කැලයට පෑයූ සඳක් වැනි වාගොල්ලාකඩ ශ්‍රී බෝධිරුක්ඛාරාමය
සටහන හා ඡායාරූප
ජනක වෙත්තසිංහ
අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැෙගනහිර ඉසව්වේ මායිම සටහන් කරන්නේ යාන්
ඔයයි. යාන් ඔයෙන් අනෙක් පස ඇත්තේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයයි. යාන්
ඔයට කි.මී. 2 ක් පමණ මෙපිටින් පිහිටි වාගොල්ලාකඩ එදා කොටි ත්‍රස්තවාදී
උවදුරට ගොදුරුවූ භීතියෙන් පීඩා විඳි අසරණ මිනිසුන් වාසය කළ කැලෑබඳ
ගමකි. එදා අනාරක්ෂිත ගමක් ලෙස හැඳින්වූ මෙහි පවුල් 200 ක් පමණ අද ද
ජීවත් වන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙමිනි.
බුදු පිළිම වහන්සේ |
ඔවුන්ගේ දුක්ඛ දෝමනස්සයන්ට පිළිසරණක් වූ, ඒ හිත් වලට මද හෝ
අස්වැසිල්ලක් සැළසීමට සමත් වූ වාගොල්ලාකඩ ශ්‍රී බෝධිරුක්ඛාරාමය ගම්මැදි
ජනතාවගේ අඳුර නසන කැලයට පෑයු සඳක් සේය.
බුදුමැදුර හා චෛත්‍යය |
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
හොරොව්පතාන මැතිවරණ බල ප්‍රදේශයට අයත් මෙම විහාරස්ථානයට පැමිණීමට නම්
හොරොව්පතාන වාගොල්ලාකඩ බසයේ කි.මී. 35 ක පමණ දුෂ්කර මගක් ගෙවා දැමිය
යුතුවෙයි.
කි.මී. 35 එතරම් දුරක් නොවුවද මග වැටී ඇත්තේ සතා සිව්පාවුන් සරන වනය
මැදිනි. වැව් තාවුළු උඩිනි. වැස්සට හේදෙන අව්වට කරවන වලවල් සෑදුන පටු
පාරවල් මතිනි.
එදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ රාජෝ බල පරාක්‍රමයට ප්‍රශස්ති කවි
ලියූ පොළොන්නරුවේ ඉන්ද්‍රසාර හිමියන් පිළිබඳව රජතුමාට පැහැදීමක්
ඇතිවිය. ඉන්ද්‍රසාර හිමියන්ට ඒ වෙනුවෙන් තිළිණ ලැබුණේ ගම්වරයෙකි. එදා
විදියට එය ලියා දුන්නේ තල් පතකිනි. එහෙත් බලපුළුවන්කාර ආරච්චිලා
කොරළේරාළලා රටේ රාළලා වන් ප්‍රභූන් ඒ ඉඩකඩම් කොල්ල කෑ බව කියයි.
අවසානයේ හාමුදුරුවන්ට ඉතිරි වූයේ පන්සල් භූමිය පමණක් බව කියැවෙයි. මෙසේ
විහාරස්ථානයේ පැහැදිලි ඉතිහාසය මතකයද වසර 200 කට නොඅඩුය. වත්මන්
විහාරාධිපතින් වහන්සේ නියෝජනය වන සංඝ පරම්පරාව ගෙන බැලුවහොත් එය සංඝ
පරම්පරා 7 ක් පමණ වෙයි. අඹගස්වැව විපස්සි හිමියන්ගේ යුගයේ සිට මෙය පැවත
එයි. වත්මන් විහාරාධිපතින් වහන්සේ හුරුළු පලාතේ උප ප්‍රධාන සංඝනායක
කපුගොල්ලෑවේ සරණංකර නා හිමිපාණන් වහන්සේය.
මම විහාරස්ථානය ගුරුකොට ගනිමින් කපුගොල්ලෑව, නාඹරවැව,අඹගස්වැව, ඉහල
දිවුල්වැව, දුටුවැව, මරදන්මඩුව වැනි පන්සල් කීපයක් පවතී. 1989 වසරේදී
දුටුවැව පන්ලේ වැඩ සිටි 16 හැවිරිදි පුංචි හාමුදුරුවන් ම්ලේච්ඡ ,කොටි
ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට හසුවී සෝචනීය ලෙස මරුමුවට පත් වී තිබේ.
පන්සල් භුමිය පුරා පැතිරී ඇති පැරැණි සාධකයන්ගේ ශේෂයන් රාශියක් දැක
ගැනීමට ලැබේ.ඒ අතර පැරැණි ශ්‍රී පතුල් ගල්, ගල් ඇඳන් සෛලමය මලසුන්, ගල්
කණු ආදිය තැන තැන විසිරී පවතී.
බුදුමැදුර තුළ ඇති දේව ප්‍රතිමා
පෞරාණික
සිරිපතුල් ගලක් සහ මලසුනක් |
වඩාත් සූක්‍ෂම ලෙස නිර්මාණය නොකළ දළ සටහනකින් සකසා ඇති ශ්‍රී පතුල් ගල්
නෙලා ඇත්තේ අනුරාධපුර යුගයේ මුල් වකවානුවේ දී බව කියැවෙයි. එදා මේවා
තබා ඇත්තේ චෛත්‍ය වටේ බවට පුරාවිද්‍යාත්මක මතයක් පවතී. එදා බොදු ගැමියා
මෙම ශ්‍රී පතුල් ගල් මත හිස තබා බැතියෙන් ගෞරවයෙන් චෛත්‍ය වන්දනාවේ
යෙදුනු බව කියැවෙයි. ඒ අනුව මෙහි ඉතිහාසය අනුරාධපුර යුගයටද, නෑකම් කියන
බව සිතිය හැකි ජීවමාන සාධක අදත් නොනැසී පවතී. දුෂ්කර ගම් බිම් මැද්දේ
කොටුවී වනයට මැදිවී ඇති මෙවන් පැරැණි ස්ථානයන් පිළිබඳ පුළුල් ලෙස
ගවේෂණය නොකිරීමෙන් නිශ්චිත ඉතිහාසයක ඉම සොයා යෑම දුෂ්කරවී තිබේ.
අනුරාධපුර යුගයේදී රෝපණය කළ බව කියන බෝධීන් වහන්සේ එක්දහස් නවසිය හැට
ගණන්වලදී හමා ගිය සුළි සුළඟට හසුවී විනාශ වීගොස් තිබේ. අද මෙහි රෝපණය
වී ඇත්තේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පරම්පරාවේ වෙනත් ශාඛාවකි. පැරැණි
බෝධි ගර්භය තැනීමේදී දඹදෙණි යුගයට අයත් යැයි සිතිය හැකි කාසි හමුවී
තිබේ. එසේ නම් යුග කීපයක රාජ්‍ය අනුග්‍රහය මෙම විහාරස්ථානයට ලැබෙන්නට
ඇති බවද සිතිය හැක. මෙහි ඉදිවී ඇති චෛත්‍ය කුඩාය. එහෙත් එය පෞරාණික
අතින් වැදගත් තැනක් උසුලයි. චෛත්‍ය ඉදිකර ඇත්තේ අනුරාධපුර යුගයේදීම බව
කියැවේ. අද මෙය ප්‍රතිසංස්කරණයට බඳුන් වී ඇතත් එදවස මෙය සාදා තිබු මැටි
ස්ථරයන් උඩ කපරාරුවට යටින් එළෙසම පවතින බව දැන ගැනීමට ලැබුණි.
විහාරාධිපති කපුගොල්ලෑවේ සරණංකර නාහිමි |
නුවර යුගයේදී මෙහි ටැම්පිට විහාරයක් ඉදිවී තිබුණද එහි සළකුණු පවා අද
මැකී ගොස්ය.
එදා වැව් බැදි රාජ්‍යයට අනුග්‍රහය දැක්වූ රජවරුන් විසින් තැන තැන
විහාරස්ථාන ගොඩ නැංවූවද පසු කළෙක ප්‍රධාන ස්ථානයන්ට හැර සෙසු තැන්වලට
රාජ්‍ය අනුග්‍රහය හීන වී යාමත් යම් යම් උවදුරු ආක්‍රමණයන් කාල විපත්
නිසාත් පසුකලෙක දුප්පත් දායකයන් හට නඩත්තු කිරීමට ශක්තිය නොමැති වී ගිය
නිසාත් මෙවන් විහාරස්ථානවල අඛණ්ඩ පැවැත්ම, පැහැදිලි කර ගැනීමට නොහැකිසේ
ඉතිහාස කතාවේ හිස්තැන් පවතී.
අද පවතින විහාර මන්දිරය කුඩාය. එය සාදවා ඇත්තේ වත්මන් විහාරාධිපතීන්
වහන්සේගේ යුගයේදීය. ලොලුගස්වැව රන් නයිදේ මුහන්දිරම් සිත්තර
බාසුන්නැහැගේ ප්‍රතිමා සිතුවම් ආදියෙන් හැඩ වී ඇති එම නිර්මාණයන්
ප්‍රශස්ත මට්ටමක පවතී. දම්සක් පැවතුම් සුතුර දේශනාව පිළිබිඹු කරන
දර්ශනයන්ගෙන් විහාර මැදුර විචිත්‍රවත්ව තිබේ.
එදා පන්සලට පූජාකල ඉඩම් අද නැත. කර්කශ මහපොළොව සමග අරගල කර සොච්චම්
මුදලක් සොයාගන්නා ගොවි තැන් බත් කරනා මිනිසුන්ගේ මුදලින්ම පන්සලද
නඩත්තුවේ. සිත් සතන් සනසාලන පන්සල බොදු ගැමියාට අත්‍යාවශ්‍ය සාධකයකි.
දැනමුතුකම් ගුරුහරුකම් ලබා ගැනීමටද ඔවුන් නිබඳව ඇදී එන්නේ පන්සල වෙතය.
කොටි උවදුරේදී ඔවුන්ට පිළිසරණ වූයේද මෙවන් පින් බිම්ය.
වත්මන් විහාරාධිපති හිමියන් මේ බිමට වඩින්නේ 1949 වසරේදීය. එදා ගමට
කරත්ත පාරක්වත් නොතිබුණූ බව උන්වහන්සේ පවසති. පවුල් සිටියේ 16 ක් පමණි.
අද ලොකු හාමුදුරුවන් වියපත්ය. හැදු ගෝල බාලයෝද බොහෝය. කෙරූ කාර්යභාරය
සදානුස්මරණීය. ක්‍රමයෙන් මාවත් ආදිය තැනී ගම දියුණු වූයේ පන්සල
කේන්ද්‍රකර ගනිමිනි. අවමංගල්‍යාධාර සමිති ප්‍රජාසත්කාරයයන් දහම් පාසල්
අධ්‍යාපනය මෙන්ම සමාජ ආගමික කාර්යන් රාශියකට අද ද විහාරස්ථානය මුල් වී
කටයුතු කරයි. ඉතිහාසයේ අඳුරු කාලපරිච්ඡේදයක් පසුකරමින් ආ ගමන් මගේ
මෙවන් කෙම්බිම් තවමත් නොනැසී පැවතීම භාග්‍යයකි. කැලයේ පිපුණු පිවිතුරු
මල්වන් දුෂ්කර ව්‍රත ගෙවන යතිපරපුරක උදාරත්වයත් අහිංසක ගැමි දනන්ගේ
අප්‍රතිහත ධෛර්යයේ දහදිය සුවඳත් මෙවන් පිවිතුරු පින් බිම් මත හෙටත්
නොනැසී තිබෙනු ඇත. |