Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ පුදබිම කුසිනාරාව

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර වැඩම කළ අන්දම මහා පරිනිබ්බාන සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි සැදැහැවතුන් විසින් දැක වැද පුදා ගතයුතු සිව්වන පුදබිම වන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ කුසිනාරා පුදබිමය.

නූතන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි දියෝරියා දිස්ත්‍රික්කයේ මේ පුදබිම පිහිටා තිබේ. කුසිනගර්, කුසිග්‍රාම, කුසාවතී නම් වලින් එකල හැඳින්වුණි.

බුදුරජාණන් වහන්සේ අවුරුදු හතලිස් පහක් පුරා දෙව් මිනිස් ලෝකයාට සුවසෙත සැලසීම කළ ඒ මහා සේවාවෙන් පසුව බුදුරජාණන් වහන්සේ ඒ වනවිට වයස අවුරුදු අසූවක් විය. බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය පිළිබඳ තොරතුරු මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන්වේ.

බුදු පියාණන් වහන්සේ රජගහ නුවර සිට කුසිනාරා නුවරට වැඩම කරන අවස්ථාවේදී අම්බලට්ඨිකාවේදී බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පෑමට නිසි කාලය පැමිණෙමින් තිබෙන බව මහා සංඝයා වහන්සේ අමතා වදාළ සේක. අනතුරුව බුදුපියාණන් වහන්සේ මහා සංඝයා වහන්සේලා පිරිවරාගෙන නාලන්දා, පැලලුප් (පාටලී පුත්ත) නුවර, කෝටි ග්‍රාමය ආදී ප්‍රදේශ පසුකර ගෙන වෛශාලියට (විශාලා මහනුවර) වැඩම කළසේක. විශාලාවේ චාපාල චේතිය පුද බිමේදී බුදු පියාණන් වහන්සේ ආයු සංස්කාරය හැරිය සේක. බේලුව ගමෙහි අවසාන වස් කාලය ගත කිරීම පිණිස බුදු පියාණන් වහන්සේ අම්බපාලි අඹ වනයෙහි ද නැවතී සිටියහ. බේලුව ගමෙහි දී පක්ඛන්දිකා නම් රෝගයක් ඇති වූයේය. එම රෝගය ශ්‍රාවස්ති හෙවත් සැවැත් නුවරට වැඩම කළ සේක. සැවැත්නුවර ඇති විශේෂත්වය නම් බුදු රජාණන් වහන්සේ වැඩිම වාර ගණනක් (24 ක්) වස් විසුවේ සැවැත් නුවරය. එහිදී භික්‍ෂූන් හමුවූ බුදු රජාණන් වහන්සේ පිරිනිවන්පානා බව දන්වා සිටියහ. ඒ වනවිට දෑගසවුවන් වූ සැරියුත් සහ මුගලන් රහතන් වහන්සේලා ද පිරිනිවන් පා සිටියහ. මහා ප්‍රජාපතී ගෝතමි පසුව , (භික්ෂූනීන් වහන්සේ නමක්වූ) යසෝධරා හා රාහුල බුද්ධ ශාසනයේ පැවිදිව සිට මේ වනවිට ජීවතුන් අතර සිටියේ නැත. වෛශාලියේ සිට බේලුව ගමට බුදු රජාණන් වහන්සේ වැඩම කිරීමෙන් පසුව ආනන්ද හිමියන් අමතා කුසිනාරා නුවරට මහා පරිනිර්වාණය සඳහා වැඩම කරන බව දන්වා සිටියේය. ආනන්ද හිමියෝද බුදුපියාණන් වහන්සේ සමග වැඩම කළහ. ඒ සඳහා කුසිනාරාව තෝරා ගැනීම ගැන ආනන්ද හිමියෝ කැමැති නොවූහ. මහා පරිනිර්වාණය සඳහා චම්පා, වාරනසී, (සාරානාත්) සාකේත, රාජගෘහ, කෝසම්බි හෝ ශ්‍රාවස්ති වැනි මහා නගරයක් තෝරා ගන්නා ලෙස ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේට සැළකර සිටියහ. බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයන ඒ සඳහා තීරණය කර තිබුණි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් පිරිස කැටුව කුසිනාරා පුරයට වඩිනා සේක් ක්ලාන්ත බව දන්වා මහ රුකක් මුල හිඳගත් සේක. එසේ හිඳ පිපාසා ඇතිබව වදාරා අනඳ තෙරුන් ලවා පැන් ගෙන්වා වැළඳූ සේක. එකල්හි ආළාරකාළාම තවුසාණන්ගේ ශ්‍රාවකයෙක් පුක්කුස නම් මල්ල රාජ පුත්‍රයෙක් කුසිනාරාවේ සිට පාවා නුවරට යන්නේ රුක්මුල හුන් බුදුරජාණන් වහන්සේ දැක වැඳ පසෙක හිඳ ගත්තේය. එසේ හුන් ඔහුව භාග්‍යවතුන් වහන්සේ බණ වදාරා ඔහු සරණ ශීලයෙහි පිහිටුවා ඔහු පිදූ රන්වන් මට සිලිටු වස්ත්‍ර පිළිගන්වා ඔහුට බණ වදාළ සේක. ඔහු ගිය පසු අනඳ තෙරණුවෝ තමා ලත් වස්ත්‍රයත් භාග්‍යවතුන් වහන්සේට එලූහ. බුදු රජාණන් වහන්සේ එකක් හැඳ අනෙක පෙරවූ සේක. එකල්හි උන්වහන්සේ එදා වැළඳු විශිෂ්ට ආහාර හේතුයෙන් පෙර බුදුවරයන් වැඩි අමාමහ නිවන්පුරට අද ප්‍රවිශ්ට වන්නෙමැයි හටගත් බලවත් සොම්නසිනුත් බුදුවූ දිනයෙහි මෙන්ම ගිනි දැල් නැතිව දිලිසෙන ගිනි අඟුරු රැසක් මෙන් අතිශයින් දීප්තිමත්ව බැබලුණු සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්‍ෂු පිරිස හා කුකුත්ථා නම් නදිය වෙත වැඩම කළ සේක. එසේ වැඩම කොට නදියට බැස ජල ස්නානය කොට පැන් වැළඳා ඉන් නැගී නදී තීරයෙහි වූ අඹ වනයට එළැඹි සේක. ඒ වේලාවෙහි අනඳ තෙරුනුවන් භාග්‍යවතුන් වහන්සේගේ ජල ගාටිකාව (නානකඩ) මිරිකමින් ගඟෙහි පරක්කු වූ බැවින් සමීපයෙහි සිටි චුන්දක ස්ථවිරයන් අමතා සඟල සිවුර සතර පටක් කොට පණවා සිංහ ශ්‍යොයාවෙන් සැතපුණු සේක. ඉක්බිති එහි වැඩි අනඳ තෙරුන් අමතා බුදුවනදාට පෙරදා සුජාතාව දුන් භෝජනය ද පිරිනිවන්පානා දිනට පෙර දා චුන්ද කර්මාර පුත්‍රයා දුන් භෝජනය ද සම ඵල බව වදාළ සේක.

ඉක්බිති බුදු රජාණන් වහන්සේ ඉන් පිටත්ව හිරණ්‍යවතී ගගින් එතරවී කුසිනාරා පුරයට වැඩිසේක. වැඩ එහි වූ මල්ල රජුන්ගේ උපවර්තන නම් සල් උයනට වැඩම කළ සේක. පැමිණ එහි රජුන්ගේ සැතපීමට සාදා තිවුණු ඇඳ යමක ගාල වෘක්‍ෂයන් අතුරෙහි තබා පිළිවෙල කරන්නට අනඳ තෙරුන්ට නියම කළ සේක. අනඳ තෙරුණුවෝද එසේම ශයනය පැනවූහ. භාග්‍යවතුන් වහන්සේ එහි සිංහ සෙය්‍යාවෙන් එහි සැතපුණු සේක.

(ශාක්‍ය මුණීන්ද්‍රවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමිපාණන් වහන්සේ 2000 පි. 287 – 289)

එවිට දිව්‍ය බ්‍රහ්ම සේනාවෝ අහස්හි සිට සුවඳ සුණු සහ මල් ආදිය විසුරුවමින් දිව්‍ය ගීතත වාදික පවත්වමින් පුර්‍ණ පෙළහර කරන විට ආනන්ද හිමියන් අමතා බුදු රජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

ආමිස පූජා මාත්‍රයකින් පිදීම තථාගතයන් වහන්සේට කරන නිසි ගරු බුහුමනක් නොවන බවත් යම් භික්‍ෂුවක් හෝ මෙහෙණියක් හෝ උපාසකයෙකු හෝ උපාසිකාවක හෝ නව ලෝකෝත්තර ධර්මයට අනු ධර්මවූ පූර්වභාග ප්‍රතිපත්තියට පිළිපන්නකුව වසතොත් ඒ පුද්ගලයා නිසි උතුම් පූජාවෙන් තථාගතයන් වහන්සේ පුදන්නකු බවත් වදාරා අවවාද කළසේක.

අනඳ මහ තෙරුන්ට බුද්ධ පරිනිර්වාණ දිනය තෙක්ම රහත්වීමට නොහැකිවූ නිසා හඬා වැළපෙන්නට වූහ. ඒ බව දැනගත් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාළහ.

මහණෙනි ආනන්ද කොහිදැයි විචාල සේක. ස්වාමීනි! මණ්ඩල මාලකයෙහි ඇතුල් කනුයෙහි එල්බගෙන හඬන්නේයැයි භික්‍ෂූහු කීහ. එවිට බුදු රජාණන් වහන්සේ නියම කළ සේක. අනඳ තෙරණුවෝද භික්‍ෂූන් විසින් දන්වන ලද්දෝ ආහ. අවුත් වැඳ පසෙක උන්හ.

භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා

ආනන්දයිනි නොහඬන්න. ශෝක නොකරන්න. හැම ප්‍රිය මනාප දැයින් වෙන්වීම කලින් ම මා කීවා නොවෙද හැදුණු දෑ කැඩෙන බිඳෙන සුළුය. එසේ කලද එය පලුදු නොවේවායි සිතා ඒ පෙරලීම වලකා ලන්නට කිසිවෙකුටත් නොහැක්ක. ආනන්දයිනි තෙපි බොහෝ කල්හි හිත කැමැතිව හමුයෙහිත් නොහමුයෙහිත් එක හිතින්ම මෛත්‍රි සහගත අප්‍රමාණ කාය වාග් මනඞ කර්මයෙන් තථාගතයන්ට උවටැන් කළෝය. ආනන්දයෙනි තෙපි පෙර ද බොහෝ පින් කළ කෙනෙක. එබැවින් පමා නොවුව. නොබෝ කලකින්ම තෙපි රහත් බව ලබන්නහු යැයි වදාළ සේක. එදා අලුයම් අරුණෝද් ගමනයට පෙරටුව චතුර්ථ ධ්‍යානයෙන් නැගී සිට අනතුරුව ඒ මහාකාරුණික වූ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධ අංගී රස ශාන්ති නායකයාණන් වහන්සේ ද ආදර්ශ කෙරෙමින් නිරුපදිශේෂ පරිනිර්වාණ ධාතුයෙන් පිරිනිවන් පා වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කෙනෙහි අවිතාග භික්‍ෂූහු හැඩීමට වැලැපීමට පටන් ගත්හ. වීතරාග භික්‍ෂූහු අනිත්‍යතාව සලකමින් ඉවැසූහ. අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ හඬන භික්‍ෂූන්ව සංස්කාරයන්ගේ අනිත්‍යතාව ප්‍රකාශ කොට හැඬීමෙන් ශෝක කිරීමෙන් කම් නැතැයි අවවාද කළ සේක. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ ඉක්බිති ඉතිරි කාලය අනුරුද්ධ තෙරණුවෝද අනඳ තෙරණුවෝද ධර්ම කථායෙන් ගත කළහ.

එදින හිරු පායා ගෙන එන අවස්ථාවේදී අනුරුද්ධ තෙරුන් වහන්සේට නියමයෙන් ආනන්ද හිමියෝ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව දැන්වූහ. ඒ ගැන ඇසූ මල්ල රජ දරුවෝ ප්‍රමුඛ නගරවාසීහු හඬා වැළප ආදාහන කටයුතුවලට අවශ්‍යවූ සියළු කටයුතු සම්පාදනය කළහ. මෙසේ සත් දිනක්ම පුර්‍ණ පූජා පැවැත්වීමෙන් පසුව මහ පෙරහරින් උතුරු දොරටුවෙන් පැමිණ කුසිනාරා නුවර නැගෙනහිර පැත්තෙහි වූ මල්ල රජ දරුවන්ගේ මකුට බන්දන නම්වූ චෛත්‍ය ස්ථානයෙහි තැබූහ. ඉන්පසුව මල්ල රජවරු සර්වඥයන් වහන්සේගේ ශ්‍රී දේහය කෙරෙහි පිලිපැදිය යුතු සැටි ආනන්ද ස්ථවිරයන් වහන්සේ ගෙන් අසා දැනගෙන අලුත් කසී වස්ත්‍රයෙන් බුද්ධ ශරීරය වෙලා ඉන්පසුව මනාලෙස නෙලූ කපු පුළුන් වලින් වෙලූහ. ඉන්පසුව නැවතත් කසී වතින් වෙලූහ. මෙසේ පන්සිය වාරයක් පන්සියක් පමණ වූ පන්සියක් කපු පුලුන් වලින් ද පන්සියක් කසී වතින් ද බුද්ධ ශරීරය වෙලා සුවඳ තෙල් පිරූ දෙනක බහා එබඳුම රන් දෙණකින් වසා විසි එක් රියන් උසැති කොට කරවන ලද දර සෑයෙහි රන් දෙන නැංවූහ. ඉන්පසු බාල මධ්‍යම වයස් ඇති මල්ල රජු සිව් දෙනෙක් සුවඳ දියෙන් ඉස්සෝදා නා අලුත් වස්ත්‍රයෙන් සැරසී චිතකයට ගිනි තැබූහ. ගිනි නොදැල්විණි. මල්ල රජුන් එයට හේතු විමසීය. එවිට ඊට හේතුව මහා කාශ්‍යප තෙරුන් එන තෙක් එය දැල්වෙන්නට දෙවියන් ඉඩ නොදෙන බව අනුරුද්ධ තෙරුන් වදාල සේක. ස්වල්ප වේලාවකින් කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ වැඩි සේක. වැඩමවා සිවුර ඒකාංශ කොට පොරවා ගෙන වැඳ තුන් වරක් සහය ප්‍රදක්‍ෂිණා කොට ශ්‍රී පාදය පැත්තෙන් චිතකය හා රන් දෙන විවෘත කොට සිරිපා යුවල වැන්ද සේක. උන්වහන්සේ හා වැඩම කළ පන්සියයක් පමණ වූ භික්‍ෂූහු ද වැන්දහ. ඉන්පසු දර සෑය දේවතානුභාවයෙන් තෙමේම හාත්පස එක පැහැර ගිනිදැල්වී ගියේය.

ආදාහන පූ‍ජෝත්සවයෙන් පසු සර්වඥ ධාතු බෙදීම

එසේ දැවුණු බුද්ධ ශරීරයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි සතර දන්ත ධාතු, නලාට ධාතු, දෙසකු ධාතු යන ධාතු හා සත් දෙන නොවිසිරුණහ. ඉතිරි ධාතූහු අබ කඩ සහල් මුං පියලි පමණට විසිර ගියහ. මෙසේ ධාතූන් පමණක් ශේෂ වූ කළ අහසින් ද පිරිවරා සිටි සල් රුක්වල කඳ අතු අතරින් ද දිය දහර නාග ඝනයේ ගිනි නිවීය. මල්ල රජහු ද සුවඳ දිය ඉස්සහ.

ඉක්බිති මල්ල රජහු නුවර දෙව්පුරයක් සේ සරසා සර්වඥ ධාතු රන් දෙණක බහා එය මනාව සැරසූ ඇතකු පිටින් නුවරට වැඩම කරවා එහි සන්ථාගාර ශාලායෙහි මහඟු පර්යංකයකට පැමිණ වූහ. ඉක්බිති එහි වටේ රැකවල් තබ්බවා මල්ල රජුන් ප්‍රමුඛ කුසිනාරා නුවර වැස්සෝ න්‍යත්‍ය ගීතාදියෙන් සත් දිනක් ධාතු පිදූහ.

(ඉහත සඳහන් ග්‍රන්ථයයි 294)

බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව එම සර්වඥ ධාතූන් වහන්සේලා බෙදීම පිළිබඳව දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන්වී ඇත. දෝණ බ්‍රාහ්මණයා විසින් එම ධාතුන් වහන්සේලා බෙදා දුන් අය මෙසේය.

1. අල්ලකප්ර්යේ බුලි 2. වේදජයේ බ්‍රාහ්මණයෝ, 3. වෛශාලියේ ලිච්ඡවින් 4. රාම ග්‍රාමයේ කෝලිය 5. කපිල වස්තුවේ ශාක්‍යයින් 6. පාවා නුවර මල්ල 7. කුසිනාරාවේ මල්ල , 8. අජාසත්ත රජු ය. ධාතු බෙදූ දෝණ බමුණ එම ධාතුන් වහන්සේලා බෙදීමට ගත් සරලුව හෙවත් භාජනය ද ප්‍රමාදවී පැමිණි පිප්පලිවනයේ මෝරියයන්ට එහි තිබූ අගුරු ද ලබා දෙන ලදී.

(ARCHEOLOGICAL REMAINS OF KAPILAWASTU LUMBINI DEVDAHA 1997 – B.K. RIJAL P.23)

කුසිනාරාවේ ඇති පුදබිම් පිහිටීම: කුසිනාරාවෙ පිහිටියේ හිරන්‍යවතී ගඟේ බටහිර නිම්නයේය. පුරාණ වෙළඳ මාර්ගයක් වූ ශ්‍රාවස්ති රාජගෘහ මාර්ගය වැටී තිබුණේ මේ ඔස්සේය.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජාවෙන් පසුව පුදබිම් දෙකක් තිබුණි. එයින් එකක් නම් මහා පරිනිර්වාන විහාරයයි. අනෙක මකුට වන්දන විහාරයයි.

(මතු සම්බන්ධයි)

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.