Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නිරවුල් ජීවිතයකට මඟ සිත පිරිසුදු කර ගැනීම

මෝහය මහත් වූ අඳුරක් බඳුය. මෝහය නැති කළ හැක්කේ ප්‍රඥාව තුළිනි. ප්‍රඥාව තුළින් ඇත්ත ඇති සැටියෙන් දැකීමට පුළුවන. පටිච්ච සමුප්පාදයෙහි දැක්වෙන්නේ “අවිජ්ජා පච්චයා සංඛාරා’’ ආදී වශයෙන් නොදැනීම තුළින් සියල්ල ඇතිවන ආකාරයයි.

ලෝකයේ ජීවත් වන කල්හි අපට ප්‍රධාන අවශ්‍යතා රාශියක් පවතී. ඒ අතර ආහාරපාන, ගේ දොර, ඇඳුම්පැළඳුම්, බෙහෙත්හේත් ප්‍රධාන තැනක් ගනී. මේවා ලබා ගැනීම උදෙසා සත්වයන් අපමණ වෙහෙසක් ද දරනු ඇත. එහිදී ලොකු කුඩා භේදයක් ඇති නැති පරතරයක් සමාජය තුළ නිර්මාණය වේ. ඇති අය එම සම්පත් ලබා ගෙන ජීවිතය සංතර්පණය කරගන්නා අතර නැති අය එම සම්පත් ලබා ගැනීම සඳහා අපමණ දුක් විඳිති.

මෙහිදී අප කීමට උත්සාහ කරන්නේ එම භෞතික සම්පත් අවශ්‍ය නොවන බව නොවේ. එම සම්පත් ලබා ගැනීමේ ක්‍රමවේදයන් පිරිසුදු විය යුතු බවත් එහිදී සිරිසුදු සිතක් ඇතිකර ගැනීමේ වැදගත්කමත්, අන්තගාමි නොවීමත් සිදුකළ යුතු බවත් ය.

සත්වයකු උපදිනවිට සිත ස්වභාවයෙන්ම ප්‍රභාශ්වර වුව ද ආගන්තුකව එන කෙලෙස් තුළින් සිත අපවිත්‍ර වේ. ලෝභය, දේවේශය, මෝහය තුළින් සිත අපවිත්‍රවනවා පමණක් නොව සංසාරික භව ගමනද අවාසනාවන්ත වනු ඇත. මෙම යථාර්ථය තේරුම් නොගැනීම තුළින් සිදුවන්නේ තව තවත් කරදර බාධක වැඩිවීමය. සරු දේ සරු විධියටත් නිසරු දේ නිසරු විධියටත් දැකීම නියම දෘෂ්ඨිය බව දහමෙන් පෙන්වා දී ඇත. නිසරු දේ සරු ලෙසත්, සරු දේ නිසරු ලෙසත් දැකීම අනුවණයාගේ ස්වභාවයි.

එදිනෙදා ජීවිතයේ මිනිසුන්ගේ අවශ්‍යතා එමටය. අද සිදුවෙමින් පවතින්නේ අවශ්‍යතා සිතාමතා නිර්මාණය කර ගන්නා ආකාරයකි. සැබෑම අවශ්‍යතාවලින් ඈතට ගිය සංකීර්ණ වුවමනා රැසක් අද මිනිසුන්ට ඉෂ්ඨ සිද්ධ කරගන්නට සිදුවී ඇත. එහිදී ඔවුන් නොකරන දෙයක් නැති තරම් ය. මනැසද විකෘති කර ගනිමින් එම අවශ්‍යතා පසුපස හඹා යන්නේ හරියට ජලය යැයි සිතා මිරිඟුව පසුපස හඹා යන මුව පෝතකයන් ආකාරයෙනි. මෙම විකෘති වැඩපිළිවෙළ තුළ අවසාන ප්‍රතිඵලය වන්නේ කනගාටුව දුක සන්තාපය පමණි.

අද බහුල වශයෙන් සිදුවන්නේ රැස් කිරීමය. එහිදී ලෝභය ඉස්මතු වේ. මිල මුදල්, ඉඩකඩම්, යාන - වාහන ආදී භෞතික වස්තුන් සෙවීමට මුල් තැනක් දී ඇති අතර, එහිදී අන්තගාමී ලෙස ජීවිතය ද පරදුවට තබා ඒ කටයුතු සිදුකරන බවක් දැක ගැනීමට හැකිය. ගුණ ධර්ම ඉවතට දමමින් හැසිරීමට සමහර දෙනෙක් පසුබට නොවෙති. මවුපිය, සහෝදර, ඥාති මිත්‍රාදි වශයෙන් වන බැඳීම් පවා විනාශ කර ගනිමින් තෘෂ්ණාවට වහලුන් වීමට මිනිසුන් හුරුවෙමින් ඇත.

තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්ප මුත්තස්ස
නත්ථි සෝකෝ කුතො භයං

තණ්හාව නිසා ශෝකයත්, භයත් හට ගනී. එය නැති කළ විට ශෝකයකුත් භයකුත් නැත.

ලෝභය නමැති අකුසල සිතුවිල්ල නිසා නොයෙක් කරදරවලට පත් වීමට සිදුවේ. බෝසතාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ සංසාර කතරේ ගමන් කරන විට මෙම ලෝභය නමැති අකුසල් සිතුවිල්ලේ විපාකය දැක ගත්හ. එම අකුසල් සිතුවිල්ල නිසා සසරෙහි මොනතරම් ඇවිද ගියේද යන්න බුදු ඇසකට තරම් පෙනෙන තවත් ඇසක් නැත. බුදුවීමෙන් අනතුරුව උන්වහන්සේ ලෝභය සහමුලින්ම නැතිකර ගැනීමට අවශ්‍ය අවවාද අනුශාසනා පැහැදිලි කර දුන්හ.

සිත අපවිත්‍ර කරන ප්‍රධාන බලවේගය වන ලෝභය නමැති අකුසල සිතුවිල්ල මැඩ පැවැත්වීමට හා නැතිකර ගැනීමට දානය නම් වූ උතුම් ප්‍රතිපදාව මූලික වශයෙන් භාවිත කළ යුතුය. එතුළින් තෘෂ්ණාව යටපත් කිරීමටත්, මුලිනුපුටා දැමීමේ මාර්ගය සකස් කර ගැනීමටත් පුළුවන. බුදුරජාණන් වහන්සේ දස පාරමිතා, දස උප පරමිතා, දස පරමත්ත පාරමිතා වශයෙන් එය ප්‍රගුණ කළහ.

එහිදී ඇස්, ඉස්, මස්, ලේ, අඹුදරුවන් පවා දන් දුන්හ. එහි ප්‍රමාණයද සුළු පටු නොවේ. අහසේ තරු පරදවා ඇස්ද, සාගරයේ ජලය පරදා රුධිරයද පොළොවේ පස් පරදවා මස්ද, මහාමේරු පර්වතය පරදවා හිස්ද දන් දුන් ආකාරය සඳහන් වේ.

බෝසතාණන් වහන්සේ කළ දානය නම් වූ වික්‍රමය ඒ ආකාරයෙන්ම අපට කළ නොහැකි වුවත් හැකි ආකාරයෙන් එය කළ යුතුය. තමන්ට තිබෙන ප්‍රමාණයෙන් දන්දීම ප්‍රමාණවත් ය. එහිදී දෙන දේ පිළිබඳ ඇල්මක් ඇති නොකර ගත යුතුය. සමහර අය අනුනට යමක් දෙන්නේ තමන් බොහෝ දේ බලාපොරොත්තුවෙන් යුතුවයි. එය හොඳ සිතුවිල්ලක් නොවේ.

එසේම අනුනට පෙනෙන්නට කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුවෙන් ආදී අරමුණු ඔස්සේ ද දන් නොදිය යුතුය. ශරීරයේ සියලු කොටස් දන්දීමට අපහසු වුවත් රුධිරය ආදිය දන් දීමට පුළුවන. දුගී මගීන්ට ලොකු මුදලක් දීමට අපහසු වුවත් රුපියල් දෙක තුනක් දීමට පුළුවන. දුන් දේ නොව දීමේදී ඇතිවන සිතුවිල්ල පිළිබඳ අවධානය යොමුකිරීම වැදගත් වේ. මහමෙරක් තරම් දන් දුන්නද සිත අපිරිසුදු නම් ප්‍රතිඵලය නිෂ්ඵලය. කුඩා හෝ දෙයක් දී සිත පිරිසුදු කරගත හැකිනම් ප්‍රතිඵලය සඵලය.

ලෝභයෙන් අන්තගාමී වීමෙන් අනන්ත අප්‍රමාණ දුක්වලට පත්වීමට සිදුවේ. සමහරුන්ට කොතරම් ධනය ලැබුණත් තෘප්තියක් නැත. බුදුන් දවස සිටි අදින්න පුබ්බක, තෝදෙය්‍ය වැනි සිටුවරුන් මොන තරම් ධනය සෙව්වද යන්න පැහැදිලි වේ. අද ද එවැනි අය නැතිව නොවේ.මියෙන තුරුම මුදල් සොයමින් සිට බැංකු පොත් පුරවා හිස් අතින්ම මිය පරලොව යති. අප එදිනෙදා ජීවිතය ගතකිරීමේදී හැකි තරම් ලද දෙයින් සතුටු වීමේ ගුණය ඇතිකරගත යුතුව ඇත. අන්තගාමි වී තෘෂ්ණාවෙන් දැවී අළු වී නොයෑමට වගබලාගත යුතුව ඇත.

නිරවුල් ජීවිතයකට බලපාන ඊළඟ බාධකය වන්නේ ද්වේෂයයි. එතුළින්ද සිත නිරන්තරයෙන් අපවිත්‍ර වේ. ද්වේෂය යනු තරහා, ඊර්ෂ්‍යා, ක්‍රෝධ ආදි සිතුවිලිය. සමහර දෙනෙක් අනුනගේ දියුණුවට ද්වේෂ කරති. එනිසා නිරන්තරයෙන් අනුන් විනාශ කිරීමට මර උඟුල් අදිති. සමහරු අපාගත වන අයුරින් ද්වේෂය වැඩිදියුණු කර ගනිති. දේවදත්ත හිමියන් බුදුරදුන්ට වෛර කර විනාශ කිරීමට කුමන්ත්‍රණ කර අන්තිමට බුදු සිරුරේ ලේ ද සොලවා අපාගත විය. සමහර අය සඟ රුවන ඝාතනය කිරීමට තරම් ද්වේෂය වැඩි දියුණු කර ගනිති. ද්වේෂය වර්ධනය කරන මොහොතක් පාසා තමන්ගේ් සිතද ගතද පිරිහෙනු ඇත. විශේෂයෙන් නිරවුල් ජීවිතයකට වෛරය, ක්‍රෝධය සුදුසු නොවන්නේ ය.

බුදුරජාණන් වහන්සේ සිත අපිරිසුදු කරන බලවේගයක් වන ද්වේෂයෙහි විපාක අවබෝධ කොට ගෙන එය නැති කරන මාර්ගයද දේශනා කළහ. අද සමාජයෙහි ඒ මග පිළිපදින්නන් විරල වීම අවාසනාවකි. අද බහුල වශයෙන් සිදුවන්නේ ද්වේෂය නිසා විනාශ වීමයි. විවෘතව විනාශ කිරීමට බැරි තැන වස විස දී හෝ වෙනත් ක්‍රමයකින් හෝ අනුන් විනාශ කිරීම සුලබය. සමහරුන් දේශපාලන වශයෙන්ද, ආර්ථික වශයෙන්ද, ආගමික වශයෙන්ද නිලතල ආදි පුහු කාරණා තුළින් අන්තයට ගොස්, ද්වේෂය පෙරටු කොටගෙන විශාල හානි සමුදායක් සිදුකරති. මෙම තත්ත්වයෙන් මිදීම සඳහා බුදුහිමි දෙසු මෛත්‍රිය ප්‍රගුණ කිරීම උතුම් වේ.

මෛත්‍රීය වැඩීමෙන් වෛර නැති කර ගැනීමට පුළුවන. බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය තුළින් මුළු විශ්වයේම සත්වයන් ඇතුළත් වන සේ මෛත්‍රීය පතුරුවන අයුරු පෙන්වා දුන්හ. තවද මෙත්තානිසංස හා මිත්තානිසංස සූත්‍ර තුළින්ද මෛත්‍රියේ ඇති වටිනාකම පැහැදිලි කළහ. ද්වේෂය නම් වූ ඒ විෂබීජය විනාශ කරන ආයුධය වන්නේ මෛත්‍රීයයි. බුදුරජාණන් වහන්සේ මෛත්‍රීය මුළුළුමහත් සත්වයාටම සමාන අයුරින් පැතිර වූහ.

දේවදත්ත, අංගුලිමාල, ආලවක වැනි දරුණු අයටද නාලාගිරි, භදාවතිකා වැනි තිරිසන් සතුන්ටද, පටාචාරා, කිසාගෝතමී වැනි අසරණ වූ කාන්තාවන්ටද, රාහුල, නන්ද, ආනන්ද වැනි කුමරුවන්ටද එකම අයුරින් බුදුරදහු මෛත්‍රීය පැතිරවූහ. අපට උන්වහන්සේගේ මෛත්‍රියට අසලකින්වත් යෑමට නුපුළුවන.

එහෙත් අපටද යම්කිසි ප්‍රමාණයකට මෛත්‍රීය ප්‍රගුණ කළ හැකිය. ඒ අනුව මෛත්‍රිය ප්‍රගුණ කොට ද්වේෂය නම් වූ ඒ භයානක අකුසල සිතුවිල්ල විනාශ කළ යුතුය. නිරවුල් ජීවිතයක් සඳහා එසේ ප්‍රගුණ කරන මෛත්‍රීය අත්වැලක් වනවාට කිසිදු සැකයක් නැත. ද්වේෂය යටපත් කිරීමෙන් සිතට දැනෙන සැහැල්ලුව වචනවලින් කියා නිම කළ නොහැකිය. ඊටත් වඩා පරම සතුටක් දැනේනේ එය සහමුලින්ම විනාශ කිරීම තුළිනි. ඒ සඳහා පියවරෙන් පියවර ද්වේෂය නැතිකොට සිත පවිත්‍ර කරගත යුතු අතර ඒ සදහා මෛත්‍රිය සවියක් කොට ජීවිතය ඒ තුළින් ශක්තිමත් කළ යුතුය.

සිත කිලිටි කරන අනෙක් කාරණය වන්නේ මෝහයයි. මෝහය යනු මෝඩකම මුළා වීමය. මෝහය නිරවුල් ජීවිතයකට මඟ අහුරනු ඇත. මෝහය ක්‍රමක්‍රමයෙන් අඩුකර ගනිමින් විනාශකළ යුතුය. මෝඩ සිතුවිලි තිබීමෙන් යහපත් දේවල් කිරීමට පුළුවන්කමක් නැත. මෝහය තිබීමෙන් තුනුරුවන්, පින් - පව්, කර්මය - කර්ම ඵලය , මෙලොව - පරලොව යනාදීන් දෙස වැරැදි දෘෂ්ඨි කෝණයකින් බැලීමට පෙළෙඹෙනු ඇත. ඒවා පිළිබඳ අවිශ්වාසයක්ද පහත් කොට සැලකීමට තරම් හීනමානයක් ද මෝහයෙන් අන්ධ වූ අයට ඇතිවේ. එවිට නිරවුල් ජීවිතයක් ගොඩනැඟීමට අපහසුය. මෝහය මහත් වූ අඳුරක් බඳුය. මෝහය නැති කළ හැක්කේ ප්‍රඥාව තුළිනි. ප්‍රඥාව තුළින් ඇත්ත ඇතිසැටියෙන් දැකීමට පුළුවන. පටිච්ච සමුප්පාදයෙහි දැක්වෙන්නේ “අවිජ්ජා පච්චයා සංඛාරා’’ ආදී වශයෙන් නොදැනීම තුළින් සියල්ල ඇතිවන ආකාරයයි.

සත්වයා සසර සැරි සරන්නේ අවිද්‍යාව නිසා බව ඉන් කියවේ. බෝසතාණන් වහන්සේ එම අවිද්‍යාව නමැති සැඩ පහරින් එතෙර වීමට ප්‍රඥාව නමැති ඔරුව භාවිත කළහ. උන්වහන්සේ එම ප්‍රඥාව දියුණු කොට ලෝකය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දැකගැනීමේ අසමසම ප්‍රඥාව උදාකර ගත්හ.

එසේනම් සිත නිරන්තයෙන් අපිරිසුදු කරන ලෝභය, දේවේෂය මෝහය යන අකුසල මූලයන් හැඳිනගෙන ඒවා යටපත් කිරීමටත්, එසේම ඒවා සහමුලින් නැතිකරන මාර්ගයහි ගමන් කිරීමටත් අප උත්සාහවත් විය යුතුය.

ඒ මාර්ගයෙහි අප නිවැරැදිව ගමන් කරන්නේ නම් අපගේ සිත නිරතුරුවම නිරවුල්ව පවතින ඇත. සිතෙහි පිරිසුදු බව, එකඟබව රැඳෙනු ඇත. එදිනෙදා ගතකරන ලෞකික ජීවිතයද සුවපහසු හා සැනසිලිදායක වනු ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.