉතා අපහසු බවය. එමනිසා නිතරම කෙලෙස් ගිනිවලින් දැවෙන අන්ධකාර ජීවිතයකින් සිටින අපගේ ජීවිතය එළිය කරගන්නනම්, ධර්මා ලෝකය ලංකර ගනිමු.

කොතරම් කය ලස්සන වුවත්, ධනය ආදී භෝග සම්පත් තිබුණත්, දරුවන් ඥාතීන් ආදී පරිවාර සම්පත් තිබුණත්, මෙම පංචවිධ අනිමිත්ත ධර්මවලින් බේරෙන්නට නොහැකිය. එමනිසා, හිරුඑළියට වඩා සඳඑළියට වඩා වෙනත් එළිවලට වඩා සදහම් එළියෙන් අපගේ ජීවිත සදාකාලිකව එළිය කරණ බව වටහා ගනිමු.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.