ත්‍රිවිධ ශික්‍ෂාවෙන් සංයුක්ත වූ නිවන් මඟ
අස්ගිරි මහා විහාර සංඝ සභාවේ මහෝපාධ්‍යාය
ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි
සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤා
චිත්තං පඤ්ඤංච භාවයං
ආතාපී නිපකො භික්ඛූ
සො ඉමං විජටයෙ ජටං
සකල ජන මනානන්ද කරවූ අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජාති,
ජරා, ව්‍යාධි, මරණාදී දුක් වේදනා විඳිමින් අපමණ දිගු කලක් සසර සැරිසරණ
සත්වයන්ට නිවන් සුව ලබාගැනීමෙහි මාර්ගය වශයෙන් ත්‍රිවිධ ශික්‍ෂාවෙන්
සංයුක්ත වූ උතුම් ආර්ය මාර්ගය දේශනා කළ සේක.
මෙසේ පුරුෂ තෙම තමා ශිල්ප දක්වනු පිණිස පොළොව සමකරවා මෘදු භූමියෙහි තම
ශිල්ප දස්කම් දක්වන්නාසේ නිවන් මඟ සොයන යෝගාවචරයා ශීලයෙහි පිහිටා සද්ධා
ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා
ඉන්ද්‍රිය වඩන්නේය.
“ඉදංච මූලං කුසලාභිවුද්ධියා” ආදී නයින් දේශිත පරිදි පංච සීලයේ පටන්
උතුම් වූ ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලය දක්වා සෑම ශික්‍ෂා පදයක්ම නිවන්
සුවය සිතන පතන අයට ප්‍රතිෂ්ඨාපනය වන්නේය. තවද සෑම බුදුවරයන්
වහන්සේලාගේම දේශනාවල උපරිම අර්ථය වශයෙන් ශීලයම දේශනා කොට ඇත්තේමය.
ප්‍රාණඝාතය නොකිරීම ආදි කොට ඇති සෑම ශික්‍ෂාපදයක්ම අපේ හිත, කය, වචනය
සංවර කර ගැනීමටත් එමගින් ශ්‍රද්ධාදී කුසල චේතනාවන් ඇතුල් කර ගැනීමටත්
හැකිවන්නේය.
පංච ශීලය, අෂ්ඨාංගික උපෝසථ ශීලය දස සාමණේර සීලය, නව කෙළ දහස් අසූකෝටි
පනස් ලක්‍ෂ එක් දහස් සතිසක් මහා සංවර සීලය, චාරිත්‍ර, වාරිත්‍ර සීලය
ආදී නයින් විවිධාකාරවුවද එයින් කෙරෙණ කාර්ය පසිඳුරන් අරමුණක් පාසාම
ගැටීමෙන් සිත චලනය නොවීමය.
සිල්වතා කලක් යනවිට ගුණවතා වන්නේය. එමෙන්ම ස්වයං උත්සාහයෙන් උපයා
සපයාගත් සම්පතින් ධනවතා වන්නේය. කිත් යසස් දස දිසා පැතිරී බලවතා
වන්නේය. රජ මැති ඇමති පිරිස් අතර විශාරද වන්නේය. එමතු ද නොව දිවි
පෙවෙත් කෙළවර සිත් නොමුලාව මිය පරලොව යන්නේ දෙව් මිනිස් සුගතියෙහි
උපදින්නේය.
සීලයෙන් පවිත්‍රවූ අධ්‍යාත්මයට සමාධි භාවනාවෙන් චිත්ත විශුද්ධිය ඇතුළත්
වන්නේය. චිත්තං පඤ්ඤංච භාවයං, යනුවෙන් දේශනා කළ පරිදි පවිත්‍ර සන්තානය
තුළ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් ප්‍රබලව තිරසර වන්නේය. ශ්‍රද්ධාවෙන්
බුද්ධාදී තෙරුවන් පිළිබඳව විශ්වාසය තහවුරු වන අතර සතියෙන් කාමච්ඡන්ද,
ව්‍යාපාද ආදී පංච නීවරණ ධර්මයන් පිළිබඳව අවධානයෙන් එම පාප ධර්මයන්ගේ
ආදීනව මෙනෙහි කරවන්නේය. බාහිර වශයෙන් සන්තාන ගතවන්නට අවකාශ නොදී කුසල
පක්‍ෂය ආරක්‍ෂා කරන්නේය. මේ නිසා චිත්ත සමාධිය තහවුරු කරගැනීමෙහිලා
චිත්තානුපස්සනාව අත්‍යාවශ්‍ය වන්නේය.
ඌහණ ලක්‍ෂණය හෙවත් අරමුණ දැඩිකොට ගැණීමේ ස්වභාවය ඇති සතියෙන් මෙනෙහි
කරණ විට සිතින් සිත තුළ ඇති රාග වීතරාග දෝස වීතදෝසාදී එකිනෙකට වෙනස්ව
ඇතිවන හා නැතිවන ස්වභාවයන් දක්නට පුළුවන.යළි ඇතිවන ථිනමිද්ධ නීවරණය
විරිය ඉන්ද්‍රිය ශක්තියෙන් නිවාරණය කළහැකි වන්නේය.
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන ත්‍රිවිධ ආර්ය මාර්ගාංග සීල
විශුද්ධියෙන් සම්පූර්ණ වන අතර සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන
ත්‍රිවිධාංග සමාධියට අයත්වේ. උපස්ථම්භලක්‍ෂණ වන විර්ය ආධාර කරගෙන
නූපන් අකුසල් නූපදීමට
උපන් අකුසල් ප්‍රහීණ කිරීමට
නූපන් කුසල් ඉපදවීමට
උපන් කුසල් තිරසර කිරීමට හා වැඩිකර ගැනීමට
උත්සාහ ගන්නා යෝගාවචරයා සමාධියෙන් ප්‍රඥා මාර්ගයට යොමු වන්නේය.
සො ධම්මං දෙසෙති ආදි කල්‍යාණං, මජ්ඣෙ කල්‍යාණං පරියොසාන කල්‍යාණං
සාත්‍ථං සව්‍යං ජනං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති.
ආදී නයින් අප බුදුරජාණන් වහන්සේ වඩින ගම් නියම්ගම් නගරවල ජනතාව තමන්
වහන්සේගේ ලොව්තුරු ගුණය හා කීර්තිරාවය හඳුනාගන්නේ මෙම උතුම් ආර්ය
මාර්ගය මනුලොව දේශනා කිරීමෙනි.
එය විශ්ව ශක්තියක් වුවද යම් කලෙක ලොව්තුරා බුදු කෙනෙක් පහළවීමෙන් පමණක්
එම විශ්ව ධර්ම ශක්තිය ඇතිවන්නේය.
සීලයෙන් ආදි කල්‍යාණය ද සමාධියෙන් මධ්‍ය කල්‍යාණයද ප්‍රඡාවෙන් පරියෝසාන
කල්‍යාණයද සම්පූර්ණත්වයට පත්වන්නේය. සීලයෙන් කාමසුඛල්ලිකානු යෝගාන්තයද
සමාධියෙන් අත්තකිලමථානු යෝගාන්තය ද ප්‍රතික්‍ෂේප වන අතර ප්‍රඥාවෙන්
ආර්ය මාර්ග ප්‍රතිපදාව ද ප්‍රකාශ කෙරෙන්නේය.
තවද සීලයෙන් කාමාදී ආශ්‍රවයන් තදංග වශයෙන් ප්‍රහාණය වන අතර සමාධියෙන්
වික්ඛම්භන වශයෙන් ද ප්‍රඥාවෙන් සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රඥා විමුක්තිය
ඇතිවන්නේය.
නාම රූප ධර්මයන් ස්ඛන්ධ, ධාතු, ආයතන පටිච්ච සමුප්පන්න වශයෙන් යෝනිසෝ
මනසිකාරයෙන් මෙනෙහි කිරීමෙන් දිට්ඨි විශුද්ධියෙන් චිත්ත සන්තානය
ප්‍රභාමත් වන්නේය. අඳුරු වලාකුලු අතරින් පුන්සඳ පායා සම්පූර්ණයෙන්
දීප්තිවන්නා සේ යථාර්ථ ඤාණ දර්ශනයෙන් මිථ්‍යා දෘෂ්ටි අන්ධකාරය පහව
යන්නේය.
කම්මා විපාකා වත්තන්ති
විපාකො කම්ම සම්භවො
තස්මා පුනබ්භවොහොති
එවං ලොකො පවත්තති.
කර්මයෙන් විපාකය පවත්නා අතර විපාකයෙන් පුනර්භවයක් ඇතිවේ. මේ නයින් සත්ව
ලෝකය පවත්නේ වේ. මෙහි පැවැත්ම යනු නාමරූපයන්ගේ චලන මාත්‍රය බව නුවණින්
වටහා ගැනීම දිට්ඨි විශුද්ධියයි.
නාම රූප ධර්මයන්ගේ යථාර්ථ අවබෝධය නිසා බුද්ධ, ධම්ම, සංඝ, සික්ඛා,
පුබ්බන්ත, අපරන්ත, පුබ්බන්තාපරන්ත, පටිච්චසමුප්පාද ධම්ම යන අට තැන්හි
විචිකිච්ඡාව දුරුවීම සංඛ්‍යාතකංඛා විතරණ විශුද්ධියෙන් නිර්වාණ මාර්ගය
සංයුක්ත වන්නේය.
නාම රූප ධර්මයන් හඳුනා ගැණීම නිර්වාණ මාර්ගයේ ප්‍රධානතම කාර්ය වන අතර
පියවරෙන් පියවර අරමුණ ගැනීම, හඳුනා ගැනීම, තීරණය, ප්‍රහාණය යන කාර්යයන්
ඉෂ්ට සිද්ධ කරගන්නාවිට “මග්ගා මග්ග ඤාණ දස්සන විශුද්ධයෙන් නිවන් මග
නොමග දන්නා නුවණින් චිත්ත සන්තානය පවිත්‍රවේ.
සිතට පහලවන ඉතා සියුම් අරමුණු උත්පාද, ඨිති භංග වශයෙන් දන්නා නුවණ
ඇතිබව ප්‍රත්‍යක්‍ෂ බැවින් ඤාණ දර්ශනය යැයි කියනු ලැබේ. සීලයෙන්,
චිත්තයෙන්, දිට්ඨියෙන්, කංඛාවිතරණයෙන් පවිත්‍රවී චිත්ත සන්තානය තුළින්
ඤාණ දර්ශනය පහළවන විට නාම රූප ධර්මයන් පිළිබඳ විදර්ශනා ඤාණයෙන් ඤාණ
දර්ශන විශුද්ධි තුනක් පිළිවෙලින් ඇතිවේ. මග නොමග දන්නාවූ මග්ගාමග්ග ඤාණ
දර්ශන විශුද්ධිය ද පැහැදිළිවම නිවන් මඟ දක්නාවූ පටිපදා ඤාණ දර්ශන
විශුද්ධිය ද දස සංයෝජන පිළිවෙලින් ප්‍රහීණ කිරීමෙන් සෝවාන් ආදි මාර්ග
ඵල ලබාදෙන ඤාණ දර්ශන විශුද්ධිය ද පහල වන්නේය.
උදය –ව්‍යය ඤාණයේ පටන් සත්‍යානුලෝමික ඤානය දක්වා නව මහා විදර්ශනා
ඤානයෙන් නිත්‍ය වශයෙන්ම නිර්වාණ ශාන්ති මාර්ගය හඳුනා ගන්නේය. නාම රූප
ධර්මයන් දිය බුබුළු සේ මොහොතකට සිය දහස්වර ඉපදීම හා විනාශය දක්නා නුවණ
නම්වූ උදයව්‍යයානු දර්ශන ඤාණය බිඳීමම අරමුණු කරගත් භංගානු දර්ශනය ද
එමෙන්ම මෙතරම් ඉක්මනින් බිඳීම නිසා ඇතිවන භය තුපස්ථාන ඤාණය ද එහි වැරදි
දක්නා ආදීනවානු දර්ශනය ද ඉන් කලකිරීම සංඛ්‍යාත නිර්විදානු දර්ශනය ද,
වහා එයින් මිදීම සංඛ්‍යාතමුංචිත කම්‍යතාඤානය ද යළිත් නුවණින්
ප්‍රත්‍යවේක්‍ෂා කිරීම නම්වූ ප්‍රතිසංඛානු දර්ශන ඤානය හා සංස්කාර
ධර්මයන් කෙරෙහි උපේක්‍ෂා ඤානය, චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය යයි කියන
ලද සත්‍යානුලෝමික ඤාණය යන ඉතා සියුම්වූ ද ගැඹුරුවූද නව මහා විදර්ශනා
ඤාන පහල වන්නේය.
මෙසේ නව මහා විදර්ශනා ඤාණයෙන් ඉතා සියුම්ව නාමරූප ධර්මයන් විමර්ශනය
කරමින් සංසාරවර්තය ඉක්මවා ගෝත්‍රභූ ඤාණය උපදවා ගන්නේය. සක්කාය දිට්ඨි,
විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන ත්‍රිවිධ සංයෝජන ප්‍රහීණ කිරීමෙන් ලබන
ප්‍රථම ආර්ය ඵලය නම්වූ සෝවාන් ඵලයට පැමිණෙන්නේය.
“අප්පවත්තං අනුපායාසං නිරෝධ නිබ්බාණං පක්ඛන්ධතීති ගෝත්‍රභූ” යන දේශනා
විවරණයට අනුව සංසාර පැවැත්මට හේතුවන සංස්කාර ධර්මයන් පිළිබඳ සියලු
අරමුණු අභිබවා යන බැවින් ගෝත්‍රභූ යන නමින් හඳුන්වන ලෝකෝත්තර ඤාණය යළි
පුනරාගමනයක් නො කරන්නේය. සත්‍යානුලෝම ඤාණයෙන් කෙලෙස් අඳුරු දුරුකොට නාම
රූප ධර්මයන්ගේ යථාර්ථය දක්නට හැකිවන අතර ගෝතභූ ඤාණයෙන් චතුරාර්ය සත්‍ය
ධර්මය අවබෝධ කොට උතුම් නිවන් සම්පත් ලබාගන්නේය.
අකුප්පා මෙචෙතොවිමුත්ති යනුවෙන් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථම
ධර්ම දේශනාවේදී තමන් වහන්සේගේ චිත්ත සන්තානයේ රාග, දෝස, මෝහ යන අකුසල්
මුල් සමුච්ඡේද ප්‍රහාණයෙන් නැති කළ බැවින් තිරසරවූ චිත්ත විමුක්තිය යළි
ආපසු නොඑනබව අභීතව ප්‍රසන්නව පෙන්වා වදාළ සේක.
භික්ඛූපි භික්ඛවෙ පඤ්ඤාවිමුත්තෝ විඤ්ඤාණස්ස නිබ්බිදා, විරාගා, නිරොධා
අනුපාදා විමුත්තෝ පඤ්ඤාවිමුත්තෝති වුච්චති.
අප බුදුරජාණන් වහන්සේ පිළිවෙලින් සමථ භාවනාව උපයෝගී කරගෙන ප්‍රථම
ධ්‍යානයේ පටන් ධ්‍යාන විදර්ශනා අභිඥ්ඥා මාර්ගඵල ලබාගෙන චේතෝ විමුක්තිය
ලබාගත් සේක. පශ්චාත් ශ්‍රාවකයන් ඒ මාර්ග ප්‍රතිපදාව අනුව ගොස් පඤ්ඤා
විමුක්තිය ලබා නිවන් සුවයෙන් සැනසුන අයුරු දේශනාවේ සඳහන් වේ.
සීලයෙන් සමාධිය ද, සමාධියෙන් ප්‍රඥාව ද, ප්‍රඥාවෙන් යථාභූත ඤාන දර්ශනය
ද, යථභූත ඤාන දර්ශනයෙන් සිව් සත්දම් ප්‍රත්‍යක්‍ෂය ද, සදා නිවන් සුවෙන්
සැනසීමට ද වාසනාභාගී වන්නේය.
සියලු සත්වයෝ දුකින් මිදෙත්වා. |