Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු දහම ආගමක් ද?

සම්බුද්ධත්ව ජයන්තිය සමරණ
මේ සමයේ
මෙය කාගේත් අවධානයට ලක්වේවා!

සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ උද්‍යෝගයට ගෝචර වූයේ දුකත් ඉන් මිදීමත් ය. දුකින් මිදීමට දැරූ ප්‍රයත්නයේ පරමාර්ථය නිවන යි.

සමාධියේ දී ඉඳුරන්ගේ සීමාව ඉක්ම වීමෙන් පසුව ලැබෙන ඥානය සම්මා ඥාන නමැති යථාතත්ත්ව ඥානයි. මෙය පුහුදුන් ලෝකයාගේ චිත්ත විකල්ප විෂයට හසු නොවන අතීන්ද්‍රිය ඥානය කි. එසේ හෙයින් පරමාර්ථය ගැන යමක් වචනයෙන් විස්තර කළ නො හැකිය. බුදුරජාණන් වහන්සේ ලෝක චර්යාවෙහි යෙදීමට මුලදී අල්පොත්සුක වූයේ මේ අසීරුතාව හේතු කොට ගෙනය.

නමුත් පසුව, පරමාර්ථය වචන වල ආධාරයෙන් දේශනා කිරීමේ උපාය මාත්‍රයක් වශයෙන් සලකා සම්මුතියේ ආධාරය උපයෝගී කරගන්නා ලදී. ඒ අනුව චතුරාර්ය සත්‍ය, පටිච්චසමුත්පාදය, අනාත්මවාදය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සතිපට්ඨානය සත්‍ය දැකීමට දේශනා කරන ලද උපායකි. බුද්ධ වචනය අනුව ධර්මය පරමාර්ථ වශයෙන් ගැනීමට නො හැකිය. සම්මුති සමාරොපණයෙන් දේශනා කරන ලද ධර්මය “ ග්‍රහණය පිණිස නොව එතෙරවීම සඳහා පමණි” යනුවෙන් බුදුන් වහන්සේ ධර්මය පහුරකට උපමා කළේ එහෙයිනි.

දුකත්, එහි ප්‍රභවයත්, නිරෝධයත්, දුක නිරුද්ධ කර ගන්නා මඟත් උගන්වන ධර්මය චතුරාර්ය සත්‍යයි.

ඵලය වශයෙන් දුකත්, පටිච්චසමුප්පාදය දුකට හේතු වශයෙනුත් පෙන්වා තිබේ. මේ අනුව හේතු නිරෝධ කිරීමෙන් දුක නිරෝධ කිරීමට පුළුවන. හේතු නිරෝධ කිරීමට අංග අටකින් ප්‍රකට උතුම් මගක් දේශනා කොට තිබේ. පැවිදි උතුමන්ටත් කාමභෝගී ගිහිජනතාවටත් පොදු එකම මග ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙය පුහුණු වන්නන්ගේ (ආධුනිකයින්ගේ ) ප්‍රයෝජනය සඳහා පමණි. විමුක්තිය ලබා ගැනීම පිණිස සම්මා ඥානය සම්මා විමුක්ති වශයෙන් දශාංග මාර්ගය සම්පූර්ණ කළ යුතුවේ. (දසහංගෙහි සමන්නාගතෝ ආරහාති වුච්චතී ති) මේ දුකින් මිදීමට ඇති එකම මඟයි.

දුක තේරුම් ගැනීමේ ඉතාම අත්‍යවශ්‍ය කරුණ වන්නේ පටිච්චසමුත්පාදයයි. සර්ව ව්‍යාපී වශයෙන් (සෑම තැනද සැම දෙයෙහිද) පැතිර පවතින හේතුඵල දහමයි. ප්‍රතීත්‍ය සමුත්පන්න යනු මෙය ඇති කල මෙය ඇතිවෙයි. (ඉමස්මිංසති ඉදං හොති) මෙය ඉපදීමෙන් එය උපදී (ඉමස්සුපාදා ඉදං උප්පජ්ජති) මෙය නැති කල එය නොවෙයි. (ඉමස්මිං අසති ඉදං න හොති) මෙය නැතිවීමෙන් එය නැතිවේ. (ඉමස්ස නිරුධා ඉදං නිරුජ්ඣති)

ප්‍රත්‍යයක් නිසා හට ගැනීම, ප්‍රත්‍ය සාමගි‍්‍රය, සාපෙක්‍ෂතාව අන්‍යෝන්‍ය සම්බන්ධය යන මේ මූලධර්ම පදනම් කරගෙන අංග දොළහකින් (ද්වදසාංග) සමන්විත ප්‍රතීත්‍යසමුත්පාදයෙහි සිතෙහි පැවැත්මත් නැවැත්මත් විස්තර කර තිබේ. පටිච්චසමුත්පාදය ඉගැන්වීමේ දී අවිද්‍යා පච්චයා සංඛාරා සිට ජාති, ජරා, මරණ, ශෝක පරිදේව යන ද්වදසාංගය කාලත්‍රයකට බෙදා දක්වා අතිශය විකෘති බවට පත්කර තිබේ. මෙහිදී ජාති යනු මව් කුසින් බිහිවීම බවත් , ජරා යනු මහලු බවත් , පණයාම මරණය බවත්, මේ තුන් සිද්ධිය කායික වශයෙන් ගෙන කාලත්‍රයකට බෙදා දක්වා තිබේ. මෙය කවුරුන් කෙසේ පිළිගත්තත් මෙවැනි දෙයක් බුදුන් වහන්සේනම් දේශනා කර නොමැත. බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ කායික වශයෙන් නොව මනෝ විද්‍යාත්මක වශයෙනි. මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ යනුවෙනි.

බුදුන් වහන්සේට ද උත්පත්තියක් තිබිණි. මහලු බවටද පත්විය. මරණයට ද පත්වුනි. නමුත් මේ තුන් සිද්ධිය බුදු උතුමන්ට දුකක් වූයේ නැත. ඊට හේතුව බුදු උතුමා බෝධි මූලයේ දී ජාති, ජරා, මරණ, නිරෝධ කර අජරාමර නිවන පසක් කිරිමයි. ද්වදසාංග පටිච්චසමුත්පාදය මෙලොව වශයෙන් ජාති, ජරා මරණ යනුවෙන් කාලත්‍රයකට බෙදා දක්වා එතැනින් නොනැවතී පුනර්භවය හරහා සංසාර චක්‍රයට යොදා තිබේ. මෙය බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට පටහැනිව මතුවූ නව ඉගැන්වීමකි. ප්‍රතීත්‍යසමුත්පාදයේ ද්වදශාංගය එක්වර ක්‍රියාත්මක වන ක්‍රියා සන්තතියකි. මේ ගැන ආචාන් චා හිමියන් දේශනා කර ඇත්තේ ගසක මුදුනටම නැගපු මිනිසෙකු අත අතහැරී බිමට වැටෙන විට අතර පතර ඇති අතු රිකිලි අල්ලා ගැනීමට සිහි වීමට පෙර එක් වරම ඔහුව බිමට වැටෙන්නා සේ, ප්‍රතීත්‍ය සමුත්පාදයේ අංග දොළහම එක්වර ක්‍රියාත්මක වන බවයි. එසේ හෙයින්, උත්පත්තිය ලබා අවුරුදු හැට හැත්තෑවකින් මහලු බවට පත්වී තවත් අවුරුදු විස්සකින් තිහකින් මරණය සිදුවීම කායික වශයෙන් දුකක් ලෙස සැලකීමට ඉගැන්වීම ප්‍රතීත්‍ය සමුප්තාපදය අතිශය ලෙස විකෘත බවට පත් කිරීමකි.

දුකෙහි උපත වශයෙන් බුදුන් වහන්සේ වදාළේ මමත්වයේ උපතයි. උපාදාන ස්කන්ධපංචකයේ උපතයි. උදාහරණයක් වශයෙන් ගෙන බැලූ විට ළදරුවෙකුගේ් මනස ප්‍රභාස්වර මනසකි. ඊට හේතුව ළදරුවාට මමත්වය නොමැති බවයි. නමුත් ටික කලකින් ළදරුවා ළමා වියට පත්වීමත් සමගම මමත්වය ඇතිවේ. එවිට මම මගේ සිතිවිල්ල ඇති වූදා පටන් දුක ඇතිවේ. මේ අනුව දුකේ උපත මව් කුසින් බිහිවීම නොව මමත්වයේ උපතයි. ජරා යනුවෙන් බුදුන් වහන්සේ නම් කළ දුක කායික වශයෙන් මහලු වීම නොවේ. බුදුරජාණන් වහන්සේ ද මහලු බවට පත් විය. තමාගේ මහලු කය පිළිසකර කළ පරණ බර කරත්තයකට උපමා කළේ එහෙයිනි. නමුත් මහලු බවත්, කය දිරාපත්වීමත් බුදුන් වහන්සේට දුකක් නොවීය. මමත්වය කොට ගත් පුද්ගලයාට නිරන්තරයෙන් මනසෙහි හටගන්නා විපරීතය ජරා යනුවෙන් හඳුන්වන ලදී. මරණය දුකක් යනුවෙන් අදහස් කළේ පණ යාම නොව මනසෙහි ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා නිරන්තරව සිදුවන මානසික පරිහානියයි. පංච උපාදානස්කන්ධයෙන් මමය මාගේ්යැයි තණ්හාවෙන් අල්ලාගෙන තිබූ ලෝකය අවසානයේ දී අතහැරීමට තිබූ අකමැත්ත මරණ මොහොතේදී ඇතිවන දුකයි.

නාම ධර්මයන්ගේ හෝ රූප ධර්මයන්ගේ වෙනස්වීම බුදුන් වහන්සේට නතර කළ නො හැකිය. ලෝකයට බුදුවරුන් පහළ වුවත් නො වුවත් නාම රූප ධර්ම විෂයෙහි ක්‍රියාත්මක වන සාපේක්‍ෂතාව එකින් එක හැපෙමින් වෙනස්වෙමින්, පරිහානියට පත්වීම ස්වභාව ලෝකයේ ලක්‍ෂණය යි. මෙය යථාභූත ලෙස මනසින් දැකීම ධර්මය දැකීම යි. ධර්මය දැකීම යනු බුදුන් දැකීම යි.

ධර්ම මාර්ගයට (ආර්ය මාර්ගයට) පිවිසීමට කැමැති පුද්ගලයා අනිවාර්යයෙන්ම සිත, කය, වචනය යන තුන් දොරින් පළවෙන අකුසලයන්ගෙන් වැළකී කුසල පැත්තට නැඹුරු විය යුතුයි. මේ සඳහා දැඩි ලෝභයෙන් වැළකීම, ද්වේෂයෙන් වැළකීම, නිවැරදි දැකීම, ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම , කාමමිච්ඡාචාරයෙන් වැළකීම, බොරුකීමෙන් වැළැකීම, කේලාම් කීමෙන් වැළකීම, පරුෂ වචනයෙන් වැළකීම, නොගැඹුරු වචනයෙන් වැළකීම යන දස අකුසල්වලින් වැළැකී දස කුසල් ප්‍රගුණ කළ යුතු වන්නේය.

මෙම ගුණධර්ම ප්‍රගුණ කිරීමට මිනිසා අපොහොසත් වන්නේ නිවැරදි දැකීමක් හා නිවැරදි සංකල්පනාවක් නොමැති බැවිනි. පර්යාප්තිය නොහොත්, දහම් වැටහීම මුල් තැන්හි ලා සැලකුවේ අවබෝධයෙන් තොරව කිසිවකු සිල්වතෙක් කළ නොහැකි හෙයිනි. මිනිසුන් පව් කරන්නේත් සියලු අකුසල්වල යෙදෙන්නේත්, දුසිරිතෙහි යෙදෙන්නෙත් අනුවණකම නැතහොත් අනවබෝධය නිසාය. සම්මා දිට්ඨි , සම්මා සංකප්ප යන අංගද්වය ආර්ය මාර්ගයේ මුලට යොදා ඇත්තේ මේ අවබෝධය ශ්‍රාවකයාට ලබා දීමටය. ශීලමය ගුණය කෙනෙකු තුළ ප්‍රයෝගික වශයෙන් පිහිටන්නේ මෙම අවබෝධය හේතුකොට ගෙනය. දහම් වැටහීමත්, ශීලාදි ගුණධර්ම මනා ලෙස ප්‍රගුණ කිරීමෙනුත්, පසුව නිර්වාණගාමි භාවනාමය ක්‍රියා මාර්ගයට අවතීර්ණවීම අනුපූර්ව ශික්‍ෂණ ප්‍රතිපදාවේ යෙදීම යි. නමුත් සමාධිය ආර්ය මාර්ගයේ නිෂ්ඨාව නොවේ.

දහම් දැනුමත්,සිල්වත්කමත්, සිතේ පිරිසිදු බවත් සමග යථා තත්ත්වය පිළිබඳ අවබෝධය ඇති කොට ගෙන සිත පිරිපුන් වශයෙන් නිවා පියා ලීමට මුළු ත්‍රිපිටකයම හැදෑරීමට අවශ්‍ය නැත. එදා බුදුරදුන් දේශනා කළ එක සූත්‍රයක් ඇසුරින් රහත් බවට පත්වී සිත නිවාගත් ශ්‍රාවකයෝ බොහෝ විය. අදටත් මෙම සතය්‍ය එසේම පවතී. වීර්ය අධිෂ්ඨානය, ප්‍රඥාව, විචාර බුද්ධිය, විවේක බුද්ධිය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස බොහේ සෙයින් උපකාර වන්නේය. ධර්මය තම තමන් විසින් අවබෝධ කොට ගත යුතු දෙයකි. කෙනෙකු වෙනුවෙන් තවත් කෙනෙකුට ධර්මය අවබෝධ කොට ගත නො හැකිය.

දුක ඇති වන්නේ තමා තුළය. දුකට හේතු උපදින්නේත් තමා තුළයි. දුක නැති කර ගැනීම ද තමා සතු කාර්යකි. දුක නැති කරගැනීමේ ක්‍රමය ඇත්තේද තමා තුළමය. මේ අනුව චතුරාර්ය සත්‍ය තිබෙන්නේද තමා තුළය.

අකුසලයෙන් වැළකීම, කුසලයෙහි යෙදීම, සිත පිරිසිදු කර ගැනීමද තමා විසින්ම කරගත යුතු ගුණාංගයෝය. එහෙයින් බුද්ධ ශාසනය ද ඇත්තේ තමා තුළමය. මේ සඳහා බාහිරින් ලබා ගත යුතු කිසිම පිහිටක් නැත. තමාට පිහිට තමාමය. තමාගේ ගැලවුම් කරුවා තමාමය.අන් සරණක් නැත. මේ මුල් බුදුසමයට අයත් ඉගැන්වීම්ය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් දෙකක් ඉකුත් වීමට පෙර බුදුදහම එදා තිබූ සමකාලීන ආගම් වලින් වෙන් කොට හඳුනා ගත නොහැකි තරම් විය. බුදුදහම ආගමක ස්වරූපයෙන් ඉදිරියට ආවේ මෞර්ය රජ සමයේ දීය. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 110 කට පසුව දෙවැනි සංගායනාව පැවති බව ඓතිහාසික ලේඛනවල දක්නට තිබේ. මෙම සංගායනාවෙන් පසුව නිකාය භේදය හටගත් අතර මහා සාංඝිකයින් වෙනම නිකායක් පිහිටුවා ගත් බව තහවුරු වෙයි. මෙතැන් සිට සංඝ සමාජයේ හා දහම් කරුණු වල විවිධ වෙනස්කම ඇතිවන්නට විය.

ධර්මාශෝක රජු යටතේ පාඨලී පුත්‍ර නගරයේදී පවත්වනු ලැබු තෙවැනි සංගායනාව වන විට විවිධ නිකායන් බිහිවී තිබිණි. විවිධ හේතූන්මත ඒ වන විට බුදුසමය තුළට වන්දනාමාන කටයුතු ඇතුළත් වී තිබිණි. තම පුද්ගලත්වයට වන්දනා මාන කිරීම කවර ආකාරයකින් හෝ ප්‍රයෝජනයවත් වන බවක් මුල් බුදු සමයේ කිසිඳු තැනක බුදුන් වහන්සේ විසින් උගන්වා නොමැත. බුදුන් වහනසේ පිරිනිවන් පෑමට ආසන්නව සිටිය දී භික්‍ෂූන් අමතා වදාළේ මතුපිටින් කරනු ලබන පූජා සත්කාර වලට වඩා ධර්මානුකූ®ලව හැසිරෙන ලෙසත්, ආචාර ධර්මවලට අනුකූ®ල ප්‍රතිපත්ති මත පිහිටා යහපත් චර්යාවේ යෙදෙන ලෙසත්ය.

මිනිසාට දෛනික වශයෙන් මතුවන ප්‍රශ්න හා අභියෝග බොහෝය.ලෙඩ දුක්, රැකියා ප්‍රශ්න , නඩුහබ , විභාග, ග්‍රහ අපල අපේක්‍ෂා භංගත්වය යනාදී හේතුන් නිසා භයට, භීතියට, සංත්‍රාසයට පත්වන මිනිසා මෙම උවදුරු දුරුකොට සැනසුම් සුවයක් ලබා ගැනීමට නොයෙක් ආකාරයෙන් පිහිට අපේක්‍ෂා කරයි.මේ සඳහා බෝධි පූජා තැබීමෙන්, දේව පූජා තැබීමෙන්, ශාන්ති කර්ම කිරීමෙන්,සෙත් කවි කිවීමෙන්, යන්ත්‍ර මන්ත්‍ර ජප කිරීම්වලින් මේ මේ දේ ඉටුකර ගතහැකි යැයි බොහෝ දෙනා තුළ විශ්වාසයක් පවතී. මෙම අවශ්‍යතා සපුරා දීමට ඉදිරිපත්වීම සඳහා අතරමැදි පිරිසක් සූදානමින් සිටිති. මෙම අයට මිල මුදල්, පඬුරු , බඩු භාණ්ඩ, පූජා වට්ටි, පිදීමෙන් අවශ්‍යතා සපුරා ගත හැකි වනු ඇතැයි බුද්ධීහීන පුද්ගලයා ආගමෙන් බලාපොරොත්තු වෙයි.

මෙම අවශ්‍යතා සපුරා දීමට භාර ගන්නා අතරමැදි පිරිස ගිහි පැවිදි උභය පාර්ශ්වයෙන්ම සමන්විතය.

තම තමන්ගේ ප්‍රශ්න වලට බෝධි පූජා හා දේව පූජා තබන බෞද්ධ පින්වතුන් බුදුරජාණන් වහන්සේ ගැනත් සිතා බලන්නේ නම් නිවැරදි මගට පිවිසීමට පුළුවන. බුදුරජාණන් වහන්සේට දෙව්දතුන් ගලක් පෙරලා ජීවිතය විනාශ කිරීමට තැත් කරද්දී , චිංචි මානවිකාවගෙන් හා සුන්දරී ගෙන් නින්දා අපහාස චෝදනා එල්ල වෙත්දී බුදුන් වහ්නසේ ඒවාට අකම්පිතව මුහුණ දුන් සේක. බුදුරජාණන් වහන්සේට කායික වශයෙන් නොයෙක් අසනීපකම් අතිවුනි. ලේ අතිසාරය වැනි මාරාන්තික අසනීපත් සෑදුනි. ඒ කිසිවකටත් බුදුරජාණන් වහන්සේ බෝධි පූජා හෝ දේව පූජා තබන මෙන් තම භික්‍ෂූන්ට අනුශාසනා නොකළ සේක.

සුවඳ මලින් මා පුදන්නෝ නිසි ලෙසින් මා පුදන්නෝ නොවෙති
ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහිම යෙදෙන්නෝ මා පුදන්නෝ වෙති”

(අං.නි.)

බුදුරජාණන් වහන්සේ ගේ මෙම අනුශාසනාව ගැන අවධානය යොමු කිරීම සෑම බෞද්ධයකුගේම යුතුකමකි. මේ වෙනුවට අද කෙරෙන්නේ ජනතාව මුළා කොට සිදු කරනු ලබන මහා පරිමානයේ භක්ති පූජාය. භක්තිය නිසා බුද්ධිය පරාජයට පත්වන බව දැනුමක් ඇති කවුරුත් දනිති. අමූලිකාදි (මුළාවීමෙන්) ශ්‍රද්ධාවෙන් යුතුව පෙරහැරේ යන ජනතාව ආර්ය මාර්ගය දෙසට හරවා ගැනීම යුගයේ අවශ්‍යතාවයි. එසේ නො කළහොත්, නුදුරු අනාගතයේ දී බුදුදහම අනෙකුත් අදහන ආගමක තත්ත්වයට පත්වීම නො වැළැක්විය හැකිය.

විසිඑක්වැනි සියවසේ දෙවැනි දශකයේ දී මේ රටේ බෞද්ධ ජනතාවට සම්‍යග් දෘෂ්ටිය ගැනවත් අවබෝධයක් ලබා දීමට අපේ ගරුතර මහා සංඝරත්නය කටයුතු කරන්නේ නම්, මෙම දශකයේ දී කරනු ලබන ලොකුම බුද්ධ පූජාව එය වනු ඇත.

මේ රටේ බෞද්ධ ජනතාවට දහම් අවබෝධය ලබා දීමට දහම් අවබෝධයෙන් යුතු සැබෑ බෞද්ධයන්ගේ සංවිධානයක් ආරම්භ කිරීම යුගයේ අවශ්‍යතාවයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.